මෛත්‍රිගෙන් පොලිස්පතිට හදිසි කෝල් එකක්

  👤  6219 readers have read this article !
2016-11-27

පසුගිය කාලය පුරාවටම විවිධ සිද්ධීන් මුල් කොටගෙන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් පොලිසිය ඇතුළේත්, ආණ්ඩුව ඇතුළේත් විවිධ රාවයන් පැතිර යන ආකාරයක් දැකගත හැකිවිය. ඉන් එක් අවස්ථාවක් ලෙස මාධ්‍ය වාර්තා කර තිබුණේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා සමඟ ඇති කොටගත් බරපතළ ගැටීම් කීපයක් හේතුකොට ගෙන අගමැතිවරයා පවා පොලිස්පතිවරයාව ගෙන්වා අවවාද කොට ඇතැයි කියාය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට වරින් වර විවිධ අනතුරු ඇඟවීම් පවා සිදුකර තිබූ බව එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබිණි. පූජිත් සම්බන්ධයෙන් පොලිසිය ඇතුළෙන්ම එල්ල වූ තවත් බරපතළ චෝදනාවක් වූයේ පැය ගණන් පුරා නිලධාරීන් රඳවා තබාගෙන දේශනා පවත්වනවා යැයි කියාය. කෙසේ වෙතත් මෙවැනි සිදුවීම් එකපිට එක සිදුවීමෙන් අනතුරුව ටික කාලයක් යනතුරු පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මෙවැනි සිදුවීම් වාර්තා වන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැතත් පසුගිය සතියේ හිටි හැටියේම සිදුවූ එක්තරා විශේෂ සිදුවීමක් මුල්කර ගනිමින් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මාධ්‍යයට පුවතක් වාර්තා වී තිබිණි.

ඒ වෙන කිසිවක් නොව, පොලිස් විශේෂ කාර්ය බළකායේ (ඉඊජ්) හිටපු අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති කේ. එල්. එම්. සරච්චන්ද්‍ර මහතා සිය රාජකාරියෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුවත් රජයට අයත් වාහනයක් අවභාවිත කරමින් රුපියල් එක් ලක්‍ෂ තිස් හය දහසක මුදලක් රජයට පාඩු කළා යැයි කියමින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමය. මේ සිද්ධිය මෛත්‍රිට වාර්තා වීමත් සමඟ මෛත්‍රිගේ කෝපය ඉහළ ගියේය. මෛත්‍රි ඒ මොහොතේම කළේ වහාම පොලිස්පති පූජිත්ට දුරකතන ඇමතුමක් ලබාදෙන ලෙස නියෝග කිරීමය. මෛත්‍රි පූජිත්ට දුරකතන ඇමතුම ගෙන නිකන් සිටියේ නැත. හිටපු එස්. ටී. එෆ්. ලොක්කාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෛත්‍රි එහිදී පූජිත්ට දැඩි ලෙස දෙහි කැපීමට කටයුතු කළේ මේ ප්‍රශ්නය පොලිස් දෙපාර්තමේන්තුවේ තිබෙන නීති රීති අනුව කටයුතු කරමින් ගොඩින් බේරා ගැනීමට හැකිව තිබුණා යැයි කියාය.

"මේ ප්‍රශ්නෙදී ඕගොල්ලන්ට උසාවි ගාණෙ නොගිහින් පොලිස් දෙපාර්තමේන්තුවේ තියෙන නීති රීති අනුව කටයුතු කරන්න ඕන තරම් අවස්ථාව තිබුණා. තම තමන්ට ඕන විදියට විතරක් නීතිය පාවිච්චි කරන්න ලැහැස්ති වෙන්න එපා. මේක මේ වාහනයක ප්‍රශ්නයක්. ඒකට ඔච්චර දේවල් කරන්න අවශ්‍ය නෑ. ඕන නම් දෙපාර්තමේන්තුව පැත්තෙන් එයාට විරුද්ධ පියවරක් ගන්න තිබ්බා. හැබැයි මීට පස්සෙත් මේ විදියට දිගින් දිගටම කටයුතු කරන්න ගියොත් මමත් දැඩිව ඒවට කටයුතු කරනවා..." යැයි මෛත්‍රි විනාඩි තුන හතරක් තිස්සේ එක දිගටම දෙහි කපද්දී පොලිස්පතිවරයා ඊට එරෙහිව තමන්ගේ පාර්ශ්වයෙන් එකදු වචනයක් හෝ කියන්නට ගියේ නැත.

මෛත්‍රිගෙන්
තද තීන්දු
ටිකක්

ජනාධිපති මෛත්‍රි පසුගිය සතියේ බදාදා (23දා) රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ව පාර්ලිමේන්තුවට කැඳවීමට කටයුතු කළේය. ආණ්ඩුවේ මාධ්‍ය නියෝජනය කරන සභාපතිවරුන් ඇතුළු සියලු දෙනා එම හමුවට සහභාගි වී සිටි අතර ජනමාධ්‍ය ඇමැති ගයන්තත්, ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුත් ඊට එක්ව සිටියහ.

මෛත්‍රි මෙම විශේෂ හමුව පාර්ලිමේන්තුවේ පැවැත්වීමට තීරණය කර තිබුණේ මේ දිනවල ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂ සහ ජනාධිපතිවරයා අමාත්‍ය ධුර දරන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන නිසාය. මෙතෙක් කිසිදු ජනාධිපතිවරයෙක් නොකළ පරිද්දෙන් තමන්ගේ යටතේ පවතින අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනෙන අවස්ථාවේදී දිනපතාම මෛත්‍රි පාර්ලිමේන්තුවට පැමිණ සිටීමද විශේෂ සිදුවීමක් විය. ඒ විතරක් නොව, පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවලට කැබිනට් රැස්වීමක් පැවැත්වෙනවා නම් එයද පාර්ලිමේන්තුවේම පැවැත්වීමටද මෛත්‍රි තවත් විශේෂ තීන්දුවක් ගෙන තිබිණි. ඒ අනුව සියලුම අමාත්‍යවරුන්ට දැනුම් දීමක් කරමින් මෛත්‍රි කියා තිබුණේ පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවල තමාව හමුවීමෙන් පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට බාධා වන නිසා තමාම පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් අමාත්‍යවරුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණීම අනවශ්‍ය බවත් කැබිනට් මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තුවේම ඒ දිනවල පැවැත්වීමට කටයුතු කරමු යැයි කියාත්ය. කෙසේ නමුත් පාර්ලිමේන්තු සැසිවාර හෝ වෙනත් විශේෂ රාජකාරි කුමක් තිබුණත් ජනාධිපති ලේකම් කාර්යාලයේ හෝ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම මේ ආකාරයට වෙනස් කරමින් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට මෛත්‍රි ගත් තීරණය විශේෂ සිදුවීමක් විය.

රාජ්‍ය මාධ්‍ය ගැන මෛත්‍රි කලකිරීමෙන්

මේ අතර රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් කැඳවූ අවස්ථාවේ රාජ්‍ය මාධ්‍යයේ හැසිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට මෛත්‍රි කටයුතු කළේය. එහිදී මෛත්‍රි කීවේ ආණ්ඩුව කරන දේ රටට ගෙනයෑම රාජ්‍ය මාධ්‍යයේ වගකීම වුවත් ඔවුන් තමනුත්, අගමැතිවරයාත් අතර ප්‍රශ්න ඇතිවන ආකාරයේ පුවත් හා වැඩසටහන් පළ කිරීම කරන බවත් ඔවුන් කළ යුත්තේ තමන් දෙදෙනා අතර සුහදතාව වර්ධනය වන ආකාරයෙන් කටයුතු කිරීම යැයි කීය.

'ආණ්ඩුව කරන දේවල් හරි විදියට රටට, ජනතාවට අරගෙන යන එක තමයි ඕගොල්ලන්ගෙ වගකීම. හැබැයි අද මේ රාජ්‍ය මාධ්‍ය කරන්නෙම මගෙයි අගමැතිවරයගෙයි අතර ප්‍රශ්න ඇති වන විදියට පුවත් පළ කරන එකයි වැඩසටහන් මෙහෙයවන එකයි. හරිනම් ඕගොල්ලො කරන්න ඕන මමයි, අගමැතිතුමයි අතර ප්‍රශ්න ඇතිවෙලා වෙන්වෙන විදියෙ පුවත් පළ කරන එක නෙවෙයි, අපි දෙන්නා එකතුවෙන විදියෙ වැඩ කරන එකයි. රාජ්‍ය මාධ්‍යවලින් වෙන්න ඕන ඒක. ඕව පෞද්ගලික මාධ්‍යවලින් කළා නම් මට ලොකු ගැටලුවක් නෑ. හැබැයි දිගින් දිගටම මේ දේවල් රාජ්‍ය මාධ්‍යයෙන් වෙන එක තමයි ප්‍රශ්නෙ. මීට පස්සෙවත් එහෙම දේවල් නොවෙන්න ඔයගොල්ලො වගකීමෙන් කටයුතු කරන්න ඕනෑ. රාජ්‍ය මාධ්‍ය ඔහොම හැසිරෙන එකෙන් වාසිය යන්නෙ මටවත්, අගමැතිවරයටවත් නෙවෙයි. කොහොමත් පැත්තක ඉන්න අයටයි. ඒ නිසා ඔය වැරැද්ද ආයෙ නොකර වගකීමෙන් යුතුව කටයුතු කරන්න' යැයි කී මෛත්‍රි ලේක්හවුස් ආයතනය පුවත්පත් සම්බන්ධයෙන්ද දැඩි කෝපයෙන් යුතුව විශාල දෝෂාරෝපණයක් එල්ල කරන ආකාරයක් දැක ගත හැකි විය.

ලේක්හවුස් පත්තරවල වැරැදි ගැනත් මට විශාල චෝදනාවක් තියෙනවා. ඔය කරන වැරැදි ඉක්මනින් හදා ගත්තෙ නැත්නම් මටත් දැඩි තීන්දු තීරණ ගන්න තත්ත්වයකට යන්න සිද්ධ වෙයි. මමත් 70 ගණන්වල පත්තරවල ලියපු කෙනෙක් විදියට මාධ්‍ය ගැන හොඳට දන්නවා. ඒ නිසා මමත් දන්නව, පත්තරවල ලියද්දි, ටී වීවල ඉද්දි ඒවා මොකටද කොහොමද දාන්නෙ කියලා' යැයි දැඩිව කී මෛත්‍රි තරමක අනතුරු ඇඟවීමක් කරමින් රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට කීවේ තමන් කිසිවකුට බය නැතිව රාජකාරි කරන කෙනෙක් බවත් මහින්දගේ ආණ්ඩුවෙන් එළියට බැස්සෙ ඔහුටත් තමන් බය නොවූ නිසා බවත්ය.

අනතුරුව රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට ප්‍රශ්න ඇසීමටද අවස්ථාව ලබා දීමට මෛත්‍රි කටයුතු කළේය. එහිදී ඔවුන් මසකට වරක් හෝ මේ ආකාරයට ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට අවස්ථාව ඉල්ලා සිටි අතර ඊට මෛත්‍රිගේ පැත්තෙන්ද හොඳ ප්‍රතිචාරයක් හිමි විය.

මහින්දගේ කකුල පාගපු
ප්‍රසන්න කවුද?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ 71 වැනි ජන්ම දිනය යෙදී තිබුණේ පසුගිය 18 වැනි සිකුරාදාටය. එදින උදෑසන මහින්දගේ විජේරාමයේ නිල නිවෙසට විශාල පිරිසක් පැමිණ සිටියහ. ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංගද ඒ අතර විය. මහින්දට සුබ පැතීමට එතැන තිබුණේ තරගයකි. මහින්ද අසලට ඉතා අසීරුවෙන් පැමිණි ප්‍රසන්නද ඔහුට සුබ පතමින් කීවේ දීර්ඝායුෂ වේවා, ලබන අවුරුද්දටත් එක්ක කියාය. "ඒ මොකක්ද ඒ ලබන අවුරුද්දටත් එක්ක" යැයි මහින්ද අසද්දී ප්‍රසන්න යළිත් කීවේ ඇයි සර්, මේ ඉන්න සෙනඟත් එක්ක ලබන අවුරුද්ද වෙනකොට මෙතැන ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැති වෙයිනේ. එදාට අපිට ඉන්න වෙන්නේ එළියේ. ඒකයි ලබන අවුරුද්දටත් එක්කම දැන්ම සුබපැතුවේ" යැයි කියාය. "නෑ. නෑ, එහෙම වෙන්නේ නැහැ. එදාට ඉස්සෙල්ලාම ඇතුළට ගන්නේ ඔයාලව" යැයි මහින්ද කීවේ ප්‍රසන්නගේ පිටට තට්ටුවක්ද දමමිනි.

හිටපු ජනාධිපතිවරයාට ආශීර්වාද කිරීම සඳහා වැලිමිටියාවේ කුසලධම්ම නාහිමියන් ප්‍රමුඛ සියක් නමක් කැලණියට වැඩම කර සිටියහ. මහා සෙනඟක් පැමිණ සිටියේ මහින්දට සුබ පැතීම සඳහාය. රාත්‍රි 8.00ට පමණ මහින්ද කැලණිය පුදබිමට ආවේ ශිරන්ති රාජපක්‍ෂ මහත්මියද සමඟය. ජනතාවගේ ඔල්වරසන් මැද පැමිණි මහින්ද මහා සංඝරත්නයේ ආශීර්වාදය ලබා ගනිමින් ආශීර්වාද පූජාව පැවැත්වෙන ස්ථානයට ගියේ පෙරහැරකිනි. ඔවුන් පිටුපසින් විශාල පිරිසක් ගමන් කිරීම නිසා ලොකු තදබදයක් ඇතිවිය. මේ තදබදය අතරේ ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරයාට මහින්දගේ කකුල පෑගිනි. වේදනාවට පත් හිටපු ජනාධිපතිවරයා වහා ආපසු හැරෙන ආකාරයක් දැකගත හැකි විය. මහින්ද හැරුණේ ඇයි දැයි දන්නා රණවීර ළඟ සිටි ප්‍රසන්න රණතුංග දෙසට ඇඟිල්ල දිගු කළේ මම නෙවෙයි මෙයා කියන්නාක් මෙනි. සිද්ධිය බලා සිටි ප්‍රසන්නද රණවීර දෙසට ඇඟිල්ල දිගු කළේය. ප්‍රසන්නලා එකිනෙකාට ඇඟිල්ල දිගු කරන අයුරු දුටු මහින්දද සිනහව නවතා ගත්තේ අසීරුවෙනි.

ආශීර්වාද පූජාවෙන් පසු මහින්ද ඇතුළු පිරිස ගියේ කැලණිය පන්සල අසල පිහිටි සිසිර ජයකොඩි මන්ත්‍රිවරයාගේ නිවෙසටය. එහි මහින්ද ඇතුළු මන්ත්‍රිවරුන්ට රාත්‍රි ආහාරය සූදානම් කර තිබිණි. සිසිරගේ නිවෙසට ගිය මහින්ද ඇතුළු පිරිසට දැකගත හැකි වූයේ සාලේ කේක් ගෙඩි දෙකක් කැපීමට සූදානම් කර ඇති බවය. එක කේක් ගෙඩියක් ගෙනවිත් තිබුණේ සිසිර ජයකොඩි මන්ත්‍රිවරයාය. අනෙක ගෙනත් තිබුණේ ප්‍රසන්න රණවීරය. රණවීර ගෙනා කේක් ගෙඩිය නෙලුම් පොහොට්ටු දෙකකින් සරසා තිබීම විශේෂත්වයකි. ඔහු මේ කේක් ගෙඩිය ගෙනවිත් තිබුණේ ප්‍රසන්න රණතුංගගේ උපදෙස් අනුවය. ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රිවරු හැපි බර්ත්ඩේ ගීතය ගයද්දී මහින්ද කේක් කැපුවේය. මුලින්ම සිසිර ජයකොඩි මන්ත්‍රිවරයාගේ දරුවන්ට කේක් කැවූ මහින්ද, අනතුරුව ළඟ සිටි මන්ත්‍රිවරුන් සියලු දෙනාටම කේක් කැව්වේය. මහින්දගෙන් කේක් කන ගමන් මන්ත්‍රිවරුන් කීවේ ඊළඟ අවුරුද්දේ ඔබතුමාගේ ආණ්ඩුවක් යටතේ කේක් කවන්නට ලැබේවා යැයි කියාය. "කෝ මේ ප්‍රසන්නලා" මේ අතර මහින්ද ඇසුවේ ප්‍රසන්න රණතුංගත් ප්‍රසන්න රණවීරත් පේන්නට නොසිටි නිසාය. ආ ඒ දෙන්නාම පන්සලේ නතර කරගෙන ඇති. පියල් නිශාන්ත මන්ත්‍රිවරයා කීවේය. "ඒක නම් කීයටවත් වෙන්න බෑ. ඒ දෙන්නාව නම් කීයටවත් එහේ තියා ගන්නේ නැහැ" යැයි නිරෝෂන් කීවේ සියලුදෙනා සිනා ගන්වමිනි.

ආශීර්වාද පූජාව සඳහා හිටපු ජනාධිපතිවරයා අනුරාධපුරයට යද්දී මධ්‍යම රාත්‍රියද පසුවී තිබිණි. එස්.එම්. චන්ද්‍රසේන මන්ත්‍රිවරයා හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසට නවාතැන් සූදානම් කොට තිබූ අතර, පසු දින (20දා) උදෑසනම මහින්ද අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට ගියේ එහි සූදානම් කර තිබූ ආගමික වැඩසටහන්වලට සහභාගි වීම සඳහාය. ඒ මොහොතේ අනුරාධපුරයට ධාරානිපාත වැසි ඇද වැටෙමින් තිබිණි. එම වැසිද නොතකා මහ සෙනඟක් මහින්ද එනතුරු බලා සිටියහ. ආගමික වතාවත්වලට සහභාගි වූ මහින්ද ජනතාව අතරට ගොස් ඔවුන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමටද අමතක නොකළේය. එහිදී ඔවුන් බොහෝ දෙනා මහින්දගෙන් ඉල්ලා සිටියේ නැවත රට භාර ගන්නා ලෙසය.

මහින්ද
පත්තර කතුවරු හමුවෙයි

පසුගිය අඟහරුවාදා (22දා) මහින්ද කොළඹ විජේරාමයේ පිහිටි නිල නිවෙසට පුවත්පත් කතුවරුන්ට ආරාධනා කර තිබිණි. මහින්ද ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු පුවත්පත් කතුවරුන් නිල වශයෙන් හමුවූ පළමු අවස්ථාවද මෙය විය. මහින්ද බලයේ සිටියදී මසකට වරක් පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍ය ප්‍රධානීන් හමුවූ අතර, එය හැඳින්වූයේ බේ‍රක්ෆස්ට් මීටින් ලෙසය. අඟහරුවාදා (22දා) උදෑසන පුවත්පත් කතුවරුන් හා මහින්ද අතර පැවැත්වුණේ එවැනි බේ‍රක්ෆස්ට් මීටින් එකකි.

මෙහිදී පුවත්පත් කතුවරයකු මහින්දගෙන් ඇසුවේ, ඔහුගේ චීන සංචාරය ගැනය. මම චීනේ යන්නේ ආණ්ඩු පෙරළන්න නෙවෙයි. ආණ්ඩු පෙරළන්න රට රටවල උදවු ගන්න මට වුවමනාවක් නැහැ. ඒකට ජනතා සහාය තිබුණාම ඇති. ආණ්ඩුව පෙරළන්න නියම වෙලාව ආවාම මම ඒ වැඩේට බහිනවා. මම චීනෙට යන්නේ රට පාවා දෙන්න නෙවෙයි. ආයෝජන ගේන්න යැයි මහින්ද එහිදී කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා බදාදා (23දා) උදෑසන චීනය බලා පිටත්ව ගියේ චීන රජයේ ආරාධනාවකට අනුවය. බදාදා උදෑසන 7.10ට යූ.එල්. 882 දරන ගුවන් යානයෙන් චීනය බලා ගිය මහින්ද සමඟ ජී.එල්. පීරිස් හා ලොහාන්ද එක්ව සිටියහ. එදින සවස 4.30ට පමණ චීනයේ ට්උඒව්ට්ඩ්ර්ණීඋ ඕඒධ්කඋව් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් චීනයට ගිය මහින්ද පිළිගැනීමට චීන රජයේ නියෝජිතයන් පැමිණ සිටි අතර රාත්‍රියේ චීන සොං සෝහු ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඛඩ්උ ඔධ්ඒර්ණීච්උව් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලටද හිටපු ජනාධිපතිවරයා එක්විය. එහිදී ආණ්ඩුකාරවරයා සඳහන් කළේ ඕනෑම මොහොතක මහින්දට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට උදවු කිරීමට තමන් සූදානම් බවයි. මහින්ද වෙනුවෙන් විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයක්ද ආණ්ඩුකාරවරයා සංවිධානය කර තිබිණි. චීන තානාපති ඹ්ධ්උ කඋඩ්ඡ් මහතාද මේ අවස්ථාවට සහභාගි විය. බ්‍රහස්පතින්දා (24දා) උදෑසන චීනයේ ඩෆෝ විහාරස්ථානය වැඳ පුදා ගත් මහින්දගේ චීන සංචාරය දෙසැම්බර් 01 වැනිදා අවසන් වීමට නියමිතය.

අනුරාධපුරයටත්
සජිත්ගෙන්
ගෙවල්

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බදාදා (23දා) නව උදා ගම්මාන වැඩපිළිවෙළ යටතේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ ජනතා අයිතියට පත් පළමු උදා ගම්මානය ලෙස තලාව, මොරගොඩ "දෙවනපෑතිස්ගම" ගම්මානය විවෘත කළේය. නිවාස 25කින් සමන්විත මේ ගම්මානය ඉදිවෙමින් පැවතියදී ඊට නමක් යෝජනා කිරීම සඳහා එහි ප්‍රතිලාභීන්ට අවස්ථාවක් ලබාදුන් විට ඔවුන් යෝජනා කර තිබුණේ එය "ප්‍රේමදාස අනුස්මරණගම" හැටියට නම් කරන්න යැයි කියාය. නමුත් සජිත් ඊට එකඟ වූයේ නැත. ඒ වෙනුවට ඓතිහාසික වැදගත්කමක්ද ආරෝපණය කරමින් ඊට "දෙවනපෑතිස්ගම" යනුවෙන් නම් කිරීමට කටයුතු කර තිබිණි.

මෙම උත්සවයේදී සජිත් කීවේ, මේ වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කළ උදා ගම්මාන 23 මෙන් දෙගුණයක් එනම්, නව උදා ගම්මාන 50ක්ම 2017දී දිස්ත්‍රික්කයට ලබාදෙන බවය. මෙහිදී ආර්.එම්. පියතිස්ස ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කළමනාකාරවරයාගේ කටයුතු සජිත්ගේ විශේෂ ප්‍රශංසාවට ලක්විය.

"මට කිව්වේ පියතිස්ස කියන්නේ ශ්‍රී ලංකාකාරයෙක්, විමල් වීරවංශගේ ගැත්තෙක්, එයාට කිසිසේත්ම සලකන්න එපා කියලයි. මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහොම ලස්සනට වැඩ කරනවා. පියතිස්ස පොට්ටු අම්මාන්ගේ වුණත් මට කමක් නෑ. මගේ නිවාස සංවර්ධන වැඩ ටික කරනවා නම් මට ඒ ඇති. මට ඕනෑ කයිවාරුකාරයෝ නෙවෙයි, හොඳ වැඩකාරයෝ. මට කාගෙවත් දේශපාලනය අදාළ නෑ" යැයි සජිත් එහිදී පියතිස්සව අගය කරමින් කියා සිටියේය.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ඉවහල් කර ගත හැකි ප්‍රතිපත්ති සැලසුම් හා පර්යේෂණ ඒකකයක් ස්ථාපනය කිරීමට, මේ දිනවල සජිත් කටයුතු කරමින් සිටී. ගතානුගතික බවින් මිදී විකල්ප ප්‍රතිපත්ති හා සැලසුම් ඉදිරිපත් කිරීම, නව ප්‍රවණතා මෙන්ම සාර්ථක හා අසාර්ථක තැන් හඳුනා ගැනීම මේ මඟින් කළ හැකි අතර විෂයය කරුණු පිළිබඳ ප්‍රවීණයන්ගේ, උපාධිධාරීන්ගේ මෙන්ම විද්වතුන්ගේ හරවත් යෝජනා පිළිබඳව ඇමැතිවරයා සහ නියෝජ්‍ය ඇමැතිවරයා දැනුවත් කරමින් නිවාස සංවර්ධනය නව මාවතකට යොමු කිරීම මෙම වැඩසටහනේ අරමුණ වී තිබේ.

පදවි ප්‍රාප්තියේ
දෙවසර සැමරුමටත් නිවාස යෝජනා ක්‍රම

පසුගිය වසරේ ජනවාරි 08 වැනිදා ලැබූ ජයග්‍රහණයට දෙවසරක් පිරීම හා දුප්පත්කම තුරන් කිරීමේ වර්ෂය ලෙස 2017 වර්ෂය මෛත්‍රිම ප්‍රකාශ කොට තිබීම නිමිත්තෙන් දැවැන්ත නිවාස යෝජනා ක්‍රම රැසක් එළැඹෙන වසරේදී ක්‍රියාත්මක කිරීමටද සජිත් සැලසුම් කරමින් සිටී. මේ වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම්වරියගේ සහ අමාත්‍යවරයාගේ ජේ‍යෂ්ඨ උපදේශකවරුන් වන ඩබ්ලිව්.ඩී. අයිලප්පෙරුම හා සුසිල් සිරිවර්ධන යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් කාර්ය සාධන බළකායක් ස්ථාපනය කිරීමටද කටයුතු යොදා ඇත. දුප්පත්කම තුරන් කිරීමේ විවිධාංගීකරණය වූ වැඩසටහන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ හැකි වන පරිදි සියලු අංශ ඒකරාශී වන කාර්ය සාධක බළකායක් නිර්මාණය කිරීම එහි අරමුණ වී තිබේ.

දිනේෂ් උදයට
සුසිල් ගැන
රහසක් කියයි

පසුගිය සෙනසුරාදා 19 වැනිදා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය රැස් වුණේ අගමැති කමිටු වාර්තා සභාගත කරමින් කතා කිරීමටය. එහිදී සම්බන්දන් සහ අනුරට පසු නැඟී සිටි සුසිල් ශ්‍රී ලනිපයට ස්වාධීන ස්ථාවරයක් තිබෙන බවත්, 1972 ව්‍යවස්ථාවේ මූලධර්ම මත පිහිටා කටයුතු කිරීමට ශ්‍රී ලනිපය බලාපොරොත්තු වන බවත් පැවැසීය.ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතු අවසන් කර කතානායක සභාවෙන් පිටත් වුණු වහාම දිනේෂ් උදයට යෝජනාවක් කළේය.
එජාප පදයට නටන්න ලැහැස්ති නෑ කියලා සුසිල් කෙළින් කිව්වා. අපි එයාට සුබ පතමු යැයි දිනේෂ් කියද්දී ගම්මන්පිලද කැඳවාගෙන දෙදෙනාම සුසිල් සොයා ගියේ සම්බන්දන්ගේ අසුන පසු කරමිනි. දෙදෙනාව නතර කර ගත් සම්බන්දන් අපූරු කතාවක් කිව්වේය.

"ආණ්ඩුවේ සමහර ඇමැතිවරු ජනමත විචාරණයකින් තොරව අලුත් ව්‍යවස්ථාව සම්මත කිරීම ගැන කතා කරනවා. අපි ඒකට විරුද්ධයි. අපට දැවැන්ත බලය බෙදීමක් අවශ්‍යයි. ඒත් ඒක පස්සේ ‍ෙදාරෙන් ගන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අලුත් ව්‍යවස්ථාව ජනතාවට ඉදිරිපත් කරලා ජනතාවගේ තීන්දුව මොනවා වුණත් අපි ඒක භාර ගන්න ලැහැස්තියි යැයි සම්බන්දන් කියා සිටියේය. එහිදී පෙරළා උදය කීවේ සිංහලකම ගැන කතා කරපු සමහර ඇමැතිවරු අද ජනමත විචාරණ එපා කියද්දී ඔබතුමා ඉන්න ස්ථාවරය අපට ශක්තියක්. අපි ඒකට ඔබතුමාට ගරු කරනවා" යැයි කියාය.

උදයට මලික්ගෙන් ලන්සුවක්

දිනේෂ් සහ උදය ආණ්ඩු පක්‍ෂයට ගොස් සුසිල්ට සුබ පතා පිළිසඳරක යෙදී සිටින අතරේ පාර්ලිමේන්තුව ඇරැඹීමට සෙංකෝලය රැගෙන වේත්‍රධාරියා සභාවට පැමිණියේය. කලබල වුණු උදය, දිනේෂ්ගේ අතින් ඇදගෙන විපක්‍ෂය දෙසට දිවීය. එය දුටු මලික් "දැන් ආපු එකේ ආණ්ඩු පැත්තේම ඉන්න" යැයි දෙදෙනාට කෑ ගසා කීවේය. "උදය විපක්‍ෂයේ ඉදිරි පෙළ නතර වෙමින් ආණ්ඩු පක්‍ෂයේ ඉදිරි පෙළ සිටින මලික්ගෙන් ඇසුවේ" ආවොත් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රින්ට ලැබෙන මාසයට ලක්‍ෂ හත ගණනේ මටත් ලැබේවි නේද? යැයි කියාය."ලක්‍ෂ හතක් නෙවේ ඔයාට අපි ඊට වඩා දෙනවා" යැයි එහිදී මලික් කීවේය. උදය සිනාසෙමින් පැවැසුවේ "ඔයගොල්ලන්ගේ සල්ලිවලට අහුවුණා නම් මම ජනපතිවරණයේදීම ඔය පැත්තේ නතර වෙනවානේ" කියාය. ඒ සමඟම කතානායක පැමිණි හෙයින් සංවාදය එතැනින්ම අවසන් විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්