වැන්දඹු කතුන් සවිබල ගැන්වීමේ විශේෂ වැඩපිළිවෙළක් අපි ආරම්භ කරනවා

  👤  3361 readers have read this article !
2016-11-30

වැන්දඹු කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සඳහා අවධානය යොමු කර තිබෙන බව කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි චන්ද්‍රානි බණ්ඩාර පැවැසුවාය.

ජාතික ප්‍රතිපත්ති හා ඉලක්ක කරගෙන ළමා හා කාන්තා පරපුරට අමාත්‍යාංශය පුළුල් වැඩ කොටසක් ඉටු කරනවා. සෑම දෙනාගෙන්ම විවේචනයක් තිබුණා ලබන වසරට වෙන් වූ මුදල ගැන. 2016දී අපට සැලකිය යුතු මුදලක් ලැබුණා. ලබන වසරට ලැබුණු මුදල ඉදිරියේදී වැඩිකර ගැනීමට උත්සාහ කරනවා.
අද රටේ ළමා හා කාන්තාවන්ට විවිධ බාධා හිරිහැර සිදු වුණත් ඒවා නතර කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. කාන්තාව විදේශ රැකියාවලට යෑම සංවර්ධනයට බලපානවා. සෑම අමාත්‍යාංශයකටම වෙන් කරන මුදලින් 25%ක් කාන්තාවන් සවිබල ගන්වන වැඩසටහන් සඳහා යෙදවීමට මා කළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත්තා.

ජනගහනයෙන් 24%ක් වැන්දඹු හා ගෘහ මූලික කාන්තාවන්. ඔවුන් සවිබල ගැන්වීමට අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු කර තිබෙනවා.
ලෝකයේ අන් රටවල වගේම අප රටේ කාන්තාවද විවිධ හිංසාවලට මුහුණ දෙනවා. මේ හිංසන වැළැක්වීම සඳහා අප පස් අවුරුදු වැඩපිළිවෙළක් සකස් කළා. ගෘහස්ථ හිංසා පනත සංශෝධනයට කටයුතු කරගෙන යනවා. අප රටේ උසස් සෞඛ්‍ය තත්ත්වය නිසා ළදරුවන් ලක්ෂයක් උපදින විට මිය යන සංඛ්‍යාව 32ක් තරම් අවම වී තිබෙනවා.

කාන්තා දේශපාලනය නියෝජනය 5%ක් පමණ වෙනවා. කාන්තාවන් ඒ ගැන කළ සටනක ප්‍රතිඵලයක් ලෙස පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25%ක් බවට පත් කර ගත්තා. ළමා අපයෝජනය හා කාන්තා හිංසනය වැළැක්වීමට පොලිසිය සමඟ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළා. පළාත් මට්ටමින් මුල් ළමා විය මධ්‍යස්ථාන ආරම්භ කිරීමට සැලසුම් කළා. කිරි වීදුරුව බැගින් ළමයින් 54,000කට දැනට ලබා දෙනවා. මෙහි යම් ගැටලු මතුවී තිබෙන බැවින් ලබන වසරේ සිට කිරි වීදුරුව වෙනුවට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට කටයුතු කරනවා.

මැද පෙරදිගට කතුන් යැවීම ක්‍රමයෙන් අඩු කරනවා

කාන්තාවෝ මැද පෙරදිග යෑම අවම කිරීමට රජය කටයුතු කරගෙන යනවා යැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රි තුසිතා විජේමාන්න (එ.ජා.ප.) පැවැසුවාය.
කාන්තා සුබ සාධනයේ අදහස පෙරදැරිව රජය කාන්තාවෝ මැද පෙරදිග යෑම අවම කිරීමට කටයුතු කරගෙන යනවා. කාන්තාවෝ දේශපාලනයට පැමිණීම අඩුයි. ඒ නිසා පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කිරීමට අගමැතිතුමා පියවර ගෙන තිබෙනවා.

කාන්තාව හොරකමට දූෂණයට බයයි. ඒ නිසා එවැනි පිරිසක් දේශපාලනයට පැමිණීම හොඳයි. පිරිමින් සමඟ කරට කර හැපෙමින් ආර්ථිකය වෙනුවෙන් වෙහෙසෙන කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීමට කටයුතු කළ යුතුයි.

මැතිසබේ කතුන්ගේ
කතාවලට වෙන් කර
ඇති කාලයෙන්ම
කතුනට හිමි තැන පැහැදිලියි

"පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවකට කතාවක් සඳහා වෙන් කරන කාලයෙන්ම කාන්තාවට හිමි තැන පෙනෙනවා" යැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ (එජනිස) පැවැසුවාය.
අප රටේ කාන්තාව හා දරුවන් ආර්ථික සමාජයීය හා දේශපාලනිකව අසරණ කර තිබෙන අවස්ථාවක මුළු දකුණු පළාතම නියෝජනය කරන එකම මන්ත්‍රිනිය වශයෙන් මා කතා කරන්නෙ.

උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවකට කතාවකට ලබාදෙන කාලයෙන්ම කාන්තාවට හිමි තැන පෙනෙනවා. රටට විදේශ විනිමය වැඩිපුරම ලබාදෙන තම ජීවිතය පරදුවට තබා කටයුතු කරන කාන්තාවට තවම සාධාරණය ඉටුවී නැහැ.
කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයට වෙන් කළ මුදල බලන්න. මේවා දේශපාලන ප්‍රශ්න නොවේ. ඒ මුදල දිගටම අඩු කිරීමෙන් කුමක්ද බලාපොරොත්තු වන්නෙ? ඒ මුදල් කප්පාදු කිරීමෙන් අමාත්‍යාංශයේ කටයුතු කළ හැකිද?

මොන්ටිසෝරි ගුරුවරුනට උපරිම අධ්‍යාපනය ලබාදෙන්න. එම ගුරුවරුන්ට ගෙවන්නෙ සොච්චම් මුදලක්. තම දරුවන්ට කිරිපිටි අරන් දෙන්න බැරි ඒ කාන්තාව අනෙක් දරුවන් ගැන බලන්නෙ කොහොමද? ඔවුනට ජීවත්විය හැකි වැටුපක් හිමිවිය යුතුයි.

පළාත් පාලන ඡන්ද තියන්නෙ නැතිව කාන්තා නියෝජනය වැඩි කරන්නෙ කොහොමද?

පළාත් පාලන ඡන්දය නොපවත්වා කාන්තා නියෝජනය වැඩි කිරීමේ අයිතිය ආරක්‍ෂා කරන්නේ කොහොමද? දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනි ශ්‍රියානි විජේවික්‍රම (එජනිස) විමසුුවාය.

අපි අහන්නෙ මහ බැංකු වංචාව හොරකමක් නොවෙයිද කියලයි. බැසිල් රාජපක්‍ෂට හා නාමල් රාජපක්‍ෂට පවරන ලද නඩුවල පදනමක් තිබෙනවා දැයි අහනවා. දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කළා. පනතක් සම්මත කළා. එහෙත් වැඩක් නැහැ. පළාත් පාලන ඡන්දය පවත්වන්නෙ නැතිව ඒ අයිතිය ආරක්‍ෂා කරන්නෙ කොහොමද?

ළමා අපචාර මර්දනය සඳහා මේ අය - වැයෙන් කරන ලද යෝජනා මොනවාද? ගියවර තිබූ මුදලත් මෙවර කප්පාදු කරලා. ළමා හා කාන්තා අයිතිය ආරක්‍ෂා කරන්නෙ කොහොමද?

පළාත් පාලන ඡන්දය
ඉල්ලා ඒකාබද්ධ විපක්‍ෂයෙන් විරෝධතා

පළාත් පාලන ඡන්ද විමසීම සිදුකරන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු ඊයේ (29දා) පාර්ලිමේන්තුවේදී විරෝධතාවක් පළ කළහ.
පළාත් පාලන ඡන්දය කඩිනමින් පවත්වන ලෙස, ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපාගෙන් ඉල්ලා සිටියේය.

ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්‍ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, ජානක වක්කුඹුර, ශ්‍රියානි විජේවික්‍රම, කාංචන විජේසේකර, ගීතා කුමාරසිංහ, ඉන්දික අනුරුද්ධ, පියල් නිශාන්ත, සනත් නිශාන්ත, දිනේෂ් ගුණවර්ධන ඇතුළු මන්ත්‍රිවරු නැඟී සිටිමින් ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාට මෙසේ විරෝධය දැක්වූහ.

මම ඡන්දය ප්‍රමාද කරන්නේ නැහැ. මේකට වගකියන්න ඕන පසුගිය ආණ්ඩුව. සීමා නීර්ණය කටයුතු හරිහැටි සිදු කර නැහැ. සීමා නීර්ණය කටයුතු තවම අවසන් නැහැ. ඒක අවසන් නොවී ඡන්දය තියන්න බැහැ. ඒක අවසන් වුණානම්, මම ඡන්දය තියන්නෙ නැතිව ඉන්නෙ නැහැ යැයි ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා පැවැසීය.
ඇයි ඡන්දය තියන්නෙ නැත්තෙ? මොකක්ද ඡන්දය තියන්න තිබෙන බය? දිනේෂ් ගුණවර්ධන විමසීය.
ෆයිසර් මුස්තාපා - කිසිම බයක් නැහැ. එම ඡන්දය ප්‍රමාද කරන්නෙ නැහැ. සීමා නීර්ණය ප්‍රමාදයි. ඒකයි හේතුව.

හාල් කිලෝ 5ක් දීලා සමෘද්ධියෙන් කපා ගැනීමක් 'උෟ මට ගහනවා
මට උෟ ගහනවා' වගේ වැඩක්

'හාල් කිලෝ පහේ විකාර යෝජනාවට කලින් සමෘද්ධි සහනාධාරය නියමිත දිනයට දෙන්න' පත් කළ මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති (ජ.වි.පෙ.) පැවැසීය.
සමෘද්ධි ව්‍යාපාරය ජන ඉසුර යනුවෙන් නම වෙනස් කිරීමට විෂයභාර ඇමැතිතුමාට වුවමනාවක් නැත්නම් මුදල් ඇමැතිතුමාට ඒ ගැන අවශ්‍යතාවක් ඇයි? සමෘද්ධි බැංකු 1074ක දිවි නැඟුම බෝඩ් ගහන්න රුපියල් මිලියන 37ක් විතර යනවා. ඒ මුදල දුගී දුප්පත් ජනතාවට වෙන් කරන්න තිබුණා.
හාල් කිලෝ 5ක් සමෘද්ධිලාභීන්ට දෙනවා කියා අය - වැය යෝජනාවල කියනවා. ඒකෙ වටිනාකම සමෘද්ධි දීමනාවෙන් කපා ගන්නවාලු. ඒක ගමේ භාෂාවෙන් කියනවා නම්; 'උෟ මට ගහනවා මට උෟ ගහනවා' වගෙයි. අන්තිමට මටමයි ගහලා තියෙන්නෙ. හාල් කිලෝ පහේ විකාර යෝජනාවට කලින් සමෘද්ධි සහනාධාරය නියමිත දිනයට දෙන්න පිළිවෙළක් යොදා ගන්න.

අලි - ඇතුන්ගෙ ජාතියේ වංචා, දූෂණ පටන් ගන්නෙත් හෙණ්ඩුවෙන් තමයි. එදා වගේ අදත් ඒ ආකාරයෙන්ම සිදුවෙමින් තිබෙනවා. දිවිනැඟුම නමින් තමන්ගේ ප්‍රතිරූප ගොඩනඟා ගැනීමේ දේශපාලන ව්‍යාපාරයක් බවට මෙය පත්වුණා. දිවිනැඟුම යටතේ රිකිල්ලගස්කඩ නගරයේ බස් නැවැතුම හදන්න ලක්ෂ 50ක් වෙන් කර තිබෙනවා.

ජනපතිවරයා කියන පරිදි ශ්‍රී ල.නි.ප. ආණ්ඩුවක් හදනවා නම් සමෘද්ධිය ශක්තිමත් කළ යුතුයි

ජනාධිපතිවරයා පවසන පරිදි ශ්‍රී ල.නි.ප. ආණ්ඩුවක් හැදීමේ සැලැස්මක් තිබේ නම් සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කළ යුතු බව ඇමැතිවරයා තේරුම් ගත යුතු යැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි පවිත්‍රා වන්නිආරච්චි (එ.ජ.නි.ස.) පැවැසුවාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලයන් හා සමෘද්ධි ව්‍යාපාරයේ මූලයන් අතර සමානත්වයක් තිබෙනවා. කෙසේ හෝ ශ්‍රී ල.නි.ප. ආණ්ඩුවක් හදන බව ජනාධිපතිතුමා කියනවා. එහෙම සැලැස්මක් ඔබතුමාලාට තිබෙනවා නම් සමෘද්ධි ව්‍යාපාරය ශක්තිමත් කළ යුතු බව තමුන්නාන්සේ තේරුම් ගත යුතුයි ඇමැතිතුමනි.
මේ අය - වැය කතාවේ සමෘද්ධි ව්‍යාපාරයට ජනඉසුර කියා නමක් දෙනවා. අය - වැයෙන් අගමැතිතුමා හා මුදල් ඇමැතිතුමා ඔබතුමාට රටත් දාලා යන්න ගේමක් දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නෙ. මම අහන්න කැමැතියි ඔබතුමා මේ කතාව ගැන බැලුවද කියල. බැලුවේ නැත්නම් හොඳයි.

2002දී වික්‍රමසිංහ මහත්තයා රාජ්‍ය සේවකයන්ගෙ විශ්‍රාම වැටුප කප්පාදු කරන යෝජනාවක් ගෙනාවා. නමුත් 2008දී මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ අයිතිය ආරක්ෂා කර දුන්නා. ඒ අයිතිය උදුරාගෙන දිළිඳු බවට එරෙහි අරගලය කියන සළුවෙන් ඔතලා දෙන්න තමයි මේ හදන්නෙ. එවැනි ප්‍රතිගාමී යෝජනාවලට හවුල් වුණේ නැහැ කියලා ජ.වි.පෙ.ට බේරෙන්න බැහැ. වන්නිආරච්චිලාට දෙබිඩි දේශපාලන පිළිවෙත් නැති නිසා වැඩ කරන ජනතාවගේ, සමෘද්ධිලාභීන්ගෙ අයිතිවාසිකම් කප්පාදු කරන මේ අය - වැයට විරුද්ධව පෙනී සිටිනවා.

උෟව පළාත් සභා නිලධාරීන්ගේ රැකියා
රැක දෙන්න කඩිනමින් ක්‍රියා කරන්න

උෟව පළාත් සභාවේ නිලධාරීන්ගේ රැකියාවල සුරක්‍ෂිතතාව තහවුරු කිරීමට කඩිනමින් මැදිහත් වන ලෙස, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (29දා) ඉල්ලීමක් කළේය.

'උෟව පළාත් සභා මූල්‍ය ලේකම්වරිය තනතුරෙන් පහළ දැමීමට අදාළ ලිපිය ඊයේ රාත්‍රි ඇගේ නිවෙසට ගිහින් භාරදී තිබෙනවා. ඒ නිලධාරීන් කිසි කෙනකු පළාත් සභාවේ අය-වැය විවාදයට ඊයේ සහභාගි වී නැහැ. අඩුම තරමේ සභා ලේකම්වත් ඇවිල්ලා නැහැ. මේ නිලධාරීන්ගේ සේවයේ සුරක්‍ෂිතභාවය ඇති කරන්න කටයුතු කරන්න' අනුර කුමාර දිසානායක මන්ත්‍රිවරයා ඉල්ලා සිටියේය.

ෆයිසර් මුස්තාපා - පළාත් සභාවේ ආණ්ඩුකාරවරයාගේ කටයුතුවලට නියෝග දෙන්න මට නෛතික බලයක් නැහැ. මම එතුමාගෙන් අහල බලන්නම්.
කතානායක - ඒත් ඔබතුමාට කරුණු පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නේද? මේ පාර්ලිමේන්තු සභාව ඉවරවෙන්න කලින් ඒක කරන්න.
ෆයිසර් මුස්තාපා - කතානායකතුමනි, පළාත් සභා පනතට අනුව මට නෛතික බලයක් නැහැ. බලය තියෙන්නේ ආණ්ඩුකාරවරයාටයි.
කතානායක - හරි, ඔබතුමාට සභාවට කරුණු පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්නේ.

ෆයිසර් මුස්තාපා - හොඳයි, මම ආණ්ඩුකාරතුමාට කරුණු පැහැදිලි කරන්නම්.
අනුර කුමාර දිසානායක - ආණ්ඩුකාර තුමාට නෙවි, පාර්ලිමේන්තුවට කරුණු පැහැදිලි කරන්න.

'සමෘද්ධි' නාමය
වෙනස් කරන්නේ නෑ

සමෘද්ධි නාමය වෙනස් වෙන්නේ නැති බවත් ඒ පිළිබඳ ගැටලුවක් නැති බවත් සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුබසාධන ඇමැති එස්. බී. දිසානායක පාර්ලිමේන්තුවේදී ඊයේ (29දා) කීවේය.
සමෘද්ධි සහනාධාරය නුසුදුසු අය අතට ගියා. අප එය නිවරැදි කරමින් සිටිනවා.

සමෘද්ධි ව්‍යාපාරය දිවි නැඟුම බවට පත්කරන විට සේවකයන්ගේ ප්‍රශ්න විසඳීමට එවක ඇමැතිට සිදුවුණා. ඔවුන්ගේ උසස්වීම්, ගමන් වියදම් වැනි ප්‍රශ්න එකිනෙක විසඳමින් සිටිනවා. ඒ බව දැන දැනම තමයි අද පිරිසක් විරෝධතා පළ කළේ. ඒ විරෝධතාව සම්පූර්ණයෙන් අසාර්ථකයි. එම විරෝධතාව පිරිසක් පිළිකුල් කළා. ඒ අයට මගේ ගෞරවය පිරිනමනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon