පාර්ලිමේන්තුව සූර්ය බලයෙන් ලබන මස පණ ගන්වනවා

  👤  5873 readers have read this article !
2016-12-08

පාර්ලිමේන්තුව සූර්ය බලයෙන්
ලබන මස පණ ගන්වනවා

පාර්ලිමේන්තුව සූර්ය බලශක්තියෙන් පණ ගැන්වීමේ ව්‍යාපෘතිය ඊළඟ මාස කිහිපයේදී ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පැවැසීය.
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සම්පූර්ණයෙන්ම බද්දෙන් තොරයි. 100% විදුලිය ලබාදීම සනාථ කරනවා. මේ වසර තුළ නිවාස 23,400කට විදුලිය දුන්නා. අහිංසක මිනිසුන්ට අයැදුම්පත්‍රය පිරවීමෙන් පමණක් සතයක්වත් අය නොකර විදුලිය දුන්නා. ගෙදරත් වයරින් කර දුන්නා.

සාම්පූර් ප්‍රමාද කළේ අප බලයට එන්න කලින්. අප බලයට පත් වූ පසු සාම්පූර් ආරම්භ කළා. ටෙන්ඩර් කැඳවන්නට තිබුණත් ගල් අඟුරු බලාගාර ඉදි නොකරන බවට රජය ගනු ලැබූ තීරණය අනුව සාම්පූර් නතර කළා.

 

සාම්පූර් නවත්තලා කොහොමද විදුලිය දෙන්නේ

"විදුලිබල ඇමැතිවරයා ශ්‍රී ලංකා නිසා ඇතුළෙත් ගේමක් යනවා" යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන (එජනිස) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඔබලා සාම්පූර් විදුලි බලාගාරය හැදීම නැවැත්තුවා. ඉතින් කොහොමද රටට විදුලිය ලබා දෙන්නේ.

අද තීන්දු තීරණ ගන්නේ ඇමැතිතුමා නෙවෙයි. අගමැති ප්‍රධාන කමිටුව තමයි තීන්දු තීරණ ගන්නේ.

ඇමැති රංජිත් සියඹලාපිටිය - සාම්පූර් නැවැත්තුවේ පාරිසරික ප්‍රශ්න නිසා.

රෝහිත අබේගුණවර්ධන - පරිසර ප්‍රශ්න නොරොච්චෝලෙටත් තිබුණානේ. සමහර අවස්ථාවලදී පරිසර ප්‍රශ්න ඇති කර ගන්නවා.

 

 

එල්.ටී.එල්. හෝල්ඩින් සමාගම විදුලිබල මණ්ඩලයේ සම්පත් අයිති කරගෙන

එල්.ටී.එල්. හෝල්ඩින් සමාගම මවු මරා උපන් කුමාරයාගේ පැටවා වගේ විදුලිබල මණ්ඩලය සතු ඉඩම්, සම්පත් ලංකාව පුරා අයිති කරගත්තා" යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පැවැසීය.

මේ ආයතනය දැන් පෞද්ගලික ව්‍යාපාරයක් හැටියට දියුණු වෙලා. මේක ලාභාංශවලින් නිදහස් කළොත් මේ පාර්ලිමේන්තුවට තිබෙන බලයත් නැතිව යනවා.

මේ සමාගම විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවරුන් බිළී බාගත්තා. විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමාටත් විශ්‍රාම ගියාට පස්සෙ ඒ සමාගමට යන්න පුළුවන්.

විදුලිබල මණ්ඩලය සතු සියයට 63ක අයිතිය මුදාහැරීම නොවේ කළ යුත්තේ. අපි කෝප් කමිටුව මඟින් මේ අයිතිය ආරක්ෂා කරන්නයි කටයුතු කළේ.
ආර්ථික කමිටුව ඉන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. නමුත් ඒ කමිටුව ඉන්නේ ආණ්ඩුව පැත්තෙ නෙවි.

ලක්ෂ්මන් කිරිඇල්ල-රජයේ ප්‍රතිපත්ති හදන්නේ කෝප් කමිටුව නොවේ. කෝප් කමිටුවට බැහැ රට පාලනය කරන්න. වගකීම් බෙදාගෙන තියෙන්නේ.

සුනිල් හඳුන්නෙත්ති-ආර්ථික මෙහෙයුම් කමිටුවට පුළුවන්ද මේව ඩෝසර් කරන්න. ආර්ථික මෙහෙයුම් කමිටුව ඉන්නෙ පාර්ලිමේන්තුව පැත්තෙ නෙවි.

ලක්ෂ්මන් කිරිඇල්ල-කෝප් කමිටුවට බැහැ රට පාලනය කරන්න.
සුනිල් හඳුන්නෙත්ති-මේ ආයතනය කෝප් කමිටුව හමුවට ගෙන්වීම, විගණකාධිපතිට වගකීම නවත්වන්නයි මේ නිදහස් කරන්න හදන්නේ. ඒකට ඉඩ දෙන්න එපා.

 

 

හමුදා බුද්ධි අංශ තුළ වැඩි දෙනකු සිටින විට වෙනත් ව්‍යාපාර ඔවුන් පටන් ගන්නවා

හමුදා බුද්ධි අංශ තුළ ඕනෑවට වඩා වැඩි පිරිසක් සිටීමේදී ඔවුන් වෙනත් ව්‍යාපාර ගෙනයන බව අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (7දා) පැවැසීය.

අපි ආබාධිත දේශපාලනඥයන් ගැන කතා කරන්න යන්නෙ නැහැ. නවීන යුද උපකරණ ගේන්න අපි පළමුවරට කැබිනට් අනුමැතිය ලබාගත්ත. නවීන තාක්ෂණයෙන් යුතු ගුවන් යානා ගුවන් හමුදාවට ගේනවා. එදා ආරක්ෂක හමුදාවලට තිබුණේ යුක්රේන්වලින් ගෙනාපු යකඩ පතුරු.

අපේ යුද හමුදාව අද එක්සත් ජාතීන්ගේ හමුදාවලට සම්බන්ධව කටයුතු කරනවා. එදා කළේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට කට්ටියක් උද්ඝෝෂණය කරපු එක.
එදා එල්ටීටීඊ එක සමඟ සටන් කිරීමටයි අපේ හමුදාව යාපනයට ගියේ. යාපනයේ තරුණයන් දෙදෙනකුට වෙඩි ප්‍රහාර එල්ල වීම ගැන අපි කනගාටු වුණා. එතැන කැරැල්ලක් ඇති වුණේ නැහැ. ඔය තත්ත්වය දකුණේ ඇති වුණා නම් තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා.

යාපනයේ අපේ හමුදා අද පාලනය කරන්නේ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා. පසුගිය ආණ්ඩුවෙන් ඔහුව රටින් පිටමං කළා.

අද බුද්ධි අංශයට දක්ෂ නිලධාරීන් අවශ්‍යයි. වරින්වර එහි ප්‍රධානීන් වෙනස් කරන්න ඕනෑ. බුද්ධි අංශය තුළ ඕනෑවට වඩා වැඩි පිරිසක් හිටියම ඔවුන් වෙනත් ව්‍යාපාර ගෙන යනවා. බුද්ධි අංශ ප්‍රධානියා ලෙස පිටින් ආරක්ෂක අංශයේ ප්‍රබලයකු යෙදවීම ගැන හමුදාපතිවරයාට ස්තුතිවන්ත වෙනවා.

වයසට ගිය සොල්දාදුවන්ගේ හමුදාවක් තියාගන්න අපට බැහැ. අලුත් නිලධාරීන් අවශ්‍යයි.

ජනතාවත්, ත්‍රස්තවාදයත් එකට තිබුණොත් වෙන්නෙ ත්‍රස්තවාදය ශක්තිමත් වීම. ඒ නිසා ඒ දෙක වෙන් කරන්න ඕනෑ. සමහරු වතුර හඳුනන්නෙත් නෑ. මාළු හඳුනන්නෙත් නෑ.

මෙතන ඇවිල්ල කෑගහන්නේ මම කියපු දේවල්වලට පිළිතුරු දෙන්න බැරිව. දැන් මං කියපුවට පිළිතුරු දෙන්න.

 

 

බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කර
නොදන්නා අයකු පත්කරලා

බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් කර නොදන්නා අයෙක් පත්කර ඒ අංශය විනාශයට පත් කරමින් සිටින බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි විමල් වීරවංශ (එජනිස) පැවැසීය.
ආරක්ෂක උපාය මාර්ග කිසිවකින් තොරව උතුරේ හමුදා කඳවුරු එකිනෙක ඉවත් කරනවා. ආරක්ෂක දෘෂ්ටි කෝණයකින් බලා මේවා ඉවත් කළ යුතු වුවත් වෙන වෙන අය සතුටු කිරීම සඳහා නැත්නම් ඇති කරගත් පොරොන්දු ඉටු කිරීම සඳහා එහෙම කරනවා.

බුද්ධි අංශයේ ප්‍රධානියා ඉවත් කර ඒ ගැන නොදන්නා අයෙක් පත් කර ඒ අංශය විනාශයට පත් කරමින් සිටිනවා. ජිනීවා න්‍යාය පත්‍රයට අනුව හමුදාවේ උසස් නිලධාරීන් විශ්‍රාම ගැන්වීමට කටයුතු කර තිබෙන්නෙ.

එට්කා ගිවිසුම අස්සන් කළොත් මේ රට ඉන්දියානු කොලනියක් බවට පත්වීම වළක්වන්න බැහැ. ඊට අමතරව මේ රටේ ශ්‍රමය අඩු මිලට බස්සනවා. තමුන්වහන්සේලා මේක අස්සන් කළොත් ජනතාව තමුන්නාන්සේලාට ශාප කරාවි.

තමුන්නාන්සේලාගේ ආර්ථික ප්‍රතිපත්තියෙන් රටට සිදුවන හානිය ගැන හිතන්න. තමුන්නාන්සේලාට ඡන්දය දුන්නේ ඉන්දියානුවන්ද? පිටරැටියන්ද? නැහැ. මේ රටේ අහිංසක මිනිස්සු. මේ ගිවිසුම නිසා අහිංසක මිනිසුන්ගේ දරුවන්ට තිබෙන රැකියා ටික අහිමි වෙනවා.

අද තමුන්නාන්සේලා ඊනියා කළු දශකයක් මවා මිනිසුන් රවටා බලය ගත්තා. මේ කළු අවුරුදු දෙකම ඔවුන්ට ඒ බව තේරිලා තිබෙනවා. වරාය ඇමැතිට නොදන්වා වරායේ ජැටි විකුණනවා නම් වරාය ඇමැති කෙනෙක් මොකටද?

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්