මල් වැහි හීන

  👤  7230 readers have read this article !
2016-11-24

ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේදී මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාට තක්ෂිලා විශ්වවිද්‍යාලයේ දන්ඩාමිස් ඍෂිවරයා මුණගැසුණේය. දෙදෙනා අතර සංවාදයක් ඇති වුණේය. මේ දාර්ශනික සංවාදය පිළිබඳ ග්‍රීක ඉතිහාසඥයකු වූ ප්ලූටෝ විශේෂ සඳහනක් කර ඇත්තේය.

දන්ඩාමිස් ඍෂිවරයාට ඉදිරිපත් කළ සියලුම ප්‍රශ්න ඉතා විචක්ෂණ ලෙස විසඳූ නිසා මහත් ප්‍රසාදයට පත් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා අවසාන ප්‍රශ්නය ඇසුවේය.
'කෙනකුට අනෙක් අයගේ ආදරය සහ ගෞරවය ලබා ගත හැක්කේ කෙසේද?

'කෙනකුට අසීමිත බලතල තිබියදීත් අන් අය තුළ භීතිය ජනිත නොකරනවා නම් ඔහුට අන් අයගේ ගෞරවය සහ ආදරය හිමිවේ' යැයි දන්ඩාමිස් ඍෂිවරයා පිළිතුරු දුන්නේය.
ජනවාරි 8 වැනිදා අප රටේ සිදුවූ 'දේදුනු විප්ලවය' මේ ජනතාව තුළ ඇති කර තිබූ අප්‍රමාණ වූ භීතියට දුන් ප්‍රඥාවන්ත ජන පිළිතුරකි. ඒක හරියටම චිලී රටේ ඒකාධිපති පාලක ජෙනරාල් පිනොෂේ බලයෙන් පහ කළ 1988 සිදුවූ ව්ර්ණී ව්‍යාපාරය වගේය. පිලිපීනයේ ජනපීඩක ඒකාධිපති පාලකයා වූ මාර්කෝස් 1986දී පලවා හැරිය පීපල්ස් පවර් (ර්ථීඥධනතඥ'ඵ ර්ථීධඹඥප) ව්‍යාපාරය වගේය.

ජනවාරි 8දාට පෙර තිබූ මහින්ද රාජපක්ෂ පාලනය අසීමිත බලතල තිබියදීත් ආණ්ඩුව හා එකඟ නොවන්නන් හට විවිධාකාර වූ භීතිය පැතිරෙව්වේය. ගොවි ජනතාව, කම්කරුවන්, ශිෂ්‍ය ප්‍රජාව, වෘත්තිකයන්, ආචාර්ය ප්‍රජාව, මාධ්‍ය ආයතන ඇතුළු බොහෝ සමාජ එකමුතුවන් කරා විවිධ වෙස් ගෙන රාජ්‍ය භීතිය ආවේය.

පැහැර ගැනීම්, පහරදීම්, ගස් බැඳීම්, සුදු වෑන් එවීම්, වෙඩි තැබීම්, ගිනි තැබීම්, කප්පම් ගැනීම්, ධුරයෙන් පහකිරීම්, මඩගැසීම්, අතුරුදන් කිරීම්, ස්ථාන මාරුවීම්, බලතල කප්පාදු කිරීම් මේ ආදී නොයෙක් ක්‍රමෝපායන් මේ භීතිය තුළ තිබුණේය. මේ රාජ්‍ය භීතියේ උපරිම අවස්ථාවක් ලෙස පෙන්විය හැක්කේ අධිකරණය දණ ගැස්සවීම හෙවත් ශ්‍රී ලාංකේය ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි වූ රාජ්‍ය දෝෂාභියෝගයයි.

රාජ්‍ය මාධ්‍ය ඔස්සේ නින්දිත අවලාද ප්‍රචාරය කිරීම, මඩ පෝස්ටර් ඇලවීම, පත්‍රිකා බෙදාහැරීම ආදී විවිධ හිංසන මාර්ග ඔස්සේ අගවිනිසුරුවරිය අවලාදයට පාත්‍ර කළේය. රට කරවන තැන පාර්ලිමේන්තුවට කැඳවා අපහාස, බැණවැදීම් කළේය. මේ අවිචාර, පහත් ක්‍රියාවන් සඳහා විදග්ධ සමාජයේ කිසිදු සහායක් මහින්ද රජයට නොලැබිණි.

ජනවාරි 8දාට පෙර මේ රටේ නීති ගරුක පුරවැසියන් ගත කළ මර බිය සහිත ජීවිතයට දේදුනු විප්ලවයෙන් තිත තැබිණි. ගෝඨාභය රාජපක්ෂගේ මර්දන පීඩනයන්හි බලය බිඳුණේය. නාමල් සහ යෝෂිත බේබිලාගේ අවල සෙල්ලම් නතර විණි. ඒ අදමිටු පාලන සමයේ මේ බේබිලාගේ සෙල්ලම් නිසාවෙන් අති පූජ්‍ය මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම් පවා නොසලකා හැරියේය.

2012 මාර්තු 17දා සැදැහැවතුන්ගේ දෝත පුරා මල් පොකුරු ඉතිරෙන මහනුවර අති උතුම් ශ්‍රී දළදා මාලිගය ඉදිරිපස වැව රවුමේ ඉදිවූයේ බියර් අලෙවි කුටිය. මේ බියර් කුටි රාත්‍රිය පුරා විවෘතව අලෙවි වූයේ රාත්‍රි දහයට මත්පැන් අලෙවිසල් වසා දැමීමේ නීතිය තඹ‍ෙදායිතුවකට මායිම් නොකරමිනි. මල්නටුවක්, හඳුන්කූරු පෙට්ටියක් හෝ නොවට්ටන ගෞරවනීය වූ මහනුවර නගරයේ 2012 මාර්තු 17 රාත්‍රිය අවසානයේ විසිරී, තැළී පොඩිවී තිබුණු බියර් ටින් මනරම් වූ ශෝකී දසුනක් ගෙනහැර පෑවේය.

මහනුවර වීදි පුරා බැතියෙන්, ගෞරවයෙන් පින්කිරියවතින් සංවිධාන වී බෙර, දවුල්, තම්මැට්ටම්, වන්නම් හ¾ඩින් නින්නාද වන දළදා පෙරහර භක්ති සොබාවට අභියෝග කරමින් සුපිරි අධිවේගී මෝටර් රථ සයිලන්සර් ගුගුරුවමින් නැඟී හෙණ හ¾ඩින් නිසංසල පරිසරය අවසඟව ගියෝය. එදා බේබිලා පිරිස මහනුවර ශ්‍රී විභූෂිත ගෞරවයට හානි කළේ ගෞරවනීය මහානායක හාමුදුරුවරුන්ගේ ඉල්ලීම් ‍ෙදායිතුවකට මායිම් නොකරමිනි.

මේවා කිසිවක් නොකළ නියාවෙන් ගිලිහුණු බලය යළි ලබා ගන්නට ජාතිවාදී විස වපුරවමින් අද පන්සල් ගාණේ දේශපාලන රැස්වීම් තියන්නේ සදාචාරයක් නොමැති ගානටය.
අපේ රටේ නීතිගරුක පුරවැසියන් ජනවාරි 8 පෙරට වඩා දැන් නිදහසක් හොඳින් භුක්ති විඳින බව සත්‍යයකි. හැබැයි ජනතාව ඒ නිදහස භුක්ති විඳින්නේ එක මිටට, එක සිතට සිට කළ මහා කැපවීමක ප්‍රතිඵලයක් ලෙසටය.

ජනාධිපති, අගමැති, විපක්ෂ නායක, සම පෙළේ තබාගෙන වික්ටර් අයිවන් අදීන මාධ්‍යවේදියා පසුගියදා කීවේ ජනවාරි 8න් පසු ජනතාව මොරසූරන වැස්සක් බලාපොරොත්තු වූ නමුත් වැටුණේ පොද වැස්සක් බවය. ඒ කතාව නම් මසුරන්ය. ඒ පොද වැස්සට තෙමුණු යුක්තිගරුක ජනතාවට දැන් සෙම්ප්‍රතිශ්‍යාව හැදීගෙන එන්නේය.

රාජපක්ෂ රජය සමයේ හදිසි අනතුරක් සේ ලොවට පෙන්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවට අනාවරණය වුණේය. එනමුදු පරීක්ෂණ ඉබි ගමනේය. මෘත ශරීරාගාරයේ ශීතකරණයේ තැන්පත් කර තිබූ තාජුඩීන්ගේ සිරුරේ කොටස් අතුරුදන් කළ පුද්ගලයා නිදැල්ලේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ රටෙන් පැනගොස් සිටියදී තමාට මුණගැසුණු බව කී දේශපාලනඥයන්ගේ හතරැස් බොරුව හෙළිවී ඔහු හමුදා කඳවුරකට පැහැරගෙන ගිය බවද පරීක්ෂණවලින් හෙළි වූයේය. එනමුදු නොයෙකුත් කී නොකී බාධා පැමිණෙමින් පරීක්ෂණ හැල්මේය. සන්ඩේ ලීඩර් කර්තෘ ඝාතනයට හමුදා බුද්ධි අංශයේ සබඳතාවක් ඇති බව හෙළි වී ඇත. ලසන්ත මරන්නට බුද්ධි අංශයට තිබුණු ඕනෑකම මොකද්ද? බුද්ධි අංශවලට අණ දුන්නේ කවුරුන්ද...? කවදා හෝ පිළිතුරක් නොලැබෙන ප්‍රශ්නයක් බවට එය පත්වේවිද? පරීක්ෂණ අඩ නින්දේය.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස නිර්භයව කිසිවකුට නොනැවී අවංකව රාජකාරිය කරගෙන ආවේය. මෙරට සිදුවූ බරපතළම මූල්‍ය වංචා ගනුදෙනුවක් සහ ගිනි අවි ජාවාරමක් ලෙස කුප්‍රකට ඇවන්ගාර්ඩ් නම් වූ මහා බලසම්පන්න සමාගමට එරෙහි වූ පරීක්ෂණ දිල්රුක්ෂි වික්‍රමසිංහ එකින් එක ලෙහාගෙන ආවේය. ඇත්තෙන්ම ඒ තිබුණු බලවේග සමඟ ගැටෙමින් දිල්රුක්ෂි කළේ වික්‍රමාන්විත ක්‍රියාවකි.

අදාළ වූ සියලු ගැට ලිහාගනිමින් දිල්රුක්ෂි තරාතිරම නොබලා නඩු පැවරුවේය. අධිකරණය ඉදිරියට ගෙන ආවේ මහා සුපිරි බලවතුන්ය.

නමුත් සිදුවූයේ කුමක්ද? කවර හෝ විදියකින් සියල්ල අත්හැර යන තැනට දිල්රුක්ෂිට වැඩ සිද්ධ වුණේය. මැති ඇමැතිවරු එකා පිට එකා පරයමින් දිල්රුක්ෂි වික්‍රමසිංහට පහර පිට පහර එල්ල කළහ. කිසිවකුට බිය නොවී ඇමැතිවරුන් සල්ලිවලට නටවන, සල්ලිවලට කළ නොහැකි දෙයක් නැති ඇවන්ගාර්ඩ් බලවතුන් සමඟ හැප්පුණු දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ වෙල මැද තනි වුණේය. ඇය වෙනුවෙන් යහපාලනයට කැපවුණු කිසිදු දේශපාලනඥයකු එක වචනයක් හෝ කතා කළේ නැත. ඇය වැරැදිකාරියක ලෙස හංවඩු ගසා හිටපු තැනට එළවා දැම්මේය. එවක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ව සිටි දමයන්ති ජයරත්න ඇවන්ගාඩ් සමාගමෙන් මාසිකව ලක්ෂ පහක් නිශ්චිතවම ලබා ගත් බව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අධ්‍යක්ෂ ජනරාල්තුමිය කළ පරීක්ෂණවලින් හෙළි වුණු බව කියැවේ. නමුත් සිදුවූයේ කුමක්ද? සංචිතයේ සිටි දමයන්ති ජයරත්න ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස පත්වීමක් ලැබ හොර රහසේම විදේශ ගත කරවීමය. ඇවන්ගාඩ් නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරිය අද අතුරුදන්ය.

දමයන්ති ජයරත්න ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පදවි ලබන විට ඇය නිර්දෝෂි යැයි කියන්නට අමාත්‍ය වජිර අබේවර්ධන මෙවර අය - වැය කාරක සභා අවස්ථාවේදීත්, අසාර්ථක උත්සාහයක යෙදෙනු දකින්නට ලැබිණි. ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක දැඩිව කියා සිටියේ දමයන්ති නව පත්වීම ලබන විට චෝදනා ලැබ සිටිය බවය. වජිර අබේවර්ධන නිහඬ වූයේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයට මාසික කුලිය මිලියන 21කට ලබාගෙන ඇති ගොඩනැඟිල්ල පාවිච්චියට සුදුසු තත්ත්වයට ගෙන එන්නට තවත් රුපියල් කෝටි විසිපහකට අධිකව අවශ්‍ය බවට පුවත් පළ වන්නේය. දැනට කුලී ගෙවමින් මාස පහක් තිස්සේ පාවිච්චි නොකළ මේ ගොඩනැඟිල්ලට ගෙවීම් ලෙස මිලියන 105ක වවුචරයකට අස්සන් නොකළ එය ප්‍රතික්‍ෂේප කළ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රසිකා අබේධීරට සිදුවූයේ මහා නස්පැත්තියක්ය. මහජන මුදල් ආරක්ෂා කිරීම වෙනුවෙන් රසිකා අබේධීරට ලැබුණේ ස්ථාන මාරුවක්ය.

නැවැත පදිංචි කිරීමේ අමාත්‍යාංශය වෙනුවෙන් ඉඩකඩ අඩු ගොඩනැඟිල්ලකට අලුතින් යන්නට තීරණය කළේය. මෙම ගනුදෙනුවේ කළුපැහැය ඇති තැන් නිසාවෙන්දෝ ජේ‍යෂ්ඨ සහකාර ලේකම්, ලංකා සේනාරත්න, සහකාර ලේකම් නිකිනි ඛාන්තන්, ප්‍රධාන ගණකාධිකාරි වසන්ත පෙරේරා මේ සඳහා තමන්ට සහභාගි වීමට නොහැකි බව රාජ්‍ය පරිපාලන ලේකම්ට දැනුම් දුන්නේය. විපාකය වූයේ ස්ථාන මාරුය. ප්‍රධාන ගණකාධිකාරි වසන්ත පෙරේරා ශේ‍ර්ෂ්ඨාධිකරණයේ පිහිට පැතුවේය. මෙයින් පෙනී යන්නේ යුක්තිගරුක, නීතිගරුක රාජ්‍ය නිලධාරීන් රැක ගැනීමට රාජ්‍ය සේවා කොමිසම අසමත් වී ඇති බවය.

මන්ත්‍රිවරුන් 58 දෙනකුට මාසයකට රුපියල් ලක්ෂ හතක් ගෙවා වාහන ලබා දෙන්නට සූදානමක් ඇත. මෙය ආර්ථික කමිටුව විසින් අනුමත කර ඇති බවද පැවැසේ. කිලෝමීටරයකට ගාස්තුව රුපියල් 250කි. කුලියට ගන්නේ මාස 60ක කාල සීමාවකටය. ඒ අනුව එක වාහනයකට රුපියල් ලක්ෂ 420ක් වසර පහට ගෙවිය යුතුය. මුළු වියදම මන්ත්‍රි 58 දෙනාට රුපියල් කෝටි 243කි. හැබැයි චාන්ස් එක තියෙන්නේ මේ සියල්ල ප්‍රවාහන දීමනා ලෙස මන්ත්‍රිවරයකුට දැනට ලැබෙන රුපියල් ලක්ෂ දෙකේ දීමනාවට අමතරව වීමය.

මෙසේ වාහන මන්ත්‍රිවරුන්ට ලබා දෙන්නේ සංවර්ධනය අධීක්ෂණයටය. අධීක්ෂණයට මෙතරම් වැය වෙද්දී සංවර්ධනයට කුමක් වේවිද කියා හිතාගන්නටවත් බැරිය. කාලා ඉන්න බැරි වැඩේ මේ මන්ත්‍රිවරුන් නඩත්තු කරන්න සිදුවී ඇත්තේ වැට් බද්දෙන් වැටී, අනෙක් බදුවලින් පෙරළෙන මහජනතාවටය.

ජනවාරි 8 දේදුනු විප්ලවයෙන් බියෙන් මිරිකී නිදහස ලැබූ ජනතාව බලාපොරොත්තු වූයේ මෙවන් දෙයක් නම් නොවේ. මන්ත්‍රිවරුනට මීටත් වඩා සැලකිය යුතු බව, දීමනා වැටුප් වැඩි කළ යුතු බව අය - වැය කාරක සභා අවස්ථාවේදී යෝජනා වූයේය. මේ සියල්ල මන්ත්‍රිවරුන්ට කිරීමට රජයට සිදුවී ඇත්තේ තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීමටය.
වික්ටර් අයිවන් පැවැසූ ජනතාව බලාපොරොත්තු වූ මොර සූරන වැස්ස වෙනුවට ලැබුණේ පොද වැස්ස බව පැවැසූ විට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පිළිතුරු ලෙස කීවේ එය පොද වැස්සක් නොව මල් වැස්සක් ලෙස සලකන ලෙසය.

මේ වහින්නේ මල් වැහි නම් නොවේ. මේවා මල් වැනි ලෙස සිතන එකත් හොඳ නැත. ජනවාරි 8 දායින් පසු මල් වැහි වසීවි යැයි ජනතාව හිතුවත් තවම නම් වැස්සේ නැත.
මහජනතාවට මල් වැහි වස්සවන්නට, ප්‍රීති ප්‍රමෝදයෙන් ජනතාව ඒ මල් වැස්සේ තෙමෙනවා දකින්නට ජනාධිපතිතුමාගේ සුන්දර සිහිනයක් තිබෙනවා විය යුතුය. එහෙම සිහින දකින බව ඇතැම් විට පෙනෙන්නටද ඇත.

නමුත් ප්‍රධාන කාරණය වී ඇත්තේ ජනතාවට එවැනි මල් වැහි වස්සවන්නට හොඳ පදනමක් ඇති ශක්තිමත් ක්‍රියා පිළිවෙතක් නැතිකමය. දැන් අවුරුද්දකුත් මාස අටක්, නවයක් ගෙවී ඇත්තේය. මේ තාක්කල්ම කරන්නට සිදුවූයේ බලයට ඇති කෑදරකම නිසා මහින්ද රාජපක්ෂලා ඒකාබද්ධ විපක්ෂයේ ගොට්ටන් හා එක්ව කරන කෙනෙහිලිකම්වලට මුහුණ දෙමින් සිටින එකය. කළ යුත්තේ මේ කම්බා හොරුන්ගේ නිරුවත ජනතාවට පෙන්වන හරිහමන් වැඩපිළිවෙළකට නොබියව නැඟී සිටීමය. ඒවා කරන්නට දිල්රුක්ෂිලා ගෙදර යවා හරියන්නේ නැත.

පොද වැස්ස, මල් වැස්ස කරන්නට නම් මේ යන විදිය ව්‍යාකූලය. ආර්ථිකය සහ අධිකරණය ගැන මීට වඩා ඍජු පියවර නොගතහොත් වැඩේ අන්ජබජල් වෙනවාමය. මල් වැහි ගැන එතකොට හිතන්නටවත් බැරි වෙනවාමය.

මහින්දලා ඇතුළු ඒකාබද්ධයේ පළිගැනීමේ චේතනාව විසකුරුය. සියලු විසට වඩා පළිගැනීමේ විස බලවත්ය. මේ පළිගැනීමේ විසෙන් රට රාජ්‍ය පවා විනාශ වී ඇත්තේය.
විස නැසිය යුත්තේ විසෙන්මය. එසේ විය නොහැකි වුවහොත් මල් වැහි වැස්සවීම සදාකාලික අඳුරු සිහිනයක් වනු ඇත්තේය.

පව්කාරයන්ට ගල් නොගසා මල් වැහි වස්සවන්නට බැරි බව ජනාධිපතිතුමා තේරුම් ගත යුතුය. එතෙක් මල් වැහි හීනයකි.

බණ්ඩාර විසිනි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon