ආගමික ප්‍රශ්න විසඳීමට ලේකම් මණ්ඩලයක් පත් කරනවා

  👤  3583 readers have read this article !
2016-12-09

ආගමික ප්‍රශ්න විසඳීමට ලේකම් මණ්ඩලයක් පත් කරනවා

ආගමික කටයුතු නිසා ඇති වන ප්‍රශ්න විසඳීමට වෙනම ලේකම් මණ්ඩලයක් පත් කරන බව අධිකරණ සහ බෞද්ධ ශාසනික කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා මැති සබේදී පැවැසීය.

පසුගිය අඟහරුවාදා මේ සදහා විශේෂ ලේකම් මණ්ඩලයක් පත් කිරීමට තීරණය කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, ආගම් හතරේ ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමකදී බව රාජපක්ෂ ඇමැතිවරයා සඳහන් කළේය. ඇමැතිවරයා මෙලෙස සඳහන් කළේ ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රි එස්. යෝගේශ්වරන් මහතා නැඟෙනහිර පළාතේ මංගලාරාමයේ විහාරාධිපති සඳහන් කළ ප්‍රකාශයක් පිළිබඳවය. මංගලාරාමයේ විහාරාධිපති නිර්මාණය කරන ගැටලු හේතුවෙන් එම විහාරයේ විහාරාධිපති වෙනත් පෙදෙසකට, යැවිය යුතු බවය.

මෙය ඉතාම සංවේදී කාරණයක් බවත් කඩිනමින් එය විසඳිය යුතු බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

 

සහල් මිල ඉහළ නොයන බවට රජයට දිය හැකි
සහතිකය කුමක්ද?

වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇති නොවන බවට සහ සහල් මිල ඉහළ නොයන බවට රජයට දිය හැකි සහතිකය කුමක්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක ඊයේ (8දා) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් විමසා සිටියේය. ළඟ එන උත්සව සමය ආරම්භ වීමත් සමඟ වෙළෙඳපොළේ සහල් මිල ඉහළ යෑමේ ප්‍රවණතාවක් දක්නට තිබෙන බවත් රජය සතු වී තොග වෙළෙඳපොළට මුදාහැරීමේ ක්‍රමවේදය විමසා බැලීමේදී ආණ්ඩුවට මෙම තත්ත්වය පිළිබඳ තක්සේරුවක් නොමැති බවත් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

වී තොග කිලෝග්‍රෑම් එකක් රුපියල් හතළිස් හත බැගින් විකුණා දැමීමට වී අලෙවි මණ්ඩලය පියවර ගෙන ඇති බව වාර්තා වන බවත් මේ සඳහා විවෘත ඩෙන්ඩර් කැඳවීමක් කර නොමැති බවත් සඳහන් කළ මන්ත්‍රිවරයා මෙය ඉදිරි කාලයේදී වෙළෙඳපොළේ සහල් ඒකාධිකාරයක් ඇතිවීමේ සහ සහල් මිල විශාල වශයෙන් ඉහළ යෑමේ තත්ත්වයක් ඇති කෙරෙන බවත් පැවැසීය.

වී අලෙවි මණ්ඩලය සතු වී තොග සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ලවා සාධාරණ මිලකට සහල් බවට පත්කර අඩු මුදලකට වෙළෙඳපොළට මුදා හැරීමට කටයුතු කළ හැකි බවද හෙතෙම අවධාරණය කළේය. ඒ මඟින් වී අලෙවි මණ්ඩලයට වැඩි ලාභයක් මෙන්ම පාරිභෝගිකයාට සාධාරණ මිලකට සහල් ලබා ගැනීමටත් අවස්ථාව සැලෙසන බවද මන්ත්‍රි අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේය. එවැනි වැඩපිළිවෙළකට නොගොස් වී තොගවලින් නිදහස් වීමට කටයුතු කළහොත් වෙළෙඳපොළේ ඉහළ යන සහල් මිල සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු මැදිහත්වීමක් කළ නොහැකි වන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රකාශයක් කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක එසේ පැවැසීය.

