ලක්‍ෂපති හූරාට එරෙහිව වන්නිල ඇත්තෝ

  👤  4508 readers have read this article !
2016-11-09

වන්නිල ඇත්තෝ ලක්‍ෂපති වැඩසටහනට සහභාගි විය. ලක්‍ෂපතිගෙන් පළමු ප්‍රශ්නය යොමු වූයේ මෙසේය. දුරුතු මස අට වැනිදා ඓතිහාසික ජයග්‍රහණයෙන් පසු රටේ අභිනව ධුරන්දර ජනාධිපතිවරයා ප්‍රථම වරට ගියේ, මෙන්න පිළිතුරු හතර. එක මාදුළුවාවේ සෝභිත හිමි බැහැ දැකීමට, දෙක පුරෝහිත රනිල්, තුන මැඩම් සැටලයිට්, හතර අමරවීර. ඔව් වන්නිල ඇත්තෝ ඔබ රුපියල් පනස්දහසක් දිනා ගනු ලබන පළමු පැනය එයයි. කෝලර් ෆ්‍රෙන්ඩ්, ආස්ක් දි ඕඩියන්ස්, ෆිෆ්ටි ෆිෆ්ටි ඔබට පිළිතුර ලබා දීමට අසීරු නම් මේ අවස්ථා තුනෙන් එකක් ලබාගත හැකියි. වන්නිල ඇත්තෝ හිස දෙපැත්තට වනා එය අනවශ්‍ය බව ප්‍රකාශ කොට කිව්වේ ඡන්දය දිනපු වෙලාවේ පුරෝහිත ඇත්තෝ හිටියේ අරලියගහ මන්දිරේ කියාය. සෝභිත කපුවල ඇත්තෝ අවසාන කාලේ කලකිරිලි පොජ්ජ මන්දු කරගෙන හිටිය විදියට උන්නාන්සේ වෙන්නත් බෑ කියාය.

රිමෝට් කොන්ටෝලර පොජ්ජ වගේ පාලනය අතට ගන්න බව දැන දැන දිනුව ගමන් සැටලයිට් ඇත්තී මුණිච්චි වුණා කියන එකත් හිතන්න බෑ කියාය. එහෙනම් මේ ඇත්තලා දුටු මන්දු කෙරුව ජනවාරි පොජ්ජට අනුවත් පුරවැසි බලයේ හූරෝ දෙසුව විදියටත් උත්තරය ඩී කියාය. ලක්‍ෂපති හූරා පිළිතුර ස්ථිර කළේය. වන්නිල ඇත්තෝ ගේමක් නැතුව රුපියල් පනස්දාහේ කොළ පොජ්ජ මන්දුකර ගත්තේය. ප්‍රශ්න යොමුකරන අතරතුර පෞද්ගලික ප්‍රශ්නයක් යොමු කරමින් ඇසුවේ ආදිවාසීන්ගේ ඊළඟ නායකයා කවුද කියාය. වන්නිල ඇත්තෝ රිප්ලයි මන්දු කළේ අපේ ලොකු කැකුළා තමයි කියාය.

මෙන්න ඔබ රුපියල් ලක්‍ෂයක් දිනා ගනු ලබන ඊළඟ ප්‍රශ්නය. මේ ප්‍රශ්නයට නම් ඔබට අනිවාර්යයෙන් කෝලර් ෆ්‍රෙන්ඩ් අවස්ථාව හෝ ආස්ක්දි ඕඩියන්ස් අවස්ථාව ලබා ගැනීමට සිදු වෙනවාමයි. මොකද නවීන තාක්‍ෂණය එක්ක බද්ධ වුණු ෆේස්බුක් එකවුන්ට් එකක් තියෙන කෙනකුට විතරයි මේ වගේ ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් කියමින් වන්නිල ඇත්තන්ව බය කරලා උත්තරේ වරද්දන්න බැලුවේය. ඓතිහාසික පුදබිමක් වන ශ්‍රී පාදස්ථානයේ කියද්දීම වන්නිල ඇත්තෝ අත උස්සා කිව්වේ බලි තරු රාවණාගෙන් පැවැතෙන වසර තිස්පන්දාහක ඉතිහාසය අනුව ගත්තත් සිරිපාද කඳු අඩවියේ පාදස්පර්ශ කළේ බුද්දලැ ඇත්තෝ මයි, මුස්ලිමානුවන්ලා ඇත්තන්ගේ නායකයා නෙවෙයි කියාය. ෆේස්බුක් පොජ්ජට මංගැච්චුව ‍ෙදාහේ ඔය කාරණාව අරභයා මරාගන්නවා දැක්ක කියාය. මක්කම පොජ්ජත් අපේ බුද්දලැ ඇත්තොන්ගේ කියා මහාජාතියේ හූරෝ කියලා තියෙනවා දැක්කා කියාය.

වන්නිල ඇත්තොත් ෆේස්බුක් ඉන්නවා කිව්වම ලක්‍ෂපති හාදයා කොරවී ගියේය. ඇත්තටම ආදිවාසී නායකයෙක් ෆේස්බුක් ඒකේ ඉන්න එකේ තේරුම මොකක්ද? නවීන තාක්‍ෂණය සමඟ මුසු වීම කියන්නෙම ආදිවාසී ගතිය නැති වීම නේද? ලක්‍ෂපති ට්‍රයි කළේ ඊළඟ ෆේස්බුක් බෝම්බය එතනදීම පත්තු කරන්නය. ඒත් ඉඩක් ලැබුණේ නැත. ළා කැකුළෝ බැද්ද පොජ්ජට මංගැච්චුව කොට බැද්දෙදි යම් අතුරු අන්තරා පොජ්ජක් සිද්ධ වුණත්, බොට කඳයා මුනිච්චි වෙලා පාර තොට මිසින් මන්දු වෙලා අතරමං පොජ්ජට ලක් වුණත් දැන් ෆේස්බුක් එකෙන් චැට් කරලා ඉන්න තැන හොයාගන්නවා. සේරම දියුණු වෙලා, ලෝකය තනියායක් වෙලා කියා වන්නිල ඇත්තෝ අත් දෙකම අෑත් කරලා ලෝකය කුඩා වෙන සැටි පෙන්නුවේය. සැබැවින්ම ආශ්චර්යයි ලක්‍ෂපතියා කිව්වෙ රුපියල් ලක්‍ෂයේ මගේ ප්‍රශ්නය නම් මෙයයි කියාය.

සිරිපාද අඩවියට මෑතකදී හෙලිකොප්ටරයකින් පැමිණි ගොඩබැස්සාය කියන ජාතිය මින් කුමක්ද? ඒ පෘතුගීසීන්, බී චීනුන්, සී ලන්දේසීන්, ඩී අරාබි ජාතිකයින්. වන්නිල ඇත්තෝ ඒ ප්‍රශ්නය ඇසීමෙන් තරමක් නොසන්සුන්තාවට පත් වූ ආකාරයක් පෙනී ගියේය. ලක්‍ෂපති හිතුවේ ඔන්න ඒ ප්‍රශ්නෙන් නම් ඇන ගත්තා තමයි රුපියල් ලක්‍ෂයෙන් වන්නිලයා ගෙදර යවන්න පුළුවන් වෙයි කියාය. වන්නිල ඇත්තෝ කරේ එල්ලා වුන් කෙටේරිය අතට අරන් කිව්වෙ මේ ඇත්තෝ මේන් මේ ගල්රැක්කියෙන් සිම් පොජ්ජට දෙසා බාලා සුන් කෙරුවේ හිටං, ඕකුන් සිරිපාදේ තානායම් අඩලය හදන්න යන නිසා තමයි කියාය. රැහේ ඇච්චෝ පැච්චොන්ගේ සිම් මාමකැච්චක් ගල් උඩ තියලා කුඩු මන්දු කෙරුවේ මේ ඇත්තන්ගේ දෝතින්මයි කියාය. එහෙම කොහොම ද අපේ හිත්ලෑව භක්තිමත් ඉස්ථාන පොජ්ජ මන්දු කොරන්න ආවොත් ගල්රැක්කියෙන් කොටන්නේ එකා එකා කියාය.

ඒ ගැම්මටම උත්තරය ඩී. කියා ගල් රැක්කියෙන්ම ස්ථිර කොරන බටන් පොජ්ජට කොටා උත්තරය ස්ථිර කෙරුවේය. ඔව් ඒ පිළිතුරත් නිවැරැදියි. වන්නිල ඇත්තන් ලක්‍ෂයක මුදලක් දිනා ගන්නවා මෙන්න ලක්‍ෂ තුනේ ප්‍රශ්නය. යහපාලන රජය මෙසිරිපාලක පහළ වීමෙන් අනතුරුව සිදුවූ වෙනස වන්නේ මින් කුමක්ද? ඒ ජීවන බර අඩුවීම, බී. දූෂණ වංචා අඩුවී හොරු බුරුතු බුරුතු පිටින් ඇල්ලීම, සී. නායකයන් දෙපළ රට රටවල සංචාරය කොට විදෙස් ණය විශාල ප්‍රමාණයක් දිනා ගැනීම, ඩී. කාර් මිල අඩු වීම නිසා වාහන තදබදය අධික වීම.

මේ ප්‍රශ්නය තරමක් සංකීර්ණයි. ලක්‍ෂපති නළල අයින්ස්ටයින් වගේ රැලි ගන්වාගෙන පුළුවන් නම් දීපන් උත්තර කියන්නාක් මෙන් වන්නිල ඇත්තෝ දිහා අවතක්සේරුවට බැලුවේය. ගල් රැක්කිය කරේ දමා ගත් වන්නිල ඇත්තන්ගේ මූණු පොජ්ජේද දකින්න ලැබුණෙ ව්‍යාකූලත්වයකි. පළමු වංගිය කාර් පොජ්ජවල මිල පොජ්ජ මන්දු කොර නිසා අපේ කැලෑ පාරකවත් දැන් විදලා මංගච්චන්න බෑ ට්‍රැෆික් පොජ්ජ. ඒ නිසා ඒ පිළිතුර පොජ්ජත් සරි. දෙවංගිය, නායකලා ඇත්තෝ හරි හරියට ඒරොප්ප පොජ්ජ මංගච්චන නිසා වැල් පොලී ක්‍රමයට අපේ ළා කැකුළන්ගේ, කැකුළන්ගේ කැකුළන්ටත් ගෙවන්න වෙන විදියට ණය පොජ්ජ මන්දු වෙලා තියෙනවා. මේ උත්තර දෙකම සරි. මේ ඇත්තෝ මන්දු කරනවා අඩ්ඩඩ්ඩලේ අවස්ථා පොජ්ජ. ඔව් ඒ කියන්නේ අපේ ආදිවාසී නායකතුමා ෆිෆ්ටි ෆිෆ්ටි එහෙම නැත්නම් පනහට පනහේ අවස්ථාව තෝරගන්නවා කිව් සැණින් වැරැදි පිළිතුරු දෙකක් ඉවත් වී සී සහ ඩී වරණ අවස්ථා දෙක ඉතුරු විණි. ම්ම්ම්ම් ම්ම්ම්ම් කියමින් මී මැස්සකුගේ ගුමු ගුමුව තාලයට කල්පනා කළ රැහේ ලොක්කා කිව්වේ උත්තරය සී බවයි. කිසිවකු නොහිතූ ලෙස වන්නි ඇත්තෝ ඉතාමත් දක්‍ෂ ආකාරයෙන් රුපියල් ලක්‍ෂ තුනත් ජයග්‍රහණය කෙරුවේය.

යහපාලනය උදාවීමෙන් පසු රටේ ජනාධිපතිවරයාගේ ප්‍රථම නිල ගමන සේ සැලකෙන අමරවීරයන්ගේ නිවෙසට ගිය ගමනේදී ඇතිවූ එකඟතාවක් නොවන්නේ මෙම පිළිතුරු හතර අතරින් කුමක්ද? ඒ අභ්‍යවකාශයේදී අතුරුදහන් වූ චිචීගේ චන්ද්‍රිකාව සොයා දීම, බී. පාද චාරිකාවලට අකුල් හෙළීම, සී හිටපු ලොක්කාගේ වාහනවලට රෝද සපයා දීම, ඩී ග්ලවුස් නැතුව රැජනගේ අත ඇල්ලීම වන්නිල ඇත්තෝ යළි වැටුණේ බොටක¼දා වළකය. පුටුවේ ඇඹරෙන්න පටන් ගත් අතර කෝලර් ෆ්‍රෙන්ඩ් අවස්ථාව මන්දු කරන බව ලක්‍ෂපතිට දැන්වූවේය. වන්නිල ඇත්තන් විසින් කලින් ලබාදී තිබුණු නොම්මරයකට මූලස්ථානයෙන් ඇමැතුමක් ගත්තේය. සහායට ඩැනී ඇත්තෝ වැඩසටහනට සම්බන්ධ වූයේ ඒ අනුවයි. කවුද මේ සම්බන්ධ කරගත්තේ ඥාති හූරෙක්ද, රැහේ යමක් කමක් දන්න ඉහළට ඉගෙන ගත්තු කෙනෙක්ද කියා අසද්දී වන්නිල ඇත්තෝ පුටුවේ හරි බරි ගැහී කිව්වේ බොක්කක් සරි ගජයෙක් කියාය. මේ ටිකේ නම් දැකුම් පොජ්ජ මන්‍ෙදා කරන්න බැරි වුණා. ගිනිසීරියා හිටුව හිටුව යන නිසා අපේ ඇත්තොන්ට වැඩ රාජකාරි පොජ්ජ එමට ඇතිනේ. ඒකයි මේ ඇත්තෝ කතා පොජ්ජ මන්‍ෙදා කෙරුවේ නැත්තේ කියාය. ඔබතුමාට හයියක් වෙන්න අපිත් මූකළානේ වටේම ගිනිසීරියා පැළ ලක්‍ෂයක් හිටවන්න කල්පනා මන්දො කරගෙන ඉන්නේ කියාය. වන්නිල ඇත්තන් බොහොම ගෞරවයෙන් බය පක්‍ෂපාතීව කතා කරන නිසා ලක්‍ෂපති හිතුවේ ෂුවර් එකටම ගමේ ආරච්චිලා ඇත්තෝ වෙන්න ඇති කියාය. එසේ සිතා ඩැනී ඇත්තට ප්‍රශ්නය යොමු කර අතර ඒ ප්‍රශ්නයෙන් ආරච්චිලා ඇත්තෝ එකසිය ගාණට අවුල් වුණු බව තේරුණේය. ඕවත් ප්‍රශ්න ද කියා තදින් ඇසුවේය. උත්තර හතරම වැරැදියි කියා කීවේය. ඔය උත්තර හතරේ තියෙන එකක්වත් එතන සාකච්ඡා වුණේ නෑනේ කියා කීවේය.

පුරෝහිතතුමා මාධ්‍ය ගෙන්නලා හොඳ පාඩමක් උගන්වද්දී ඔහේලටත් පාඩමක් උගන්නන බව කීවේය.
ලක්‍ෂපති කලබලයට පත්ව හොඳයි වන්නිල ඇත්තෝ ඒ ප්‍රශ්නය පාස් අපි ඊළඟ ප්‍රශ්නයට යමු කියමින් තත්ත්වය අන්ඩකොන්ට්‍රෝල් කරගත්තේය.
ජනාධිපතිවරයා මඩු වල්ගෙන් තැළුම් දීමට කටයුතු කළේ පහත සඳහන් පුද්ගලයන් අතරින් කා හටද? ඒ හිටපු මහබැංකු අධිපති, බී එන්රිකේ, සී හිටපු ජනාධිපති, ඩී ජස්ටින් බීබර්. ඒ ප්‍රශ්නය ඇහෙනකොටම කෝලර් ෆ්‍රෙන්ඩ් ලයින් එක කට් කර දැම්මේය. ඒ බව නොදත් වන්නිල ඇත්තෝ කෝලර් ෆ්‍රෙන්ඩ්ට කිව්වේ ජස්ටින් නම් නෙවෙයි උෟ ඔය අපේ රැහේ එකියක් හොරෙන් කුදලගෙන ගියාට එහෙම දඬුවමක් දෙන්න තරම් නරක එකෙක් නෙවෙයි. එන් රිකයාත් ඔය කණමදයා වගේ බිව්වට එහෙම නරක කොදුයි. ෂුවර් එකටම අනිත් දෙකෙන් එකෙක් තමයි උත්තරේ කියාය. වැඩසටහන බලමින් උන් තංගල්ල පැත්තෙ ළා කැකුළෙක් අප්පිල ඇත්තොන්ට කෑගසා කිව්වේ මෙන්න මේ රැහේට ගිහින් මාව ඇරලපල්ලා ඒකේ නායකයා ළඟට නායකකම දෙන්නේ ලොකු පුතාටලු කියාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්