අපේ විදේශ ප්‍රතිපත්තිය බටහිර පිනවීමයි

  👤  6827 readers have read this article !
2016-12-01

අපේ විදේශ
ප්‍රතිපත්තිය
බටහිර පිනවීමයි

මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල

විශාල මුදලක් වැයකර ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රවාහයට අත පොවා ඇතැයි, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල පැවැසීය.

අපේ විදේශ ප්‍රතිපත්තියෙහි බෙදීමක් තියෙනවා. බටහිර පිනවීමට තමයි කටයුතු කරන්නේ.

පලස්තීන ප්‍රශ්නය ගැන මේ ආණ්ඩුව කතා කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ස්ථාවරය සඳහන් කර නැහැ.

ශ්‍රී ලංකාව විසින් පලස්තීන ප්‍රශ්නය සම්බන්ධයෙන් ගෙන ඇති ස්ථාවරය ගැන සඳහන් කළ යුතුයි. නොබැඳි ජාතීන්ගේ ප්‍රශ්නය පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕනෑ.

ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රවාහයට ජෝන් කෙරී අතපොවන බවයි පෙනී යන්නේ. ඔහු විශාල මුදලක් වියදම් කළේ කොහෙන්ද කියා සොයා බැලිය යුතුයි. මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය කිරීම සඳහා තමයි ඒ මුදල් වියදම් කර තිබෙන්නේ.

මේ මුදල් කොහෙන්ද? ඒ මුදල් වියදම් කළේ කුමකටද යන්න විදේශ කටයුතු ඇමැතිතුමා මේ සභාවට හෙළි කළ යුතුයි.

 

 

කම්කරු වන්දි ආඥාපනත
ලබන වසරේ සංශෝධනය කරනවා

ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න

කම්කරු වන්දි ආඥාපනත ලබන වසරේ සංශෝධනය කරන බවත්, දැනට ලබා දෙන වන්දි මුදල එම පනත මඟින් දෙගුණ කරන බවත්, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න පැවැසීය.

සේවකයන්ගේ සුරක්ෂිතභාවය ප්‍රමාණවත් නොවන බැවින්, ඒ සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර, සේවක සුරක්ෂිතතාව ආරක්ෂා කිරීමට පියවර ගන්නවා.
කම්කරු දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් නොමැතිවීම ප්‍රධානතම ප්‍රශ්නයක්. පිට පළාත්වල කම්කරු කාර්යාල නොමැතිවීමත් විශාල ප්‍රශ්නයක්.

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා එකවර රුපියල් 2500ක වැටුප් වැඩි කිරීම, ප්‍රථමවරට මේ රජය සිදු කළා. ඒ වගේම සේවකයකුගේ අවම වැටුප රුපියල් දස දහස බවට පත්කර, එය පනතක් මඟින් නීතිගත කළා.

කම්කරු කාර්යාලවල පහසුකම් වැඩි කිරීමට වගේම අවශ්‍ය නිලධාරීන් පත් කිරීම අප සිදුකරගෙන යනවා.

කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලයට මේ වසරේ මේ දක්වා අනපේක්ෂිත කම්කරු අනතුරු 334ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව සිදුවූ මාරක අනතුරු වෙනුවෙන් සේව්‍ය පක්ෂයෙන් රුපියල් මිලියන 67කට ආසන්න ප්‍රමාණයක් අයකර ගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.

පෞද්ගලික අංශයේ අසාධාරණ ලෙස සේවයෙන් එළියට විසිකරනු ලබන සේවකයන්ට "ශ්‍රම වාසනා" අරමුදල මඟින් නීති ආධාර ලබාදීම දැන් ආරම්භ කර තිබෙනවා.

 

 

එ.ජා. සංවිධානයේදී කියුබාව
ඇමෙරිකාව දණ ගැස්සුවා

මන්ත්‍රි බිමල් රත්නායක

ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රිකව උපයාගත් දේ නැතිකිරීමේ බලයක් විදේශ අමාත්‍යාංශයට නැතැයි පත් කළ මන්ත්‍රි බිමල් රත්නායක (ජවිපෙ) කීවේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී කියුබාව වැනි සමාජවාදී රාජ්‍යයක්, ඇමෙරිකාව වැනි බලගතු රාජ්‍යයක් දණ ගස්සනවා. ඔවුන් ඡන්ද 191ක් පමණ ලබා ගන්නවා. අපේ රටේ පසුගිය කාලේ ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනකු හිටියා. රාජපක්‍ෂලා දෙදෙනෙක්. දැනුත් රනිල් වික්‍රමසිංහ වැනි ඇමෙරිකානු චින්තනයක් ඇති අයකු ඉඳලත් අප එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලබාගත්තේ සුළු ඡන්ද සංඛ්‍යාවක්. මේ ගැන හිතන්න.

පසුගිය රජය කාලෙ දූෂිතම අමාත්‍යාංශය බවට පත්ව තිබුණේ විදේශ කටයුතු අමාත්‍යාංශයයි. එහි ඇමැති කවුදැයි හොයා ගන්න බැරිව හිටියා. මේ අමාත්‍යාංශය නාස්තිය, දූෂණය එෆ්.සී.අයි.ඩී. එකෙන් හෝ අල්ලස් කොමිසමෙන් හෝ හොයන්න බැහැ. ඒවා අමාත්‍යාංශයෙන් කළ යුතුයි. එහෙත් තවම එවැන්නක් සිදුකර නැහැ.
ජනාධිපතිවරණය දවසේ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් අරලියගහ මන්දිරයට ගියේ ඇයි? මොනවාද එහෙ ගිහින් කළේ? පසුගිය කාලෙ අපේ විදේශ අමාත්‍යාංශය අධිකරණයට දාපු අය පිටරට ගිහින් බ්ලූ ෆිල්ම් බලපුවාට ගෙව්වෙත් අමාත්‍යාංශයේ මුදල්. විදේශ අමාත්‍යාංශය නොබැඳි සමුළුව නොසලකා හරිනවා. ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රිකව උපයාගත් දේ නැති කිරීමේ බලයක් මෙයට දීලා නැහැ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට කඩා පැන පරීක්ෂා කරන්න තිදෙනෙක්වි දේශයන්හි පිහිටුවා තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට කඩා පැන ඒවායේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා ඉන්ස්පෙක්ටර් ජනරාල්වරුන් තිදෙනකු පත්කර ඇතැයි විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී ඊයේ (30දා) කීවේය.

විදේශ සේවය නවීකරණය පිණිස සිංගප්පූරුව සමඟ කටයුතු කරන බව පැවැසූ ඇමැතිවරයා එම නවීකරණය වැඩපිළිවෙළ අනුව උගන්ඩාව වෙනුවට ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරන බවද අප්‍රිකානු කලාපයේ අනෙක් රටවල තානාපති කාර්යාල අලුතින් පිහිටුවීමට අපේක්ෂාවක් නැතැයිද පැවැසුවේය.

 

 

අපි ආණ්ඩුව භාරගන්නා විට
රට ජාත්‍යන්තරයේ කොන් වී තිබුණා

ඇමැති මංගල සමරවීර

එදා විදේශ සේවය රාජපක්‍ෂ පවුලේ අනුබද්ධ සේවයක් බවට පත්කරගෙන තිබුණා යැයි විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර පැවැසීය.

විසිවැනි සියවසේ දේශපාලන දැවැන්තයකු වූ පිදෙල් කස්තේ‍රා්ගේ අභාවය වෙනුවෙන් කියුබානු ජනතාවට මගේ කනගාටුව පිරිනමනවා.

අපි ආණ්ඩුව භාරගන්නා විට ජාත්‍යන්තර වශයෙන් අපි කොන්වී කනගාටුදායක තත්ත්වයක් ඇතිවී තිබුණා. 2009 ලබාගත් යුද ජයග්‍රහණය, රාජපක්‍ෂ පවුලේ ජඩකම්, මැරකම් වසා ගැනීමේ තිරයක් බවට පාවිච්චි කිරීම නිසා ජාත්‍යන්තර පිළිගැනීම අපට නැතිවී ගියා. පසුගිය කාලෙ තත්ත්වය නිසා අප රටක් ලෙස හුදෙකලා වුණා. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව 2012 - 2014 දක්වා ජනාධිපති හා එම පවුලේ අයගේ විදේශ සංචාර සඳහා රුපියල් බිලියන 2.3ක් වියදම් කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ බාලම පුතා ජපානයට ගියෙත් රුපියල් ලක්‍ෂ 20ක් වැයකර රජයේ මුදලින්. මොනවාට ගියාද දන්නේ නැහැ.

එදා විදේශ සේවාව රාජපක්‍ෂ පවුලේ අනුබද්ධ සේවයක් බවට පත්කරගෙන තිබුණා. ලොස් ඇන්ජලීස් නුවර කොන්සල් ජනරාල්වරයෙක් ඉන්නවා. 2013දී ජනරාල්වරයකු පත්කර තිබුණේ නැහැ. නිල වශයෙන් කවුරුත් නොමැති කාලේ කුලියට ගෙන තිබූ හිස් නිවෙසකට මිලියන 27ක් වියදම් කර තිබෙන අතර ආරක්‍ෂක තැන්පතු වශයෙන් ඩොලර් 10,000ක් අරගෙන තිබෙනවා.

සුනිල් හඳුන්නෙත්ති,

කවුද ඒක ගෙවන්න අනුමත කර තිබෙන්නෙ?
මංගල සමරවීර,
අනුමත කළේ කවුද කියා සොයාගන්න පරීක්‍ෂණ පවත්වනවා. ඇත්ත වශයෙන්ම මා එහි ගිය විට ලිපිගොනු පෞද්ගලිකවම පරීක්‍ෂාකර බැලුවා. එහි සිටි අය රහසේ මට කිව්වා ඒ කාලෙ සිටියේ කවුද කියලා. අවුරුද්දකුත් මාස 9ක් මේ තරම් වියදම් කරගෙන එහි ඉඳලා තියෙන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පුතා. හමුදාවේ දෙන්නෙකුත් ආරක්‍ෂාවට යවා තිබුණා.

ජනාධිපතිතුමා නිව්යෝර්ක් යන කොට තමාට ලිව්වේ නිව්යෝර්ක් බෙල්පොටින්ජ් ආයතනයෙන් මිලියන 339කට වැඩි මුදලක් සජින් වාස් ගුණවර්ධනගේ ලිපිනය දීලා ඒ ආයතනවලට යවා තිබෙනවා. ගොඩාක් මුදල් අනුමත කර තිබෙන්නේ විදේශ අමාත්‍යාංශයෙන්.

අගමැති රනිල් වික්‍රමසිංහ,
මේවා කරපු අයට සිංහල බෞද්ධකමවත් තිබුණේ නැද්ද?
මංගල සමරවීර,
ඒ අයට කිසිම සිංහල බෞද්ධකමක් තිබුණේ නැහැ.
අගමැති රනිල් වික්‍රමසිංහ,
මගේ මිත්‍ර මහාචාර්ය ජී.එල්. පීරිස් මොකද කළේ.
මංගල සමරවීර,
මහාචාර්ය ජී.එල්. පීරිස් තමයි මේ සියලු දේටම වගකියන්න ඕනෑ. විදේශ ප්‍රතිපත්තිය බල්ලට යද්දී එතුමා අප්‍රිකාවේ අලි, ජිරාෆ්ලා බලමින් සංචාරය කළේ අපේ අමාත්‍යාංශයේ සල්ලිවලින්.
අගමැති රනිල් වික්‍රමසිංහ,
එතුමා ගිය තැන් බලන්න පාර්ලිමේන්තු කණ්ඩායමක් යවන්න.
සුනිල් හඳුන්නෙත්ති,
පාර්ලිමේන්තුවේ පූර්ණ බලැති තේරීම් කාරක සභාවක් පත්කරමු. 2010 - 2015 දක්වා සිදුවී ඇති දේවල් පරීක්‍ෂා කිරීම සඳහා.
අගමැති රනිල් වික්‍රමසිංහ,
අපේ විරුද්ධත්වයක් නැහැ. කවුරු හරි මන්ත්‍රිවරයෙක් යෝජනා කරන්න.
මංගල සමරවීර,
මා හිතන්නෙ ගාමිණී ලොකුගේ මන්ත්‍රිතුමා ස්ථිර කරන්න හදන්න වගේ.
ගාමිණී ලොකුගේ,
බැඳුම්කර වංචාවත් මේකට ඇතුළත් කරන්න.
අගමැති,
මහ බැංකුවේ බැඳුම්කරය ගැන බලන්න තියෙනවා. බ්‍රසීලයට ගිහින්, නිව්යෝර්ක්වලට ගිහින් මහ බැංකුවේ සල්ලිවලින් ගත් ගොඩනැඟිලි බලමු.
මංගල සමරවීර,
අපේ ජනාධිපතිතුමා පිටරට ගියාට අපි නම් සෙල්ෆි ගත්තෙ නැහැ. ඒ ගොල්ලො තමයි ඇවිත් සෙල්ෆි ගත්තෙ. අපට දැන් ලෝකෙ පිළිගත් අගමැතිවරයෙක් ඉන්නවා. එතුමාගෙ කථිකත්වය ගැන දැන් ලෝකෙ කතා කරනවා. දේශන සඳහා ආරාධනා ලැබෙනවා.

 

2010 සිට 15 දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයේ අක්‍රමිකතා සෙවීමට විශේෂ තේරීම් කාරක සභාවක්

අගමැති රනිල්

විදේශ කටයුතු අමාත්‍යංශයේ 2010 සිට 2015 දක්වා කාලය තුළ සිදුවූ අක්‍රමිකතා සෙවීම සඳහා පූර්ණ බලතල ඇති විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීමට එකඟත්වය පළකරනවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පැවැසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී පත්කළ මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති රිතී ප්‍රශ්නයක් මතුකරමින් කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් අගමැතිවරයා එසේ පැවැසීය.

මංගල සමරවීර
එම කාලය තුළ විදේශ කටයුතු ඇමැතිවරයාව සිටි ජී.එල්. පීරිස් සහ ඔහුගේ ක්‍රියාකලාපයත්, එම අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රිවරයකුටව සිටි සජින් වාස් ගුණවර්ධනගේත් ක්‍රියා කලාපය පිළිබඳව විමර්ශනයක් කළ යුතුයි.
සුනිල් හඳුන්නෙත්ති
තමා සම්බන්ධයෙන් විමර්ශනය කරනවා වගේම එම කාලය තුළ සිදු වී ඇති අක්‍රමිකතා සෙවීමට පූර්ණ බල ඇති විශේෂ තේරීම් කාරක සභාවක් පත් කළ යුතුයි.
ගාමිණී ලොකුගේ
ඒ කාරක සභාව මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳවත් පරීක්ෂා කරන්න ඕනෑ.
අගමැති
මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන නීතිපතිවරයා ක්‍රියා කරනවා. (සභාවේ ඝෝෂා)
විදේශ කටයුතු අමාත්‍යාංශයේ සිදුවූ දූෂණ අක්‍රමිකතා ගැන සොයන්න විශේෂ අනුකාරක සභාවක් පත්කරන්න පුළුවන්. මම ඒකට එකඟයි. ඔව්. අපි ඒක කරමු.

මහජන පෙත්සම් කාරක සභාවේ මන්ත්‍රිවරුන්
6 දෙනකු රැස්වීම්වලට දිගටම සහභාගි වී නෑ

රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ

පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රිවරුන් හය දෙනකු දිගින් දිගටම කාරක සභා රැස්වීම් සඳහා සහභාගි නොවීම පිළිබඳව කතානායකවරයාට පැමිණිලි කරන බව එම කාරක සභාවේ සභාපති ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ පැවැසීය.

කතානායකවරයාට පැමිණිලි කිරීමෙන් පසු එකී මන්ත්‍රිවරුන් කවුදැයි හෙළිදරව් කරන බවද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය. මහජනතාවගෙන් ලැබෙන පෙත්සම් සම්බන්ධයෙන් විභාග කොට ඒවාට සහන සලසාදීම සඳහා පිහිටුවා ඇති මහජන පෙත්සම් කාරක සභාවේ සාමාජික මන්ත්‍රිවරුන් සංඛ්‍යාව 21කි.

මහජන පෙත්සම් කාරක සභාවේ 06 වැනි වාර්තාව සභාපති සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා ඊයේ (30දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී ඉහත කරුණ සඳහන් කෙළේය. "අවුරුදු දෙකහමාරක් තුළ පෙත්සම් 1,406ක් ලැබුණා. එයින් 1,029ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කටයුතු කළා. පෙත්සම් 32ක් ඔම්බූඩ්ස්මන්වරයාට යොමු කළා. ප්‍රශ්නවලට මුහුණදී සිටි ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට හැකි වුණා' යැයිද හෙතෙම කීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අනුව මැතිවරණ කොමිසම හැර සෙසු කොමිෂන් සභාවන්හි නිලධාරීන් කැඳවීමෙන් යම් බලයක් මහජන පෙත්සම් කාරක සභාවට ලැබී ඇතැයි පැවැසූ ඇමැතිවරයා එය සතුටට කරුණකැයිද කීවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon