මල් පොහොට්ටුවේ ඇත්ත නායකයා ළඟදීම එළියට

  👤  6942 readers have read this article !
2016-11-13

දේශපාලන ක්ෂේත්‍රයේ නිරතව සිටින මැති ඇමැතිවරු බොහෝ දෙනකුට ගෙවුණු සතිය ඉතා කාර්යබහුල වූයේ මුදල් ඇමැති රවි කරුණානායක විසින් යහපාලන රජයේ දෙවැනි අයවැය බ්‍රහස්පතින්දා (10දා) දිනයේ එළියට දමනු ලැබීම නිසාය. පසුගිය වතාවේ අයවැය මහත් ආන්දෝලනයකට තුඩුදුන් අයවැයක් වූ නිසා බොහෝ දෙනා මෙවර අයවැය දෙස මහත් උනන්දුවකින් බලා සිටින්නට වූහ. ඊට හේතුව වූයේ පසුගිය වර අයවැය මුදල් ඇමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයේ යෝජනා පමණක් ඇතුළත් කරමින් සකසා තිබූ අයවැය වාර්තාවක් වීම නිසාය. මේ නිසා ශ්‍රී ලනිපය මැති ඇමැතිවරුන්ගෙන් පමණක් නොව ජනාධිපතිවරයාගෙන්ද එම අයවැයට බොහෝ සංශෝධන එකතු වූ අතර අවසානයේ "ගරු කතානායකතුමනි" යන වචනය පමණක් ඇතුළත් වූ අයවැයක් යැයි විපක්ෂය චෝදනා කිරීමත් සමඟ අයවැය පිළිබඳ ආන්දෝලනය තවත් උග්‍ර තත්ත්වයට පත් විය.

කෙසේ වෙතත් පසුගිය වර ආණ්ඩුවටත් මුදල් ඇමැතිවරයාටත් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාටත් අයවැය සම්බන්ධයන් එල්ල වූ ඒ චෝදනාවන්ගෙන් මිදීමට සියලුදෙනා මෙවර අයවැය සැකසීමේදී මුල සිටම කටයුතු කරන ආකාරයක් දකින්නට ලැබිණි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයෙනුත් එක්සත් ජාතික පක්ෂය පාර්ශ්වයෙනුත් සාමාජිකයන් ඇතුළත් වූ කමිටු දෙකක් පත් කිරීමට මේ පිරිස කටයුතු කළ අතර මෙවර අයවැය වෙනුවෙන් ගිය කාල සීමාව පුරාවට වරින් වර හමුවෙමින් සාකච්ඡා පවත්වමින් තම තමන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමටද කටයුතු කළහ.

රවිගෙන්
අය වැයට පෙර සූදානමක්

මේ අතරවාරයේ මුදල් ඇමැති රවිද නිකන් සිටියේ නැත. මුදල් ඇමැතිවරයා වශයෙන් සිය වගකීම කරට ගත් රවි කළේ ගමින් ගමට යමින් ජනතාවගේ අවශ්‍යතාවන් පිළිබඳ සොයා බැලීමය. ඊට අමතරව හිටපු මුදල් අමාත්‍යවරුන් මුණගැසී මෙවර අයවැය වාර්තාව සැකසීම සඳහා රවි උපදෙස් ලබාගැනීමද විශේෂ සිදුවීමක් විය. ඒ අනුව හිටපු මුදල් ඇමැති රොනී ද මෙල් මෙන්ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාද මුණ ගැසී රවි සිය අදහස් හුවමාරු කර ගැනීමට අමතක නොකළේය. මේ ආකාරයට දීර්ඝකාලීන වැඩපිළිවෙළක සහ සූදානමක ප්‍රතිඵලයක් වශයෙන් 2017 වසර සඳහා වූ අයවැය සෑදීමට රවි කටයුතු යොදා තිබිණි.

මෛත්‍රිගෙන් ඇමැතිවරුන්ට නියෝගයක්

කෙසේ වෙතත් මේ අතරවාරයේ පසුගිය අඟහරුවාදා (8දා) ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රධාන මාතෘකාව වූයේද අයවැයය. ආරම්භයේදීම ජනාධිපතිවරයා සියලුම ඇමැතිවරුන්ට නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සියලු දෙනාම අනිවාර්යයෙන්ම අයවැය ඉදිරිපත් කරන විට ඊට සහභාගි විය යුතු යැයි කියාය. ඊට අමතරව අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු බ්‍රහස්පතින්දා (10දා) උදෑසන අයවැයට පෙර විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන බවත් ඊටද සියලුදෙනා සහභාගි විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජෝන්ට
ගෑනු
අපලයක්

මේ අතර අමාත්‍ය මණ්ඩල තීරණ සාකච්ඡා වෙමින් පවතින අතරවාරයේ ඇමැති ජෝන් සහ ඇමැතිනි තලතා අතර තරමක බහින්බස් වීමක් ඇතිවුණ ආකාරයක් දැකගත හැකි විය. ඒ කම්කරු නිලධාරීන්ගේ රැකියා සම්බන්ධ වූ ගැටලුවක් මුල් කරගෙනය. තලතා විහිළුවෙන් විහිළුව ජෝන්ට කරුණු පහදා දෙද්දී ජෝන්ද අවසානයේ තලතාට එකඟ වී ගැටුම සමථයකට පත් කර ගත්තේය. ඔවුන් දෙදෙනාගේ ප්‍රශ්නය අවසානයේ මෛත්‍රිද සිනාසෙමින් කීවේ "එක ගමේ අයනේ. ඕවා ගමේම විසඳගන්න පුළුවන්. එච්චර දුර ගෙනියන්න ඕන නැහැනේ" යැයි කියාය.

"මට හැමදාමත් මේ කාන්තාවන්ගෙන්ම තමයි ප්‍රශ්න. පහුගිය කාලේ පවිත්‍රා ප්‍රශ්න දැම්මා. දැන් මේ තලතා ප්‍රශ්නයක් අරන් ඇවිල්ලා..." යැයි ජෝන් කියද්දී සියලු දෙනාටම ඊට සිනා නොවී සිටින්නට නොහැකි වූහ.

අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර එදිනම (10දා) පෙරවරුවේ විශේෂ කැබිනට් හමුව පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. එහිදී තමන් විසින් ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛනය සම්බන්ධ දළ ලේඛනයක් සියලුම ඇමැතිවරුන්ට බෙදා දීමට රවි කටයුතු කර තිබිණි. එය අතට ගත් චම්පික රවිට චෝදනාවක් ඉදිරිපත් කරමින් කියා සිටයේ තමන්ගේ අමාත්‍යාංශයට කලින් අයවැයෙන් ලබාදී තිබූ මුදල් ප්‍රමාණය මෙවර කපා ඇතැයි කියාය. නමුත් චම්පිකගේ ගැටලුවට ඒ මොහොතේම පිළිතුරු දුන් රවි " නෑ, ඇමැතිතුමා එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. අපි වැඩ කරන විදියට ඕන තරම් මුදල් දෙන්න සූදානම්. ඉස්සර වෙලාම ගිය අවුරුද්දෙ වෙන් කරපු සල්ලි ටික වියදම් කරල ඉන්න" යැයි කියද්දී චම්පිකද ඊට එකඟ වීම නිසා ඒ ප්‍රශ්නයද වැඩිදුර නොයා විසඳුමක් ලබා ගත්තේය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී බ්‍රහස්පතින්දා (10දා) උදෑසන පැවැති මෙම විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා ප්‍රථමයෙන්ම කීවේ, මෙවර අයවැය ශ්‍රී ලනිපයේ සහ එජාපයේ දෙගොල්ලන්ම එකතුවී හැදූ අයවැයක් නිසා කිසිම ප්‍රශ්නයක් ඇති නොවන බැවින් එය සියලුදෙනා එකතු වී ඉදිරිපත් කර එයට සියලු දෙනා සහාය දැක්විය යුතු යැයි කියාය.

"මේක අපි දෙගොල්ලම හොඳට සාකච්ඡා කරල හැමෝගෙම යෝජනා ඇතුළත් කරල ගෙනාපු අයවැයක්. ගිය පාර වගේ නෙවෙයි මේ පාර ශ්‍රී ලනිපයේත්, එජාපයේත් දෙගොල්ලන්ගෙම යෝජනා මේකෙ තියෙනවා. අපි ඒ නිසා මේ පාර එකතුවෙලයි මේ අයවැය පාර්ලිමේන්තුවට ගේන්නෙ. ඒ නිසා කිසිම කෙනකුට ප්‍රශ්නයක් නෑ. කිසිම අඩුපාඩුවක් වෙන්නත් බෑ. හැමෝම මේකට සහාය දක්වන්න ඕන" යැයි මෛත්‍රි කියද්දී අගමැතිවරයාද එම ස්ථාවරයම දරමින් එම අදහස අනුමත කරමින් අදහස් දක්වන ආකාරයක් දැකගත හැකි විය. රනිල් එහිදී යෝජනාවක් ගෙන එමින් කීවේ "අපි හැමෝම එකතුවෙලා මේක ගෙනාව නිසා හැමෝම මේකට සහාය දක්වමු" යැයි කියාය. රනිල්ගේ එම යෝජනාව කැබිනට් මණ්ඩලයේදී අනුමත කළේ සන්ධාන මහලේකම් මහින්ද අමරවීරය.

මුළු
ආණ්ඩුවම
හම්බන්තොට

එහිදී එළැඹෙන නොවැම්බර් 13 සහ 14 (සඳුදා, අඟහරුවාදා) ආණ්ඩුවේ සියලු මැති ඇමැතිවරුන්ට අයවැය සම්බන්ධයෙන් වැඩමුළුවක් පැවැත්වීමටද යෝජනාවක් සම්මත විය. ඒ අනුව එම වැඩමුළුව හම්බන්තොට "ෂැන්ගි්‍රලා" හෝටලයේ පැවැත්වීමට මේ වන විටත් කටයුතු යොදා ඇති අතර සියලු දෙනාම ඊට සහභාගි විය යුතු බවද රනිලුත්, මෛත්‍රිත් පිරිසට දැනුම් දී සිටියහ.

කෙසේ වෙතත් මෙවර අයවැයේ විශේෂත්වයක් වූයේ අයවැය ඉදිරිපත් කරන්නට පෙර වෙනදා විපක්‍ෂයෙ මන්ත්‍රිවරුන් රැස්වීමක් පැවැත්වුවද මෙවර එය නොපැවැත්වීමත් ආණ්ඩුවේ ඇමැතිවරුන් එලෙස විශේෂ රැස්වීමක් පවත්වන්නට කටයුතු යොදා තිබීමත්ය.

පාලිතගේ
කාන්තා ප්‍රශ්නය
ප්‍රසන්න විසඳයි

අභාවප්‍රාප්ත පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන්ගේ දේහයට අවසන් ගෞරව දක්වන්නට ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග සිකුරාදා (4දා) නිදහස් චතුරස්‍රයට ගියේය. අමරදේවයන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු ප්‍රසන්න මඳ වේලාවක් එම ස්ථානයේ රැඳී සිටි අතර සංස්කෘතික නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුමද ඒ මොහොතේ එතැනට පැමිණියේය. පාලිතත්, ප්‍රසන්නත් කතාබහ කරමින් සිටියදී එක්වරම අමරදේවයන්ට ගෞරව කිරීමට පැමිණ සිටි කාන්තාවන් පිරිසක් ප්‍රසන්නව දැක, 'ඇයි මන්ත්‍රිතුමා මේ ආණ්ඩුව පෙරළන්නේ නැද්ද? දැන්නම් හොඳටම ඇති' යැයි කියද්දී 'අපි ඒකට තමයි මේ දවල් රෑ නැතිව මහන්සි වෙන්නේ' යැයි ප්‍රසන්නද ප්‍රතිඋත්තර දුන්නේය. ප්‍රසන්නත් කාන්තාවනුත් අතර සිදුවුණු මේ කතාව අසා සිටි පාලිත එම කාන්තාවන්ගෙන් ඇසුවේ 'ඇයි ආණ්ඩුව පෙරළන්න කියන්නේ. අපි හොඳ නැද්ද කියාය.' 'අපෝ ඇමැතිතුමා කතා කරන්න එපා... ඔයාලගේ හොඳ මොනවද ඔයාල ඇවිත් මේ රටට කළේ' යැයි කියමින් කාන්තාවන්ද පාලිතට දෝෂාරෝපණය කරන්නට පටන් ගත්තේය.

'නෑ... නෑ... මෙතුමට ‍ෙදාස් කියන්න එපා. පාලිත ඇමැතිතුමා නරක නෑ. එතුමාට වැඩ කරන්න දෙන්නේ නැත්තෙත් මේ ආණ්ඩුව තමයි' යැයි කියමින් පාලිත වෙනුවෙන් ඉදිරිපත් වූ ප්‍රසන්න කාන්තාවන්ගේ දෝෂ්මුරයෙන් පාලිතව බේරා ගත්තේ දැඩි වෙහෙසක් ගැනීමෙන් අනතුරුවය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය සෙනසුරාදා (5දා) දහවල් අත්තනගල්ල හොරගොල්ල වලව්වට පැමිණියේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරාධනයකට අනුවය. මෛත්‍රි හොරගොල්ලට පැමිණෙන බව දැන සිටියේ චන්ද්‍රිකාත් ඇයට ඉතා සමීප කිහිප දෙනකුත් පමණි. දහවල් 12.30ට පමණ හොරගොල්ලට පැමිණි මෛත්‍රි පැය 3කට අධික කාලයක් එහි රැඳී සිටි අතර චන්ද්‍රිකා සහ මෛත්‍රි අතර ඉතා රහසිගතව පැවැති මෙම සාකච්ඡාව අතරතුර චන්ද්‍රිකාගේ සේවකයකුවත් එම ස්ථානයට නොයෑමට වග බලා ගත්තේ කලින් ලබා දී තිබූ උපදෙස් අනුවය. ඔවුන් දෙදෙනා දිවා ආහාරය ගන්නා ස්ථානයට හෝ කිසිදු සේවකයකුට නොපැමිණෙන ලෙස චන්ද්‍රිකා කලින්ම උපදෙස් ලබාදී තිබිණි.

මේ ආකාරයට පැවැති සාකච්ඡාවෙන් අනතුරුව චන්ද්‍රිකා හිටපු ජනාධිපතිනිය සිය සමීපතම හිතවතුන් කිහිප දෙනකු සමඟ මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අමතක නොකළේය. කෙසේ වෙතත් ඉතා රහසිගතව පැවැති මේ සාකච්ඡාවේ ප්‍රතිඵල හෙට අනිද්දාම රටට දැනගන්නට ලැබෙන බව බොහෝ දෙනාගේ විශ්වාසය වී තිබේ.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු අලුත් වැඩකට අත ගැසූහ. ඒ වෙන කිසිවක් නොව යහපාලන ආණ්ඩුවේ හොරකම් හා දූෂණවලට සම්බන්ධ ඇමැතිවරුන් රටට හෙළිදරව් කිරීමේ 'ඊධන - 10' ව්‍යාපෘතියය. හිටපු ජනාධිපති මහින්දගේ උපදෙස් පරිදි මේ ව්‍යාපෘතියට නායකත්වය දුන්නේ මහින්දානන්දය. මහින්දානන්දට ඒකාබද්ධ විපක්ෂයේ සියලු මන්ත්‍රිවරු සහාය දුන්නේ අදාළ චෝදනාවලට සම්බන්ධ ලිපි ලේඛන පවා සොයා දෙමිනි. යහපාලන ආණ්ඩුවේ ඇමැතිවරු දස දෙනෙක් කර තිබෙන බිලියන 32කට අධික මූල්‍ය වංචා පිළිබඳ තොරතුරු සොයා ගැනීමට මහින්දානන්ද ඇතුළු පිරිස සමත් වූහ. ඒ අනුව ඔවුන් සිය පළමු පැමිණිල්ල කළේ අගමැති රනිල්ට එරෙහිවය. දෙවැන්න මුදල් ඇමැති රවීට එරෙහිව අල්ලස් කොමිසමට හා සී.අයි.ඩී.යට ඉදිරිපත් කෙරිණි. රවීට එරෙහි පැමිණිල්ල සී.අයි.ඩී.යට භාර දීමට මහින්දානන්ද සමඟ ප්‍රසන්න රණතුංග, කෙහෙළිය රඹුක්වැල්ල, පියල් නිශාන්ත, රමේෂ් පතිරණ වැනි මන්ත්‍රිවරුද එක්වූහ. 'මේ ගමන් අපිවත් තියා ගනියිද දන්නේ නෑ' පැමිණිල්ල භාර දීමට යන අතරතුර ප්‍රසන්න සෙසු මන්ත්‍රිවරුන්ට කියද්දී, කෙහෙළිය කීවේ, ඔව්, ඔව්, ආණ්ඩුව බලාගෙන ඉන්නේ කොයි වෙලේද අපේ එකෙක් ඇතුළට දාන්නේ කියලා' යැයි කියාය. දැන්නම් මොකා ඇතුළට දැම්මත් ආණ්ඩුවට ගොඩ යන්න බෑ. මිනිස්සු දන්නවා ආණ්ඩුව කෙළින තරමක් කෙළින්නෙ කෙබර කියලා' යැයි මහින්දානන්ද එහි සිටි පිරිසට ඇසෙන්නට අමුවෙන්ම කියා දැම්මේය.

නායකයා
ගැන
ඉඟියක්

නව දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු මේ දිනවල ලහිලහියේ සිදුවෙමින් පවතී. ඊට නායකත්වය ලබාදී ඇත්තේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂය. පසුගිය අඟහරුවාදා (8දා) මෙම නව පක්ෂය පිළිබඳ අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල විවිධ සාකච්ඡා පැවැත්වුණු අතර අම්පාර රැස්වීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විමලවීර දිසානායක, ශ්‍රියානි අබේවික්‍රම යන මන්ත්‍රිවරුද සහභාගි වූහ. මොනරාගල රැස්වීමට ශෂේන්ද්‍ර රාජපක්ෂ මෙන්ම මන්ත්‍රි විජිත බේරුගොඩද එක්ව සිටියහ. මොනරාගලදී පැමිණ සිටි පිරිස බැසිල්ගෙන් ඇසුවේ නව පක්ෂයේ නායකයා කවුද යැයි කියාය. හැමෝම කියන්නේ මහින්ද මහත්තයා කියලා ඒක ඇත්ත නේද' යැයි පිරිස බැසිල්ගෙන් අසද්දී 'හැමෝම කියනවා නම් ඒක තමයි හරි' යැයි බැසිල් කීවේ සිනාසෙමිනි.

ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ නව සාමාජිකයන් බඳවා ගැනීමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (10දා) උදෑසන නෙලුම් පෙදෙස මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේදී පැවැත්විණි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රිවරු සහ ක්‍රියාකාරීන් ඊට එක්ව සිටියහ. පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම්. චන්ද්‍රසේන සහ ඔහුගේ සොහොයුරු හිටපු මහ ඇමැති එස්. එම්. රංජිත් ද එම අවස්ථාවට පැමිණ සිටියහ. මේ අතර එස්. එම්. චන්ද්‍රසේන මන්ත්‍රිවරයාට කොටුව ජනාධිපති මන්දිරයෙන් ඇමැතුමක් ලැබිණි. අද හවස 7ට ආසන සංවිධායකවරු කැඳවලා තියෙනවා. ඔබතුමාටත් එන්න කිව්වා' එහා පැත්තෙන් කතා කළ පුද්ගලයා කියද්දී අනේ මහත්තයෝ ජනාධිපතිතුමාට අමතක වෙලා වෙන්න ඇති. පහුගිය අවුරුද්දේ අගෝස්තු මාසේ මැතිවරණයට මම නාම යෝජනා දීලා යනකොට තමයි මාව පක්ෂෙ ආසන සංවිධායකකමිනුයි, මධ්‍යම කාරක සභාවෙනුයි අයින් කරලා තිබුණේ. ඒ හින්දා රෙද්දක් ඇඳගෙන නම් මට ඕකට එන්න වෙන්නේ නෑ' යැයි එස්. එම්. චන්ද්‍රසේන උත්තර දුන්නේය.

ආණ්ඩුවෙන්
මහින්දට
කෙනෙහිලි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සති අන්තය ගත කළේ තංගල්ලේය. ඉරිදා (6දා) උදෑසන මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ පිළිරුව අසල සංවිධානය කර තිබූ පුෂ්පෝපහාර උත්සවයට සහභාගි වීම සඳහා මහින්ද උදෑසනම මැදමුලන නිවෙසට ගියේය. එහි සිටි තරුණ පිරිසක් සමඟ කතා බහ කරමින් සිටින අතරතුරදී මැදමුලන නිවෙසේ අයකු මහින්දට කලින් දින ලැබුණු ලිපියක් අතට දුන්නේය. එය බැලූ මහින්දගේ මුහුණ වෙනස් විය. ලිපියේ තිබුණේ ඩී. ඒ. රාජපක්ෂ පදනමට අයත් ඉඩමක් රජයට පවරා ගන්නා බවය. 'ආණ්ඩුව මගෙන් විතරක් නෙවෙයි මගේ අම්මා, තාත්තාගෙනුත් පළි ගන්නවා' යැයි මහින්ද කීවේ හැඟුම්බරවය.

පසුගිය අඟහරුවාදා (8දා) සවස ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ මහින්දගේ විජයාරාම නිවෙසේදී රැස්වූයේ ඉදිරි දේශපාලන කටයුතු සාකච්ඡා කිරීම සඳහාය. මහින්දානන්ද මන්ත්‍රිවරයා මේ රැස්වීමට ආවේ ලොකු ලිපි ගොනුවක්ද අතැතිවය. 'මේකේ තියෙන්නේ මේ ආණ්ඩුවේ ඇමැතිවරුන් දහ දෙනකුට විරුද්ධව මූල්‍ය අක්‍රමිකතා චෝදනා ගැන ලිපි ලේඛන. අපි දැන් ලැස්තියි මේවා එකින් එක හෙළි කරන්න. මහින්දානන්ද කීවේය. එහිදී ප්‍රසන්න කීවේ කෝප් වාර්තාවත් සමඟ ආණ්ඩුවේ පස්ස බිම ඇනුණු බවය. අගමැතිව බේරන්න මේ අය දන්න දහන්ගැට ඔක්කොම දානවා. හැබැයි වැඩක් නෑ' ප්‍රසන්න කීවේය. ඊට පෙර දින ආබාධිත රණවිරුවන්ට කොටුවේදී එල්ල වූ ප්‍රහාරය පිළිබඳවද මෙහිදී අදහස් පළ විය. එය දැඩි ලෙස හෙළා දුටු මහින්ද කීවේ රට බේරාගත් රණවිරුවන්ට පහර දෙන තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇති බවයි. 'හැබැයි දැන් මේකටත් චෝදනා කරන්නේ සර්ට' පවිත්‍රා කීවාය. 'මම මේ අයට විශ්‍රාම වැටුප් දෙන්න අනුමත කරලයි තිබුණේ. හැබැයි ආණ්ඩු වෙනස් වෙච්ච ගමන් ඒක ක්‍රියාත්මක වුණේ නෑ' මහින්ද පවිත්‍රාට කීවේය.

මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් රිපබ්ලිකන් අපේක්ෂකයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වාර්තා වීමත් සමඟ හිටපු ජනපති මහින්ද බදාදා (9දා) සවස අන්තර්ජාලය ඔස්සේ ට්‍රම්ප්ට සුබ පැතුමක් එක් කරන්නට කටයුතු යොදා තිබිණි. කෙසේ වෙතත් දැනගන්නට ඇත්තේ ජනපති මෛත්‍රිටත්, අගමැති රනිල්ටත් ප්‍රථමයෙන්ම ට්‍රම්ප්ට හිටපු ජනාධිපති මහින්දගෙන් සුබපැතුම ලැබුණු බවකි.

අමරදේවයන් නමින් සජිත්ගෙන්
ගම්මාන 2ක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතා අයිතියට පත් කළ පළමු උදා ගම්මානය මෙන්ම වත්මන් උදා ගම්මාන වැඩපිළිවෙළ යටතේ විවෘත කළ 13 වැන්න වූයේ වාරියපොළ මැතිවරණ කොට්ඨාසයේ බමුණාකොටුව, බෝගොඩ "එදිරිමනගම" යි. එහි විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වීමට යද්දී නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත්ට දැනගැනීමට ලැබුණේ නැටුම් කණ්ඩායම් ඇතුළු සංස්කෘතිකාංගවලින් සමන්විතව පිළිගැනීමක් ඔහු වෙනුවෙන් සූදානම් කර ඇති බවකි. සජිත් එහිදී කීවේ "අමරදේව ඇදුරුතුමාට ගරු කිරීමක් හැටියට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙන නිසා ඒ සන්දර්ශන, නැටුම් වහාම නවත්තන්න. අපි මේක ඉතාම චාම් විදියට කරමු" යැයි කියාය. සජිත් සිය කතාවේදී කීවේ අමරදේවයන් අභාවප්‍රාප්ත වූ පුවත අසා තමන් ඉමහත් කම්පනයට පත්වූ බවයි. "මේ ආරංචිය ඇහුණු මොහොතෙම මම හිතුවේ අමරදේව ශ්‍රීමතානන් නමින් උදා ගම්මානයක් ඉදිකරනවා කියලයි. ඒකෙ වැඩ මම අද ඉඳලා දවස් 10ක් ඇතුළත පටන් ගන්නවා" සජිත් කීවේය. මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයට ගල්ගමුව, පලුකන්දෑව ජනාධිපති විද්‍යාලයෙන් පෙනී සිට ලකුණු 171ක් ලබා ගනිමින් එම විද්‍යාලයේ පළමු ස්ථානය හිමිකර ගත් ප්‍රදේශයේ ඉතා අඩු ආදායම්ලාභී පවුලක දියණියක් වූ සසිනි අමා කරුණාරත්න ශිෂ්‍යාවට ඔවුන්ගේ නිවෙස තනා ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ 5ක නිවාස ආධාරයක් පිරිනැමීමටද එහිදී අමතක නොකළේය.

මේ අතර සජිත් පසුවදාම මුලතිව් බලා පිටත් වූයේ "ශිල්ප සවිය" යටතේ ඉදිකිරීම් කර්මාන්ත පුහුණුව සඳහා මුලතිව් දිස්ත්‍රික්කයෙන් තෝරා ගත් යෞවනයන් 1,500කට වෘත්තීය උපකරණ කට්ටල්, නිල ඇඳුම් සහ විෂයානුබද්ධ පෙළ පොත් ලබාදීමේ උත්සවයකට සහභාගි වීමටය. මුලතිව් ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ පැවැති එම උත්සවයේදී සජිත් කීවේ මම මේක කියන්නේ මුලතිව්වලට ඇවිත්. සමහර දේශපාලනඥයන් කෙටි ජනප්‍රියත්වය අරමුණු කරගෙන ජාතිවාදී මත පළ කරලා රටේ අවුල් ඇති කරන්න හදනවා. උතුරේ පන්සල් හදන්න බැහැ කියල මෙහේ සමහරු කියනවා. දකුණේ කෝවිල්, පල්ලි, දේවස්ථාන බෑ කියලා දකුණේ කට්ටියක් කියනවා. උතුරේ පන්සල් හදන්න පුළුවන්. දකුණේ කෝවිල්, පල්ලි, දේවස්ථාන හදන්නත් පුළුවන්. ඒ සඳහා මේ රටේ හැමෝටම සමාන අයිතිවාසිකම් තිබෙනවා. අපි ඒ අයිතිවාසිකම් සුරකිනවා. උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කරන්න කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ" යැයි දැඩිව කියා සිටියේය.

පසුගිය සතියේ රට පුරාම ප්‍රබල මාතෘකාවක් බවට පත්ව තිබුණේ පණ්ඩිත් අමරදේවයන්ගේ අභාවයය. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ හත් දවසේ මතක බණ යෙදුණේ බ්‍රහස්පතින්දා (09දා) රාත්‍රියටය. ඊට සහභාගි වීමට ඔහුගේ නිවෙසට ගිය සජිත්, විමලා අමරදේව මහත්මිය හා රංජන අමරදේව පුතු සමඟ කතා බස් කරමින් සිටියදී දැනුම් දුන්නේ දින 10ක් ඉක්මවන්නට පෙර දිවංගත අමරදේවයන් නමින් උදා ගමක් අරඹන බව තමන් ප්‍රකාශ කළත් දැන් ඒ වෙනුවට ගම් දෙකක්ම ඉදිකිරීමට කටයුතු යොදා ඇති බවයි. ඒ අනුව හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී අද (13දා) සහ හෙට (14දා) දෙදින එම ගම්මානවලට මුල්ගල් තැබීමට නියමිතය. එම අවස්ථාවට සහභාගිවන ලෙස විමලා අමරදේව මහත්මියට සහ රංජන අමරදේව වෙතද සජිත් එහිදී ඇරයුම් කළේය.

මේ අතර විල්පත්තු අභය භූමිය අවට සංචාරක හෝටල් හිමියන් සහ ජීප් රථ රියැදුරන් අතර හටගෙන තිබුණු බරපතළ අර්බුදයක් අවසන් කිරීමට සජිත් මැදිහත් වූයේ ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ පී. හැරිසන් ඇමැතිවරුන් දෙදෙනාත් වනජීවී අමාත්‍යාංශයත් හවුල් කර ගනිමිනි. කෙසේ වෙතත් ගැටලුව සුබවාදී ආකාරයෙන් විසඳීමට හැකිවීම සියලු පාර්ශ්වයන්ගේ සතුටට හේතු වී තිබිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon