හිඟන ඔට්ටුවට තට්ටු වෙයිද..?

  👤  6333 readers have read this article !
2016-11-10

මේ රටේ ජනතාවගේ දේශපාලනමය චින්තන විප්ලවයක් ඇති කරමින් 'යහපත් රාජ්‍ය පාලනයක්' වෙනුවෙන් සටන් වැදි මහා යතිවරයාණෝ අපවත් වී වසරක් ගෙවුණේය.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ගොඩනඟාගත් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ සිහිනය වූයේ දූෂණය, භීෂණය, අයුක්තිය, අවනීතිය, ජාතිවාදය පිටුදකින යහපත් රාජ්‍ය පාලනයක් ගැනය. ඒ සිහිනය සැබෑ කරගන්නට සෝභිත හාමුදුරුවන්ට විශාල ගැරහීම්වලට මුහුණ දෙන්නට සිදු වුණේය. අපහාස වින්දේය. වස කුප්පි පෙන්නා වස පානය කරන ලෙසද ඉල්ලූ මාධ්‍ය හමුද පැවැත්වුණේය. එසේ 'වස කුප්පි මාධ්‍ය හමු' පැවැත්වූ බව අද බොහෝ අයට අමතකය.

මේ රටේ සිදුවූ මහා දේශපාලන පෙරළිය වුණු ජනවාරි 08 පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේනගේ දේදුනු ජයග්‍රහණය වෙනුවෙන් මේ රටේ සිවිල් සමාජය, ප්‍රගතිශීලී බලවේග ඒකරාශී කොට නායකත්වය සැපයුවේ සෝභිත හාමුදුරුවන්ය.

එදා පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහත්තයාට පක්‍ෂයක් තිබුණේ නැත. තමන්ට උරුම පක්‍ෂයේ සහයෝගය නැතිව නිර්පාක්‍ෂිකයකු ලෙස ඉදිරිපත් වෙලා මහින්ද රාජපක්‍ෂ නමැති හැම අතින්ම බලසම්පන්න වූ බලවේගය පරාජය කිරීම මහා ආශ්චර්යයක්ම බව අමුතුවෙන් කියන්නට වුවමනා නැත.

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ පරාජය කරන්නට කැපවුණු එක ගැන සෝභිත හාමුදුරුවෝ පොඩ්ඩක්වත් කනගාටු වූයේ නැත. උන්වහන්සේ සමඟ අත්වැල් බැඳගත් පුරවැසි, සිවිල්, වෘත්තීය සමිති සංවිධානද තවමත් කනගාටුවට පත්නොවී සිටින බව ඊයේ පෙරේදාත් ප්‍රකාශ කළේය.

නමුත් ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්‍ෂකයා පරාජය කරන්නට මහින්ද වේදිකාවේ ගිරිය පුප්පා කෑ ගැසූ අය, කරන තරමක් අපහාසම මෛත්‍රිට කළ අයම අද ජයග්‍රාහකයෝ වී නූල් සූත්තර අදිමින් රජයේ වෙස් මුහුණුකාරයන් වී සිටින්නෝය. ඒ නිසා මේවා මේ විදියට සිදුවන බව සෝභිත හාමුදුරුවන්ට දුර දක්නා නුවණින් හොඳට පෙනුණේය.

මැතිවරණ ජයග්‍රහණයෙන් පසු සෝභිත හාමුදුරුවන්ට සිදුවූ මදිපුංචිකම් අපහාස, අවලාද උන්වහන්සේ තනිව විඳ දරා ගත්හ. කොළඹ දිස්ත්‍රික්කයේ පරාජිත දේශපාලනඥයකුට පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරක් ලැබෙන බවට ආපු ආරංචියට උන්වහන්සේ කලකිරුණහ.

ඒ පිළිබඳ වගකිවයුත්තන්ට කතා කරන්නට උන්වහන්සේ ගත්තු උත්සාහයද වතුරේ ගියේය.

සෝභිත හාමුදුරුවන්ට රජයක් හෝ රාජ්‍ය නායකයකු බලයට පත් කර තමන්ට ලබා ගන්න පෞද්ගලික පරමාර්ථ, අපේක්‍ෂාවන්, වුවමනාවන් කිසිවක් තිබුණේ නැත. පන්සල්වලට අයිතිවාසිකම් කියන්නට, අලි පැටව් රක්‍ෂා කරන්නට, ව්‍යාපාරික කඩපේළි ලබා ගන්නට, පිටරට සවාරි යන්නට, සෝභිත හාමුදුරුවන්ට එවැනි අපේක්‍ෂාවන් තිබුණේම නැත. එතුමන්ගේ අපේක්‍ෂාව වූයේ දේශපාලන ප්‍රතිසංස්කරණයකි. සැමගේ සාධාරණය වෙනුවෙන් කැපවුණු රාජ්‍ය තන්ත්‍රයකි. ජනවාරි 08දා මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් සෝභිත හාමුදුරුවෝ දැඩි ලෙස වෙහෙස මහන්සි වෙලා වැඩ කටයුතු කළේ මෙදා පාර නම් විධායක ජනාධිපති පදවිය අහෝසි කර ආපහු හැරෙන්නේ නැති බවට දැඩි මතවාදයක සිටිමිනි. ඒක එහෙම වුණත් 19 වැනි සංශෝධන අවම ලෙස සම්මත වීම සහ ඒ සඳහා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් යැයි කියා ගන්නා පිරිසගේ අශ්ලීල ක්‍රියාපිළිවෙත පිළිබඳව මහත් සේ පිළිකුලටත් කනගාටුවටත් පත් වූහ. අවසානයේ 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වෙනුවෙන් වීදි බහින්නට පවා සිදුවීම ගැන සෝභිත හාමුදුරුවෝ කම්පාවෙන් සිටියහ.

'ජාතික විධායක සභාව' නම් වූ උත්තරීතර සභාවකට සෝභිත හිමියන් නම් කළ බව පත්තරවල, මාධ්‍යවල ප්‍රචාරය වූයේය. නමුත් එහෙම පත් කිරීමක් හෝ ආරාධනාවක් සෝභිත හාමුදුරුවන්ට ලැබුණේ නැත.

'මහින්ද සමඟ නැඟිටිමු' කියා ආණ්ඩුවේ කන මිරිකන්නට මහින්දගේ ඇබිත්තයෝ මුට්ටිය දමා බැලූ නුගේගොඩ රැලිය ගැන පක්‍ෂයේ නායකත්වය, සන්ධානයේ නායකත්වය සෘජු විනය පියවර නොසැලී, නොපැකිළව දැඩි ලෙස වහාම ගත යුතුය කියන මතයේ සෝභිත හාමුදුරුවෝ සිටියේ ආණ්ඩුවේ නායකයන්ට එදා නොපෙනුණු දෙය දිවඇසකින් වාගේ දැක්ක නිසාය.

'අන්තිමේදී සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක පොඩි පොඩි දේවලින් තේරුම් ගන්න පුළුවන්' කියා උන්වහන්සේ කීවේ ඒ නිසාය.

දෙවැනි රැලියත් පවත්වන්නට යනවාය කියන ආරංචිය ලැබුණු විට සෝභිත හාමුදුරුවෝ කිව්වේ 'මහින්දට මැතිවරණයට තරග කරන්නට නාමයෝජනා ලැබෙනවා' කියලාය. සෝභිත හාමුදුරුවන්ගේ දේශපාලන දැක්ම හරි තියුණුය. අනාගතයේ වෙන්න යන දේ උන්වහන්සේට පෙනුණේය. මැතිවරණයෙන් පරාජයට පත් වුණොත් පොළොවෙන් අඩි 6ක් යට සිටින්නට තම ඉරණම තීන්දු වන බව පැවැසූ පොදු අපේක්‍ෂකයා ජයග්‍රහණයෙන් පසු තමාට ඡන්දය ලබාදුන් 62 ලක්‍ෂයක ජනතාව පොළොවෙන් අඩි 6ක් යටට යැවීමට ගත් තීන්දුවක් බව සෝභිත හිමියන් වටා රොක්වුණු සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෝ කොටුව දුම්රියපොළ ඉදිරියේදී හඬ නඟා කියුවෝය. උද්ඝෝෂණයෙන් පසු නාගවිහාරයේදී සිවිල් සංවිධාන නායකයන් සෝභිත හාමුදුරුවන් මුණගැසුණේ තමන් කළ කී දේ ගැන, උද්ඝෝෂණය ගැන කරුණු කියන්නටය. එතැනදී සෝභිත හාමුදුරුවෝ සිවිල් සංවිධාන නායකයන්ට කිව්වේ රටේ ඉහළ තැනකින් කතා කළ බවත්, 'දැන් මොනවද මහත්තයෝ මා එක්ක කතා කරන්න තියෙන්නේ' කියා දුරකතනය තැබූ බවත්ය.
එදා එසේ කියා සෝභිත හාමුදුරුවන් රිසීවරය තැබූ දෝංකාරයේ මහිමය දැන් එළිපිටම පෙනෙන්නට තිබේ. ප්‍රජාතාන්ත්‍රික පිළිවෙතකට පිවිසීම සඳහා රජය ගන්නා ලද සාධනීය යම් පියවරයන් සියල්ලම යටපත් කර දමමින් උතුර වෙන්වෙනවාය.

කොටි 'ආවා'ය. බුද්ධාගම නැති වෙනවාය. පාර්ලිමේන්තුවේ බලය නැති වෙනවාය. රට විදේශයන්ට නතු වෙනවාය. මේ ආදී මහින්දගේ දෙවැනි ආගමනයක් පිළිබඳ සිහින දකින්නන්ගේ ගෝරනාඩුවෙන් රටම වෙළිලාය. එම ව්‍යාජයන් ජන හදවත් තුළට කි¼දා බැස්සවීම සඳහා බොහෝම සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින්නේය. ඉතා සුළු සිද්ධියකට පවා විශාල ආන්දෝලන ඇති කරමින්, කවර ආකාරයකින් හෝ රජය ජන අප්‍රිය කරවීමේ මහා උත්සාහයක යෙදී සිටින්නේය. මේ මහා බලය ලබා ගැනීමේ ගරිල්ලා ව්‍යාපාරය තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් මව මරා උපන් කුමරකු ලෙසින් මල් පොහොට්ටු පක්‍ෂයක්ද බිහිවන්නේය. මේ පක්‍ෂය පිහිටුවීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකට කැඩීමකි. මහින්ද රාජපක්‍ෂ ඒ බව නොදන්නා බබෙක් නොවේ. නමුත් බලය වෙනුවෙන් ඔහුගේ කුඩුකේඩුකම ඉහවහා ගොහින්ය. පළිගැනීමට ඔහු තුළ ඇති ආශාව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පරාජය කරවන තෙක් නොසන්සිඳෙන තරම්ය. මේ බල තණ්හාව වෙනුවෙන් මේ රටේ ඕනෑම කෙනකු බිලි දීමට, පාවිච්චි කිරීමට රාජපක්‍ෂ එහෙයියන් සූදානම්ය.

වසර 8ක් තිස්සේ තිබුණු මහින්ද රජයෙන් ඉටු නොකළ යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත්වූන්ගේ වැටුප් දීමනා ප්‍රශ්නයක් මාස හතරක් වැනි සුළු කාලසීමාවක් තුළ විස¼දා තීරණ තීන්දු සියල්ල ගෙන තිබියදීත් ඒ මොහොතේ සාකච්ඡා කරද්දීත් කොටුවට, ජනාධිපති ලේකම් කාර්යාලය අසලට චීවරධාරීන් පිරිසක් ආබාධිතයන් සමඟ පැමිණ මහා ගිනි විජ්ජුම්බරයක් කර ගත්තේය. මේ කුජීත ක්‍රියාවලියේ අදිසි දේශපාලන හස්තයන් සහ කසකරුවන් කවුරුන්දැයි ඊට පෙර දිනවල ඔවුන් හමුවී කතා කළ අයගේ පුවත්පත් ඡායාරූප දැකීමෙන් ටක්කෙටම හිතාගත හැකිය. ආබාධිත යුද සෙබළුන් දැන හෝ නොදැන, බොහෝවිට කිහිපදෙනකු පමණක් දැන දේශපාලන අරමුණ ඉටුකර ගත්තේය.
මේක ඉතා භයංකර අවස්ථාවකි. බලය පිළිබඳ අතෘප්තකර ආශාව ඉටුකර ගැනීමට තවත් බොහෝ දේ සිදුවිය හැකිය. නමුත් ආණ්ඩුව තවම සිටින්නේ නුගේගොඩ මුට්ටිය දැමීමේ රැස්වීමට පසුව ගත් මඩේ හිටවපු තීන්දුවේමය. පක්‍ෂ සම්මේලනයට කැඳවූ ලිපි ගිනි තබන ප්‍රාදේශීය දේශපාලනඥයන්, පක්‍ෂයේ ලේකම්ගේ ලිපි ගිනි තබන්නවුන් වැහි වැහැලාය. තමන්ට දෙන දූෂණ චෝදනා අපරාධ විමර්ශන ආයතන තුළදීම විසිකර දමන්නන්ගේ නිවෙස් තුළ තරුණයෝ හදිසියේ මිය යන්නාහ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට, නායකත්වයට බලු බැනුම් බනින, නියෝග තඹ සතේකට ගණන් නොගන්නා බව කියන ප්‍රාදේශීය දේශපාලනඥයන් වැහි වැහැලාය. බරපතළ තීන්දු ගන්නා බව කීවාට ගාල්ලට ගිය අයට වඩා කිරුළපනට ආපු වුන් වඩාත් යහතින්ය.

නුගේගොඩ මුට්ටි රැලියෙන් පසු සෝභිත හාමුදුරුවෝ දැකපු, වෙන්න යන විනාශය දැන් හොඳින් ඉටුවෙමින් පවතී. රජයේ මාධ්‍ය තමන්ගේ සියලු වගකීම්වලින් බැහැරව වගේ වගක් නැතුව සිටී. ඒවාටද හේතු ඇත. ඔළුව වෙනස් වුණාට කඳවල්වල ඉහඳ තවම එහෙම්මමය.

පසුගිය ජනාධිපතිවරණයේදී හැම පේනකාරයෙක්ම, අංජනම්කාරයෙක්ම, රාජපක්‍ෂ ජයග්‍රහණය පණ පිහිටුවා කිව්වේය. එහෙම කියද්දී ගාල්ලේ යාචක පුද්ගලයෙක් මෛත්‍රිපාල සිරිසේන ඒකාන්තයෙන්ම දිනන බවට ඔට්ටුවක් ඇල්ලුවේය. 2010 මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් මේ යාචකයා ඡන්දය දී තිබුණේය.

නමුත් ජයග්‍රහණයෙන් පසු තමන් වැනි ජන ජීවිත පතුලට වැටී සිටි අයට රාජපක්‍ෂ රජය සැලකූ ආකාරය සහ එකල ඔවුන් අත්විඳි දෙය ගැන පැහැදිලි අවබෝධයක් මේ යාචකයාට තිබිණි. ඒ නිසා ඔහු එදා නොබියව, නොපැකිළවම මෛත්‍රිපාල සිරිසේනට ඔට්ටු ඇල්ලුවේය.

සෝභිත හාමුදුරුවන් ප්‍රාර්ථනා කළ සමාජය සහ අපේක්‍ෂාවන් ගොඩනැඟීම කෙසේ වෙතත් දැන් ආණ්ඩුව දිනෙන් දින සිතිය යුත්තේ අර හිඟන්නාගේ ඔට්ටුව සහ අපේක්‍ෂාවන් ගැනය.

ඒ හිඟන ඔට්ටුවද මට්ටු වුවහොත් තට්ටු වෙන එක තට්ටු වෙනවාමය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්