කඳුළු ගෑස් ගහනවා වගේ කටයුතුවලට මගෙන් අවසර ගන්න ඕනෑ නෑ

  👤  3820 readers have read this article !
2016-12-06

කඳුළු ගෑස් ගහනවා වගේ කටයුතුවලට
මගෙන් අවසර ගන්න ඕනෑ නෑ

"පොලිසිය ගන්නා පියවර සම්බන්ධයෙන් හැම වෙලාවේම මගෙන් අවසර ගන්න අවශ්‍යතාවක් නැහැ; ආරක්‍ෂක පියවර ගන්නා හැම අවස්ථාවකදීම, කඳුළු ගෑස් ගහනවා වාගේ කටයුතුවලට මගේ අවසරය ගන්න ඕනෑ නැහැ" යි කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවැසීය.

"පසුගිය සිකුරාදා සිදුවූ සිද්ධිය ගැන මා කනගාටු වෙනවා. නමුත් අපි ඉදිරියේදී කොහොමද වෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන් කතා කරනවා. උසාවි තීන්දුව කැඩුවා කියන හේතුව තමයි කියන්නේ. මට නියෝජ්‍ය පොලිස්පතිතුමා කිව්වා හතරපස් දෙනකුට එන්න ඕනෑ නම් අවසර ලබා දෙන්නම්" කියලා බන්දුල ගුණවර්ධන මැතිතුමාට කිව්වාය කියලා; පාර්ලිමේන්තුව වට කරන්න යනවාය" කියලා ඊට ඉස්සෙල්ල දවසේ පුවත්පත් වාර්තාවක් තිබුණාය කියල තමයි ඒ අය කිව්වේ. ආරක්‍ෂාව ලබාදීම පොලිසියේ යුතුකමක්. ඒ නිසා තමයි පොලිසිය ඒ කටයුත්ත කළේ. ඒ අනුව හතර පස් දෙනකුට එන්න බැරි නිසා ඒ අය ඊට පස්සේ ගියේ නැහැ. ඔබතුමා වාහනයෙන් බැස්සුවා කියලත් කිව්වා. ඒක තමයි මට පොලිසියෙන් ලැබුණු වාර්තාව."

සභානායක- ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ මූලාසනයේ ඉන්න වෙලාවේ පාර්ලිමේන්තුව වටලනවා කියලා රූපවාහිනියෙන් මේ අය ප්‍රකාශ කරලා තිබෙන බව ඔබතුමාට දැනුම් දුන්නා.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිතුමා කිව්වා "අපව හමුවෙන්න පිරිසක් එළියේ හිටියා, ඒ කට්ටිය හමුවෙන්න ගියා"ය කියලා.

වාසුදේව නානායක්කාර -
ගුරු කතානායකතුමනි; මා මතු කරන්න යන ප්‍රශ්නය ඔබතුමාගේ බලයත්, පාර්ලිමේන්තුවේ බලයත් පිළිබඳ ප්‍රශ්නයක්. ඒ දවසේ මම පාර්ලිමේන්තුවට එනකොට, පාර්ලිමේන්තුවට එන ප්‍රධාන මාර්ගය බැරියර් දාලා වහලා තිබුණා. මම ඇහුවා "මට යන්න බැරිද? කියලා" බැහැ. පාර්ලිමේන්තුවට එන ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම බැරියර්ස්වලින් ලොක් කරලා තිබෙන්නේ කියලා කිව්වා. ඔබතුමාගේ අනුදැනුම ඇතුවද, ඒ විදියට මේ පාර්ලිමේන්තුවට එන මාර්ගය මාර්ග බාධකයකින් ලොක් කර දැම්මේ කියලා මා දැනගන්න කැමැතියි.

කතානායක -
ගුරු මන්ත්‍රිතුමා මගේ බලය මම අනිසි ලෙස පාවිච්චි කරන්නේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදීව තමයි පාවිච්චි කරන්නේ. මම උපදෙස් දුන්නේ මන්ත්‍රිවරුන්ට පැමිණීමට අවසර ලබාදෙන ලෙසයි. නමුත් ඉන් පසුව ගුවන්විදුලියෙන් කළ තර්ජනය නිසා පොලිසිය ආරක්‍ෂක පියවරක් වශයෙන් ඒ ක්‍රියාමාර්ගය ගන්න ඇති. ඒක වෙන්න පුළුවන්. ඒක මම දන්නේ නැහැ.

වාසුදේව නානායක්කාර - පාර්ලිමේන්තුවට එන මාර්ගය යම්කිසි ආරක්‍ෂක හේතුවක් නිසා හෝ වසා දමන වේලාවක ඔබතුමාගේ අනුමැතියක් ඇතිව නේද, පාර්ලිමේන්තුවේ අණක් ඇතිව නේද ඒක වෙන්න ඕනෑ කියන එකයි මම අහන්නේ.

කතානායක - පාර්ලිමේන්තුව වටලනවා කියලා තර්ජනයක් තිබෙනවා නම් එවන් අවස්ථාවල පොලිසියට අභිමතය අනුව ක්‍රියා කිරීමේ අයිතිය තිබෙනවා. හැමදේටම මට මැදිහත් වෙන්නට බැහැ. ආරක්‍ෂාව ලබාදීම පොලිසියේ යුතුකමක්.

වාසුදේව නානායක්කාර - ඒක නෙවෙයි මම ඇහුවේ. පාර්ලිමේන්තුවට එන පාර වහන්න කිව්වේ කවුද කියලා?.

කතානායක - පාර වැසීම සම්බන්ධයෙන් පොලිසියේ ස්ථාවරය වුණේ උසාවි නියෝගය කඩකරමින් පාර්ලිමේන්තුවට ඇතුළු වෙන්න හදපු නිසා.
වාසුදේව නානායක්කාර - පොලිසියේ බලය කුමක්ද? ඔබතුමාගේ බලය කුමක්ද?

කතානායක - මගේ බලය පාර්ලිමේන්තුව තුළ.

වාසුදේව නානායක්කාර

පොලිසිය යම් දවසක මේ මුළු පාර්ලිමේන්තුවම වට කරලා පාර්ලිමේන්තුව අත්අඩංගුවට ගත්තොත්.
කතානායක - ඒක පොලිසියෙන් අහන්න. පොලිසිය වට කළොත් ඒකට අපි පියවර ගන්නම්. ඒකට පියවර ගන්නම්. මන්ත්‍රිතුමා වාඩි වෙන්න.
වාසුදේව නානායක්කාර - ඔබතුමා මැළිවෙන්නේ ඇයි? ඔබතුමා අද ආණ්ඩුවේ පැත්ත අරගෙන ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම පිටුදකින්න හදනවා.
කතානායක - ඕනෑ දෙයක් කියන්න. දැන් ඉඳගන්න.

 

 

විසිපන්දාහේ දඩය
කිසිම හේතුවක් නිසා
වෙනස් කරන්නේ නෑ

ඇමැති රාජිත සේනාරත්න

රථවාහන වැරැදි සඳහා අය කරන රුපියල් විසිපන්දහසක දඩ මුදල කිසිදු හේතුවක් මත වෙනස් කිරීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් තමා ඉල්ලීමක් කළ බව, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) පැවැසීය.

රිය අනතුරුවලින් තුවාල ලබන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශාල මුදලක් රජයේ රෝහල්වලට වැයවන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

රාජිත සේනාරත්න - "මම ජනාධිපතිතුමාට අදත් කිව්වා. මේ දඩ මුදල කිසිසේත් වෙනස් කරන්න එපා කියලා. ඒ දඩ මුදල අය කිරීම සාධාරණයි. රිය අනතුරුවලට ලක්වන පුද්ගලයන් සඳහා අපට විශාල මුදලක් වැය කරන්න සිදු වෙනවා. ඒ දඩ මුදලෙහි වෙනසක් කරන්න බැහැ."

මුලසුනේ සිට විවාදයට සහභාගි වුණාට නි. කතානායකට විරෝධය

මූලාසනයේ අසුන්ගෙන සිටිමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල අදහස් දැක්වූ අවස්ථාවේ ආණ්ඩු පක්‍ෂයේත්, විපක්‍ෂයේත් මැති ඇමැතිවරු දැඩි ලෙස විරෝධය පළ කළහ.

