මහින්ද-චමල්-ගෝඨා-බැසිල්-නාමල්-ශෂීන්ද්‍ර එක්වෙති

  👤  7790 readers have read this article !
2016-11-06

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් වාර්තාව නිකුත් වීමත් සමඟ එ.ජා.ප.යත්, ශ්‍රී ල.නි.ප.යත්, ජවිපෙත්, ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුනුත් තම පක්‍ෂවල ස්ථාවරය රටට කියද්දී ජනාධිපතිවරයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ පිළිබඳ කිසිවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් සියල්ලන්ම සිටියේ තරමක් කුතුහලයකින් යුක්තවය.

මෛත්‍රි නිහඬ බව බිඳී

නමුත් ඒ කුතුහලයට තිත තබමින් මෛත්‍රි පසුගිය බ්‍රහස්පතින්දා (3දා) ශ්‍රී ල.නි.ප. යේ පළමු සාමාජික ප්‍රවර්ධන වැඩසටහන මහරගමින් ආරම්භ කරමින් මේ සම්බන්ධයෙන් සිය අදහස රටට කියන්නට කටයුතු කර සිටියේය. එහිදී මෛත්‍රි කියා සිටියේ බැඳුම්කර ප්‍රශ්නය පිළිබඳ පරීක්‍ෂණයෙන් සියලුම දේශපාලනඥයන් ඉවත් වී අපක්‍ෂපාතී අධිකරණ ක්‍රියාවලියකට ඉඩ ලබා දිය යුතු යැයි කියාය. එය අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු කරන බව කියා සිටි මෛත්‍රි තමන් ජනවාරි 8 වැනිදා නව රජයක් නිර්මාණය කළේ කොටසකට දඬුවම් දීමටත්, කොටසකට දඬුවම් නොදීමටත් නොව සියලු දූෂිතයන්ට විරුද්ධව අධිකරණ පරීක්‍ෂණ පවත්වා වැරැදිකරුවන්ට නීතියෙන් අනුව දඬුවම් දී යහපත් රටක් නිර්මාණය කළ යුතු බවද කියා සිටියේය.

මෛත්‍රි මේ සම්බන්ධයෙන් වූ සිය ස්ථාවරය රටට ප්‍රකාශ කර සිටියේ ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡා ගණනාවකට සහභාගි වීමෙන් අනතුරුවය. මේ පිළිබඳව පසුගිය සඳුදා පැවැති ශ්‍රී ල.නි.ප. මධ්‍යම කාරක සභා රැස්වීමේදී ද සාකච්ඡාවට ලක් වූ අතර එහිදී සාකච්ඡා වී තිබුණේ මේ සම්බන්ධයෙන් පරීක්ෂන පැවැත්වීමට ස්වාධීන කමිටුවක් පත්කළ යුතු යැයි කියාය. ඒ පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ල.නි.ප. ඇමැතිවරුන් කිහිපදෙනකුගෙන් යුක්ත කමිටුවක් පත් කිරීමටද එහිදී තීන්දු කෙරිණි.

ඉන් අනතුරුව පසුගිය අඟහරුවාදා (1දා) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද බැඳුම්කර සිද්ධිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සිදුවිය. ඇමැතිවරුන් කිහිපදෙනකුම මේ සම්බන්ධයෙන් ප්‍රබල වශයෙන් අදහස් ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් යෝජනා මෙන්ම චෝදනාද එහිදී ඉදිරිපත් වනු දැකගත හැකි විය. බැඳුම්කර සිද්ධිය ආණ්ඩුවට අහිතකර ලෙස බලපාන බව ඇමැතිවරුන් කිහිපදෙනකුම මෙහිදී කැබිනට් මණ්ඩලයට පෙන්වා දුන් අතර, ඔවුන් කියා සිටියේ ඉතාමත් ඉක්මනින් ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්විය යුතු යැයි කියාය.

ශ්‍රී ලනිපයම රනිල් එක්ක

කෙසේ වෙතත් මෙහිදී එක්තරා විශේෂ සිදුවීමක් කාටත් දැකගත හැකි විය. ඒ, ශ්‍රී ල. නි. ප, එ. ජා. ප. පක්‍ෂ භේදයකින් තොරව සියලුම කැබිනට් ඇමැතිවරු, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමය.

"මෙතැනදී ඒකාබද්ධ විපක්‍ෂයේ අය කෑගැහුවා කියලා ආණ්ඩුව වැටෙන්නෙත් නෑ. ආණ්ඩුව ඇතුළෙ බෙදීමක් ඇතිවෙන්නෙත් නෑ. මෙතැනදී කිසිම ප්‍රශ්නයක් නැතිව අපි අගමැතිවරයා වෙනුවෙන් පෙනී ඉන්නවා. මෙතැනදී අපි අගමැතිවරයා ආරක්‍ෂා කරගෙන තමයි මේ සිද්ධියට සම්බන්ධ අය ගැන පරීක්‍ෂණ කරන්න ඕන" යනුවෙන් ශ්‍රී ලනිප ඇමැතිවරු කියද්දී රනිල්ද ඍජුවම කියා සිටියේ තමන්ද කෝප් වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත්, නීතිය හරියාකාරයට ක්‍රියාත්මක කිරීමට තමන්ද කටයුතු කරන බවත්ය. එමෙන්ම මීට කලින් සිදු කෙරුණු සියලුම බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවද මෙහිදී අගමැතිවරයා පිරිසට පැහැදිලි කර සිටියේය.

ඊට මෛත්‍රිගේ මෙන්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවන ආකාරයක්ද දැකගත හැකිවිය.

මීට අමතරව විදේශ අමාත්‍ය මංගල සමරවීර මතුකළ ප්‍රශ්නයක් මුල් කරගෙනද කැබිනට් මණ්ඩලය තුළ කිසියම් උණුසුම්කාරී තත්ත්වයක් මතුවන ආකාරයක් දැකගත හැකිවිය. එහිදී මංගල කියා සිටියේ ජෙරුසලම සම්බන්ධයෙන් මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ කිසියම් අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවත්, ජෙරුසෙලම සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාව සහ කතෝලික ප්‍රජාව තුළ අර්බුදකාරී වාතාවරණයක් මතුව ඇති බැවින් ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධාන මඟින් සිදුකරන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාව නිර්පාක්‍ෂිකව සිටිය යුතු යැයි කියාය.

කෙසේ වෙතත් මංගලගේ එම තීන්දුවට ඇමැති මණ්ඩලය තුළ සිටින මුස්ලිම් ඇමැතිවරුන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් නම් ලැබුණේ නැත. විශේෂයෙන්ම හකීම් සහ ෆයිසර් ඇමැතිවරුන් මෙහිදී ශ්‍රී ලංකා ආණ්ඩුව කිසියම් ස්ථාවරයක් ගත යුතු බව ප්‍රකාශ කළත්, බොහෝදෙනකු පෙන්වා දුන්නේ මෙහිදී මංගල කීවාක් මෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුව නිහඬව සිටීම හොඳම දේ යැයි කියාය.

"මේගොල්ල මහින්දගෙ ආණ්ඩුව කාලේ තැන් තැන්වල පල්ලි කඩද්දී කට වහගෙන ඉඳලා දැන් මෙතැන බොරුවට කෑ ගහන්න එනවා" යනුවෙන් ඇතැම් ඇමැතිවරුන් ප්‍රසිද්ධියේම කියද්දී හකීමුත් ෆයිසරුත් ඉන් එහාට වචනයක්වත් කියන්නට ගියේ නැත්තේ කිසිවකුගෙන් හෝ ඔවුන්ගේ මතයට කිසිදු තල්ලුවක් නොලැබුණු නිසාය.
ඉන් අනතුරුව ලොතරැයි මණ්ඩලයේ ටෙන්ඩරයක් සම්බන්ධයෙන්ද ඇමැතිවරුන් අතර සාකච්ඡාවක් සිදුවිය. ඒ පිළිබඳ දීර්ඝ සාකච්ඡාවකින් පසුව අවසානයේදී සියලුදෙනාම තීන්දු කළේ අගමැතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට එම කරුණු යොමු කිරීමටය.

කරුගෙ ඇස්වල කඳුළු

රටවල් 170ක සහභාගිත්වයෙන් යුතුව ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැති ලෝක අන්තර් පාර්ලිමේන්තු සමුළුවට සහභාගි වීම සඳහා එරටට ගොස් සිටි කතානායක කරු ජයසූරිය මහතා මෙවර සැසිවාරයේ සභාපතිවරයා ලෙස සිය දේශනය නිමා කළේ පසුගිය 25 වැනි අඟහරුවාදාය. ඔහුට එදිනම සන්ධ්‍යාවෙහි ලද පණිවුඩයකින් කියවුණේ බි්‍රතාන්‍යයේ වාසය කරන සිය කනිටු දියණිය වූ සංජීවනී ඉන්දිරා ජයසූරිය ඩිකර් මහත්මිය රෝගාතුරව අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවය. ඒ අනුව කරු වහාම ලන්ඩන් බලා පිටත්ව ගියේ 26 වැනිදාට එළිවන්නටය.

ඒ වන විටත් බි්‍රතාන්‍ය වෙත පැමිණ සිටි කරුගේ වැඩිමහල් දියණිය වූ වෛද්‍ය ලංකා ජයසූරිය දිසානායක මහත්මිය මෙන්ම බි්‍රත්‍රාන්‍ය වෛද්‍යවරුද ඉන්දිරා මහත්මිය පසුවන බැරෑරුම් තත්ත්වය ගැන කරුව දැනුවත් කළහ. පැවැති තත්ත්වය අනුව ජයසූරිය පවුලේ තවත් සාමාජිකයන් හා හිතවත්හු කිහිපදෙනෙක් වහාම බි්‍රතාන්‍ය බලා ගියහ. විශේෂයෙන්ම ලන්ඩනයේ සිවු කොනම පුළුල් සබඳතා ජාලයක් ඇති කරුගේ බෑනනුවන් වූ ඇමැති නවීන් දිසානායක සිය දියණියන් දෙදෙනාද කැටුව ලන්ඩනය වෙත ගොස් අවශ්‍ය සෑම කටයුත්තක්ම සොයා බැලීම කරුට මහත් සහනයක් ගෙන දුන්නේය. මෛත්‍රි, රනිල් හා මැති ඇමැතිවරු මෙන්ම විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයෝ රැසක්ද කරු අමතමින් දියණිය පිළිබඳ නිතරම විමසිලිමත්ව සිටියහ. කරුට සමීප ප්‍රධාන පෙළේ භික්ෂුන් වහන්සේලා සහ අන්‍යාගමික නායකයෝද ඉන්දිරා වෙනුවෙන් ප්‍රදේශ ගණනාවකම ආගමික පුද පූජා ද පැවැත්වූහ. ඇතැම් භික්ෂුන් වහන්සේලා ලන්ඩනයට අමතා කරුව මානසිකව ශකිත්මත් කිරීමට අමතක නොකළහ.

කෙසේ වෙතත් බි්‍රතාන්‍ය වෙත පැමිණි මොහොතේ සිට සිය දියණිය අවසන් හුස්ම හෙළන තුරුම පුරා දින අටක් අලුයම රෝයල් යුනිවර්සිටි රෝහල වෙත පැමිණි කරු මධ්‍යම රාත්‍රිය ආසන්න වනතුරුම අපරිමිත පිය සෙනෙහසින් යුතුව සිය පිළිකා දියණියගේ හිස පිරිමදිමින් ඇය අසලටම වී හුන්නද වසර 9ක් මුළුල්ලේ සිය රෝගය සමඟ දිරිමත් ව සටන් කරමින් ස්වාමි දියණියක, මවක සහ වෘත්තීයවේදිනියක ලෙස උපරිමයෙන් සිය යුතුකම් කොටස ඉටුකළ ඇය බදාදා සන්ධ්‍යාවේහිදී සිය සටන අවසන් කළාය.

ශ්‍රී ලාංකේය දේශපාලනයේ හා පාර්ලිමේන්තුවේ ප්‍රතාපවත් සද්ධන්තයකු වුවද එහිදී කරුගේ දාරක ප්‍රේමය කඳුළු බවට පත්ව ගලා යෑම කිසිවකුටත් නොවැළැක්විය හැකි විය.
මෙම දුක් මුසු පුවත සැලවූ පවුලේ ඥාති හිතවතුන් මෙන්ම දේශපාලන ලෝකයේ බොහෝ දෙනකුද ඇගේ දේහය ශ්‍රී ලංකාවට ගෙනඑන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීම් කළද ඔහු පැවැසුවේ "දැන් දුව අයිති එයා ගොඩනඟා ගත්ත පවුලට. ඇගේ ස්වාමිපුරුෂයා හා මගේ පුංචි මුනුපුරයි, මිනිපිරියයි ජීවත්වන භූමියෙම එයා අවසන් ගමන් යනවට ඔවුන් කැමැතියි. ඒ නිසා එයට ඉඩදීම මගේ යුතුකම" යැයි කියාය.

කොළඹ ශාන්ත බි්‍රජට් කන්‍යාරාමයේ සහ දේවි බාලිකා මහා විද්‍යාලයේ ආදි සිසුවියක වූ ඉන්දිරා මහා බි්‍රතාන්‍යයේ යෝක්ෂයර්හි උසස් බාලිකා විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා, බ්‍රැඩ්ෆෝඩ් (ඕපචඤ ජ්ධපඤ) විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය දිනා ගත්තාය. ලන්ඩන් ආර්ථික විද්‍යා ඇකඩමියෙන් ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති උපාධියද ලැබූ ඇය මියයන විට ජේ‍යෂ්ඨ මූල්‍ය කළමනාකාරිනියක ලෙස සේවය කරමින් සිටියාය. හතළිස් වියැති දෙදරු මවක වූ ඉන්දිරා ජයසූරිය මහත්මිය විවාහ වී සිටියේ බි්‍රතාන්‍ය ජාතික මානව සම්පත් කළමනාකරණ විශේෂඥයකු වූ මාටින් ඩිකර් මහතා (ර්චපබරද ච්ඪජඬඥප) සමඟය.

මහින්ද හදසියේම කතරගම

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සෙනසුරාදා 29දා රාත්‍රියේ මැදමුලන නිවෙසට ගියේය. එදින එහි පිරිත් පින්කමක් සූදානම් කර තිබිණි. ඒ, රාජපක්ෂ පවුලේ ලොකු අයියා වූ චමල්ගේ 74 වැනි ජන්ම දිනය වෙනුවෙනි. පිරිත් පින්කමේ ටික වේලාවක් රැඳී සිටි මහින්ද එදින රාත්‍රියේම කතරගම කිරිවෙහෙරද වැඳ පුදා ගත්තේය. යෝධකණ්ඩිය හෝටලයක රාත්‍රියේ නතර වුණු මහින්ද පසුදින උදෑසන කතරගම දේවාලයට ගොස් කතරගම දෙවියන් වැඳ පුදාගෙන නැවත ආවේ මැදමුලන නිවෙසටය.

මහින්ද එනවිට මැදමුලන නිවෙසට රාජපක්ෂ පවුලේ සියලු දෙනා පැමිණ සිටියහ. චමල් වෙනුවෙන් සැකසුණු විශාල කේක් ගෙඩියක් මැදමුලන නිවෙසේ මැද සාලයේ තබා තිබිණි. මහින්ද, ගෝඨාභය, බැසිල්, නාමල්, ශෂීන්ද්‍ර, හැපි බර්ත්ඩේ ටූ. යූ. ගීතය ගයද්දී චමල් සිය උපන් දින කේක් ගෙඩිය කැපුවේය. මහින්ද ඇතුළු සියලු දෙනාටම චමල් සියතින්ම කේක් කැව්වේය.

හුඟ කාලෙකින් රාජපක්ෂ පවුලේ සියලු දෙනා එකතුවීම ගැන මහින්ද ඇතුළු රාජපක්ෂ සොහොයුරන් සිටියේ ඉමහත් සතුටිනි. මහින්දලාට හිතවත් මැදමුලන ගම්වාසීන්හු බොහෝ දෙනෙක්ද එදින ඔවුන්ගේ මහ ගෙදට පැමිණ සිටියහ. ඔවුන් සියලු දෙනා සමඟම කතා බහ කරමින් රාජපක්ෂ සහෝදරවරු මෙන්ම ඔවුන්ගේ දරුවෝද එදින සැහැල්ලුවෙන් කාලය ගත කළහ. හුඟ "කාලෙකින් අපි හැමෝම එකතු වුණේ" යැයි මහින්ද කියද්දී නාමල් කීවේ "ඔව් ඒ වුණාට හෙට අනිද්දා වෙද්දී කොහෙ ඉඳීද දන්නෑ. මොකද ආණ්ඩුව ඉන්නේ කොයි වෙලාවේ රාජපක්ෂ බිල්ලක් ගන්නවද කියලා බල බලයි" යැයි කියාය. මහින්ද හිස වනා එය අනුමත කළේය. මහින්ද එදින දිවා ආහාරය ගත්තේද මැදමුලන නිවෙසේදීය. ඒ රාජපක්ෂ සහෝදරවරුන්ද දූ දරුවන් සහ ගම්වාසීන් සමඟය.

එදින සවස මහින්ද සූරියවැව චමල් රාජපක්ෂ උද්‍යානයට ගියේ ප්‍රදේශවාසීන් එහි චමල් රාජපක්ෂ ජන්ම දින සැමරුම් උළෙලක් සංවිධානය කර තිබීම හේතුවෙනි. ගමේ තරුණ පිරිස සූරියවැව හන්දියේ සිට මහින්දලා කැටුව ගියේ පාපැදි පෙළපාළියකිනි. මේ පොළපාළියට ගමේ තරුණයන් සමඟ නාමල්ද එක්ව සිටියේය.

අලුත් පක්ෂයට මහින්දගෙන් සාකච්ඡාවක්?

අලුත් දේශපාලන පක්ෂයක් අද හෙට බිහි වෙන බව පසුගිය කාලයේදී නිරන්තරයෙන් කතාබහට ලක්වූ මාතෘකාවකි. මේ අලුත් පක්ෂය අවශ්‍යව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රි පාර්ශ්වය නියෝජනය නොකරන බහුතර පිරිසකටය.. ගමේ ශ්‍රී ලංකාකාරයන් විපක්ෂයේ ශ්‍රී .ල.නි.ප. මන්ත්‍රිවරුන්ට නිතර කීවේ අලුත් පක්ෂයක් හදන ලෙසය. මහින්දටද මේ ගැන ඉල්ලීම් නිතර ලැබිණි. "අපේ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ" මහින්දලාගේ අලුත් පක්ෂය බවටද විවිධ ඉඟි පළවිය. ඒ පක්ෂයේ නායකයා වූයේ විමල් ගීගනගේය. ලේකම් නීතිඥ සාගර කාරියවසම්ය.

සලකුණ නෙළුම් පොහොට්ටුවය. මීට දින කීපයකට පෙර මේ පක්ෂයේ ලේකම්වරයා මැතිවරණ කොමසාරිස්ට ලිපියක් යැව්වේය. එමඟින් පක්ෂයේ නම "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ" ලෙසත්, එහි සභාපති හිටපු ඇමැති ජී. ඇල්. පීරිස් ලෙසත්, සංශෝධනය කළ බව දැනුම්දී තිබිණි. පසුගිය බදාදා මැතිවරණ කොමසාරිස්වරයා සාගරට දන්වා තිබුණේ මේ සංශෝධන පිළිගත් බවය. ඒ අනුව අලුත් පක්ෂයේ නම පසුගිය බදාදා ප්‍රකාශයට පත්විය. මාධ්‍යවේදීන් මේ අලුත් පක්ෂය ගැන මහින්දගෙන් අසද්දී මහින්ද කීවේ අලුත් පක්ෂය ඒකාබද්ධ විපක්ෂයෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බවය.

මහින්ද ප්‍රසන්නගේ ගෙදර යයි

ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංගගේ උඩුගම්පළ නිවෙස පසුගිය බ්‍රහස්පතින්දා 03දා අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් පිරී ගියේය. ඒ නව ජාතික බලවේගයේ උණුසුම් අපේක්ෂාවේ ඇරැඹුම" ලෙස නම්කර තිබූ රැස්වීමකට සහභාගි වීම සඳහාය. රැස්වීම පැවැත්වුණේ මහින්දගේ ප්‍රධානත්වයෙනි. ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි යන මන්ත්‍රිවරුන් මෙන්ම පවිත්‍රා මන්ත්‍රිවරියද හිටපු ඇමැති බැසිල්ද ඊට එක්ව සිටියහ. දිස්ත්‍රික්කයේ පළාත් සභා පළාත් පාලන, මන්ත්‍රිවරුන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුබද්ධ සංවිධාන හා ක්‍රියාකාරීහු රැසක්ද ඊට එක්ව සිටියහ. රැස්වීම මාධ්‍යයට විවෘත නොවූ අතර පිටස්තරයන් අතුළුවීම වැළැක්වීමටද සංවිධායකයන් විශේෂ පියවර ගෙන තිබෙනු දක්නට ලැබිණි.

මහින්ද මේ රැස්වීමට පැමිණියේ සවස 4.00ට පමණය. රැස්වීමෙන් පසු ආරාධිතයන්ට ප්‍රසන්නගේ නිවෙසේ විශේෂ තේ පැන් සංග්‍රහයක්ද පැවැත්විණි. මෙහිදී මහින්ද පිරිසට අපූරු කතාවක් කීවේය. "මාර වැඩේ කියන්නේ ඊයේ අර අලුත් පක්ෂයක් ගැන කිව්ව වෙලාවේ ඉඳලා මට ටෙලිෆෝන් කෝල් වැහි වැහැලා. වැඩිපුරම කතා කළේ ආණ්ඩුවට එකතුවෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු. සර් අපි මේ සර්ගෙන් කෝල් එක එනකම් බලාගෙන ඉන්නේ කියලයි සමහරු කිව්වේ. ඔය සමහරු ආණ්ඩුවෙ ඉන්නේ කැමැත්තෙන් නොවෙයි බයට. මට දවසක් කතා කරලා ඇමැති කෙනෙක් කිව්වා මම නම් සර් අද වුණත් එන්න ලෑස්තියි. හැබැයි එතකොට මේ අය හෙට බොරු පැමිණිල්ලක් දාලා අනිද්දටමාව රිමාන්ඩ් කරයි කියලා" යැයි මහින්ද කීවේ කාගෙත් සිනා හඬ මැදය.

මේ සාකච්ඡාව අතරතුරදී ඇතැමුන් අලුත් පක්ෂය ගැනද මහින්දගෙන් ඇසුවේය. ඒ ගැන විවිධ යෝජනාද කළේය. "අලුත් පක්ෂයේ නායකයා ඔබතුමා වෙන්න ඕනෑ. වෙන වෙන අය ඇවිත් වැඩක් නෑ" කියා මිනුවන්ගොඩ හිටපු සභාපති කුමාර අරංගල්ල කියද්දී තවකෙකු යෝජනා කළේ අලුත් පක්ෂයේ සංවිධායකවරුන් පත්කිරීමේදී ගමේ ශාඛාවලින් අසා පත් කළ යුතු බවය. බොහෝ දෙනෙක් ආණ්ඩුවට මුක්කු ගැසූ ශ්‍රී ලනිප ඇමැතිවරුන් නැවත ආපසු නොගන්නැයි මහින්දගෙන් ඉල්ලා සිටියහ. සියල්ල සාවධානව අසා සිටි මහින්ද සිනාසෙමින් කීවේ ඔයගොල්ලෝ ඔය ටික ඔක්කොම කියන්න ඕනෑ ජී. එල්.ට කියාය. "මම තාම ශ්‍රී ලංකාකාරයා, මගේ පක්ෂය ශ්‍රී ලංකා එක" යැයි මහින්ද සිනාසෙමින් කීවේය. "සර් නම් ශ්‍රී ලංකා එකේ ශ්‍රී ලංකාකාරයා කියලා ෂේප් වෙයි. අපිටනේ වැඩේ. ගමට ගියාම මිනිස්සු කියන්නේ ශ්‍රී ලංකා එකෙන් නම් ආයෙ ඡන්දෙ ඉල්ලන්න ගමට එන්න එපා කියලයි. අපි ඔළුව බේරගෙන එන්නේ පුදුම අමාරුවකින්" යැයි ප්‍රසන්න රණතුංග මන්ත්‍රිවරයා කීවේය.

මේ අතර ආණ්ඩුව විකුණා දැමීමට සූදානම් වන මිහින් ලංකා සමාගමේ සේවක පිරිසක් ප්‍රසන්නගේ නිවෙසේදී මහින්ද හමුවී ඔහුට සිය දුක කීහ. සිය රැකියා අනතුරේ බව ඔවුන් කියද්දී පවිත්‍රාට සහ ප්‍රසන්නට කතා කළ මහින්ද මිහින් ලංකා විකිණීම ගැන පාර්ලිමේන්තුවේදී විවාදයක් ඉල්ලන්නැයි උපදෙස් දුන්නේය.

සල්ලි කැපුවාට සජිත්ගේ නිලධාරීන් බේ්‍රක් ඩාන්ස් දාලා

2016 වසර සඳහා ඉකුත් වසරේදී අය-වැයෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයට වෙන් කළ මුදල රුපියල් කෝටි 580කි. එනම්, විසර්ජන පනත් කෙටුම්පතේ සහ අය-වැය යෝජනාවලියේ වෙන් වෙන්ව සඳහන් මුදලේ ඵකතුවයි. එය මෙතෙක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සඳහා අය-වැයකින් වෙන්වුණු විශාලතම මුදලයි. මෙවර අය-වැය ඉදිරිපත් කිරීමට සති කීපයක් තිබියදී පසුගියදා මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2017 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතෙන් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය සඳහා වෙන්වන මුදල රුපියල් කෝටි 209.1ක් ලෙස සටහන්ව ඇති බව දැක 'ඔන්න බොලේ කපලා' කියමින් ප්‍රීතියෙන් සිය සගයන්ට අතිනත දෙමින් අමුතු තාලේ රංගනයක යෙදෙන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීන් දෙතුන් දෙනකු පිළිබඳ විනාඩි 5ක් ගතවන්නට මත්තෙන් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාට වාර්තා විය.

මින් එක් පුද්ගලයකු පසුගියදා 'පාද යාත්‍රාවක' ගොස් අමතක වීමකින් ඊට ලබා දුන් ටී ෂර්ට් එක පිටින්ම නිවාස අධිකාරියට ගොඩවී සිය අනන්‍යතාව තහවුරු කරගත් කෙනෙකි.

මේ සිද්ධිය පිළිබඳ අමාත්‍යාංශයේ පැවැති අභ්‍යන්තර සාකච්ඡාවකදී කතා කරමින් සජිත් කීවේ 'මේ සිද්ධියෙන් හෙළි වුණේ තවදුරටත් අපි පොළඟුන්, තෙල් කරවලුන් වගේ භයානක විසකුරු සත්තු එක්ක ජීවත් වෙනවා කියන එකයි. අය-වැය එන්නත් කලින් සංඛ්‍යා ලේඛන පටලවා ගෙන කීප දෙනෙක් මෝඩ සතුටක් ලබන්න පෙලඹීම ගැන මගේ කනස්සල්ල පළ කරනවා. මේ අයට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. මම පුද්ගලයන්ගේ දේශපාලන ගැතිකම් නොබලා ඒ අයගේ සේවය ස්ථිර කළා. උසස්වීම් ලබා දුන්නා. මම ඉදිරියටත් කාගෙන්වත් පළි ගන්නේ නෑ. ඒ අයවත් දිනා ගන්නවා. රුධිර කාන්ද්‍රණ ක්‍රියාවලියකින් මම ඒ අයගේ සිතුම් - පැතුම්, ගති පැවැතුම් වෙනස් කරනවා' කියාය.

ඉකුත් සති අන්තයේ සජිත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැදගත් කර්තව්‍යයන් කීපයක් වෙනුවෙන් සිය කාලය ගත කළේය. 'ගමින් ගමට - ‍ෙදාරින් ‍ෙදාරට' යටතේ රුපියල් ලක්‍ෂ 9ක් වැය කර තිස්සමහාරාමයේ නැදිගම්විල කනිටු විදුහලට පානීය ජලය ලබා දීමේ උත්සවයට සජිත් 29 වැනිදා පෙරවරුවේ සහභාගි විය. ජාතික ඵලදායිතා සම්මානය සිව් වරක් දිනා ඇති මේ පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන්නේ දකුණු පළාතේ හොඳම විදුහල්පතිවරයා ලෙස ජනාධිපතිවරයා අතින් නොබෝදා සම්මාන හිමිකර ගත් පී.එන්.එම්. කුමාරසිංහ මහතාය. ඔහු විදුහලේ දියුණුව වෙනුවෙන් කර ඇති සේවය අගයමින් කතා කළ සජිත් අනතුරුව පාසලේ ගැමි කෞතුකාගාරයද විවෘත කළේය.

සජිත් එදිනම සවස සහභාගි වූයේ දෙබරවැව ජාතික පාසල් පරිශ්‍රයේදී පැවැති 14 වැනි අන්තර් පාසල් 'තේ‍රා් බෝල්' තරගාවලියේ සමාරම්භක උත්සවයටය. උතුරු නැඟෙනහිර ඇතුළු දිවයිනේ සියලු පළාත්වල පාසල් ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය ඇතිව මෙම උත්සවය උත්කර්ෂවත්ව පැවැති අතර යාපනයෙන්, මඩකලපුවෙන් පැමිණි ළමයින් සජිත් සමඟ සෙල්ෆි ඡායාරූප රැසක් ගැනීමද, සජිත් පාසල් ළමයින් සමඟ තේ‍රා් බෝල් සහ ක්‍රිකට් ක්‍රීඩා කිරීමද පැමිණ සිටි පිරිසට විනෝදය ගෙන දුන්නේය. සජිත් සිය කතාවේදී සඳහන් කළේ නිවාස නොමැති ක්‍රීඩකයන් වෙනුවෙන් ඉදිරියේදී 'ක්‍රීඩා ගම්මාන' පිහිටුවීමට කටයුතු කරන බවයි. පසුවදා 187 වැනි 'උදා ගම්මානය' ලෙස හම්බන්තොට 'සිරිබෝපුර' සෞදි ගම්මාන 3 වැනි පියවර යටතේ 'සිරිබෝපුර' සඳහා මුල්ගල් තැබීමද අමාත්‍යවරයා අතින් සිදුවිය.

සුනිල්ගෙන් තවත් වාර්තාවක්

පසුගිය සතියේ රට තුළ ප්‍රධාන මාතෘකාව බවට පත්වූයේ කෝප් කමිටුව සහ කෝප් සභාපතිවරයාය. මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ අවසන් වර්තාව සකස් කිරීමේදී ඇතිවූ උණුසුම් තත්ත්වයත් එම ගනුදෙනුව නිසා රටට ඇතිවී තිබෙන විශාල පාඩුවත් හේතුවෙන් මේ මාතෘකාව සියලු දෙනාගේම අවධානයට ලක් විය. පසුගිය 28 වැනිදා සභාපතිවරයා විසින් පාර්ලිමේන්තුවට කෝප් වාර්තාව ඉදිරිපත් කිරීමත් සමඟ වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳ මාධ්‍යවේදීහු, සිවිල් බුද්ධිමත්හු, බැංකු ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු විශාල පිරිසක් මේ වාර්තාව පිළිබඳ අවධානය යොමු කළහ. මේ අතර සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයාට දුරකතන ඇමැතුම් විශාල ප්‍රමාණයක් ලැබුණේ වාර්තාව පිළිබඳ තව තවත් තොරතුරු දැනගැනීමට සහ ඔහුට ස්තුතිය පළ කිරීමටය.

මේ අතර කෝප් වාර්තාවේ මුද්‍රණ කටයුතු පිළිබඳ සොයා බැලීම ස¼දහා කිහිප වතාවක් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේ කෝප් ලේකම් කාර්යාලයට ගියේය. "මන්ත්‍රිතුමා අපිට දැන්වත් පොඩි නිවාඩුවක් ගන්න බැරිද?" එක් සේවකයෙක් විමසීය. අපි කොහොමද නිවාඩු ගන්නේ. දැන් දෙසැම්බර් මාසේ තවත් වාර්තාවක් දාන්න තියෙනවනේ ආයතන 34ක් ගැන. ඒකට වැඩ පටන් ගන්න ඕනෑ" සුනිල් හඳුන්නෙත්ති කීවේය. "සභාපතිතුමා මේ වාර්තාව මුද්‍රණය කරන එක අමාරු වැඩක් වෙලා.මොකද ඉතිහාසයේ මේ තරම් ලොකු වාර්තාවක් අපි ප්‍රින්ට් කරලා නැහැ. කොටස් 03කට තමයි ප්‍රින්ට් කරන්න වෙලා තියෙන්නේ" යැයි තවත් සේවකයෙක් කීවේය.

මේ අතර කෝප් වාර්තාවෙන් පසුව රූපවාහිනි සහ ගුවන්විදුලි වැඩසටහන්වලට සහ පුවත්පත් සඳහාද විශාල ලෙස හඳුන්නෙත්ති මන්ත්‍රිවරයාගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගැනීමට තරගයක් ඇති විය. ඒ සියල්ල සඳහා හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා කාලය කළමනාකරණය කර ගනිමින් සහභාගි වීමට උත්සාහ කළේ කෝප් වාර්තාව පිළිබඳ නිවැරැදි අවබෝධයක් රටේ ජනතාවට ලබාදීමටය. "මන්ත්‍රිතුමා කෝ මේ වාර්තාවේ වංචාවක් වුණා කියලා වචනෙන් සඳහන් කරලා නැහැනේ." එක් වැඩසටහනක මාධ්‍යවේදියෙක් විමසීය. "කෝප් කමිටුව කියන්නේ උසාවියක් නෙවෙයි. අපිට අරූ හොරා මූ හොරා කියලා කියන්නවත් ඒ විදියට වාර්තා ලියන්නවත් බැහැ. වාර්තා ලියන භාෂාවක් තියෙනවා. ඒ විදියට තමයි ලියලා තියෙන්නේ. එකේ ඉතාම පැහැදිලිව නිර්දේශවල වැරැද්ද මොකක්ද වැරැදිකරුවන් කවුද ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා ලියලා තියෙනවා. ඒ සමස්තය බැලුවාම ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වාර්තාවේ හරය මොකක්ද කියලා" හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා පිළිතුර දුන්නේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් දූෂිතයන් සහ ආරක්ෂකයන් මැයෙන් සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ කළේ පසුගිය 01 වැනිදාය. එදින කොළඹදී පැවැති සම්මන්ත්‍රණයට විශාල පිරිසක් සම්බන්ධ වී සිටියහ. මෙහිදී පක්ෂ නායක අනුර දිසානායක මහජන දේපොළ කොල්ලකන පිරිසක් ගැනද ඔවුන් ආරක්ෂා කරන දූෂිත වළල්ලක් පිළිබඳවද කරුණු රැසක් හෙළිදරව් කළේය.

"අපි මේ කතා කරන්නේ කෙනෙක්ගේ පෞද්ගලිකව මුදලක් හොරකම් කරපු දෙයක් ගැන නෙවෙයි. මේ රටේ මිනිස්සු වැඩකරලා උපදවන ධනය සුළු කල්ලියක් විසින් හොරා කන එක ගැනයි. රටේ සම්පත්, ධනය නාස්ති කරමින් හොරාකමින් සුළු කොටසක් සැප විඳින අතර ඉතා බහුතර ජනතාවක් ලෙඩ ඇඳේ හඬාවැටෙමින් රැකියාවක් නැතිව කාලකණ්ණි වෙමින් හූල්ලමින් ඔහේ ජීවත් වෙනවා. ඉතිං අපි දූෂණ ගැන, දූෂිතයන්ගේ ආරක්ෂකයන් ගැන කතා කරන්න ඕන නැද්ද?" අනුර දිසානායක ප්‍රවේශයේදීම කියා සිටියේය. මේ අතර පසුගිය ආණ්ඩුව සමයේ රාජපක්ෂ පවුල විසින් උපයාගත් මුදල් සහ මිලදී ගත් ඉඩම් ලැයිස්තුවක් අනුර දිසානායක විසින් හෙළිදරව් කළේය.

එමෙන්ම පසුගිය ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ දූෂණ ගැන හා වත්මන් ආණ්ඩුවේ දුෂණ ගැන ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළි කෙළේය. "ජනවාරි 08ට කලින් දූෂිතයන් ගැන කතා කළා. ජනවාරි 08න් පසුව දූෂිතයන් හා ආරක්ෂකයන් ගැන කතා කළා. අද අපිට කතා කරන්න වෙලා තිබෙන්නේ පැරැණි දූෂිතයන්, නව දූෂිතයන් සහ ඒ දෙගොල්ලන්ගේම ආරක්ෂකයන් ගැනයි. අත්තටම වෙලා තිබෙන්නේ පරණ හොරු වෙනුවට අලුත් හොරු බලයට ආපු එක විතරයි. මිස්ටර් ක්ලීන් කියපු රනිල් වික්‍රමසිංහත් දැන් දූෂණයට මැදිහත් වෙලා. රාජපක්ෂ පවුලේ පරීක්ෂණ යට ගහනවා. අනෙක් පැත්තෙන් මෛත්‍රිපාල සිරිසේන තමන්ගේ කණ්ඩායමට එරෙහි පරීක්ෂණ යට ගහනවා. දෙන්නා දෙපැත්තේ දූෂිතයන් ආරක්ෂා කරනවා. අද රනිල් වික්‍රමසිංහත් මෛත්‍රිපාල සිරිසේනත් දූෂිතයන්ගේ මුර දේවතාවුන් බවට පත්වෙලා යැයි" අනුර කීවේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon