සියඹලා ඇත්තෙම නැද්ද?

  👤  4386 readers have read this article !
2016-11-17

සුරා සොඬෙක්ගි රිකුලකින් විසිවී මහ පොළොවට පාවී එද්දී ගත දැවටෙන මේ සීත පවන් රැලි අහෝ ! සැපයි කීවාලු අහෝ ! සැපයි කීවාලු

සුනිල් එදිරිසිංහ ගායන ශිල්පියාගේ මේ ගීතය මතක් වුණේ රජයේ ඇමැතිවරුනට විරුද්ධව "ටොප් ටෙන්" ලැයිස්තුවක්් ඉදිරිපත් කළ මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ඇමැතිවරයාගේ පුරාජේරු කතා දැකීමෙනි, ඇසීමෙනි.

වර්තමාන රජයේ මැති ඇමැතිවරුද වංචා දූෂණ කර ඇත්නම් ඒවා අනිවාර්යයෙන්ම පෙන්වා දිය යුතුය. එපමණක් නොව ඉතාම කඩිනමින් ඒ පිළිබ¼දව හරියාකාරව පරීක්ෂණ පවත්වා "යහපාලනය" යනු මෙන්න මේ යැයි ජනතාවට පෙන්වා දිය යුතුය. සැමට සාධාරණය වන සමාජයක් ආදර්ශයෙන් පෙන්විය යුතුය.

ඒ ගැන කතා දෙකක් නැත. රවි කරුණානායක පමණක් නොවේ කවුරු වුණත් වැරැදි කර ඇත්නම් එය වැරැදිය. එය එසේම විය යුතුමය.

ඒවා එසේම විය. නමුත් මේ අවලාද නඟන්නේ, ඒවාට පෙරමුණ ගන්නේ කවුරුන්ද...? මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිතුමාට තවත් කෙනෙකුන්ට දූෂණ චෝදනා එල්ල කිරීමට සදාචාර අයිතියක් තිබිය හැකිද...?

2013 දෙසැම්බර් 13 වැනි දින පාර්ලිමේන්තුවේ ක්‍රීඩා අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂයට එක් වෙමින් මහින්දානන්ද අලුත්ගමගේ එවක ඇමැතිතුමා කීවේ මෙවැනි දෙයක්ය.
"පාර්ලිමේන්තු මන්ත්‍රි වැටුපෙන් පමණක් ජීවත් වෙන්න බෑ. ඒ නිසා මම ව්‍යාපාර කරනවා කියලාය."

මහින්දානන්ද එදා පඩි මදි කියා පාර්ලිමේන්තුවේදී පවසන විට කැබිනට් ඇමැතිවරයකුගේ වැටුප එදා (2013) රුපියල් හැටපන් දහසකි. කොළඹ හතෙන්් නිල නිවෙසකි. ජල - විදුලි බිල් සඳහා රුපියල් ලක්ෂයකි. සුපිරි වාහනයට ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂයකි. දුරකතන බිල් ගෙවීම රජයෙනි. වාහන නඩත්තුව අමාත්‍යාංශ පිරිවැයෙනි. තීරු බදු රහිත වාහන බලපත්‍රයකි.

ඇමැතිවරයකු ලෙස තමන්ගේ කාර්යාලයට දුරකතන දෙකකි. නිවෙසටද එසේමය. ජංගම දුරකතනයක්ද හිමිය. ෆැක්ස් යන්ත්‍රයක්ද රජයෙන් ලැබෙයි. කාර්යාලයේ දුරකතන දෙක සඳහා රුපියල් 20,000ක්ද රාජකාරි නිවෙසක දුරකතනය සඳහා රුපියල් දස දහසක්ද ජංගම දුරකතනය සඳහා රුපියල් හාරදහසක්ද හිමි වේ. මේ සියල්ල එකතු වූ විට රුපියල් තුන් ලක්ෂ පනස්දහසකට ආසන්නය. මේ කිව්වේ එදා 2013 වසරේ දීමනාවය. අද ඊට වඩා වැඩි විය යුතුය. ඉහත කිව්ව දීමනාවන්ට අමතරව බෙහෙත්, ඔෟෂධ නොමිලේ ලබා ගැනීමටද හැකිය. ඕනෑම වටිනා ඔෟෂධයක් පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ඇණවුම් කර ලබා ගැනීමේ වරප්‍රසාදයද සතුය.

මේ සියල්ල මෙහෙම තියාගෙන එදා මහින්දානන්ද පාර්ලිමේන්තුවේ කිව්වේ පඩි මදි නිසා තමා ව්‍යාපාර කරන බවය.

එහෙම කරපු ව්‍යාපාරයන් ගැන රුපියල් මිලියන තිහකට ආසන්න වන මුදලක් ගැන ඕ 22467/1/15 එෆ්. සී.අයි.ඩී. එකේ ලිපි ගොනුවක් විවෘත වී පරීක්ෂණ කටයුතු අවසන්ව ඇති බව වාර්තා වන්නේය.

ඊට අමතරව පෞද්ගලික කාරණාවක් මත කඩුවෙල දිසා අධිකරණයට මහින්දානන්දගේ වත්කම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් වී තිබිණි. බිරියගේ සහ පුතුගේ නමට ගත් කෝටි ගණනක දේපළ පිළිබඳ වත්කම් වාර්තාව කඩුවෙල උසාවිය සතුව ඇත. සිංගප්පූරුවේ ඩ්ඉඕඛ් බැංකු ගිණුම් ගැනද එදා උසාවියට වාර්තා වූ බව මතකය. කටුනායක ගුවන් තොටුපොළේ වෙළෙඳ ආයතන දෙකක් පිළිබඳවද කරුණු කාරණා පළ වුණේය.

අලුත්ගමගේ මන්ත්‍රිතුමාට මතකය අලුත් කරගන්න ඕනෑ නම් මහනුවර, ජෝර්ජ් ඊ. ද සිල්වා මාවතේ, නාවල චන්ද්‍ර වෙත්තසිංහ මාවතේ, බොරැල්ල කුරුප්පු පාරේ, කොළඹ 08 ඇල්විටිගල මාවතේ ටි්‍රලියම් රෙසිඩන්සි, කොළඹ තිස්ස පාරේ, ඉඩකඩම් දේපොළ පිළිබඳ කඩුවෙල දිසා අධිකරණයේ ගොනුව ඇති නඩුවේ සවිස්තර කියන්නට හැකිය. එම්. ආර්. එෆ්. පාතිමා නමැත්තියගේ චෙක්පතක් පිළිබඳව කතාවක්ද ඇදී ගිය බව මතකය.

මේවා දැනට අධිකරණයේ විභාග වෙමින් තිබෙන නිසා වැඩිමනත් කතා කිරීමට හොඳ නැත. නමුත් මතකය අලුත් කරන්නට සිදු වූයේ අනුන්ට ඇඟිලි දික්කර උඩ පැන නටන නිසාවෙනි. තමන්ගේ ඇහේ පරාලය නොපෙනී අනුන්ගේ ඇහේ ඉරටු හොයන නිසාවෙනි. ඒ වුණාට ඒ ඉරටු නිවැරැදි යැයි කිසි විටකත් කියන්නේද නැත.

ඒකාබද්ධ විපක්ෂයේ පෙරමුණේ රාලලා වූ මහින්දානන්දලා ආණ්ඩුවට "ටොප් ටෙන්" අභියෝග කරන විට ජනාධිපතිතුමා අලුත් හෙළිදරව්වක් කළේය.

"කැබිනට් මණ්ඩලය 19 වැනි සංශෝධනයේදී 30ක් කියලා නියමිත වුණා. 30ක කැබිනට් එකක් හදලා ආණ්ඩුව කරන්න මට පුළුවන්කමක් තියෙනවා නම් හෙට මම ඒක කරනවා. මේ දූෂණයට, හොරකමට, වංචාවට තියෙන වළල්ල දූෂණයට, හොරකමට විතරක් නෙවෙයි තියෙන්නේ. මේ වළලු කඩාගෙන යන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නැතුව පුළුවන්ද....? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මම භාර නොගත්තා නම් මම දන්නවා අද කොතැනකද ඉන්න වෙන්නෙ කියලා. ජාතික ලැයිස්තුවෙන් මම පත් කරපු අය ගැන බරපතළ විවේචන තියෙනවා. ජාතික ලැයිස්තුවට මම පත් කළේ මට ශක්තිය දුන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝදර ඇමැතිවරු ගණනාවක් පාර්ලිමේන්තු මැතිවරණයේදී සංවිධානාත්මකව මහින්ද රාජපක්ෂ විසින් පරාජය කළා. උඹලා මෛත්‍රිපාල එක්ක ගියා නම් උඹලා පාර්ලිමේන්තුවට යවන්නේ නැහැ. මට විශ්වාස මිනිස්සු ටිකක් මට ආණ්ඩුවේ ඉන්න ඕනෑ.

මාධ්‍ය ගත්තාම අද මාධ්‍ය තුළ කතා කරන්නේ මොනවද...? රජය කරන හොඳ වැඩ නෙවෙයි. ගමේ කියමනක් තියෙනවා. මට ඒක අහන්න වෙනවා.
"ජනාධිපතිතුමාගෙ මල්ලේ සියඹලා ඇත්තෙම නැද්ද....?" කියලා. අඩු තරමෙන් දිනමිණ පත්තරේවත් රටේ ජනතාවට රට ගැන හැඟීමක් ඇති වෙලා ඔළුව උස්සන්න පුළුවන් ප්‍රවෘත්තියක් ප්‍රධාන ශීර්ෂ පාඨයේවත් නෑ. කැඩිච්චා, බිඳිච්චා, වෙන්වෙන ඒවා, කැඩෙන ඒවා, පුපුරන ඒවා තමයි ඔක්කොම තියෙන්නේ.
සිංහල සහ මුස්ලිම් ජනතාව අසමඟි කරන්න අර්බුදයක් හදන්න විශාල කුමන්ත්‍රණයක් තියෙනවා. ජාතික සමඟිය ගොඩනඟලා සංහිඳියාව ශක්තිමත් කරලා පොදු අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා අපි යන ගමන වළක්වන්න ඒ සඳහා සංවිධානාත්මක වූ අති විශාල වශයෙන් මුදල් යොදවන පැහැදිලි දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ සියල්ල එක්කයි අපි මේ වැඩ කරන්නේ."

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ කතාව පැහැදිලිය. වෙන දේ ගැන, වෙන්න යන දේ ගැන ඔහු හොඳ අවබෝධයක ඉන්න බව පෙනේ. නුගේගොඩ මුට්ටි රැලියේ සිට ඊයේ පෙරේදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගුටි කෙළිය දක්වා සියල්ල අතිශය සංවිධානාත්මකය. යහමින් මුදල් විසි කළ ඒවාය.

මේ සියල්ල මෙලෙස කරනුයේ රට ගැන කැක්කුමකින්, ජනතාව ගැන ආදරයකින් නොවේ. රාජපක්ෂ පාලන සමයේ සිදු වූ සියල්ල පිළිබඳ විමර්ශන, විභාග කිරීම්, හෙළිදරව් කිරීම් වළක්වා දමන්ටය. තමන් බලයට පැමිණි පසු එෆ්.සීි.අයි.ඩී. එක වසා දමා නිලධාරීන්්ට ගල් ගසා මරා දමන බවට මහින්ද රාජපක්ෂගේ දකුණේ හෙන්චයියකු කෑ මොර දුන්නේ ඒ නිසාය.

රාජපක්ෂලාට ලැජ්ජාව කියා දෙයක් නැති බව අමුතුවෙන් කියන්නට වුවමනා නැත. එකම එක උදාහරණයක් පෙන්වන්නේ බොහෝ දේවල් අතරින්ය.
තම පියාගේ සොහොන් කොත සහ කෞතුකාගාරය ගොඩනැඟීමට වැය කළ මහජන මුදල් කන්දරාව සහ ඒ සඳහා වැය කළ හමුදා ශ්‍රමය ගැන සියලු ගණන් හිලව් වාර්තා මහජනයා ඉදිරියට පසුගියදා ආවේය. රාජපක්ෂවරුන් කළේ වංචා දූෂණ විමර්ශන හමුවේ එම මුදල් ගෙවීමට පියවර ගැනීමය. තමන් මහජන මුදලින් නොව තමන්ගේම සල්ලිවලින් පියාණන්ගේ සොහොන, කෞතුකාගාරය හැදුවා නම් නැවත මුදල් ගෙවන්නේ ඇයි...? එසේ මුදල් ගෙවීම රටට කියාපාන්නේ එදා ඒවා හැදුවේ මහජන මුදලින් බව නියත බවය.

දැනටමත් සනාථ වී ඇති දූෂණ වංචා එමටය. යෝෂිතගේ ඩේසි ආච්චිගේ මැණික් මලුද නන්නාඳුනන කෙනකු ගෙනැවිත් දුන් මුදල් කන්දරාවද එවැනි සුරංගනා කතාවලට හොඳ උපහැරණය.

මෛත්‍රිපාල ජනාධිපතිතුමාගේ කතාව හරිය. දූෂණ වංචා චෝදනාවලට ජනතාව හමුවේ සුරංගනා උත්තර නොදී පිළිගත හැකි පිළිතුරු බැඳිය යුතුය. ඒ වෙනුවට කරන්නේ ජාතිවාදයෙන් ජනයා ගිනි කණ වට්ටවා යළි බලයට ඒමට ක්‍රමෝපාය පෙළ ගැස්සවීමය.

මේ ක්‍රියාවලිය හඳුනාගැනීමට මෙරට ජනතාවට හැකියාවක් නැත්තේද...? කොතැනක හෝ ලොකු වරදක් සිදුවී ඇත. ඒ වගේම සිදු වෙමින් පවතී. මහා පරිමාණයේ දූෂණ වංචා සිදු කළ, මහජන මුදල් අවභාවිත කළ, රටේ නීතිය කණපිට ගසා බල්ලාට දැමූ, මැර බලයම හැමතැනම ඉස්මතු වූ, අවනීතියම රජ කළ, හෙන්චයියලා ප්‍රකෝටිපතියන් කළ දූෂණ දේශපාලනයක් ගෙන ගිය කණ්ඩායමක් යළි රාජ්‍ය බලය අල්ලා ගැනීමට වසර දෙකක් ගත වන විට ජන බලයක් ඇති කරගන්නට පුළුවන් වන්නේ නැත. එසේ පුළුවන් වන්නේ කොතැනක හෝ ලොකුවට වරදක් සිදු වී ඇති නිසාය.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා කළ යුත්තේ අන්න ඒ වරද සිදුවී ඇති තැන කොතැනකද කියා ඉක්මනින් සොයා බැලීමය. සොයා බැලීම පමණක් නොවේ. ඒ වරද වහාම නිවැරැදි කිරීමය.

ඒ වරද නිවැරැදි නොකළහොත් ජනාධිපතිගේ රට ගැන ඇති සියලු හීන බිඳ වැටෙනවාමය.

එනිසා ජනාධිපතිතුමා ඉක්මනින්ම කළ යුත්තේ දෙපැත්තේම හොරු ඉක්මනින් අල්ලන එකය. මේ වනවිට රටේ ජනතාව තුළ ඇති වී තිබෙන අවිශ්වාසය වහාම නැති කර දැමිය යුතුය.

හිටපු සහ ඉන්න හොරුන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන්නට හිටි පියවර සිට පියවර නොගත්තොත් ලොකු අමාරුවක වැටෙනවාමය. ඒ නිසා ආයෙත් කියන්නේ යහපාලනය ඉස්මතු කිරීමට නම් පරණ හොරු සහ අලුත් හොරු දෙගොල්ලන්ටම එක ලෙස නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
නොකළොත් නම් වැඩේ ලෙඩේය.....

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්