ජනපති පදවි ප්‍රාප්තිය සමරා හැම දිසාවකටම උදාගමක්

  👤  3066 readers have read this article !
2016-11-28

"මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා විමල් වීරවංශ හිටපු ඇමැතිතුමාට වෙන් කළා වගේ නොවේ මගේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, මුදල් ඇමැතිතුමා, ඇමැති සජිත් ප්‍රේමදාසට හා ඉන්දික බණ්ඩාරනායක නියෝජ්‍ය ඇමැතිතුමාට ලොකු හැන්දෙන් බෙදනවා" යැයි නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස පැවැසීය.
නිවාස අමාත්‍යාංශයට ඓතිහාසික මුදල් ප්‍රමාණයක් වෙන් වුණා. නිවාස සංවර්ධන වැඩසටහනට මිලියන 6040ක් අපට ලැබී තිබෙනවා. නිවාස 75000ක් කපරාරු කිරීමට ආධාර දෙනවා. අමාත්‍යාංශය වෙන්කරන මුදල 100%ක්ම ජනතා සුබ සිද්ධියටයි වැය කරන්නෙ. නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිතුමා ඉදිරිපත් කළ කතාව ගැන මා සතුටු වෙනවා.

2010 සිට 2014 දක්වා විමල් වීරවංශ හිටපු ඇමැතිතුමාට ඒ පස් වසර සඳහා ඔබතුමාගේ පියාණන් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා වෙන් කළේ රුපියල් මිලියන 3,251යි. ඒ මුළු කාලයේම ආරම්භ කළේ නිවාස 31,334යි. එයින් වැඩ අවසන් කළ නිවාස 18,046යි. අපි මේ කාලය තුළ නිවාස 1,67,466ක් ආරම්භ කළා.
විමල් වීරවංහ ඇමැතිතුමාට ඔබතුමාගේ පියාණන්ගෙ කාලෙ වසර පහට වෙන් කළ මුදලට වඩා මිලියන 5514ක් අපේ ආණ්ඩුව මේ වසර දෙකට නිවාස අමාත්‍යාංශයට වෙන්කර තිබෙනවා. ඒ අනුව 2015 හා 2016 වසර දෙකට පමණක් රුපියල් මිලියන 8766ක් වෙන් කළා.

ඇත්ත වශයෙන්ම නිවාස ලබාදීමේදී දෙන්න වෙන්නෙ මුදලටයි. රජයේ සේවකයන්ට නිවසක් ලබා ගැනීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් ලක්ෂ 50ක් සියයට 7 පොලියට ලබාදීම සඳහා රුපියල් බිලියන 350ක් වෙන් කිරීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කළා.
ජාතික නිවාස ප්‍රතිපත්තිය ප්‍රතිනිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙනවා. ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සෑම දිස්ත්‍රික්කයටම එක උදාගමක් බැගින් ඉදිකරනවා.
මේ අමාත්‍යාංශයට මෙම වසරේ රුපියල් මිලියන 5800ක් වෙන් වුණාට ලබන වසරේදී රුපියල් මිලියන 7200ක් වෙන් වෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා විමල් වීරවංශ ඇමැතිතුමාට මුදල් වෙන් නොකළාට මගේ ජනාධිපතිතුමා, මගේ අගමැතිතුමා, මගේ මුදල් ඇමැතිතුමා ලොකුම හැන්දෙන් සංවර්ධනය සඳහා සජිත් ප්‍රේමදාසටයි, ඉන්දික බණ්ඩාරනායක නියෝජ්‍ය ඇමැතිතුමාටයි බෙදනවා. ලබන වසරේදී තවත් බිලියනයක් ලබාදෙන බව මුදල් ඇමැතිතුමා මට ප්‍රකාශ කළා. ඒ අනුව මිලියන 8700ක් ලැබෙනවා. වැඩිවීම සියයට 50යි.

අපි හදපු නිවාස
මේ ආණ්ඩුව
විවෘත කරගෙන යනවා

"මේ රජය කරන්නේ අපි හදපු නිවාස සංකීර්ණ විවෘත කරන එකයි" හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රි නාමල් රාජපක්ෂ (එ.ජ.නි.ස.) පැවැසීය.
දින සියයට ගෙවල් 50,000ක් හදන බව කියමින් තමයි මේ රජය රට භාර ගත්තේ. නමුත් එහෙම දෙයක් වුණේ නැහැ. කොළඹ නිවාස ප්‍රශ්නය විසඳීමට නිවාස 65,000ක් හදන බව කීවා. අද කොළඹ ගෙවල් කීයක් මේ රජය අලුතින් හදලා තියෙනවාද? මේ රජය කරන්නේ අපි හදපු නිවාස සංකීර්ණ විවෘත කරන එකයි. වතුකරයේ නිවාස ව්‍යාපෘතිය අසාර්ථකයි. සාලාව කඳවුරේ පිපිරීම නිසා විනාශ වූ එක ගෙයක්වත් මේ රජය හැදුවද? අරණායක නාය යෑම නිසා විනාශ වූ නිවාස හැදුවද? මේ වසරේ වතුකරයේ එකම ගෙයක්වත් හැදුවේ නැහැ. අලුතින් ගෙවල් හදනවා කියලා සිමෙන්ති කෝට්ට 10යි වැලි කියුබ් එකයි රුපියල් 10,000යි. ඒවා දෙන්න අමාත්‍යාංශයක් ඕනෑද? දිලිප් වෙදආරච්චි ඇමැතිතුමා විමධ්‍යගත අයවැයෙන් ඔයිට වඩා දීලා තිබෙනවා. තියෙන ගෙවල්වලට පැලැස්තර දමලා ඒකත් අලුත් ගෙවල් ගානට දානවා. එදා ඔබතුමන්ගේ පියා එදා වැඩ කරන කොට පක්ෂ පාට බැලුවේ නෑ. නමුත් අද පක්ෂ පාට, උස්, මිටි, මහත ගැන බලලයි වැඩ කරන්නේ. සුදුසු නැති අධ්‍යක්ෂවරු ආයතනවලට දානවා. මේ රටේ නිවාස ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් දෙන්න. ඉඩම් දීලා ඒ ප්‍රශ්නය විසඳන්න බැහැ.

කම්කරු නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳීමට නොහැකි වීමෙන් දෙපාර්තමේන්තුව අඩපණ වෙලා

ලක්‍ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාවගේ ප්‍රශ්න හා ඉල්ලීම් විසඳන කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රශ්න විසඳීමට නොහැකි වීම නිසා රටපුරාම එම දෙපාර්තමේන්තුවේ කටයුතු අඩපණ වී ඇති බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි දිනේෂ්
ගුණවර්ධන (එජනිස) ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් පැවැසීය.

දින 23ක් තිස්සේ නොවිසඳී පවතින කම්කරු නිලධාරීන්ගේ සත්‍යග්‍රහය හා වැඩ වර්ජනය විසඳීමට ගන්නා පියවර පැහැදිලි කරන්නැයිද මන්ත්‍රිවරයා කීවේය.
සේවා ව්‍යවස්ථාව සැකසීමට ඇමැතිතුමා විසින් පත්කරන ලද කමිටුව ක්‍රියා විරහිත වීමෙන් කම්කරු දෙපාර්තමේන්තුවට ඉතා හානිකර බැවින් මේ ප්‍රශ්නයට විශේෂ විසඳුමක් ඇති කරන්නේ කවදාදැයි මන්ත්‍රිවරයා විමසුවේය.

කම්කරු නිලධාරීන්ගේ ඉල්ලීම්වලට එකඟ වීමට කොහෙත්ම බෑ

වසර හතකින් අලුතින් නිලධාරින් බඳවා ගෙන නැති බැවින් පුරප්පාඩුවී පවතින 239ක් වූ කම්කරු නිලධාරි සේවය සඳහා නවකයන් බඳවා ගැනීමේ කටයුතු නවතා දැමිය නොහැකි බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කළේය.

මුල් වැඩ වර්ජනය 2016 සැප්තැම්බර් 07 සිට 27 දක්වා වර්ජනයට සහභාගි වූවන්ට අදාළ දින සියල්ල සඳහා වැටුප් ගෙවීම හා එම දින ගණන ඔවුනට හිමි නිවාඩුවලින් අඩුකර ගැනීම ඇතුළු විශේෂ සහන යෝජනා වැටුප් හා සේවක සංචිත කොමිෂන් සභාව සහ මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට යොමු කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් ඔවුන් ඉකුත් 08 වැනිදා සිට නැවතත් ඉල්ලීම් හතරක් මත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බවත් ඇමැතිවරයා කීවේය.

පරිපාලන නීති රීති හා රෙගුලාසි අනුවද දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතුවලදී වැරැදි පූර්වාදර්ශයක් වන බැවින්ද, රාජ්‍ය සේවයේ විනය පවත්වාගත යුතු බැවින්ද කම්කරු නිලධාරින්ගේ එම ඉල්ලීම් සඳහා එකඟ විය නොහැකි බවත් ඇමැතිවරයා පැවැසීය.
ඇමැතිවරයා එසේ පැවැසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන (එජනිස) ස්ථාවර නියෝග 23(2) යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

හොරුන් අත්අඩංගුවට ගන්න මට බෑ:
මට අයිති අලි බලා ගැනීම විතරයි

අලින් හොරුන් අත්අඩංගුවට ගැනීමට මට අයිතියක් නැහැ. මට අයිති අලි බලා ගැනීම පමණක් යැයි තිරසර සංවර්ධන වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා පැවැසීය.

පින්නවල අලි අනාථාගාරය සඳහා විශේෂ අවධානයක් අපි යොමුකර තිබෙනවා. තිරසර සංවර්ධනය අපි ගමින් ගමට, නිවෙසින් නිවෙසට ගෙන යන්න ඕනෑ. වනජීවී, වන සංරක්ෂණ හා උද්භිද උද්‍යාන යන ආයතන පළමුවරට එක් අමාත්‍යාංශයක් යටතට පත් කෙරුණේ මගේ අමාත්‍යාංශය යටතේ.
අනුර කුමාර දිසානායක - ඇමැතිතුමා අපේ රටේ අලි - ඇත් පැටවුන් හොරකම් කෙරුවා. කොපමණ අලි ඇතුන් සංඛ්‍යාවක් එසේ හොරකම් කර තිබෙනවද?
ජයවික්‍රම පෙරේරා - හතළිස් හතර දෙනකු ගැන වාර්තාවෙලා තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගත්තා. තවත් පස් දෙනකු පිළිබඳ සොයන්නට තිබෙනවා. මට ඒ අය අත්අඩංගුවට ගැනීමට අයිතියක් නැහැ. අලි බලා ගැනීම තමයි මට අයිති.

කාටත් නීතිය පොදුයි. කවුරු වුණත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. අලි-මිනිස් ගැටුම්වලින් සිදුවන හානිවලට අපි වන්දි ලබාදීම් වැඩි කළා. ජීවිත හානියකදී ගෙවන ලක්ෂ දෙකක වන්දි මුදල ලක්ෂ පහ දක්වා වැඩි කරනවා.

වනජීවීන් මෙන්ම වනසම්පතත් අනිවාර්යයෙන්ම රැකගත යුතුයි

මිනිසාගේ පැවැත්ම සඳහා වනජීවීන් මෙන්ම වන සම්පතද අනිවාර්යයෙන්ම රැකගත යුතු නමුත් එම අභියෝගය ජයගැනීම අපහසු නැතැයි තිරසාර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමැතිනි සුමේධා ජී. ජයසේන පැවැසුවාය.
මෙවර අය-වැය ගියවරට වඩා සතුටු විය හැකි ආකාරයට ඉදිරිපත් කර තිබෙනවා. අලි - මිනිස් ගැටුම අවම කිරීමට අපි බොහෝ කටයුතු සිදු කරනවා. අලි වගේම අපේ ජනතාවත් ආරක්ෂා කළ යුතුයි.

තිරසර සංවර්ධනය හා පරිසරය ආරක්ෂා නොකිරීම නිසා විවිධ ව්‍යසන තත්ත්වයන්ට මුහුණදීමට සිදුවනවා. අපි 2016දී තිරසර සංවර්ධන ලේකම් කාර්යාලයක් ආරම්භ කළා. සියලුම සංවර්ධන කටයුතු තිරසර සංවර්ධන ලේකම් කාර්යාලයෙන් අධීක්ෂණය වෙනවා

සංචාරක කර්මාන්තය වෙනුවෙන්ද වනජීවී ක්‍ෂේත්‍රය යොදාගත හැකියි. සංචාරක කර්මාන්තය නිසා පසුගිය සැප්තැම්බර් මාසය වනවිට රුපියල් මිලියන 1574ක ආදායමක් උපයා ගැනීමට අපට හැකි වුණා. අපට ජාතික උද්‍යාන 21ක් තිබෙනවා. සංචාරකයන්ගේ ආකර්ෂණය ලබාගත හැකි වන ආකාරයට මෙම ජාතික උද්‍යාන නවීකරණය කරනවා. අලි අප්‍රිය කරන තල්, හණ, දෙහි වැනි ගස් ඒවායේ වැවීමට අපි සැලැසුම් සකස් කර තිබෙනවා.

වයස අවුරුදු 60-65 වෙලත්
මේ රටේ විශාල පිරිසකට
හැඳුනුම්පත් තාමත් නෑ

'ක්‍ෂේත්‍ර නිලධාරීන් හතළිස් දහසක් හිටියත් ගමේ ප්‍රශ්න එක තැන පල්වෙනවා' යැයි ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන පැවැසීය.
වයස අවුරුදු 60-65 වෙලත් මේ රටේ එවැනි විශාල පිරිසකට හැඳුනුම්පත් නැහැ. ඒ අය හැඳුනුම්පත් ලබාගෙන නැහැ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවැනි අය විශාල පිරිසක් හමුවුණා.

ඒ වගේම නීත්‍යනුකූලව විවාහ නොවූ පිරිස්, රියැදුරු බලපත්‍ර ලබානොගත් පිරිස් විශාල පිරිසක්ද සිටිනවා.
පසුගිය දිනවල ගාල්ල දිස්ත්‍රික්කයේ ජාතික හැඳුනුම්පත් ලබාදීමේ වැඩසටහනකදී, ඒ දිස්ත්‍රික්කයේත් අවුරුදු 60-65-70 වයසේ විශාල පිරිසක් හැඳුනුම්පත් නොමැතිව සිටියා.

ඒ වගේම රියැදුරු බලපත් නොමැති නිසා ඒවා ලබාගැනීමට පැමිණි අයගේ දිගු පෝලිමක් දක්නට ලැබුණා. නීත්‍යනුකූලව විවාහ නොවූ විශාල පිරිසක්ද විවාහ වීම සඳහා දරුවනුත් සමඟ පැමිණ සිටියා. මේ තත්ත්වය මුළු රටේම පවතිනවා. උතුරු නැඟෙනහිර පළාත්වල මේ තත්ත්වය ඉහළයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ජාතික හැඳුනුම්පත් නොමැති 25,000කට ජනාධිපතිතුමා අතින් ජාතික හැඳුනුම්පත් ලබාදීමට කටයුතු කරනවා. විවාහ වෙන්න රුපියල් 1,200ක් දෙනවාට වඩා මේ අයට වැදගත් වන්නේ එදිනෙදා ජීවිතය ගත කිරීම. අපි මේ 1,200ක මුදලත් ලබා දෙනවා.

මාධ්‍යවේදීන්ට
නිවාස ලබාදීමට
කටයුතු කරන්න

"මාධ්‍යවේදීන්ට නිවාස ලබා දෙන්න කියා මා යෝජනා කරනවා" යැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රි ඩී. වී. චානක (එජනිස) පැවැසීය.
අෑත දුර පළාත්වලින් කොළඹට ඇවිත් මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍යවේදීන් ඉන්නවා. රුපියල් දහදාහේ පහළොස් දහසේ වැටුපට ඔවුන් වැඩ කරන්නෙ. ඔවුන් පන්සල්වල, ලෑලි ගහපු කාමරවල බෝඩින්වෙලා දුෂ්කර ජීවිතයක් ගත කරනවා. ඒ නිසා උස් මිටි භේද නැතිව මාධ්‍යවේදීන්ට නිවාස ලබාදෙන්නැයි මා යෝජනා කරනවා.

රාජ්‍ය සේවය ගෞරවාන්විත සේවයක් කරන්න

රාජ්‍ය සේවය දඩයම් කර එහි ගරුත්වය රකින්න බැරි බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පැවැසීය.
රාජ්‍ය සේවය ස්වාධීන, ගෞරවාන්විත සේවයක් කිරීමේ නිර්මාණශීලී වැඩපිළිවෙළකට ගමන් කරන්න. වෙන රටවල ආණ්ඩු එනවා, යනවා. තව රටවල ආණ්ඩු නැහැ. නමුත් රාජ්‍ය සේවයේ ගාම්භීරත්වය මත රටේ ආර්ථික පරිපාලන වැඩ සිදු කෙරුණා.

ඉන්දියාවේ රාජ්‍ය සේවය, ස්වාධීනව, ශක්තිමත්ව තීන්දු තීරණ ගන්නවා. වියදම් කරනවා වැඩියි, වැරැදි ටෙන්ඩර් ක්‍රියාත්මක කරනවා කියලා රාජ්‍ය සේවකයන්ට ඇඟිල්ල දිගු කරනවා. රාජ්‍ය සේවකයන් දඩයම් කරලා එහි ගරුත්වය රකින්න බැහැ.

පුද්ගලයන් ලියාපදිංචි කිරීම් අධ්‍යක්‍ෂවරයා
ඉවත් කිරීමේ උත්සාහයක් තිබෙනවා

"ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කිරීම සඳහා වැඩි මුදලක් ගෙවීම ප්‍රතික්‍ෂේප කළ නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තනතුරෙන් ඉවත් කිරීමට හදිසි කැබිනට් පත්‍රිකාවක් සකස් වෙමින් පවතිනවා" යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පැවැසීය.

ජාතික හැඳුනුම්පතක් මුද්‍රණය කිරීමට පෞද්ගලික ආයතනයකින් රුපියල් 80ක් මිල ගණන් ඉදිරිපත් කර තිබියදී රජයට අයත් ලේක්හවුස් ආයතනය එය රුපියල් 40 බැගින් මුද්‍රණය කරදීමට ඉදිරිපත් වී තිබෙනවා. රුපියල් 80ක් බැගින් ඉදිරිපත් කර ඇති මිලට ඒවා මුද්‍රණය කිරීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ අධ්‍යක්‍ෂ ජනරාල් වෙනුවට වෙනත් අයකු පත් කිරීමට යනවා. රාජ්‍ය සේවා කොමිසම තිබුණාට වැඩක් නැහැ."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්