අර්ජුන රණතුංග - ක්‍රිකට් ආයතනයේ අයථා පත්වීම් කිහිපයක් සිදුකර තිබෙනවා. (ඇමැතිවරයා නම් කිහිපයක් සඳහන් කරයි.)
දයාසිරි ජයසේකර - ඒ පිළිබඳව ක්‍රිකට් ප්‍රධානී තිලංග සුමතිපාල මහතාට පිළිතුරක් දෙන්න පුළුවන්. එතුමා මට වඩා හොඳ පිළිතුරක් දේවි.
(මේ අවස්ථාවේ ක්‍රිකට් ප්‍රධානී නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මූලාසනය හොබවනු ලැබීය.)

නියෝජ්‍ය කතානායකවරයා, අර්ජුන රණතුංග ඇමැතිවරයාට මූලාසනයේ හිඳිමින් පිළිතුරු දීම ආරම්භ විය.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක - මේක නරක පූර්වාදර්ශයක්. ඔබතුමාට මූලාසනයේ හිඳගෙන විවාදයට සහභාගි වෙන්න පුළුවන්කමක් නැහැ. ඔබතුමා විවාදයට සහභාගි වෙන්න ඕන, ඔබතුමාගේ ආසනයේ හිඳගෙන. ඔබතුමාට වෙනම අසුනක් ආණ්ඩු පක්‍ෂය පැත්තේ වෙන්කරල තියෙනවා. මූලාසනයේ වෙන මන්ත්‍රිවරයෙක් තියල ඔබතුමා ආසනයට ගිහින් කතා කරන්න.

නියෝජ්‍ය කතානායක - නෑ. නෑ. එහෙම ප්‍රශ්නයක් නැහැ. මූලාසනයේ හිඳගෙන මට කතා කරන්න පුළුවන්.

අනුර කුමාර දිසානායක - මූලාසනයේ හිඳගෙන ඔබතුමාට අදහස් දක්වන්න පුළුවන් අවස්ථා තිබෙනවා. හැබැයි විවාදවලට කතා කරන්න මූලාසනය භාවිත කරන්න එපා.

 

 

5,000කට එක් වෛද්‍යවරයකු බැගින් වෙන්කර
සියලු රෝහල් පොකුරු රෝහල් කරනවා

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න

ජනගහනයෙන් 5,000කට වෛද්‍යවරයකු බැගින් වෙන් කෙරෙන පවුලේ වෛද්‍යවරයා ක්‍රමය හඳුන්වාදී සියලුම රෝහල් පොකුරු රෝහල් බවට පත්කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න පැවැසීය.

පර්යන්ත හා ප්‍රාදේශීය රෝහලේ සිට ජාතික රෝහල දක්වා රෝහල් පොකුරු රෝහල් බවට පත් කරනවා. මහජන වෛද්‍ය නිලධාරි, මහජන හෙද නිලධාරි ක්‍රමය පටන් ගෙන පාසලෙන් පාසලට ගෙන් ගෙට ඔවුන් යවා බෝ නොවන රෝග පාලනයට කටයුතු කරනවා. පවුලේ වෛද්‍යවරයා මඟින් සෑම රෝගියකුම මාසයකට වරක් වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කරනවා.

අද හැම පිළිකා රෝගියකුටම ජීවිත කාලයට බෙහෙත් ලබා දෙනවා. අද ඒ රෝගීන්් පින් දෙනවා. මේ වසරේ ඔෟෂධ ලබාදීමට රුපියල් මිලියන 45,000ක් වියදම් කර තිබෙනවා. නුවරඑළිය හා හම්බන්තොට රෝහල් දෙකේ උපකරණ ගැනීම සම්බන්ධ පරීක්‍ෂණ කරගෙන යනවා. රජ පවුල්වල අය ඒවාට සම්බන්ධ වී සිටියා. පළාත් සභාවලට මේ අවුරුද්ද සඳහා මගේ අමාත්‍යාංශ මුදලින් බිලියන 05ක් දීලා තියෙනවා.

 

 

අපි 'ලෝ-මේකර්ස්ලා'
ටී-මේකර්ස්ලා
වෙන්නෙ නැතිව පොලිස් අණට කීකරු වුණා

මන්ත්‍රි බන්දුල ගුණවර්ධන

"අපි ලෝ මේකර්ස්ලා, ටී මේකර්ස්ලාගේ තත්ත්වෙට වැටෙන්නෙ නැතිව පොලිසියේ අණට කීකරු වී වාහනයෙන් බැස ගමන් කළා" යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී පැවැසීය.

පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණය පැවැති ස්ථානයට මම මගේ නිල වාහනයෙන් පාර්ලිමේන්තුවේ සිට යමින් සිටියදී පොලිසිය අතරමඟ වාහනය නවත්වා, වාහනයෙන් බැස පයින් ගමන් කරන ලෙස දැනුම්දුන් බවට මන්ත්‍රිවරයා පැවැසීය.

සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල - කතානායකතුමනි, මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ. මන්ත්‍රිවරු පාර්ලිමේන්තුවේ ඉන්නෙ නැතිව උද්ඝෝෂණවලට යන්නෙ ඇයි? මන්ත්‍රිවරුන්ටත් ඒ අය හමුවෙන්න කිසිම අයිතියක් නැහැ. මේ ගොල්ලො ඒ අය හමුවෙන්න ගියේ ඒගොල්ලන්ට උපදෙස් දෙන්න.

 

 

ක්‍රීඩාංගණ හදන්න රාජපක්‍ෂලාට
මේ තරම් සල්ලි කොයින්ද?

- මන්ත්‍රි බිමල් රත්නායක

ක්‍රීඩාංගණ හදන්න රාජපක්‍ෂවරුන්ට සල්ලි කොහෙන්ද? රාජපක්‍ෂලාට ක්‍රීඩාංගණ හදන්න සල්ලි තිබ්බෙ නැහැ. ඒ නිසා මුදල් ආවේ කොහෙන්ද කියා සොයා බලන්න නීතිපතිවරයාට කියන්න" ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි බිමල් රත්නායක පැවැසීය.

සූරියවැව ක්‍රීඩාංගණය වගේම දියගම ක්‍රීඩාංගණයේත් ප්‍රශ්න තිබෙනවා. මේවා සම්බන්ධ වංචා දූෂණ හෙළි කළත් ඒවාට සම්බන්ධ අයට දඬුවම් දෙන්නෙ නැහැ. දියගම ක්‍රීඩාංගණය කාටද අයිති කියා දැනගන්න කැමැතියි.

මේ ක්‍රීඩාංගණය ක්‍රීඩා අමාත්‍යාංශයට පවරා ගත් පසු අධ්‍යක්‍ෂ මණ්ඩලයට ගිය රජයේ චෝදනා ලැබූ අය පත් කරනවාද? නරින්ට කුකුළු භාරදෙන්න එපා. ඉතිහාසයේ ඔවුන් කරපු දේවල් අපි දන්නවානෙ. පාසල් ක්‍රීඩකයන්ට මුදල් ලැබෙන්නෙ නැහැ. ක්‍රීඩා සංගම් රැසක අවුල් වියවුල් ඇතිවෙලා තිබෙන්නේ මූල්‍යමය කරුණු මතයි.

 

 

බුරුත අත්තක් සභාගත කරයි

ඉතිහාසයේ ප්‍රථමවරට බුරුත කොළ අත්තක් පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ.
ඊයේ (05දා) පාර්ලිමේන්තුවේ ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීිර්ෂයේ අදහස් දක්වමින් සිටි මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ එක්වරම කොළ අත්තක් අතට ගෙන වනන්නට පටන් ගත්තේය.
ඒ කාලේ ක්‍රීඩා ඇමැතිගේ ගෙදරට කළුවර ලී ඇද්දේ සමුපකාර සේවා ලොරියෙන්. මහඔය කුඹුක් ගස් කැපුවා. කොහෙන්ද ඒවාට පර්මිට්? ගහ දන්න අයට කොළ කඩා පාන්න එපා.

පරිසරය ගැන දන්නේ නැති අයට දැන ගන්න මං බුරුත අත්තක් ගෙනාවා. මං මේ බුරුත අත්ත සභාගත කරනවා.
මන්ත්‍රිවරයා මෙසේද කීවේය.
"පසුගිය කාලේ ක්‍රීඩාවට කළ දේවල් මොනවද? ඒවායේ ප්‍රතිඵල තමයි එංගලන්තේ ගෙවල්. කොළඹ අවට ගෙවල් හතක්. ඒවා ගැන කලකිරිලා තමයි අපි එජාපයට ආවේ."
සුනිල් හඳුන්නෙත්ති
සභාගත කළ බුරුත අත්ත හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කරන්නේ කොහොමද කියලා දැන ගන්න කැමැතියි.

 

 

ටී-මේකර්ස්ලා
ලෝ-මේකර්ස්ලා වුණාම
පොලිසියට හඳුනාගන්න
බැරි වෙනවා

රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ

"ටී මේකර්ස්ලා ලෝ මේකර්ස්ලා වුණාම පොලිසියට හඳුනාගන්න බැරිවෙනවා. ඒ නිසා ලෝ මේකර්ස්ලගෙ තත්ත්වය රැකගන්න" යැයි ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ පැවැසීය.
"දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා, බන්දුල ගුණවර්ධන මහතා, වාසුදේව නානායක්කාර මන්ත්‍රිතුමා තමුන්නාන්සේලා ජේ‍යෂ්ඨ මන්ත්‍රිවරු. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වගේම, ජනතාවගේ වරප්‍රසාදත් රැකගන්න ඕනෑ. තමුන්නාන්සේලා දිගින් දිගටම මේව කරගෙන යනවා.

පොලිසිය කළේ ඒ ගොල්ලන්ගෙ රාජකාරිය. පාර්ලිමේන්තුව වටලනව කියල කියා තිබුණා. එතෙන්දි පොලිසිය මේ අන්දමට කටයුතු කළා. තමුන්නාන්සේලා මෙහෙම කරනකොට ඉදිරියේදී අපිත් එහෙම කරන්න පුරුදු වෙනවා" යැයිද සුජීව සේනසිංහ ඇමැතිවරයා සඳහන් කළේය.

 

 

ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කිරීමට ගමේ
තරුණ තරුණියන්ට පසුබිමක් සකසන්න

- මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ

ගමේ තරුණ තරුණියන්ට ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කිරීමට හැකිවන පසුබිමක් ඇතිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපි උනන්දු විය යුතුව ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ (එ.ජ.නි.ස.) පැවැසීය.

හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ක්‍රීඩාංගණයක්, හැම පළාතකටම, දිස්ත්‍රික්කයකටම ක්‍රීඩාගාරයක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කළා.
ඉන්දියානු ආධාර යටතේ යාපනයේ ‍ෙදාරේඅප්පා ක්‍රීඩාංගණය නවීකරණය කළා. අපි හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රීඩා ගම්මානයක් ඇති කිරීමට කටයුතු කළා. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා තරග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවශ්‍ය පසුබිම අපි සකස් කළා.
සුගතදාස ක්‍රීඩාංගණය හැරුණු කොට ධාවන පථයක් සැකසුණේ දියගම ක්‍රීඩාංගණයේ. ක්‍රීඩා ප්‍රතිපත්ති ගැන කතා කරනවා වෙනුවට හිටපු ඇමැතිවරුන්ට මඩ ගහන එකයි අද කරන්නේ.

අපට ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් අවශ්‍යයි. අපේ රටේ ඇමැතිවරයා මාරු වෙනකොට, ආණ්ඩු මාරු වෙනකොට ක්‍රීඩා ප්‍රතිපත්තියත් මාරු වෙනවා. ක්‍රීඩකයා ගැන සැලකිලිමත් වනවා වගේම අපි ක්‍රීඩා පුහුණුකරුවන්, විනිසුරුවරුන් බිහිකර ගැනීම කෙරෙහිත් සැලකිලිමත් විය යුතුයි.
වෛරය වපුරන්න අපට අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය ක්‍රීඩාව නංවන්නයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon