පළාත් පාලන මැතිවරණ දිනය දෙයියො තමයි දන්නෙ

  👤  4358 readers have read this article !
2016-12-11

දෙනගම ධම්මික රණවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් අඟහරුවාදා ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. ඉදිරි පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්විය යුතු බවට එහිදී තීරණය කළහ.පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම සම්බන්ධයෙන් පැතිරී යන ආරංචි ගැනද එහිදී සාකච්ඡාවට ලක්විය. ඒ අනුව සැසිවාරය අවසන් නොකරන බවද එහිදී ජනපතිවරයා ප්‍රකාශ කළේය.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ මහගම සේකර මාවතේ පිහිටි ජනපති නිල නිවෙසේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන කොමියුනිස්ට් පක්ෂ නියෝජිත පිරිසක් සහ ලංකා සම සමාජ පක්ෂයේ නියෝජිත පිරිසක් මුණගැසී සාකච්ඡා කළේය. එම පක්ෂ දෙක වෙන වෙනම මුණ ගැසීමද විශේෂත්වයක් වූයේය.

නව ව්‍යවස්ථාව සකස් කිරීමත් ඒ සම්බන්ධව ඉදිරියේදී එම පක්ෂවල සහාය ගැනීමත් එම හමුවීම්වල අරමුණ විය. කොමියුනිස්ට් පක්ෂය ඩිව් ගුණසේකරගේ ප්‍රධානත්වයෙන්ද, ලංකා සම සමාජ පක්ෂය මහාචාර්ය තිස්ස විතරණගේ ප්‍රධානත්වයෙන්ද සහභාගි වී සිටියහ.

නව ව්‍යවස්ථාව කෙටුම්පත් කළ පසු ඒ සම්බන්ධව සාකච්ඡා කිරීමට යළි මුණ ගැසීමේ එකඟතාවක් ද ඔවුහු අතර ඇති වූහ.


කැබිනට්ටුවේ ගෝරි පිට ගෝරි

කැබිනට් මණ්ඩල රැස්වීම අය-වැය විවාද නිසා අඟහරුවාදා පැවැත්වූයේ පාර්ලිමේන්තුවේ කමිටු 1 ශාලාවේදීය. පෙ.ව. 10.30 සිට ප.ව. 1.15 දක්වා පැය තුනකට ආසන්න වේලාවක් එය පැවැත්විණි. කැබිනට් පත්‍රිකා 22කට පමණ එහිදී අනුමැතිය පළ විය. ජනාධිපතිවරයා දෙසැම්බර් 15 - 17 දක්වා මැලේසියාවේ සිදු කරන චාරිකාවේදී ගිවිසුම් 6කට අස්සන් කිරීමට නියමිත අතර ඊටද අනුමැතිය පළ වූහ. හම්බන්තොට වරායේ පාලනය 80%ක් චයිනා මර්චන් පෝට් හෝල්ඩින්ස් වෙත පැවැරීමද තවත් යෝජනාවක් වූයේය.

වයඹ සංවර්ධන අමාත්‍යාංශයේ තරුණ කාන්තා සවිය ගැන මෙහිදී නාවින්න සහ දයාසිරි අතර වාග් සංග්‍රාමයක් ඇති විය.

"කාන්තාවන්ට ණය දෙනවා. ඒත් ශ්‍රී ලංකාකාරයන්ට සලකන්නෙ නැහැ. යූ. එන්. පී. අයට විතරයි සලක්නේ". දයාසිරි චෝදනා කළේය. "එහෙම පක්ෂයකට සීමා කරල නැහැ. ඕන පක්ෂයක කෙනකුට සාමාජිකත්වය ගන්න පුළුවන්. ඒත් මම කාන්තාවන් බඳවා ගන්න කාන්තාවන් ළඟට යන්නෙ නැහැ"

නාවින්න පිළිතුරු දුන්නේ දයාසිරිට අතුල් පහරක් ගසමින්ය. "ඔයා ළඟත් කාන්තාවන් ඉන්නව නම් මම බඳවා ගන්නම්" දයාසිරිද වාදයේ පැටලුණේය.

දෙන්නටම කාන්තා ප්‍රශ්නය විසඳගන්න බැරිනම් මම විසඳල දෙන්නම්" එස්. බී. මැදිහත් වීමත් සමඟ කාන්තාවන් පිළිබඳ උණුසුම් කතා බහ අවසන් වූයේ ඇමැතිවරුන් ද සිනහ ගස්වමිනි. "යුද්ධයෙන් අවතැන් වූ ජනතාව පුත්තලමේ ඉන්නවා. ඒ අයට ඡන්දය දෙන්න නීතිමය ප්‍රතිපාදන සලස්වන්න" රිෂාඩ් ප්‍රකාශ කළේය.

"ඒ අයට ඡන්දය දෙන්න නීතිමය වශයෙන් බාධාවක් නැහැ" විජයදාස රාජපක්ෂ පිළිතුරු දුන්නේය. ඒ පිළිතුරත් සමඟ රිසාඩ් විජේදාස අතර උණුසුම් වචන හුවමාරුවක් විය. "ඔයාට මේ ප්‍රශ්න තේරෙන්නෙ නැහැ. යුද්ධයෙන් අනාථ වූ අය ගැන දැනුමක් නැහැ. ඒ ප්‍රශ්න තේරෙන්නෙ අපට" රිෂාඩ් විජයදාසට චෝදනා කළේය.

"ඔයාට මම කියන දේ තෙරෙන්නෙ නැහැ. තේරුම් ගන්න දැනුමකුත් නැහැ" විජයදාස චෝදනා කළේය. "අපි ඒකට කමිටුවක් පත් කරමු" ජනාධිපතිවරයා යෝජනා කිරීමත් සමඟ එම උණුසුම් කතා බහ අවසන් වූයේය. "හොරු නිදැල්ලේ ඉන්නවා. ජනවාරි 8 යහපාලනය මේකද කියල අහනවා" අර්ජුන චෝදනා කළේය."බැසිල්ට විරුද්ධ චෝදනාවන් ඉල්ලා අස්කරගෙන. මෙහෙම වුණාම ආණ්ඩුවට හොඳ නැහැ" රාජිත ද චෝදනා කළේය. "තාක්ෂණික දෝෂයක් නිසා නඩුව ඉල්ලා අස්කර ගත්තා. ඒක නැවත ගොනු කරනවා" විජයදාස රාජපක්ෂ පිළිතුරු දුන්නේය.

"අපි සාකච්ඡා කරල මේ ප්‍රශ්න විස¼දා ගනිමු"ජනාධිපතිවරයා යෝජනා කළේය. පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය ගැනද මෙහිදී චෝදනා නැඟුණේය. විෂය භාර අමාත්‍ය සාගල රත්නායකටද එහිදී චෝදනා කෙරිණි.

 

ටොප් 10න් වලට
විරුද්ධව එජාපය
අල්ලස් කොමිසමට

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරි මණ්ඩලයේ රැස්වීමක් බ්‍රහස්පතින්දා සවස සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. එය ඇරඹීමට පෙර මැති ඇමැතිවරු පිරිසක් අගමැතිවරයා මුණ ගැසුණහ.

"බැසිල් නඩුවෙන් නිදහස් වුණා කියල ආණ්ඩුවේ ඇතුළෙ කට්ටියක් දැඟලුවා. ජනමාධ්‍යයත් ඒක වාර්තා කිරීමේදී හදිස්සි වුණා. කලින් පැනවූ නඩුවේ දෝෂ නිසා ඉවත් කර ගත්තාට නීතිපති යළිත් ඒ නඩුව පැය කිහිපයකින් පැවරුවා. බැසිල් බේරන්න කාටවත් අවශ්‍ය වුණේ නැහැ කියල ඒකෙන් ඔප්පු වෙනවා. රාජපක්ෂ කාලෙ හොරකම් ‍ෙදාළහක විමර්ශන ඉවරයි. එන මාසෙ නඩු දමනවා." ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා කීවේය.

"හොරු අල්ලන්නෙ නැහැ කියලා කැබිනට් එකේදි ඇමැතිවරු ‍ෙදාස් කිව්වලු නේද? වැඩ කරන්න බැරි අයට පුළුවන් කෑගහන එක විතරයි." කවින්ද ජයවර්ධන පැවැසීය.
"ඊ නිවුස් ඇතුළු අපට උදවු කරපු ජනමාධ්‍ය රැක ගැනීම අවශ්‍යයි. අපේ සමහරුන්ට මාධ්‍ය එක්ක ගනුදෙනු කරන්න තේරෙන්නෙ නැත්නම් අගමැතිතුමාගෙන් ඉගෙන ගන්න ඕන." දයා ගමගේ වෙනත් කරුණක් ගැන අවධානය යොමු කළේය.

"අගමැතිතුමා ජනමාධ්‍යයට ගහනව නම් ප්‍රසිද්ධියේ ගහනවා. ඒ නිසා සමහර මාධ්‍ය බැලන්ස් වෙනවත් ඇති. ජනමාධ්‍ය හුරතල් කරල ෂේප් වෙන අයට ඔවුන් දිගටම ගහනවා." වජිර අබේවර්ධන සඳහන් කළේය.

'හම්බන්තොට වරායේ බර ජනතාව පිට පටවන්න බැරි නිසා අපි ඒක චීන සමාගමකට බදු දෙනවා. ඒකෙන් අලුත් රැකියා උපදිනව මිසක් නැති වෙන්නෙ නැහැ. මහින්දලා, ලොහාන් රත්වත්තෙලා චීනෙ ගිහිං මේ වැඩේට සහාය දී තිබෙනවා." මලික් තවත් කරුණක් ගැන අවධානය යොමු කළේය.

"මේ රටේ මුදල් පාරවල්වලට, ඉදිකිරීම්වලට විතරක් යොදවල බැහැ. අධ්‍යාපනයට, වෘත්තීය පුහුණුවට යොදවන්න ඕනෑ. සෞඛ්‍යය වගේ අනාගත ලෝකයට ආයෝජනය කරන්න ඕනෑ." අගමැතිවරයා අවධාරණය කළේය.

"මහින්දානන්ද ටොප් 10 කියල පච චෝදනා ඉදිරිපත් කරනවා. 2004ත්් එහෙම කළා. මේකට විරුද්ධව අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න ඕනෑ." වජිර අබේවර්ධන යෝජනා කළේය. බියගම රජයේ ගොඩනැඟිල්ලක් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පිරිසක් බලහත්කාරයෙන් විවෘත කිරීම පිළිබඳ මෙහිදී අදහස් මතුවිය. "එදා බියගම මගේ ආසනය. වැරැදි විදියට බලහත්කාරකම් කරන්න ආවොත් බලය යොදවල හරි ප්‍රදේශයේ බලය පෙන්වන්න ඕනෑ." අගමැතිවරයා දැඩිව අවධාරණය කළේය.

"ව්‍යවස්ථාව හදන්න මුල් වෙන ජයම්පති වික්‍රමරත්නට මරණ තර්ජන කරන්නෙ ඒකාබද්ධ එකේ ජාතිවාදීන් හා හැම තැනටම පැනලා බුදු දහමටත් නිගා දෙන සිවුරුධාරීන් වෙන්න ඕනෑ." රන්ජන් රාමනායක කීවේය."77 දී ජේ.ආර්. ඇවිත් ගාමිණීට, ප්‍රේමදාසට විශේෂ බලතල දීලා මහවැලිය, ගම්උදාව කළා. රට දියුණු කරන්න ඕන නම් එවැනි දෙයක් කරන්න ඕනෑ. රට ගොඩදාන්න එකම තැනකින් තීන්දු ගැනීම අවශ්‍යයි. ඒකාබද්ධ නඩයට මේවා තේරෙන්නෙ නැහැ." අගමැතිවරයා සඳහන් කළේය.

"තිස්ස අත්තනායක ව්‍යාජ ලේඛන හැදුවා කියන නඩුවෙදි ඔබතුමා උසාවි කැඳෙව්වොත් යනවද?" දයා ගමගේ අගමැතිවරයාගෙන් විමසුවේය. "ඔව්. කැඳෙව්වොත් යනවා. ඒ ලේඛනයේ තියෙන්නෙ මගේ අස්සනක් නොවන බව ඔප්පු කරනවා." අගමැතිවරයා පිළිතුරු දුන්නේය.

"පළාත් පාලන ඡන්දය ලබන වසර මුල තියන්නම ඕනෑ. අලුත් - පරණ කොයි ක්‍රමයටත් එජාපය එකඟයි. සුළු ජාතීන් කොන් කරලා බැසිල් හදපු සීමා නිර්ණය අනුව ඡන්දය තියන්න අපි එකඟ නැහැ. කොට්ඨාස ක්‍රමයට ඉක්මනින් ඡන්දය පවත්වන්න එජාපය උපරිම සහාය දෙනවා." කිරි ඇල්ල ඇමැතිවරයා කීවේය.

බ්‍රහස්පතින්දා පැවැති එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී යෝජනා දෙකක් සම්මත කර ගැනිණි. 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ ජනතාවට ඉදිරිපත් කළ 'පංචවිධ ක්‍රියාවලිය' ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ඒකීය රටක් තුළ උපරිම ලෙස බලය බෙදීම, මනාප ක්‍රමය අහෝසි කර සමානුපාතික හා ඡන්ද කොට්ඨාස ක්‍රමය පදනම් කරගත් මැතිවරණ ක්‍රමයක් පැවැත්වීමද ඊට ඇතුළත්ය.

කෙසේ වෙතත් ව්‍යවස්ථා කටයුතු පිළිබඳ කටයුතු කිරීමේදී ඒ සම්බන්ධව තීරණ ගැනීමේ පූර්ණ බලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට දීමටද කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළේය. "ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමැතිවරු පිරිසක් එක කකුලක් මෛත්‍රිපාල සිරිසේන පැත්තෙත් අනෙක් කකුල මහින්ද රාජපක්ෂ පැත්තෙත් තියාගෙන ඉන්නවා. ඒ සම්බන්ධව ජනාධිපතිතුමා සමඟ කතා කළ යුතුයි." දයා ගමගේ හා එරාන් වික්‍රමරත්න එහිදී සඳහන් කළහ.

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ අය සම්බන්ධව සහන සැලසීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා විය. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරයි. ඒ අනුව එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ජනවාරි 1 වැනිදා වනවිට තමන්ට භාර දෙන ලෙස එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ දැන්වීය.

එමෙන්ම මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතිවල පවතින දුර්වලතා පිළිබඳවද අවධානය යොමු කෙරිණි. ලබන වසරේ මුල් මාස කිහිපය තුළ වෘත්තීය සමිති සියල්ල ප්‍රතිසංවිධානය කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේය. ලබන ජනවාරි 1 වැනිදා සිට රට පුරා පිරිත් සජ්¿ධායනා කිරීමේ යෝජනාවක් ගාමිණී ජයවික්‍රම පෙරේරා ගෙන ආවේය. එය ක්‍රියාත්මක කිරීමටද කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමි විය. එහි සංවිධාන කටයුතු ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධනට භාර කරනු ලැබීය. පක්ෂ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමේ වගකීම අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ට භාර කෙරිණි.

එමෙන්ම ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳ සොයා බලා වාර්තා කිරීමේ වගකීම මංගලට සහ හරින්ට භාර දීමටද කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කළේය. අනාගතයට ගැළපෙන නව ව්‍යවස්ථාවක් පක්ෂයට සකස් කළ යුතු බව මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ යෝජනා කළේය. ඒ අනුව පක්ෂයේ නව ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා වූ කමිටුවක් පත්කර ලබන ජනවාරි 12 වැනිදා පැවැත්වෙන කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම්වලට සහභාගිත්වය දුර්වල අය පිළිබඳ වාර්තාවක් ලබන කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලෙසද එහිදී අගමැතිවරයා දැනුම් දුන්නේය. වසරක කාලය තුළ 60%කට අඩුවෙන් නොපැමිණි අයගේ තනතුරු අහෝසි කළ යුතු බව රනිල් වික්‍රමසිංහගේ අදහස වූයේය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ කවදාදැයි මෙහිදී කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයෙක් අගමැතිවරයාගෙන් විමසීය. අගමැතිවරයා ඊට මෙසේ පිළිතුරු දුන්නේය. 'මම නම් දන්නෙ නැහැ. දෙයියො තමයි දන්නෙ. සමහරක් විට දෙයියොත් දන්නෙ නැතිව ඇති."

 

මහින්ද පැමිණෙන විට
මහින්දානන්ද
ලයිට් නිවයි

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැනුවත් කිරීමේ වැඩමුළුවක් සඳුදා මිරිහාන රසල්ස් රෙසිඩන්ට් හෝටලයේදී පැවැත්විණි. කෙහෙලිය රඹුක්වැල්ල සංවිධානය කළ වැඩමුළුවේ දේශන ආචාර්ය දයාන් ජයතිලක, කුෂාන් ද අල්විස්, කල්‍යාණන්ද තිරාණගම සහ මහාචාර්ය ජී.එල්. පීරිස් යන අය පැවැත්වූහ. හිටපු ජනාධිපති මහින්ද ඊට පැමිණියේ රාත්‍රි 7.30ට පමණය. ඔහු අසුන් ගන්නවාත් සමඟම ශාලාවේ විදුලි පහන් නිවී ගියේය. එය මහින්දානන්ද මන්ත්‍රිවරයා සැලසුම් කොට සිදු කරනු ලැබූවකි.

තත්පර දෙකතුනකින් යළි විදුලිය එන විට එහි ඉදිරිපස මේසය මත දර්ශනීය ලෙස සකස් කළ කේක් ගෙඩියක් තිබෙනු සියල්ලන්ටම පෙනුණි. හෝටලයේ සේවකයෝ දෙදෙනෙක් කළුවරේම එය ගෙනත් තැබූහ.

ඒත් එක්කම සියලු දෙනා එක්ව 'හැපී බර්ත්ඩේ ජොනී' යයි ගායනා කළහ. ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාගේ උපන් දිනය එදින යෙදී තිබීම ඊට හේතු විය. කේක් ගෙඩිය කැපූ ජොනී පළමු කෑල්ල මහින්දට කැව්වේය.

අනතුරුව සියලු දෙනා එක්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනද අදහස් දැක්වන්නට වූහ. 'ආණ්ඩුව හදන්නේ වයින් බෝතලයක දමල රටට වස දෙන්න. මේ සංශෝධනයට අපි විරුද්ධ වෙන්න ඕනෑ' කෙහෙලිය කීවේය.

'බෙදුම්වාදීන්ට හා බටහිරට අවශ්‍ය දේවල් සාකච්ඡා කරන්න කලින් ආණ්ඩුව ජනතාවට දුන්නු විධායකය අහෝසි කිරීම වගේ ව්‍යවස්ථාමය පොරොන්දු ඉටු කරන්න ඕන. ඒත් දැන් මේ අය හැමෝම රවට්ටල දෙමළ ඩයස්පොරාවටයි, බටහිරටයි ඕන දේ විතරක් කරනවා.' මහින්ද රාජපක්ෂ කීවේය. 'ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ යෝජනා, විපක්ෂය ඉදිරිපත් කළ යෝජනා ආණ්ඩුව සැලකිල්ලට ගත්තේ නැහැ.' ව්‍යවස්ථා සම්පාදන කමිටු සාමාජිකයකු වන ප්‍රසන්න රණතුංග සඳහන් කෙළේය.

ඒ වැනි කරුණු සැලකිල්ලට ගත් ඒකාබද්ධ විපක්ෂය රටට එරෙහිව ගෙන එන ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයකට එරෙහි වීමට ඒකමතිකව තීරණය කළහ. වැඩමුළුවෙන් අනතුරුව හිල්ටන් හෝටලයේදී පැවැත්වෙන උපන් දින සාදයට එක්වන ලෙස ජොනී සියලු දෙනාටම ආරාධනා කෙළේය. මහින්ද ඇතුළු බොහෝ දෙනෙක් ඊට සහභාගි වූහ. සාදය පැවැත්වෙන අතරතුර මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ජනපති මහින්දට ඔත්තුවක් දුන්නේය.

'සර් මට ආරංචි විදියට ඒකාබද්ධ විපක්ෂයේ අවුල් කියලා ආණ්ඩුව බොරුවක් පත්තු කරන්න යනවා. මේක ආණ්ඩුවේ ඉහළම තැනක ඊයේ පෙරේදා සාකච්ඡා වෙලා ගත් තීරණයක්.' 'ඔය වගේ දේවල් ඕන තරම් ඉදිරියේදී සිදුවෙන්න පුළුවන්. අපි කලබල වෙන්න ඕන නැහැ.' මහින්ද අවවාද කෙළේය.

අඟහරුවාදා මහින්ද නාරාහේන්පිට අභයාරාමයට ගියේය. සී.බී.ද ඔහු සමඟ සිටියේය. ප්‍රසන්න රණතුංග පැමිණියේ දිනපතා පුවත්පතක්ද රැගෙනය. 'මේ බලන්න සර් විපක්ෂය දෙදරලා කියල ප්‍රවෘත්ති දමනවා. ඉරිදා සර් කොළඹ හිටියෙත් නැහැ. ඒත් සාකච්ඡා කළා කියනවා පට්ටපල් බොරු දමනවා.' ප්‍රසන්න කීවේ තරමක් ආවේගශීලීවය.

'අලුත් පක්ෂය හින්දා ශ්‍රී ලංකා එකට ලොකු ප්‍රශ්නයක් වෙලා. සී.බී. කීවේය. 'මම ගිය සති අන්තයේ කතරගමත් ගියා. කාල්ටන් පෙර පාසලේ උත්සවයකුත් තිබුණා.' මහින්ද පැවැසීය. අභයාරාමයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂය කිසිවකුටත් කැඩිය නොහැකි බව සඳහන් කරමින් මහින්ද පිටත්ව ගියේය.

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ දූෂණ. වංචා හෙළිදරව් කිරීමේ ඒකාබද්ධ විපක්ෂයේ වැඩපිළිවෙළ වේගවත් කොට ඇත. එහි හතරවැනි හෙළිදරව්ව කරමින් විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරලට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රිවරයා විසිනි. ඉන්දික අනුරුද්ධ මන්ත්‍රිවරයා ඇතුළු කිහිප දෙනෙක්ද ඊට සහභාගි වී සිටියහ.

'මේවට තමයි කළකම් පලදෙනවා කියන්නේ' ඉන්දික පැවැසුවේය. එය අපැහැදිලි වූ නිරෝෂන් ඒ මොකක්ද ප්‍රශ්න කෙළේය. 'වෙනදාට ආණ්ඩුවේ අය අපට විරුද්ධව පැමිණිලි කරනවා. දැන් අපිට තමයි ඒක කරන්න වෙලා තියෙන්නෙ'

 

ගුවනේදී කතානායක ඇතුළු පිරිසකට අකරතැබ්බයක්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන්ගේ පියා පසුගියදා අභාවප්‍රාප්ත වූයේය. ඊට සහභාගිවීමට මන්ත්‍රිවරුන් බොහෝ දෙනකුට අවශ්‍ය වුවද බදාදා පාර්ලිමේන්තුවේ වැය ශීර්ෂ දෙකක් විවාදයට ගැනීමට නියමිත නිසා ඊට බාධා ඇතිවිය. මේ ප්‍රශ්නය විසඳීම සඳහා කතානායක කරු ජයසූරිය කටයුතු කළේය. ඒ කාරක සභාවල ප්‍රධානීන් ඇතුළු මැති ඇමැතිවරුන් 20 දෙනකුට පමණ ගුවනින් යෑමට අවස්ථාව ලබා දෙමින්ය. බදාදා උදෑසන හතට පමණ කතානායකවරයා ඇතුළු පිරිස මන්නාරම පේසාලේහි පැවැති මළ ගෙදරට යෑම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටරයකින් පිටත්ව ගියහ. පිරිස රැගත් යානය ගොඩබැසීමට නියමිතව තිබුණේ අවමඟුල් නිවෙස අසල පිහිටි පිට්ටනියකට වුවද ප්‍රමාද දෝෂයක් නිසා එය පේසාලේ ෆාතිමා විද්‍යාල භූමියට ගොඩබැස්සවීමට සිදු විය.

ඒ වනවිට විද්‍යාලය විභාග මධ්‍යස්ථානයක් ලෙස පැවැතිණි. හදිස්සියේ පැමිණෙන ගුවන් යානය සිසු සිසුවියන්ගේ කුතුහලයට හේතු වී විභාගය අතරම ඔවුහු එබිකම් කරන්නට වූහ. සිසු සිසුවියන්ට සිදුවුණු බාධාව සහ ඔවුන්ගේ විභාග අවධානය විනාඩි කිහිපයකට හෝ ගිලිහීම පිළිබඳ බැරෑරුම් ලෙස සැලකිල්ලට ගත් කතානායකවරයා වහාම අධ්‍යාපන ඇමැතිවරයා සහ විභාග කොමසාරිස්වරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගනිමින් දරුවන්ට අවාසියක් සිදු නොවන ලෙස පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටියේය. හෙලිකොප්ටර් යානයද වහාම විද්‍යාල භූමියෙන් ඉවත්කර ගන්නා ලෙස ගුවන් හමුදාවට උපදෙස් දුන්නේය.

 

කබීර්ට හා අනෝමාට සිරිකොතේදී 'හූ'

එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයන්ගේ වැඩසටහනක් අඟහරුවාදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි. එජාප මහලේකම් කබීර් හෂීම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ඊට අනෝමා ගමගේද එක්ව සිටියාය. පළාත් සභා මන්ත්‍රිවරු ආසන සංවිධායකවරු ඇතුළු එජාප ක්‍රියාකාරීහු විශාල පිරිසක් ඊට සහභාගි වී සිටියහ.

පැමිණ සිටි එජාප ක්‍රියාකාරිකයන් බොහෝ දෙනකුගේ විවේචනයට කබීර් මෙන්ම අනෝමාද ලක්විය. පක්ෂයේ ගම් මට්ටමට බලය තිබියදීත් සැලකිල්ලක් නොදක්වන බවට ඔවුහු චෝදනා කළහ. ඔවුහු ඇතැම් විටෙක උස් හ¾ඩින් කතා කරමින් විරෝධතා දැක්වූහ. තවත් විටෙක 'හූ' හඬද නැඟූහ.

 

ජවිපෙ නිසා
කියුබා තානාපතිවරිය ගිය ගමන

කියුබා නායක ෆිදෙල් කස්තේ‍රා් සැමරීමේ උළෙලක් ඉරිදා විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්විණි. එය සංවිධානය කර තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. කියුබාවේ තානාපතිනි එලීනා රමෝෂි එහි ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වූවාය.

ෆිදෙල් කස්තේ‍රා් වෙනුවෙන් ඉදිකළ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් පසුව සමරු උළෙල ආරම්භ විය. සමරු දේශන කිහිපයක් සහ සමරු ගීතයක්ද උළෙලට ඇතුළත් වූයේය. 'ෆිදෙල් කියන නමේ තේරුම අවංකභාවයයි. ඇත්තටම ෆිදෙල් අවංක නිහතමානී නායකයෙක්. කියුබාව කියන්නේ ෆිදෙල්' එහිදී කියුබා තානාපතිවරිය පැවසුවාය.

මෙහි පුෂ්පෝපහාර දක්වන අවස්ථාවේ ඇතමකුගේ නෙතඟට කඳුළු ආවේය. ජවිපෙ තරුණ සංගමය පැමිණියේ මුහුණුවල 'වී ලව් ෆිදෙල්' යනුවෙන් මුහුණුවල සටහන් යොදා ගෙනය. 'ඇත්තටම මට කියුබාවේ විප්ලවීය චතුරස්‍රයට ගියා වගේ හැඟීමක් ඇති වුණා' ජවිපෙ නායකයන්ට සමු දෙමින් තානාපතිවරිය පැවැසුවේ හැඟුම්බරවය.

 

සජිත්ගෙන්
රනිල්ට
පැමිණිල්ලක්

මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස ලක්ෂ 5ක් ඉදි කිරීමේ වැඩසටහනේ හතර වැනි නිවාස ව්‍යාපෘතිය ලෙස හෝමාගම, මාගම්මන 'මවුන්ට් ක්ලිෆර්ඩ් රේන්ජ්' සඳහා සජිත් ප්‍රේමදාස නිවාස අමාත්‍යවරයා මුල්ගල් තැබීම පසුගිය බදාදාට යෙදී තිබිණි. උදෑසනින් ඒ සඳහා යමින් සිටි සජිත් දුරකතන ඇමැතුමක් ගත්තේය. ඒ අගමැති රනිල් වික්‍රමසිංහටය.
'සර් අද අපේ හතර වැනි නිවාස ව්‍යාපෘතිය පටන් ගන්නවා. මම මේ හෝමාගම කටුවානට යන ගමන්.' සජිත් සැල කෙළේය. 'බොහොම හොඳයි සජිත්. මේක තව තවත් ශීඝ්‍රගාමීව කරන්න ඕන. වැඩේ හොඳට කරගෙන යන්න.' අගමැතිවරයා පැවැසීය. සජිත් ඊට මෙසේ පිළිතුරු දුන්නේ මැසිවිල්ලක් ද සමඟින්ය.

'ඔබතුමාගේ නිර්මාණශීලී සංකල්පය ක්‍රියාත්මක කරන්න අපේ අමාත්‍යංශයත්, ඒ යටතේ තියෙන සියලු ආයතනත් කැපවීමෙන් කටයුතු කරනවා. ඒත් ඉඩම් නිදහස් කර ගැනීම ඇතුළු අනෙකුත් කටයුතු සම්බන්ධව විවිධ ආයතනවලින් ලැබෙන සහාය නම් ප්‍රමාණවත් නැහැ.'

එක්සත් ජාතික පක්ෂයේම පත්කළ මන්ත්‍රි මහාචාර්ය අශ්වින් මාරසිංහ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයකු ලෙස අගමැතිවරයා විසින් පත් කරනු ලැබ සිටියි. ඒ අනුව ඔහු තමන්ට පාර්ලිමේන්තුවේ කාර්යාල කාමරයක් ඉල්ලා සිටියි.

අඟහරුවාදා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කාර්යාලයේදී ඒ පිළිබඳ සාකච්ඡාවක් ද පැවැත්විණි. එහෙත් එවැනි කාර්යාල ඉඩක් ලබා දිය නොහැකි බව ආණ්ඩු පක්ෂ කාර්යාලයෙන් ඔහුට දැන්වීය. නවක මන්ත්‍රිවරයකු ලෙස පැමිණ එවැනි කාර්යාල ඉල්ලීම එජාප මැති ඇමැතිවරුන්ගේ දෝෂදර්ශනයට ලක් වූහ.

 

මුස්ලිම් ඇමැතිවරුන්ගෙන්
ජනපතිට ලිපියක්

ඉස්ලාම් ජනතාවට බෞද්ධ අන්තවාදීන්ගෙන් අසාධාරණයක් වන බව කියමින් ආණ්ඩුව හා විපක්ෂය නියෝජනය කරන මුස්ලිම් දේශපාලකයෝ පිරිසක් පසුගියදා ජනපතිට ලිපියක් යොමු කළහ. ඉස්ලාම් පල්ලිවලට ආරක්ෂාව ලබාදෙන ලෙසත් තම ලිපිය මඟින් ඉල්ලා තිබිණි.

එමෙන්ම අන්තවාදය ක්‍රියාත්මක කරන හාමුදුරුවරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් එමඟින් ඉල්ලා තිබිණි.මීට අමතරව කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බද්යුදීන් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයට ද ලිපියක් යොමු කළේය. සියලුම ඉස්ලාම් පල්ලිවලට රජයේ වියදමෙන් සීසීටීවී කැමරා සවි කිරීමට පියවර ගන්නා ලෙස එමඟින් ඉල්ලා තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්