 

බෞද්ධ ජනතාව ප්‍රකෝප නොකිරීම උතුරේ මහ ඇමැතිගේ යුතුකමක්

සිංහල බෞද්ධ ජනතාව ප්‍රකෝප නොකිරීමට උතුරේ මහ ඇමැතිතුමාට යුතුකමක් තිබෙනවා යැයි අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පැවැසීය.අපි රටක් දියුණු කරන්න කොයිතරම් වැඩ කළත් රටේ සාමය සහජීවනය නොමැතිනම් පලක් වන්නේ නැහැ. අපේ රට අඩියක් ඉස්සරහට ගන්නකොට අඩියක් දෙකක් පිටුපස්සට ගන්නවා. පසුගිය රජය කාලයේ ඇතිවූ සිද්ධීන් නිසා ආගමික සහජීවනය නැතිවී ගියා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට යෑමේදී සමහර දේශපාලන කණ්ඩායම් ප්‍රකාශ කරනවා මේ ව්‍යවස්ථාවෙන් බෞද්ධයන්ට තියෙන උරුමය නැති කරන්න යනවා කියා. සමහර දේශපාලනඥයන් මේ රටේ ජාතික සමඟිය නැති කරන්න ආගමික සහජීවනය නැති කරන්න උත්සාහ කරනවා. මේ තත්ත්වය උතුරේත් තියෙනවා. මේ අයට ජාතිවාදය තමයි ඔක්සිජන්. කොතැනක හරි අපට වැරැදිලා තියෙනවා. අපි අතීතයට සාපකරමින් තව තවත් අඳුරට යෑම සුදුසු නෑ.

බි්‍රතාන්‍ය ජාතිකයන් අපිට දාපු උගුලෙන් ගොඩ එන්න බැරිවීම තමයි මේ සිදුවෙලා තිබෙන්නේ. තිස් අවුරුදු යුද්ධයක් ඇතිවීමටත් මේක තමයි හේතුවුණේ.

 

බොදුබල සේනාවේ
තර්ජන රජයටත්
ලොකු තර්ජනයක්

"බොදුබල සේනාව සිදුකරන තර්ජනය රජයටත්, රාජ්‍යයටත් ලොකු තර්ජනයක්" බව ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය ඇමැති ඒ. එච්. එම්. ෆවුසි පාර්ලිමේන්තුවේදී පැවැසීය.

සුළු ජාතීන්ට මේ රට අයිති නැහැ කියනවා. ඒ අය කොහේ යන්නද? සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ යන ජනතාව අතීතයේ පටන් මේ රටේ ජීවත්වුණු ජනතාවක්. අපගේ ආගමට කරන හිරිහැර නැවැත්විය යුතුයි. ආරක්ෂක හමුදා විසින් අපේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඕනෑ. වැරැදි කරන අයට දඬුවම් පමුණුවන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කර තිබෙනවා.

 

රටට විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගය බවට සංචාරක ව්‍යාපාරය පත්කිරීම අරමුණයි

සංචාරක ක්‍ෂේත්‍රය රටට විදේශ විනිමය උපයාදෙන පළමුවැනි කර්මාන්තය බවට පත්කර ගැනීමේ සිහිනය සැබෑවනු ඇතැයි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු සහ ඉඩම් ඇමැති ජෝන් අමරතුංග පැවැසීය.

සංචාරක කලාපයක් වශයෙන් ශ්‍රී ලංකාවේ අද ජාත්‍යන්තරයත් ප්‍රචලිතයි. අපේ රට ත්‍යාගශීලී රටක් ලෙසද ඇගයීමකව ලක්වී තිබෙනවා. සංචාරකයන්ගේ පැමිණීම සියයට 15කින් වැඩි වෙලා. මේ වසර තුළ සංචාරකයන් මිලියන 1.2ක් අපේ රටට පැමිණෙතැයි ඇස්තමේන්තු කර තිබෙනවා. 2020 වන විට සංචාරකයන් මිලියන 4.5ක් පමණ පැමිණෙනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. හෝටල් කාමර සංඛ්‍යාව වැඩිකරනවා. දකුණු පළාතට යෑමට නැව් සේවයක් අරඹනවා. රුපියල් බිලියන අටකට ආසන්න ආදායමක් සංචාරකයන් නිසා මේ වසරේ ලබාගෙන තිබෙනවා.

සංචාරකයන් වෙනුවෙන් ජාත්‍යන්තර පහසුකම් අපි ඇති කරනවා. උතුරේ පලාලි, හිඟුරක්ගොඩ, කොග්ගල, මඩකළපුව ආදී අභ්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධනය කරනවා.

 

හෝටලයකුයි කාමරයකුයි හදලා සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න බෑ

"හෝටලයකුයි, කාමරයකුයි හදලා සංචාරක කර්මාන්තය දියුණු කළ නොහැකි යැයි" කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ (එජනිස) පැවැසීය. සංචාරකයන් විවිධ අරමුණු ඇතිව අපේ රටට පැමිණෙනවා. කොළඹට එන සංචාරකයකුට සතියක් ඇතුළත මුළු ලංකාවම බලන්න පුළුවන්. කිසිවක් නැති මාලදිවයින ඔවුන්ගේ මුහුද විකුණල සල්ලි හම්බ කරනවා.

හම්බන්තොට ගුවන්තොටුපොළ වී ගබඩාවක් කරනව කිව්වම මට ලොකු වේදනාවක් ඇති වුණා. සංචාරක ව්‍යාපාරයේ මහා පරිමාණ හා කුඩා ප්‍රමාණයේ යන අංශ දෙකටම නැඟිටින්න පුළුවන් විය යුතුයි. බලපත්‍ර ගාණ වැඩි නිසා ලංකාව පුරාම තිබෙන කාමර හතර පහේ කුඩා හෝටල් පවත්වාගෙන යන්න බැහැ. ඒ බලපත්‍රයට හිල්ටන් එකේ ගාණම ගන්නවා. සංචාරක ව්‍යාපාරයෙන් වක්‍ර ආදායම් ලබන අය රැක ගන්න බැහැ. යුද්ධය පවතින කාලෙ දේශීය සංචාරක ව්‍යාපාරිකයන් මේ කර්මාන්තය ආරක්ෂා කර ගත්තා. විදේශ ආයෝජකයන් ගැන බලනවා වගේ ඒ දේශීය ව්‍යාපාරිකයන්ට යම් දිරිගැන්වීමක් ලබාදිය යුතුයි. සංචාරකයන් වසරේ මාස ‍ෙදාළහටම ගෙන්වා ගන්න බලන්න ඕනෑ. මාලදිවයිනට සියයට 60ක් සංචාරකයෝ එනවා. ඔවුන් කාමරයකට ඩොලර් 400 - 500 ගෙවනවා. නමුත් අපේ රටේ ඩොලර් 100-150ට වැඩිය ගන්නෙ නැහැ. ඔවුන්ට මෙහි එන්න අතිරේක ක්‍රියාමාර්ග නැහැ. ඒවා ඇති කරන්න යන විට වෙනත් අමාත්‍යාංශයකින් බාධා කරනවා.

දකුණේ සෆාරි උද්‍යානය, උද්භිද උද්‍යානය යන දෙකම චීනයට දෙන ඉඩම්වලට අයිති වෙනවා. හෝටල් පාසලට ඇතුළු කරන සිසුන් ගණන වැඩි කළ යුතුයි.

 

'දිවි නැඟුම' සංශෝධන පනත පාර්ලිමේන්තුව හමුවට

"දිවි නැඟුම" පනත "සමෘද්ධි" පනත යනුවෙන් සංශෝධනය කිරීමට යයි.

"දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුව" "සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යනුවෙන්ද" "දිවි නැඟුම" "සමෘද්ධි" යනුවෙන්ද සංශෝධනය කෙරෙන "දිවි නැඟුම" (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (8දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

නව සංශෝධන යටතේ "දිවි නැඟුම ජාතික සභාව", "සමෘද්ධි ජාතික සභාව" යනුවෙන්ද, "දිවි නැඟුම ප්‍රජා මූල සංවිධාන" "සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන" යනුවෙන්ද "දිවි නැඟුම ප්‍රාදේශීය සංවිධාන" "සමෘද්ධි ප්‍රාදේශීය සංවිධාන" යනුවෙන්ද, "දිවි නැඟුම දිස්ත්‍රික් කමිටු", "සමෘද්ධි දිස්ත්‍රික් කමිටු" යනුවෙන්ද, "දිවි නැඟුම ජාතික සම්මේලනය", සමෘද්ධි ජාතික සම්මේලනය" යනුවෙන්ද, "දිවි නැඟුම ප්‍රජාමූල බැංකු", "සමෘද්ධි පූජා මූල බැංකු" යනුවෙන්ද, "දිවි නැඟුම ප්‍රජාමූල බැංකු සමිති", "සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති", යනුවෙන්ද, "දිවි නැඟුම ප්‍රජාමූල බැංකු සහ "දිවි නැඟුම ප්‍රජාමූල බැංකු සමිති කළමනාකරණ මණ්ඩලය", "සමෘද්ධි ප්‍රජාමූල බැංකු සහ "සමෘද්ධි ප්‍රජාමූල බැංකු සහ සමිති කළමනාකරණ මණ්ඩලය", යනුවෙන්ද, "දිවි නැඟුම ප්‍රජාමූල බැංකු මහා සංගමය", "සමෘද්ධි ප්‍රජාමූල බැංකු මහා සංගමය" යනුවෙන්ද, "දිවි නැඟුම සංවර්ධන අරමුදල, "සමෘද්ධි සංවර්ධන අරමුදල" යනුවෙන්ද, "දිවි නැඟුම චක්‍රීය අරමුදල", "සමෘද්ධි චක්‍රීය අරමුදල" යනුවෙන්ද, "දිවි නැඟුම ප්‍රතිලාභියා", "සමෘද්ධි ප්‍රතිලාභියා" යනුවෙන්ද, "දිවි නැඟුම" යන වචනය, "සමෘද්ධි" යනුවෙන්ද සංශෝධනය කෙරේ.

ඒ සඳහා වන පනත් කෙටුම්පත, සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන ඇමැතිවරයා විසින් ගැසට් මඟින් ප්‍රකාශ කර ඇත.

 

පන්සල් හදන්න බෑ කියලා නීති හදන්න උතුරේ මහ ඇමැතිට බලයක් නෑ

'පන්සල් හදන්න බැහැ' කියල උතුරු පළාතේ නීති හදන්න මහ ඇමැතිවරයාට බලයක් නැහැයි' ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පැවැසීය. බස්නාහිර පළාතේ මහ ඇමැතිවරයා කෝවිල් හදන්න ඉඩ නොදුන්නොත් මොකද වෙන්නේ? නාගදීපයට දෙමළ භාෂාවෙන් නයිනතිව් කියා කිව්වා. ගැටුම් ඇතිවුණේ නැහැ. නාගදීපය ලෙස නම් කරලා තිබුණු එක නාගදීපම් කළා. එහෙම කෙළේ ඇයි? නාගදීපය නාගදීපම් කරලා නැති ප්‍රශ්න ඇති කරන්න හදන්නේ ඇයි?

අපේ රටේ ආගමික සහජීවනය සහ ජාතික සංහිඳියාව බිඳ දැමීමට ජාත්‍යන්තර සංවිධානයක් කටයුතු කරනවා. අපේ රටේ ඇත්ත ප්‍රශ්න වන සෞඛ්‍ය, රැකියා ආදී ප්‍රශ්න ඔවුන් යටගහනවා. නැති ප්‍රශ්න ඇති කරන මෙවැනි සංවිධාන පිටුපස දේශපාලන අරමුණු තිබෙනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්