අපෙන් එකෙකි ඒ රිළවා

  👤  4456 readers have read this article !
2016-11-16

නවීන තාක්‍ෂණික ක්‍රමෝපායන් භාවිත කරමින් හිලරි එකට එන බව පැවැසූ ඇමෙරිකන් මාධ්‍ය සහ ජනමත සමීක්‍ෂණ ආයතනයන්හි අනාවැකි පච කරමින් සැබෑ වූයේ චීනයේ ජෙඩා නම් රිළවාගේ අනාවැකියයි. අභිනව ජනාධිපති ට්‍රම්පට් උන්නැහේ කළගුණ සැලකීමේ උතුම් ධර්මතාවට අනුගත වෙමින් වහාම ජෙඩා රිළවා චීනෙන් ඇමෙරිකාවට ගෙන්වාගෙන උපදේශක මණ්ඩප්පයෙහි ප්‍රධානියා බවට පත් කරගත්තේය. මෙකී ජෙඩා නම් වෙන කිසිවකු නොව, හුටා ලන්තයට නෑකම් කියූවෙකි. එකී නිදාන කතාව නම් මෙසේය.

හුටා දේසයේ රූමස්සල නම් කඳුබඩ පෙදෙසේ ජන්ම ලාභය ලත් ජෙඩාව පනික්කියකුගෙන් පැටියා සමයේදීම මිලදී ගත් ගාල්ල පැත්තේ අබේගුණවර්ධන නම් පුද්ගලයකු හදාවඩා ගති.

රිළා මොටා එකී ගාලු වැසියාගේ සුමනේ නම් කුඩා පුත්‍රයා සමඟ කෙළිදෙළෙන් කාලය ගෙවන සමයෙහි මෙකී අබේගුණවර්ධනගේ පුත්තරයාගේත්, රිළා මොටාගේත්, මැදමුලන පැත්තේ කොලු සිඟිත්තකුගේත් කේන්දර රැගෙන හිමාල දේශයේ එක් තවුසකු මුණගැහුණු අතර, උන්නාන්සේ ප්‍රකාශ කළ අනාවැකිය හේතුවෙන් අබේගුණවර්ධනයාණෝ සලිතවැ ගියහ. එනම් මැදමුලන කොලුවා හුටා දේශයේ පහළ වන දියසේන කුමරු බවත්, මතු දාක රජකමට පත් වන බවත් ජෙඩා රාජකීය තනතුරුවලටත් ලෝක ප්‍රසිද්ධියට පත්වී ජාත්‍යන්තරයට පවා යන බවත්ය.

සුමනේද මතු දාක රාජකීය දෛවඥයකු ලෙස අභිෂේක ලැබීමට තරම් වාසනාවන්ත වන අතර, පළකරන අනාවැකියක් වැරැදී නීච වන බවත්, ජෙඩා තරම් පැසසුම් නොලබන බවත්ය. තමාගේ කොලු පුංචාට වඩා කොහෙවත් යන රිළා මොටයෙක් ලෝක ප්‍රසිද්ධ වන බව දැනගත් ගාලු වැසියා ජෙඩාව නිවෙසින් පිටමං කොට සුමනේගෙන් වෙන් කරවූයේය.

කාලයාගේ ඇවෑමෙන් ගාලු කොටුවේ රිළා නැටුම් ෂෝ එකක් අතරතුර සේද මාර්ගය හරහා පැමිණි වෙළෙන්දකු සමඟ යහළු වූ ජෙඩා චීනයට ගොස් තිබුණේය. ගාල්ලේ ගෙදරදී සුමනේ එක්ක පොරොන්දම් වැඩ කෙරූ පුරුද්දට චීනා සමඟ එක්වී කේන්දර බලන වැඩ පටන් ගත්තේය.

මේ එකී ගමන්මඟේ අග්‍රඵලයයි. මතක් කරනකොටත් රිළා ඇස් කඳුළින් බර වුණේය. දෙදෙනා නැවත මුණගැහුණේ ෆේස්බුක් එකට පින් සිද්ධ වෙන්නය.
එදා තවුසාගේ අනාවැකිය සත්‍ය කරමින් හුටා රාජ්‍යයේ රාජකීය දෛවඥ තෙමේට බුකියෙන් මඩ පිට මඩ වදිද්දී මේ නම් වැල්ලේ ජිල් බෝල ගැසූ සුමනේ අයියාමයි කියා ජෙඩා මල්ලී අයියාව හඳුනා ගත්තේය.

පස්සෙ ඇමෙරිකන් ඉලෙක්ෂන් එකේ තිරය පිටුපස ලොකු වැඩ කොටසක් කළේ සුමනෙ අයියාය. ට්‍රම්පට් දිනනවා හිලරිගේ මූණ බලන් කියන්න බෑ.
මල්ලී උඹ බය නැතිව කියපන් කියා ජෙඩාව දිරිමත් කළේ සුමනේය.

ඇමෙරිකානු රාජ්‍ය නිල ජේ‍යාතිර්වේදියාණන් ලෙස අබිසෙස් ලැබූ ජෙඩා ට්‍රම්පට් ලොක්කට කිව්වේ මට මේ ලැබෙන ගෞරවයෙන් කොටසක් අයිති විය යුත්තේ සුමනේ අයියාට කියාය.

අම්මට සිරි අංපිටියේ සුමනෙ ද කියා ඇසුව ට්‍රම්පට් ඒ සාධුත් සපෝර්ට් කළේ මටද? යූ ටියුබ් එකේ වීඩියෝ එකකුත් තිබ්බා දැක්කා කියා කිව්වේය.
හුටා වැසියන්ගෙන් මට පුදුම සෆ් එකක් තිබුණේ මර්වින් මට විෂ් කරලා පත්තරේ ඇඩ් එකකුත් දාලා තිබ්බා කියා කිව්වේය. රිළවා කිව්වේ හුටාලන්තයට අප්පච්චි නැති වුණු අඩුව ඔබේ ආගමනයෙන් පරිපූර්ණ වුණා කියාය. ලක්‍ෂ පනස් අටක් වූ බහුතර ජනතාව ඔයාගේ වික්ටරියත් එක්ක ආපහු පණගැහිලා ආවා කියාය. අපේ අප්පච්චීටත් වඩා ලොකු අප්පච්චියෙක් අපිට ඉන්නවා කියා ඔවුන් සතුටු කඳුළු වගුරනවා කියාය.

ඒ වීඩියෝ එකේ අර ටැමිල් හාදයකුට හාමුදුරුවෝ කතා කරන ලැන්ග්වේජ් එක මොකක්ද කියා ට්‍රම්පට් ඕන නැති ප්‍රශ්නයක් ඇසුවේය. අංපිටියේ සුමන තෙරුන්ගේ ලේටර්ස්ට් යූ ටියුබ් අප්ලෝඩ් එක බලලා තිබ්බ ජෙඩා කිව්වෙ ආ ඒ හුටා රාජ්‍යයේ ඩ්‍රැඩිෂනල් ලැන්ග්වේජ් එකක් කියාය.

අප්පටසිරි එහෙමද? තේරුණේ වාසු එහේ පුරෝහිතට ආදරේට කියන වචනේ විතරයි කියා ට්‍රම්පට් කිව්වේය.

කවුද ඒ සාධු ටෝක් කළ මෑන් ඩයස්පෝරාකාරයෙක්ද? සාධු අතපය විසික්කා කර කර මොකක්ද ඒ කළේ කියා ඇසුව ට්‍රම්පට්ට රිළවා කිව්වේ ඒ අපේ ට්‍රැඩිෂනල් ඩාන්ස් එකක් කියාය. ලොක්කා කිව්වේ ඕයේ රිළා ඩාන්ස් එකක්ද වන්ඩෆුල් ෆැන්ටාස්ටික් කියාය.

කෙසෙල් ගෙඩියක් දෙසා බාමින් ලොක්කා එක්ක චැට් එකේ හිටිය රිළවා ලොක්කගේ කරට උඩින් ලෙල්ල විසිකරන ගමන් කිව්වේ මං කියන්නෙ වෙන සුමනේ කෙනෙක් ගැන කියාය. මගේ එක කුස උපන් සහෝදරයෙක් හා සමානයි කියාය. එතුමා නොහිටින්න මං සමහරවිට ඔයා දිනන බව දැනගෙන හිටියත් නොකියන්න තිබ්බා කියා ෆුල් හැඟීම්බර වුණේය. ට්‍රම්පටාට දෙන්න ගිහින් තියෙන එකත් නැති කරනොගෙන දන්න රිළා නැටුම කරගෙන ඉමු. බැරිවෙලා හරි හිලරි දින්නොත් අඩි හයක් යට ඉන්න වෙන්නෙ කියලා මං චීනාටත් කිව්ව කියාය. ගාල්ලෙ සුමනේ අයියා තමයි කෝල් කර කර මාව එන්කරේජ් කළේ කියා කීවේය.

උඹ බය නැතිව කියපන් මල්ලී මේ පාර ට්‍රම්පටාම තමයි දිනන්නේ. ශනි උච්ච වෙලා කේතු කුම්භ රාශියට ගමන් කරලා තියෙන විදියටත් ට්‍රම්පට්ගේ ජයග්‍රහණය ඒකාන්තයි. මිනිහට අජිතකේශකම්බලී යෝගය උදාවෙලා තීන්නේ. හිලරි නිසා මට මේක කියාගන්න බෑ. උඹ කියහන් මල්ලී. ඔන්න ඔහොමයි මාව ඉස්සරහට තල්ලු කළේ කියා කිව්වේය.

ඕ, මයි ගෝඩ් හි ඉස් ගේ‍ර්ට්. කිව්ව ලොක්කා කිව්වෙ එයාට ඉඩ තියෙන වෙලාවක මට කෝල් එකක් අරන් දෙන්න පුතා. අපි එයාටත් මොකක් හරි තනතුරක් දෙමු කියාය.
ඥාති සංග්‍රහ නම් කොයි වෙලේ කරගන්න බැරිද පුතා දැන් බලන්න ඕන දීපු පොරොන්දුවලින් එකක් දෙකක්වත් කරලා දාන්න තමයි කියා ට්‍රම්පට් එකපාර මූණ හපුටු කරගත්තේය. මුස්ලිම් ජනතාව එළවාගන්නත් ඕන. කිව්ව තරම් ලේසි නෑ මල්ලි කරනකොට කියා නළල රැලි කරගත් ලොක්කගේ ඔළුවෙ උකුණු ඉන්නවද කියා චෙක් කරමින් උන්නු ජෙඩා කිව්වේ. ඕව මොනවද සිම්පල් නේ කියාය.

සුමනේ අයියගේ රටෙන් ඕකට සිම්පල් ප්ලෑන් එකක් තියෙනවා කිව්ව ජෙඩා කිව්වෙ එහේ හොරු ඇල්ලුව සිස්ටම් එක මෙතැනට ඇප්ලයි කරලා මුෂල්මානුවෝ රට ඇතුළට එන එක බ්ලොක් කරන්න පුළුවන්, එයාර්පෝට් එක වහන්න විතරයි ඕනේ කියාය.

එතකොට ඇතුළේ ඉන්න එවුන් එළියට දාගන්නෙ කොහොමද කියා ට්‍රම්පට් ඇසුවේය.

ඒක තමයි පොඩි අවුලකට තියෙන්නේ කියා කල්පනා කළ රිළා මොටාගේ ටිකිරි මොළේට අයිඩියා එකක් ආවේය.
උත්තරයක් තියෙනවා හැබැයි ඉම්පෝටඩ් කරන්න වෙනවා කියමින් කරණමක් ගැහුව රිළවා කිව්වේ, ගැන්සි දෙකක් ඉන්නවා හුටාවේ. අපිට ආයෝජනයක් කරලා ඉම්පෝටඩ් කරගන්න වෙනවා කියාය.

කීයක් ගියත් කමක් නෑ හැකි නම්, කියන්න වගේ මූණ හදන් බලාපොරොත්තු සහගතව බලන් උන්නු ලොක්කට රිළව කිව්වෙ රාවණා බලයයි බොදු බලෙයි ගෙනැල්ලා ටෙක්සාස්, ඇරිසෝනා, වොෂින්ටන්, ෆ්ලොරීඩා හැම ප්‍රාන්තෙකම වගේ රැලි මාලාවක් තියමු කියාය. ට්‍රම්පට්ට රිළවාගේ ස්ථානෝචිත ප්‍රඥාව ගැන නිහතමානී ආඩම්බරයක් ඇති වුණේය. ඒ එක්කම බයක් ඇති වුණේය.

ගෙනාවා වගේ නෙවෙයි බං ඔය යක්කු වයිට් හවුස් එකත් වට කරලා මටත් ලෙඩක් වෙයිද දන්නෙ නෑ කියමින් ලොක්කා ඔළුව කැසූ අතර, උකුණෙක්ටවත් ඔබතුමාට අත තියන්න දෙන්නෑ කිව්ව රිළවා ළඟ තිබුණු මහෝගනී ලීයෙන් තැනූ ස්ටූලයක් උස්සා ලොක්කාගේ ඔළුවේ උකුණො ඉන්නවා යැයි හිතුණු තැනට කෙළලා අරින ගමන් කිව්වේ ඒකටත් දෙන්නම් සිම්පල් ප්ලෑන් එකක් කියාය.

බැරි වෙලා හරි එහෙම දෙයක් වෙනවා කියලා ඉව වැටුණොත් ඔක්කොටම එතැනදීම නිවන් මඟ අවබෝධ වෙන්න හෙමීට කඳුළු ගෑස් පාරක් ගස්සවමු කියා කී රිළවා කීවේ. ඊට පස්සෙ පුටිනාට කතා කරලා රුසියාවට හරි ගිහින් බබා වගේ කතා කරමු කියාය. පත්තරේ බලනකල් දන්නේ නෑ, මම හිටිය නම් වයිට් හවුස් එක ඇතුළට ඇවිත් ඕන දෙයක් කරගන්න ඉඩ දෙනවා කියා ස්ටේට්මන්ට් එකක් යවමු. සුමනේ අයියලාගේ අපේ රටේත් වෙන්නෙ එහෙමයි කියාය. ස්ටූලය හිස මත පතිත වී දෙයියෝ සිහි වී උන් ලොක්කා හිතුවේ එහේ ලොක්කගේ උපදේශකලාටත් අපේ ජෙඩාට වගේ පට්ට ස්ථානෝචිත ප්‍රඥාවක් වෙන්න ඇති ඇත්තේ කියාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon