මහින්දට ඔත්තුව ගියේ කාගෙන්ද?

  👤  5948 readers have read this article !
2016-12-04

මනරංජන දඩ රංගනයට එරෙහිව නැඟුණු වැඩ වර්ජන රැල්ල සති අන්තය වන විට තවත් උණුසුම් වෙමින් පැවැතිණි. වෛද්‍ය වර්ජනයටත් වඩා ජනතාවගේ එදිනෙදා ජීවිතයට බලපෑම් එල්ල කළේ බස් වර්ජනයයි. කවුරුත් නමින් දන්නා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගැමුණු විජේරත්න වර්ජනයෙන් ඉවත් වුවද අනෙකුත් පළාත් බස් සංගම් හරහා එය සිදු කෙරිණි. ජනාධිපතිවරයා සමඟ පාර්ලිමේන්තුවේදී පැවැත්වූ සාකච්ඡාවකින් පසු දුම්රිය වෘත්තීය සමිති වර්ජනය අත්හැරීම ආණ්ඩුවේ සැනසිල්ලට හේතු විය. කෙසේ වෙතත් ඒ සාකච්ඡාව අවසානයේ ජනාධිපතිවරයා වෘත්තීය සමිතිවලට වැදගත් කරුණක් මතක් කළේය.
"වැඩ වර්ජනවලින් මේවා විසඳන්න බෑ. සාකච්ඡා මාර්ගයෙන් තමයි මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්.

වර්ජන රැල්ලක් සම්බන්ධයෙන් තර්ජන එල්ල වෙමින් තිබියදීය, පසුගිය සතියේ කැබිනට් රැස්වීම පැවැත්වුණේ. එය වරෙක උණුසුම් මෙන්ම වරෙක විනෝදාත්මක ද විය. කැබිනට් රැස්වීම වැඩියෙන්ම උණුසුම් වූයේ ලක්ෂ්මන් කිරිඇල්ල සහ ෆයිසර් මුස්තාපා යන ඇමතිවරුන් මුදල් බෙදා ගැනීමට බැරිව කළ වාදයක් නිසාය.
මහාමාර්ග ඇමැතිවරයා වන ලක්ෂ්මන් කිරිඇල්ලට රුපියල් මිලියන 4,500ක විශාල මුදලක් අය - වැයෙන් වෙන් කර තිබීම පළාත් පාලන ඇමැතිවරයා වන ෆයිසර් මුස්තාපාට දිරෙව්වේ නැත. තමන්ට විශාල මුදලක් වෙන් කිරීම ගැන අදහස් දක්වමින් කිරිඇල්ල කිව්වේ මහාමාර්ග පමණක් නොව ග්‍රාමීය මාර්ග හැදීමද තමන්ගේ වැඩක් බවයි.
"එහෙම කොහොමද වෙන්නෙ මම තමයි පළාත් පාලන ඇමැති. ඒවා අයිති මට. ඒ සල්ලි මට ඕනේ.

ෆයිසර්, කිරිඇල්ල දෙස බලාගෙන තදින් කීවේය.
"ඒවා අයිති මට. මමයි මහාමාර්ග ඇමැති. ඒ වැඩ කරන්නේ මම. කාටවත් සල්ලි දෙන්න මට වුවමනාවක් නෑ."
කිරිඇල්ලද කැත්තට පොල්ල තියරිය අනුගමනය කරමින් උත්තර දුන්නේය. ඇමැතිවරුන් දෙදෙනාම අනෙකාට වඩා උස් හ¾ඩින් තමන්ගේ මතය කියන්නට යෑම නිසා කැබිනට් මණ්ඩලය ඝෝෂාකාරී විය. වහාම මැදිහත් වූ ජනාධිපතිවරයා "හරි, තවම ඒ වැඩ පටන්ගත්තෙ නෑනේ. අපි සාකච්ඡා කරලා ඔය ප්‍රශ්නෙ විසඳගමු" යනුවෙන් කීවේය. ඉන්පසුව දෙදෙනාම නිහඬ වූහ.

ජනාධිපතිවරයා මෙහිදී සියල්ලන්ගේ අවධානය යොමු කළේ වෙනත් පැත්තකටය. ඔහු තරමක් තදින් කතා කළේ පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති සරත්චන්ද්‍ර අත්අඩංගුවට ගැනීම ගැනය.
"මේක මොන මෝඩ වැඩක්ද. අල්ලන්න ඕනෙ මහා පරිමාණ හොරු කොච්චර ඉන්නවද. එහෙම ඉද්දී මේ මනුස්සයව අත්අඩංගුවට අරන්. මේක ගැන දෙපාර්තමේන්තු මට්ටමෙන්වත් පියවරක් අරගෙන නෑ."

ජනාධිපතිවරයාගේ ස්වරය දැඩි වූ නිසාම ඒ ගැන අදහස් දක්වන්නට කිසිවකු ඒ වෙලාවේ දිරිපත් වූයේ නැත. එහෙත් විශේෂ කාර්ය බළකායේ හිටපු ප්‍රධානියා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගැනීම ගැන ඇමැතිවරුන් කිහිප දෙනෙක්ම මාධ්‍යයට අදහස් දක්වා තිබිණි. ඒ අතර චන්දිම වීරක්කොඩි ඇමැතිවරයා ඉදිරියෙන්ම සිටියේය. ඒත් කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා ඒ ගැන කතා කරද්දී කිසිවකු කටක් ඇරියේ නැත.
කැබිනට් පත්‍රිකා සාකච්ඡා කරන අතරතුර ජනාධිපතිවරයා එක්වරම ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාලද සිල්වා දෙස සිනාමුසුව බැලුවේය. ප්‍රවාහන ඇමැතිවරයා ලංගමට අලුතින් බස් මිලදී ගැනීම සම්බන්ධයෙන් සන්දේශයක් ඉදිරිපත් කර තිබිණි. එහි සඳහන් වූයේ පසුපස උස බස් වර්ගයක් යනුවෙනි.
"නිමල් ඇමැතිතුමාම තමයි දන්නේ මේ පස්ස උස බස් ගැන"

සන්දේශය කියවමින් ජනාධිපතිවරයා උස් හ¾ඩින් එසේ කියද්දී ඇමැතිවරු සියල්ලෝම සිනාසෙන්නට වූහ. ඒ අතර නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා ද විය.
නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාට ආණ්ඩුව පැත්තෙන් පසුගිය සතියේ එල්ල වූ චෝදනාවක්ද තිබිණි. ඒ ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතිවලට කිසිදු සාකච්ඡාවක් නොදෙන බවට වූ චෝදනාවකි. පසුගිය 1දා මධ්‍යම රාත්‍රියේ සිට පැවැත්වූ වර්ජනයට දුම්රිය වෘත්තීය සමිතිද එක්වීමට සැලසුම් කර තිබුණේ මේ නිසාය. මේ බව දැනගත් ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ වෘත්තීය සමිති නායකයන්ට කතා කළේය. ඔවුන් නියෝජ්‍ය ඇමැතිවරයාට කිව්වේ
"ඇමැතිවරයා කටයුතු කරන්නේ ඔය විදියට නම් අපිත් මේක අතාරින්නේ නෑ" යනුවෙනි.

ඒ උත්තරයෙන් පසුව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැතිවරයා කෙළින්ම ජනාධිපතිවරයා මුණගැසී මතු වී ඇති තත්ත්වය පැහැදිලි කළේය.
"සර්, බස් ස්ට්‍රයික් වෙලාවේ කෝච්චිත් ස්ට්‍රයික් වුණොත් රජයේ කාර්යාලවල වැඩ එහෙම පිටින්ම කඩා වැටෙනවා. මේකට සර්ගෙ පැත්තෙන් සාකච්ඡාවක් දෙන්න."
නියෝජ්‍ය ඇමැතිවරයාගේ ඉල්ලීමට එකඟ වූ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු පරිශ්‍රයේදීම දුම්රිය වෘත්තීය සමිති මුණගැසිණි.
මෙවර අය - වැයෙන් පළාත් සභාවලට වෙන් කරන මුදල් කප්පාදු කර ඇති බවට මහ ඇමැතිවරු අය - වැය ගෙනා දවසේ සිටම චෝදනා කළහ. අවසානයේ ඔවුහු ජනාධිපතිවරයාට මේ ගැන පැමිණිලි කළහ.

"ඒ මුදල් පරණ විදියටම වෙන් කරන්න වෙනවා. නැත්නම් දෙදාස් දාසය අවුරුද්දේ සැලසුම් කරපු වැඩ භාරගන්න බැරි වෙනවා."
මහ ඇමැතිවරුන්ගේ අ‍ෙ¼දා්නාවට ජනාධිපතිවරයා ක්ෂණික විසඳුමක් දුන්නේ මුදල් ඇමැති රවි කරුණානායක ඉදිරියේමය. ඉන්පසුව මුදල් අමාත්‍යාංශයෙන් සියලුම පළාත් සභාවලට නිකුත් කළ හදිසි චක්‍රලේඛයක සඳහන් වන්නේ වියදම් පියවා ගන්නා හැටිය. මහ ඇමැතිවරුන් පවසා ඇති ආකාරයට දෙදාස් දාසය වසරේ අනුමත කළ ව්‍යාපෘතිවලට සල්ලි මදි නම් දැනට ස්ථාවර තැන්පතුවල සහ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇති සල්ලි ඒ වැඩ සඳහා යොදා ගන්නා ලෙස මුදල් අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.

ලෝකයේ ප්‍රකට ආර්ථික සඟරාවක් වන "ද ඉකොනොමිස්ට්" සඟරාව සංවිධානය කළ "2017 ලෝකය" ආර්ථික සමුළුවේ මුඛ්‍ය දේශනය භාර වී තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහටය. මේ දේශනය සඳහා අගමැතිවරයා හොංකොං බලා පිටත්ව යෑමට පෙර එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු අගමැති කාර්යාලයට රොක් වූහ. ඒ අගමැතිවරයාට සුබ පතන්නටය. ඔවුන් සමඟ අය - වැය විවාදයේ රසවත් තැන් ගැන කතා කිරීමෙන් පසු අගමැතිවරයා ඇමැතිවරුන් කී සියල්ලට සාවධානව ඇහුම්කන් දුන්නේය.

වජිර අබේවර්ධන ඇමැතිවරයා පැවැසුවේ "‍ෙදාස්තරලා ස්ට්‍රයික් කරලා, පස්සේ සාකච්ඡාවලට එන්න හදන්නේ. මේක පිටිපස්සේ තියෙන දේශපාලනේ හරියට තේරුම් ගන්න ඕනේ." කියාය. ඒ කතාවට අලුත් කෑල්ලක් එකතු කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල කිව්වේ "මේ ‍ෙදාස්තරලාගේ වැඩේට මිනිසුන්ගේ ලොකු විරෝධයක් තියෙනවා.
ටීවී එකේ ‍ෙදාස්තරලාගේ රෙදි ගැලෙව්වා මම දැක්කා. අපේ සල්ලිවලින් ඉගෙන ගෙන අපිව පරලොව යවන්න හදනවා කියලා" යනුවෙනි.
මේ කතා අසා සිටි අගමැතිවරයා අවසානයට කට ඇරියේය.
"මහින්දගේ කාලේ මේගොල්ලො සද්ද නැතිව හිටියා. දැන් සුදු වෑන් නැති හින්දා රට පාලනය කරන්නත් එනවා. ඕවට යටවෙලා අපිට වැඩ කරන්න බෑ. මම මාධ්‍යයට කිව්වෙත් ඒක නේ.

දේශපාලන අරමුණුවලට වැඩ කරලා රට අවුල් කරන්න ආවොත් අපිත් නිකම් ඉන්නේ නෑ කියලා. සුදු වෑන්වලට වඩා වචන පාවිච්චි කරලා වැඩ කරන එක හොඳ නැද්ද?
විදේශ අමාත්‍යාංශය පසුගිය කාලයේ බහිරවයකු සේ මුදල් ගිල්ල හැටි ගැන වගේම ප්‍රවාහන ක්ෂේත්‍රයේ මතු වී ඇති අර්බුද ගැනද ඇමැතිවරු මෙහිදී විවිධ අදහස් පළ කළහ.
"දැන් බුදු වෙලා වගේ කතා කළාට ජී. ඇල්. පීරිස් විදේශ ඇමැති කාලේ අප්‍රිකාවේ සත්තු බලන්න ගිහින් ඒ බිලුත් රජයේ වියදම්වලට දාලා තියෙනවා." ලක්ෂ්මන් කිරිඇල්ල කී කතාවට අගමැතිවරයාටද හිනා ගියේය.

පිරිස අගමැති කාර්යාලයේ සිටින අතරේම අගමැතිවරයා තවත් විශේෂ රැස්වීමකට පාර්ලිමේන්තු කමිටු ශාලාවකට ගියේය. එහි තිබුණේ ආර්ථික කමිටුු රැස්වීමය.
"ආණ්ඩුවක් විදියට අපි එකඟ වෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන එක මහ බැංකුවේ වගකීමක්. ඒක හරියට කෙරෙන්නේ නැත. දැන් ඩොලර් එක කීයද. එකසිය පනහට නැඟලා."

අගමැතිවරයාගේ පැත්තෙන් එල්ල වූ චෝදනාවට අඩුම - කුඩුම එකතු කරමින් ආර්ථික කමිටුවේ සිටි අනෙකුත් ඇමැතිවරුද මහ බැංකුවේ අධිපතිවරයාට චෝදනා කරන්නට වූහ. මේ වෙලාවේ වෙනත් කාර්යයකට පිටතට යන්නට සිදු වන බව මහ බැංකු අධිපතිවරයා පැවැසීමත් සමඟ අගමැතිවරයාගේ රතු කට්ට පැන්නේය.
"මේ රැස්වීමට වඩා වැදගත් වැඩේ මොකද්ද. ඒක නිසා මේක ඉවර වෙනකම් ඉන්න." ඒ කතාව කියන....
විට අගමැතිවරයාගේ මූණේ පුරුදු හිනාව තිබුණේ නැත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පසුගිය 25දා සිට රැඳී සිටියේ චීනයේය. චීනයේ ප්‍රධාන පෙළේ පළාත් නියෝජිතයන් කිහිප දෙනකු සමඟ මෙන්ම චීන කොමියුනිස්ට් පක්‍ෂයේ නායකයන් සමඟද මහින්ද සාකච්ඡා කිහිපයක් පැවැත්විය. ඉන්පසුව මහින්ද ගියේ කැන්ටන් කුලුන බලන්නටය. කැන්ටන් කුලුනේ සිට සෑහෙන වේලාවක් චීනයේ ලස්සන බැලූ මහින්ද, එක්වරම තමන් සමඟ ගිය ඡායාරූප ශිල්පියාගේ කැමරාව ඉල්ලා සිටියේය. එයින් සිත් සේ මානමින් ඡායාරූප රැසක් ගත් හිටපු ජනාධිපතිවරයා, ඒ ගැන තමන් බලන්නට ආ ලාංකිකයන්ට ද කියන්නට අමතක නොකළේය.

ලංකාවට පය ගැසූ ගමන්ම මහින්ද බලන්නට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු පිරිසක් ආහ. කෙහෙළිය රඹුක්වැල්ල, ගාමිණි ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග ඒ අතර වූහ. පිරිසේ මුල්ම ප්‍රශ්නය වූයේ 'කොහොමද සර්, චීන සංචාරෙ?' යන්නයි.
'ඉතාම හොඳයි. ඒත් චීනෙ නායකයො ටිකක් කනස්සල්ලෙන් ඉන්නෙ අපේ රටේ මේ දවස්වල සිද්ධ වෙන දේවල් ගැන. මම කිව්වා ඒ තත්ත්වය ඉක්මනට වෙනස් වෙයි කියලා.

ඒ කතාව අහගෙන හිටපු කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රිවරයා කිව්වේ 'සර්. චීනෙට ගිහින් කේලම් කිව්වා කියලා ආණ්ඩුවෙන් කියයිද දන්නෙ නෑ' යනුවෙන්ය.
චීන සංචාරයෙන් පසු කොළඹට ආ ගමන්ම හමුවූ පිරිසට මහින්ද අලුත් කතාවක් කීවේය.
'ආණ්ඩුව අලුත් අධිකරණයක් පිහිටුවන්න යනවලු නේද. මුලින්ම ඒකෙන් නඩු දාන්නෙ මටලු'
'කොහොමද සර් දැනගත්තෙ?'
ගාමිණි ලොකුගේ ඇසූ ප්‍රශ්නයට මහින්දගේ උත්තරය වූයේ 'ගිය අඟහරුවාදා අරලියගහ මන්දිරේදී මේ ගැන සෑහෙන්න සාකච්ඡා කරලා තියෙනවා. මට ඇමැති කෙනෙක් චීනෙට කෝල් එකක් දුන්නා' යන්නය.

ඒ උත්තරයත් සමඟම පවිත්‍රා ඇසුවේ 'කවුද සර්, ඒ ඇමැති?' කියාය. හැමදේටම උත්තර දෙන්නට යන මහින්ද ඒකට උත්තර දුන්නේ නැත.
කියුබාවේ හිටපු නායක ෆිදෙල් කස්තේ‍රා්ගේ අභාවය වෙනුවෙන් මොහොතක් නිහඬව සිට මධ්‍යම කාරක සභා රැස්වීම ආරම්භ කරන්නට ජනතා විමුක්ති පෙරමුණ පසුගිය සතියේ කටයුතු කළේය. ඉල් මහ සැමරුම් උත්සව සඳහා විදේශගතව සිටි ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ලංකාවට පැමිණ කෙළින්ම ගියේ මධ්‍යම කාරක සභා රැස්වීමටය. මෙහිදී ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක විශේෂයෙන් ෆිදෙල් ගැන කතා කළේය.
'ලෝකයේ බොහෝ රටවල නායකයන් ෆිදෙල්ට ප්‍රශංසා කරද්දී ට්‍රම්ප් කිව්වෙ ෆිදෙල් ඒකාධිපතියෙක් කියලා. ඒක තමයි ඇමෙරිකාවේ දේශපාලනය. කියුබාවේ ලක්‍ෂ ගණන් ජනතාව පාරට බැහැලා ට්‍රම්ප්ට විරෝධය පළ කළා. ලෝකයම පිළිගන්නවා, කියුබන් ජනතාව විතරක් නෙවෙයි ලෝකයේ වාමාංශිකයන් බහුතරය ෆිදෙල් සමඟ හිටියා කියලා. ඇත්තටම කියුබාව කියන්නෙ ෆිදෙල්'

බිමල් රත්නායකගේ සහ ටිල්වින් සිල්වාගේද අදහස් අසා සිටි විජිත හේරත් මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කළේය.
'ෆිදෙල්, සමුගැනීමක් නෙවෙයි කියලා කියුබාවේ දෙසැම්බර් හතර වැනිදා පවත්වන අවසන් ගෞරවයට සමගාමීව ලංකාවෙත් සැමරුමක් කරමු. ෆිදෙල්ගෙ මානව හිතවාදී ගුණාංග අලුත් පරම්පරාවට ගෙනියන්න ඕනෙ. ඒක තමයි ෆිදෙල් වෙනුවෙන් කරන්න පුළුවන් උත්තමාචාරය'
ඒ යෝජනාවට අනුව අද විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වෙන ජනතා සැමරුම සැලසුම් කෙරිණි.
ලබන මාර්තු මාසයේදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වීමට නියමිත මානව හිමිකම් සමුළුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන්ද ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ මධ්‍යම කාරක සභා රැස්වීමේදී අවධානය යොමු කළහ.
'ආණ්ඩුව මේ වෙනකොට මානව හිමිකම් සමුළුවට ව්‍යවස්ථාව පෙන්නලා ගැලවෙන්න හදනවා කියලා කතාවක් තියෙනවා. ව්‍යවස්ථාවේ අලුත් තත්ත්වෙ ගැන ආරංචි මොනවද?

ටිල්වින් සිල්වා කෙලින්ම ඇසුවේ අනුර කුමාර දිසානායකගෙන්ය. 'ව්‍යවස්ථාව හදන්න පත් කරපු අනුකමිටුවලින් විවිධ වාර්තා ඉදිරිපත් කරලා තිබුණා. ඒ වගේම ආණ්ඩුවේ සැලසුමක් තිබුණා, මෙහෙයුම් කමිටුව මඟින් වාර්තාවක් ඉදිරිපත් කරන්න. නමුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පවතින සාකච්ඡා, මතවාද තවම අවසන් නෑ. ඒ නිසා දැන්ම එහෙම වාර්තාවක් හදන්න පුළුවන්කමක් නෑ.'

පලස්තීන අන්තර්ජාතික සහයෝගිතා උත්සවය ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ඊට ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක ද එක්ව සිටියේය. මෙහිදී විදේශ ඇමැති මංගල සමරවීරගේ කටයුතු විවේචනය කරමින් බිමල් දැඩි කතාවක් කළේය.
'පලස්තීනයේ තියෙන මුස්ලිම් පල්ලියක් තමන්ගෙ එකක් කියලා යුදෙව්වො අත්පත් කරගන්න සූදානම් වෙනවා. යුනෙස්කෝව ඒ ගැන ඡන්ද විමසීමක් කළා. ඒකෙදි දකුණු ආසියානු රටවලින් ඡන්දෙ දීලා නැත්තෙ ශ්‍රී ලංකාවයි, ඉන්දියාවයි විතරයි. එක් එක්කෙනාගෙ ඉල්ලීම මත පලස්තීනයට එරෙහිව ලංකාව තීන්දු ගන්නවා.'
මේ කතාවට උත්තරයක් දෙන්නට සිදු වූයේ රාජිත සේනාරත්නටය.

එක - එක්කෙනාගෙ ඉල්ලීම් මත කරන්නෙ නෑ. කාටවත් ඕනෙ විදිහට තීන්දු ගන්නෙත් නෑ. ජනාධිපතිවරයා පලස්තීන නිදහස් අරගලය වෙනුවෙන් කැපවී වැඩ කරනවා.
පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තුවේ පැවැත්වුණේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ වැය ශීර්ෂයයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් බෙදාදීම සාධාරණව සිදුවී නැති බව මෙහිදී නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිවරයා චෝදනා කළේය. ඊට හැරෙන තැපෑලෙන් උත්තරයක් දෙන්නට සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා නැඟිට්ටේය.
'ඉඩම් කච්චේරිවල තේරීම් නාමලේඛනවල ඉන්න අයටයි ඉඩම් දෙන්නෙ. එතැනදී කිසි කෙනකුට අගතියක් වෙන්න ඉඩ තියන්නෙ නෑ. හැබැයි මං එකක් කියන්න ඕනෙ මන්ත්‍රිතුමාට. ජුල්පල්ලම ප්‍රදේශයේ රේස්කෝස් එකකට වෙන් කරලා තිබුණු අක්කර සිය ගණනක් අමරදේව ශ්‍රී මතාණන් නමින් උදාගමක් හදන්න මිනිසුන්ට බෙදලා දුන්නා. ඒක නම් මම කළා. අමනාප වෙන්න එපා'

සජිත්ගේ ඒ උත්තරයත් සමඟ නාමල් සහ ඩී.වී. උපුල් කිව්වේ උස්-මිටිකම් අනුවත්, සුදු-කළු පාට අනුවත් රස්සා දෙන්නට සජිත් කටයුතු කරන බවයි. ඒ වෙලාවේද සජිත්ගේ කටේ උත්තරයක් තිබිණි.
'මොන අඩුපාඩුකම් තිබුණත් තානායම්වලට අරන් ගිහින් පත්වීම් දෙන්නෙ නම් නෑ. 70 - 77 කාලෙ තානායම්වලට අරන් ගිහින් ගුරු පත්වීම් දීපු හැටි මුළු හම්බන්තොටම දන්නවා. අනෙක තමයි, මම රජ මාලිගාවල, උමං මාලිගාවල කවුරුවත් ඉන්ටවිව් කරන්න අරන් ගිහිනුත් නෑ'
දිගින් දිගටම නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිවරයා සජිත්ට චෝදනා කරන්නට විය. හම්බන්තොට ලංකා සෝල්ට් ආයතනයේ කටයුතු විවේචනය කරමින් නාමල් කිව්වේ, 'ඒකෙ අධ්‍යක්‍ෂ මණ්ඩලේ සමහරුන්ට අස්සන් කරන්නවත් බෑ' කියාය.

'අපි සෝල්ට් ආයතනය භාරගන්න කොට තිබුණු රුපියල් කෝටි 33ක ණය සම්පූර්ණයෙන්ම ගෙව්වා. දැන් විකිණුම් ආදායම රුපියල් මිලියන 1,781යි. බදු සියල්ල ගෙවීමෙන් පස්සෙ ශූද්ධ ලාභය රුපියල් කෝටි 99යි. ඉතිහාසයේ කවදාවත් සෝල්ට් ආයතනය මේ වගේ වැඩක් කරලා නෑ. සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලේ 35 වැනි සංවත්සරයේදී ජනාධිපතුමා සෝල්ට් අධ්‍යක්‍ෂ මණ්ඩලයට විශේෂ සම්මානයකුත් පිරිනමනවා. සජිත් එසේ කී පසු නාමල් කිසිවක් කියන්නට ගියේ නැත.
මේ අතර 2017 දිළිඳුකම පිටුදැකීමේ වසරට අදාළ වැඩසටහන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක්ද පසුගිය සතියේ පැවැත්විණි. මේ වැඩසටහන් සඳහා ආචාර්ය සරත් අමුණුගමගේ ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ මෙහෙයුම් කමිටුවට සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ නමද ඇතුළත් කර තිබිණි. සාකච්ඡාව අවසන් කර එළියට ආ ජනාධිපතිවරයා සජිත් දෙසට හැරුණේය.

'ඔන්න සජිත් ලොකු වගකීමක් භාරදීලයි තියෙන්නෙ. මේක හොඳට කෙරෙන්න ඕනෙ'
'බයවෙන්න එපා සර්, මම ඒක ඉහළින්ම කරනවා' සජිත් ජනාධිපතිවරයාට එසේ උත්තර දුන්නේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon