ආස පත්තර බලන්න ආසයි

  👤  9223 readers have read this article !
2016-11-23

එදා උදේ පත්තරය අතට ගනිද්දී ලොක්කා පුදුමයෙනුත් පුදුමයට පත් වූයේය. ඒ ලොක්කා ආස හිතෙන විදියේ නිවුස්වලින් සියලුම ජාතික පුවත්පත්වල මුල් පිටු සැකැසී තිබීම හේතුවෙනි. එක පත්තරේක මුල් පුවත වූයේ 'ජනපති වෙබ් අඩවිය හැක් කළ පාසල් සිසුවාට ජනපති දෝතින්ම ටැබ් එකක්. ජනපතිගේ මහා කරුණා ගුණය දස දෙස සිසාරා යයි' යන පුවතකි. සුපර් මූන්ම නොවූවත් හොඳට හඳ මෝරා ආ වෙසක් දිනයක පන්සල් ගිය විටක මෙන් මහා භක්තිමත් හැඟීමකින් ලොක්කාගේ හිත ඒ පිනිබර ජාමයේ හංකිති කැවී ගියේය. නිවුස් එකක් නම් එසේ විය යුතුය. හිත හිරිවැටී යා යුතුය. දුටු පමණින් භක්තියක් ඇති විය යුතුය. බලයක්, ජවයක්, පෝෂණයක් තිබිය යුතුය. ආවේගී හැඟීම් ජනිත නොවන්නේ විය යුතුය. මුළු මහත් ජාතියම නැඟිටුවනසුලු අපූර්වත්වයක් ඒ තුළ අන්තර්ගත විය යුතුය. බ්‍රහ්ම මූර්තයෙන් හරියටම උදේ පහයි පහට පත්තරේ අතට ගත් ලොක්කට හිතුණේ කාලෙකට පස්සෙ හොඳ හෙඩිමක් දැක්කෙ කියාය.

වෙනදාට නන්දිකඩාල් කළපු ද්වාරයෙන් ඒ ලෝකය තරණය කෙරුව ප්‍රභාව වළෙන් නැඟිට්ටවන්න ට්‍රයි කරන සයිස් එකේ තවත් මානුෂික ජන හිතවාදී පත්තරයක් අතට ගත්ත ලොක්කාගේ ඇස් දෙක එළියට ස්ප්‍රින්ග් වී තත්පර ගණනක් එහෙමම ඉඳ ආපහු ඇතුළට ගියේය. 'සුළු ජන අයිතිවාසිකම් පිළිගනිමු. උතුරට ස්වයං නීර්ණය අයිතිය වහා ලබා දෙනු' කියන හෙඩින් එක ඒ පත්තරයෙන් කියැවූ ලොක්කා දෙකයි හතරේ පොල්ලකින් ඔළුවට පාරක් එල්ල වුණාක් මෙන් ඔහේ ටික වෙලාවක් නිසොල්මනේ සිට කනක් කොනිත්ත ගත්තේ මේ දකින්නේ හීනයක් නොවන බව තහවුරු කර ගැනීමටයි. නැත ඒ නම් හීනයක් නොව, සැබෑවක්මය. පත්තරේ නම රී චෙක් කළේ වැරැදීමකින් යාපනේ පත්තරයක් සිංහලෙන් අච්චු වෙලා ඇවිත් ද කියා බැලීමටයි. 'යාපනේ විශ්වවිද්‍යාල සිසුහු කොටි සිහි කර පහන් පත්තු කරති,' 'යුද අධිකරණය පිහිටුවයි. විදෙස් විනිසුරුවන් ඔන් ද වේ' වගේ ලොවෙත් නැති ලොවි ගහෙත් නැති හෙඩිම් දමමින් වෙනදාට රටම කලඹන ඒ පත්තරේම ද මේ කියා ආපහු ආපහු කල්පනා කළේය. නෑ වෙන පත්තරයක් වෙන්න ඇති මෙහේ එකක් වෙන්න බෑ. යාපනේ එකක් වෙන්න ඇති කියමින් පත්තරේ නම රී චෙක් කෙරුවේය.

ලොක්ක එක්කම උදේට උදේට බෙඩ් ටී එකවත් නොබී පත්තර බලන්න පුරුදු වූ ලොකු නෝනා තවත් එක ජාතික පත්තරේක ටැබ්ලොයිඩ් එක කියවන ගමන් කිව්වේ ඒයි මේ බලන්නකෝ ෂෝක් හෙඩිමක් කියාය. පත්තරවල ආසම ආස නිවුස් බලමින් උන්නු ජනාධිපතිතුමා ඒ කික් එකෙන්ම කෝ බලන්න කියමින් ‍ෙදාඩම් ගොඩ බදා ගන්නවා වගේ ඒ පත්තරෙත් උදුරා ගත්තේය. තුදුස්වසක් අතුරුදන්ව සිටි පාඨලී පුත්‍රයාට අධිපති බිම්බිසාර මහ රජුගේ දේවිය ධර්මා සහ පුත් අශෝක් හමු වේ යැයි හෙඩිමක් ලොකුවට දමා තිබුණේය. මොකක්ද යකෝ ඒ හරුපේ කියා ඇහුණේය. යටින් හෙඩිමේ අකුරුවලට සාපේක්ෂව මඳක් පොඩි අකුරෙන් සටහන් වී තිබුණේ සැඟවී සිට ඇත්තේ මැඳුරේ පරිවාරය අතරමයි. තුදුස් වසක් මෙසේ සැඟවී සිට ඇත්තේ කුමන්ත්‍රණකරුවන්ගෙන් දේවිය සහ අශෝක බේරා ගැනීමට චානක්‍ය යෙදූ උපායකට අනුවයි. කවුද කුමන්ත්‍රණකාරයෝ කවුද චානක්‍ය යැයි සිතමින් උඩ බිම බැලූ ලොක්කා රවීගේ අය - වැය දැක්කටත් වඩා හොල්මන් වී ඇතැයි දැනගත්තු නෝනා කිව්වේ බය වෙන්න එපා අනේ ඇයි ගිය සතියේ අධිරජ ධර්මාශෝක එකේ බිම්බිසාර රජතුමා තුදුස් වසක් අන්තරස්දාන වෙලා හිටිය දේවියයි, පුතාවයි අඳුනගත්තනේ කියාය. අම්මට සිරි බිම්බිසාරගේ දේවියක් අතුරුදන් වෙලා හිටියද දන්නෙත් නෑ කියමින් ලොක්කා ඔළුවේ අත තියා ගත්තේය. මෙච්චර වැදගත් නිවුස් එක මේන් එකට ගන්නෙ නැතිව හිච්චක් විතර පොඩි කෑල්ලකට අරගෙන කරලා තියෙන අපරාදේ බලන්න. කිසිම කමකට නෑ. මේ එඩිටර්ස්ලාට මුල ඉඳලා ජර්නලිසම් කියා දෙන්න වෙලා කියමින් ආයෙම පත්තරවල පළු අරින්න පටන් ගත්තේය. මොනවා වුණත් රාජ්‍ය නායකයෙක්නේ. ළමයි ගෙදර එක්කෙනයි නැතිව මොන දුකකින්ද ඉන්න ඇත්තේ නෝනෙ කියමින් කම්මුලේ අත තියාගත්තේය. එතකොට තමන්ගේ ළමයයි, වයිෆුයි බේරගන්න බැරි මිනිහා අධිරාජ්‍යයක් පාලනය කරන්නේ කොහොමද කියා නෝනාගෙන් ඇසුව ලොක්කා මෙහේ ඔහොම එකක් වුණා නම් පැය භාගෙන් හොයාගෙන කුමන්ත්‍රණය කරපු හාදයට මෙලහට මගෙන් සමාවක් ලැබිලා කියා කිව්වේ ස්ටේජ් එකක් උඩදී හිටපු ජනපතිවරයාව මතක් වුණාම කතා කරන මල පැන්න සෙයියාවෙනි. කවුරුවත් තාම මගේ හැටි දන්නේ නෑ කියා කීවේය. දැක්කනේ මං එදා රාවය ඇනවසරි එකේදී පත්තරකාරයන්ට දෙකයි කිව්වේ අද නිකන් පූස් පැටව් වගේ මේ නිවුස් රිපෝට් කරලා තියෙන්නේ කියා ආඩම්බරයෙන් සිනා සුණේය. ආසාවට කියවන්න එක මිනීමැරුමක්, හොරකමක්, වංචාවක්, දූෂණයක්, ඇක්සිඩන්ට් එකක් නෑ කියා කිව්වේය. සේරම තියෙන්නේ ජාතිය අවදි කරවන නැඟිට්ටුවන නිවුස් කිව්ව ලොක්කා මිනිස්සු මාර උදේ‍යා්ගයකින් අද නම් වැඩ කරනවා ඇත්තේ කියා කීවේය. අනේ ඒයි මේ බලන්නකෝ මිනීමැරුමක් වෙච්ච තැනක සේරම ෆොටෝ දාලා ඊයේ රාත්‍රියේ පාතාල කණ්ඩායම් දෙකක් අතර සිදුවූ ගැටුමකින් තිදෙනෙක් අවසන් ගමන් ගොස් කිසිවෙක් මැරී නැත කියලා ප්‍රවෘත්තියක් පළ කරලා කියා නෝනා ලොක්කට තව නිවුස් එකක් පෙන්නුවේය. අම්මට සිරි සිගරැට් පෙට්ටියේ අවවාද වගේ නිවුස් එකේ යටින් සංවේදී අය මෙම ප්‍රවෘත්තිය නැරැඹීමෙන් වළකින්න කියලත් ගහලා නේද කියා ලොක්කත්, නෝනගේ අතේ තිබ්බ පත්තරේට එබුණේය. බලන්න නෝනේ කොච්චර සංයමයකින් ඒ අපරාධ ප්‍රවෘත්තිය පළ කරලාද කියලා. කෝ බලන්න ලීක් හවුස් පත්තරේ නේද? මේ මිනිස්සු මං කියන ඕනෑම දේකට ඇහුම්කන් දෙන හැටි බලන්න නෝනේ මේක නොවෙයිද වෙන්න ඕනේ? මං හැමදාම රෑට නින්දට යන්නේ උදේට මට මෙහෙම පත්තරයක් බලන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලයි, කියමින් ලොක්කා නෝනගේ උරහිසට ඔළුව ගහන් සංවේදී වුණේය.

පත්තරේ පෙරළ පෙරළා ඉන්න ගමන් දුටු ජල ගාස්තුව ජනපති අණින් නවතී කියන පුවතත් හෙණ ආසාවෙනුත් නිහතමානී ආඩම්බරයකිනුත් යුක්තව කියවූ ලොක්කා ඒ අස්සෙම රවීට කතා කර දැක්කද කියා ඇසුවේය. අද පත්තර අය - වැයේ හොඳම හරිය ලස්සනට වාර්තා කර තියෙනවා කියා කිව්වේය. ඒකනේ මං සර්ට කිව්වේ වැට් ගහන ඒවායේ ලිස්ට් එකක් අස්සට වතුර බිලත් ඇඩ් කරලා පස්සෙ අයින් කළාම පත්තරවල වුණත් ඒවා යනකොට හරි ලස්සනයි තමයි කියා රවි රිප්ලයි දුන්නේය. හැම වෙලේම නරක නිවුස් ගහනවා කියා ‍ෙදාස් කියලා බෑ සර් පත්තරවලට වුණත් කරන්න දෙයක් නෑ. දාන්නේ අපි කරන කියන දේවල් නේ. ඒ නිසා අපි හැම වෙලේම පත්තරවලට ලස්සන නිවුස් නිර්මාණය කරලා දෙන්න සූක්‍ෂ්ම වෙන්න ඕනෑ කියාය. නෑ. නෑ. රවි එහෙම කිව්වට බෑ. අපි එයාලට නිතරම හොඳ නරක කියලා දීලා ගයිඩ්ලයින් එක දෙන්න ඕනෑ. ඒකනේ මමයි පුරෝහිතතුමයි වුණත් නිතරම මේ ජනමාධ්‍ය යහමඟට ගන්න සෑහෙන්න ට්‍රයි කරන්නේ කියාය. දැන් බලන්නකෝ ඉතින් ප්‍රතිඵල නැත්තේ නෑනේ. මේ ලස්සනට වැඩේ කරලා තියෙන්නෙ කියාය. දැන් බලන්න සර් අපි වාහන දඩේදී දෙදහස් පන්සීයයි කිව්වම ඒකට විරෝධතාව ආවා. බීමතින් හිටියොත්, ඉන්ෂුවරන්ස් නැති වුණොත්, අධික වේගය වගේ රීසන් ටික දුන්නම අන්න ෂෝයි ඕකුන්ට නම් දෙදහස් පන්සීය නෙවෙයි, පන්දාහක් වැඩි කළත් කමක් නෑ වගේ ජනතා මතයක් නිර්මාණය වුණා නේ. කොහොම හරි ඒ ජනතාවගෙන් ලැබුණු පන්ච් එකෙන්ම අපි දඩේ විසිපන්දාහ කළා. දැන් කාගෙන්වත් විරෝධයක් නෑ පත්තරවලට වුණත් ලස්සන නිවුස් එකක් වුණානේ කියාය. හෑහ්... හෑහ්... පුදුම මඤ්ඤං මිනිස්සු... කියා කියැවෙන්න ඇවිත් පුදුම මඤ්ඤං මීඩියා තියෙන රටක් කියූ ලොක්කා රවීට බායි කියා පට්ට ඉන්ට්‍රස්ටින් එකේ ආපහු පත්තර කියවන්න ගත්තේය.

ලොක්කගේ ඇස් නැවැතත් ස්ප්‍රින්ග් වී එළියට පැන්නේය. 'අමාමහ නිවනින් සැනසෙමින් බුදු බව ලැබූ සමන්ත භද්‍රයාණන් වහන්සේගේ දැවැන්ත ප්‍රතිමාවක් විවෘත වේ.' සාධු... සාධු... සාධු... ලොක්කා ඇඳ උඩම පසඟ පිහිටුවා පත්තර පිටුවට නමස්කාර කළේය. මෙන්න නිවුස් පත්තරවල මෙහෙම නිවුස් යන ජාතියක් නිවුණේමයි කියමින් සතුටු කඳුළු වැගුරුවේය. බුදු හාමුදුරුවන්ටවත් කරලා දෙන්න බැරි වැඩක් කරලා තියෙන්නේ දැන් ඉතින් මිනිස්සු සති ගාණක් ඔය පිළිමේ කර උඩ තියන් දුවයි කියා කියාගත්තේය. චැහ් ඒ වුණාට මේ යක්කු රැස් විහිදෙන ෆොටෝ එකක්වත් අරගෙන නෑනේ දැන් මේ නිවුස් එකේ වැලියු එක අඩු වෙනවා කියා ඇහෙන නෑහෙන ගාණට කියා ගත්තේය ඒ පත්තරේ එඩිටර්ට ඩයල් කර අනං මනං කිව්වේ අයිසේ මෙහෙම පූජනීය වන්දනීය නිවුස් එකක් දාද්දි ඒකට ගැළපෙන ෆොටෝ එකකුත් දානවා. ෆොටෝ ජනර්ලිසම් කියලා දෙයක් තියෙනවා දන්නේ නැද්ද කියාය. එඩිටර් කිව්වේ ෆොටෝ ජනර්ලිසම් කියා ජනර්ලිසම්වත් සර් තරම් දන්නේ නෑ කියාය. ඕකනේ අයිසේ මං මේ රාජ්‍ය පාලනය සේරම දමලා ගහලා පත්තර කරන හැටි ඔහේලට කියලා දෙන්නේ කිව්ව ලොක්කා, හ්ම් දැන් ඉතින් කමක් නෑ යමා මහ පෙළහර පාද්දී ඒ ඉවෙන්ට් එකවත් හරියට කවර් කරනවා. ඒවා තමයි මිනිස්සුන්ව නැඟිටුවන්න පුළුවන් ලස්සන නිවුස් කියා එඩිටර්තුමාටත් ජනර්ලිසම් කියලා දුන්නේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon