ආවා ආවා නෑවා නෑවා

  👤  3311 readers have read this article !
2016-11-02

මධ්‍යම කාරක සභාවේදී මයිත්‍රි ලොක්කා සීලංකා මැති ඇමැතිවරුන්ට දිවුරා පොරොන්දු විය. ඒ කුමන හෝ හිඩැසකින් පැන යෑමට නොදී හිටපු අධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. ඉතින් එය කෙසේ කරම් දෝ හෝ යි කල්පනා කරමින් ඉද්දී විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුණේ හිටපු අධිපතිතුමා රටහැර යෑමට සූදානම් වන පුවතකි. වහා ක්‍රියාත්මක වූ ලොක්කා හැඳ සිටි නැෂනල් කිට් එකෙන්ම පී.එස්.ඩී. එකේ කොල්ලකු වැඩට ඇවිත් තිබුණු 100ජජ බයිසිකලයකට නැඟ පිටත් විය.

යන ගමන් තනි අතින් ෆෝන් එක ඩයල් කර හෑන්ඩ්ස් ෆ්‍රී දමා පුරෝහිතට කිව්වේ මචං මං මේ කටුනායක වහන්න යමින් ගමන් කියාය. හොරා වගේ යනවා නේ හොරු අල්ලන්න නිකමටවත් කිව්වෙ නෑ හොරගෙඩියා කියා හුරතල් වුණු පුරෝට ලොක්කා කිව්වෙ කිය කිය හිටියොත් මචං බඩු බනිස් වෙනවා ඒ නිසා ඔත්තුව ලැබුණු ගමන් පිට වුණා කියාය. පුරෝ කිව්වෙ කලින් කිව්ව නම් වැලි කොට්ට ටිකක් දාලා ඔය හරියේ පාර කවර් කරලා දෙන්න තිබුණා කියාය. දැන් ඔය ට්‍රැෆික් එක අස්සේ අල්ලයි නැට්ට කියාය.

පුරෝට එතකොට වගේ ඇසුණේ බෘෘම් බෘෘම් ගාමින් මහ සද්දෙට ලොක්කා යන බයික් එක රේස් කරන සද්දේය. ෂුවර් එකට කෙහෙල් ලෙල්ල උඩින් ගියා වගේ පත බෑවුණා වෙන්න ඇති තමයි කියා හිතී මොකක්ද මචෝ සද්දයක් ඇහුණා ලිස්සුව නේද කියා අසද්දී ලොක්කා කිව්වෙ පිස්සුද ඒ මං ට්‍රැෆික් ලයිට් එකක් උඩින් බයික්කෙක පැන්නුවා කියාය. පුරෝහිතතුමා එළියට දාන්න ආපු වචන සේරම ඇතුළට දාගත්තේය. දැන්නම් ඉතින් අධිපතිතුමාට ගැලවීමක් නෑ කියා මතක් වී පුරෝ කිටි කිටියේ ඇස් දෙකම තද කර ගත්තේය. මොකක්ද බයික්කෙක තවුසන්ඩ් සීසීද ඕවා අපේ පාරවල්වල පදින්න බෑ නේද බලාගෙන හොඳේ කියා කිව්වේ පොඩ්ඩක් බය කර එතනත් පොඩි ඩිලේ එකක් ඇති කර ගත්තොත් හිටපු අධිපතිතුමාට කරදරයක් නැතිව මඟුල් ගෙදර ගිහින් එන්න පුළුවන් කියන උත්තුංග සිතිවිල්ලෙන් හදවත පුරවා ගන්නා ගමන්ය.

අනිත් එක අපේ චම්පක වගේ හාදයෙක් මේ යක්කු ගස් යන වෙලාවේ පරට වාහනේ දාලා තිබ්බොත් අබසරණයි නේද සී.සී.ටී.වී.වත් ඉතුරු වෙන එකක් නෑ කියා ජීවිත අවදානම පිළිබඳ මතක් කෙරුවේය. ඔයා ඔහොම ආරක්ෂාව ටොමියට දාලා වැඩ කරන එකට නම් මං චුට්ටක්වත් ආස නෑ කියා කිව්වේ මේ අවේලාවේ ඔන්න ඔය ගමන අතඇරලා ගෙදර යන්න. අපි ඉන්ටර්පෝල් එක දාලා උදයංග ඇල්ලුවා වගේ පස්සේ හෙමීට අධිපතිව අල්ලමු කියාය. ලොක්කා එකී වදන් සතපහකට මායිම් නොකර නයිට් රයිඩර් සෙයියාවෙන් දිගටම කටුනායක එයාර්පෝර්ට් එක පැත්තට බයික් එක රයිඩ් කෙරුවේය. තනියෙන් පුළුවන්ද මං සුජීවයි, හර්ෂයි, අජියායි එවන්නම් කියූ විට ලොක්කා කිව්වේ පුළුවන්නම් ලොකු දෙයක් කියාය. පුළුවන්නම් හඳුන්ටත් පයිංඩේ දෙන්න එතකොට අපිට වටකරලා මෑන් අල්ලන්න පුළුවන් වෙයි කියාය.

පුරෝහිතතුමා සැණින් ලොක්කාගේ ඇමැතුම විසන්ධි කර සුජීවට, අජිත්ට, හර්ෂට කනෙක්ට් වී කිව්වේ ගිහින් කෝප් එකේදි ගැහුවටත් වඩා ලොකු ගේමක් දීලා කොහොම හරි ලොක්කව ඩිලේ කරන්න කියාය. නැත්නම් පව් අධිපතිතුමාට මඟුල් ගෙදර මිස් වෙනවා කියාය. ලොක්කා කිව්ව නිසාම හඳුන්ටද අරන් කිව්වේ කොහොම හරි අධිපති ටැකල් කර ගන්න ලොක්කට සෆ් එක දෙන්න කියාය.

පයිංඩේ දී අනික් පැත්ත හැරෙන්න කලින් ලොක්කා ආපහු බයික්කෙකේ යන ගමන්ම පුරෝහිතට කතා කර ඇසුවේ මචං සේරම ගාණට සෙට් කරා ද සුජීවලා මඟ එනවා නේද කියාය. අප්පට සිරි තව ටිකකින් ඔයාට බැකප් එක දෙයි අධිපතිතුමාට මෙහෙන් පනිනවා තියා හෙල්ලෙන්න ලැබෙන එකක් නෑ කියා පුරෝහිත රිප්ලයි දුන්නේය. ලොක්කා පහළොවේ දහසයේ කොල්ලෙක් වගේ ඉස්සරහ රෝදය උස්සා පස්සෙ රෝදයෙන් විතරක් යන ගමන් කිව්වෙ අද තමයි මං කවුද කියලා මෙයාලා දැනගන්නේ කියාය. ලොක්කා රුවිතෙට යන බව ඉවෙන් මෙන් තේරුම් ගත් පුරෝහිතතුමා කිව්වේ බලාගෙන මචෝ පරිස්සමෙන් මට නම් තනියෙන් ඔන්න රට පාලනය කරන්න බෑ කියාය. එතකොටම ලොක්කා පහු කරගෙන වළේ බයිසිකල් පදින වේගෙන් කාගෙන ආව සෙට් එකක් ලොක්කව පහුකරගෙන ගියේය. යන්තම් ඔළුව උස්සා අශ්වරේස්කාරයෝ දිහා බැලුව ලොක්කා දැක්කේ බයික්කෙකේ පිටිපස්සෙ සීට් එකේ වවුලන් මෙන් එල්ලී වුන් එවුන්ගේ පිටේ ලොකු කඩු, අතේ කෙටේරි සහ මන්නා ද ඇති ආකාරයයි.

තුම්මුනින් දාඩිය දමාගෙන පැයට කිලෝමීටර් දෙසිය හැටක විතර වේගෙන් ගිය ලොක්කාගේ ස්පීඩ් එක තිහට විස්සට වැටුණේය. ඉක්කා වැටෙන්න ගත්තේය. මහ රෑ සමයමේ මහ බැංකු අධිපති නෙවෙයි මුළු රාජපක්ෂ හත්මුතු පරම්පරාවම රටෙන් පනිනවා කිව්වත් මේ වගේ අවිනිශ්චිත ගමන් ආ තමාට හොඳ වැඩේ කියා හිතුණේය. ලයින් එකේ උන් පුරෝහිතට ගැහි ගැහිම කිව්වේ මචෝ ආවා ආවා කියාය. අම්මට සිරි අධිපතිතුමා බඩුත් එක්ක ලොක්ක ගාවටම ඇවිල්ලාද මලසේකයි කියා කල්පනා කර පුරෝහිත හිතුවේ අපි ඉතින් මොනවා කළත් මොකද මෙයා නරියාගේ කට ළඟටම ගිහින්ද කොහේද කියාය.

ආවා... ආවා... කියමින් හති පිට හති දැමූ ලොක්කා මේ දැන් මාව පහුකරන් ගියා කියද්දීම දැක්කේ තමා පහුකරන් ගිය ආවා සෙට් එක හරවගෙන නැවැත තමා දෙසට එන ආකාරයයි. එහෙමම බයික්කෙක පාරේ අයිනේ අත ඇරිය ලොක්කා ඩිංගිත්තක් විතර එහායින් පාර අයිනට වෙන්න තිබ්බ ලයිට් කණුවකට මුවා වූවේය. අෑව් අෑව් ගාගෙන පළාතම දුමෙන් වහගෙන පැමිණි ආවා කල්ලිය බයිසිකල්වලින් බිමට පැන පාරේ අයිනේ අත ඇර දමා තිබූ බයික් එකට කැති, පොලුවලින් පහර දෙන්න පටන් ගත්තේ අඩෝව් බාවනවා කියමිනි. කණුවට මුවාව උන් ලොක්කා හිතුවේ මුන්ට සිංහලත් පුළුවන් වගේ කියාය. කරුමෙකට වගේ මාව මෙතැනදී මුන්ට මාට්ටු වුණොත් කවුද කියා ඉන්ට්‍රඩියුස් කර පස්සෙන්දාම ජනපති මන්දිරයේ තමා එක්ක සාකච්ඡාවක් ලබා දී ෂේප්මන්ට් එකක් දාගන්නවා කියාය.

මේ රෑ මුන් මොකද මාව ෆලෝ කරේ යැයි නැවැතත් සිතමින් කණුවට තව තවත් මුවා වෙද්දීම දැක්කේ ආවා කල්ලියේ නායකයා ගාම්භීර ලීලාවෙන් බැස ලයිට් කණුව පැත්තට එන ආකාරයයි. බඩදිය බාන්න වෙන්න ඇති කියා හිතූ ලොක්කා එහෙමම ලයිට් කණුව යටින් අසල තිබූ පඳුර යටට ගුළි විණි. කණුව යටට එන ගමන් ආවා ගෘෘප් එකේ තලෙයිවර් කියා ලොක්කා හිතූ මෑන් කෑගැසුවේ උඩඉන්ඩ සයිකල් උඩඉන්ඩ කියාය.

යාපනය පැත්තේ නිතර යන එන නිසා ඒ කිව්වේ කුඩුකරපන් සයිකලේ කියන එක කියා ලොක්කට යන්තම් තේරුණු අතර මේ පෝරිසාදයට අහුවුණොත් තමාටත් වෙන්නේ කුඩු වෙන්න තමයි කියා ඉන්තේරුවෙන්ම වැටහී ගියේය. කණුව යටින් ආපහු යන ගමන් තලෙයිවර් කිව්වේ ලොක්කව අපි තව පැයයි පරක්කු කර ගන්න ඕන පැයයි කියාය. මේ පැය පරක්කු කර ගන්න බැරි වුණොත් කෝප් එකේදි අපි කරපු කැපවීම් සේරම වතුරේ යනවා කියාය.

බයිසිකලේ චොරොස් කරපු ආවා කල්ලිය එකවර කලබල වී බයික්වලට නැඟ පිටත්ව ගියේත් ඒ එක්කම කණාමැදිරි එළියකට චුට්ටක් ලොකු එළියක් එක්ක ස්කූටියක් ඇවිත් චොරොප්ප බයික්කෙක ළඟ නතර කරනු පඳුර අස්සෙන් බලාගෙන හිටිය ලොක්කාට ආවා කල්ලියේ තලෙයිවර් අවසානයට කිව්ව කතාව නෑසී ගියේය. නසාරණියෝ ගිහින් අවදානම පහුවුණු බව දැනගත්තු ලොක්කා වටපිට බලමින් කුඩුවුණු බයික්කෙක ළඟට ගිය අතර ස්කූටියෙන් ආව මෑන් හඳුන් බව දැක්කේය. ලොක්කා හඳුන්ගෙන් ඇසුවේ දැන්ද එන්නේ අර ආවා කියන කල්ලිය මෙහෙත් බෝ වෙලා තව පොඩ්ඩෙන් මං ඉවරයි කියාය.

ඔය දකින කල් ඔහොම දෙයක් ඇති කියලා මං විශ්වාස කෙරුවේ නෑ කියාය. ඒක නෙවෙයි කෝ මේ සුජීවලා, අජිත්ලා ඉක්මනට යමු බිග් ෆිස් රටෙන් පැනගන්න කලින් කියාය. හඳුන්ට මුකුත් කියන්න චාන්ස් එක්ක ලැබුණේ නැත. ලොක්කා ස්කූටියට නැඟ ස්ටා්ර්ට් කෙරූ අතර හඳුන් දණි පනි ගා පිටිපස්සෙන් නැඟ ගත්තේය. ටික දුරක් ඉස්සරහට යද්දී මුරපොළක සිටි පොලොස් කොට්ටෝරුවෙක් පැන අත දමා නවතින්න සංඥා කෙරූ අතර ලොක්කා නොනවත්වාම කඩාගෙන ඉස්සරහට ගියේය. එහෙමම තව දුරක් යද්දී ට්‍රැෆික් බයිසිකලයක් ඉදිරියට වෙඩි තබමින් ස්කූටිය ෆලෝ කෙරුවේය.

නතර නොකර ගියත් වෙඩි තියලා මරන රටක් කියා මතක් වූ ලොක්කා කටුනායක වහන අදහස එහෙමම මරා දමා ස්කූටිය මහපාර මැදම නතර කෙරුවේය. නතර කොට පුරෝහිතතුමාට කතා කර කිව්වේ අවුලක් නෑ අපි ඉන්ටර්පෝල් එක දාලාම අල්ලමු හදිසියක් නෑනේ කියාය. පුරෝහිතතුමා කිව්වේ ඔයා මේ නිකං කලබල වෙලා නේ මං හොයලා බැලුවා අධිපතිතුමා ගිහින් තියෙන්නේ මඟුල් ගෙදරක ගිහින් එන්න කියාය. බොරුවටනේ ඔයා බයවෙලා තියෙන්නේ කියාය.

සුභාෂිණී ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්