මෛත්‍රිගේ ගෙදර සාම සාකච්ඡාවක්

  👤  5604 readers have read this article !
2016-10-29

 

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය ගැන අවසන් කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය සිකුරාදා (28දා) දිනය. ඒ වනවිටත් කෝප් කමිටුව නියෝජනය කරන එජාප, ශ්‍රී ලනිප මෙන්ම ජවිපෙ සාමාජිකයන්ද කෝප් කමිටු සාකච්ඡා සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර අදහස් මාධ්‍ය ඔස්සේ කතා කරන්නට පටන්ගෙන තිබීම නිසා රටම සිටියේ බැඳුම්කර සිද්ධිය කුමන අවසානයක් ගනු ඇත්දැයි සිතාගත නොහැකිවය.

කපිල පුංචිමාන්නගේ

රනිල්ගෙන් වෙනම පරීක්‍ෂණයක්

කෙසේ වෙතත් මේ සියල්ල අතරවාරයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පැවැත්වීමට මහ බැංකුවට උපදෙස් ලබා දී තිබිණි. මේ පරීක්ෂණය හරහා රනිල්ට දැන ගැනීමට අවශ්‍යව තිබුණේ 2008 වර්ෂයේ සිට මහ බැංකුව බැඳුම්කර නිකුත් කර තිබුණු ක්‍රමවේදය කුමක්ද යන්න සොයා බැලීමටය. කෙසේ වෙතත් පසුගිය සඳුදා (24දා) වනවිට එහි අවසන් වාර්තාව මහ බැංකුවෙන් රනිල්ගේ අතට පත් කර තිබුණු අතර ඉන් කියැවී තිබුණේ 2008 සිට අද දක්වාම සිදු කර ඇති බැඳුම්කර නිකුතුවලදී ඊට මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන නොමැති බවත්, 2008 සිට 2015 දක්වා කාලය තුළදී පමණක් එසේ සිදුකර ඇති ගනුදෙනුවලදී රුපියල් බිලියන 172ක පාඩුවක් ආණ්ඩුවට සිද්ධ වී ඇති බවත්ය.


ඒ අනුව අඟහරුවාදා (25දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමටද රනිල් පැමිණියේ මහ බැංකුව මඟින් ලබා දී තිබුණු මෙම වාර්තාවද අතේ තියා ගෙනය.
මෙවර කැබිනට් මණ්ඩල රැස්වීම වෙනදාට වඩා විශේෂත්වයක් ගත්තේ පසුගිය සතියේදී මෛත්‍රි විසින් කරනු ලැබ තිබුණු එක්තරා ප්‍රකාශයක් නිසාය. එහිදී මෛත්‍රි කියා තිබුණේ මින් ඉදිරියට පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම් සියලු ඇමැතිවරුන්ට අනිවාර්ය කරන බවත්, කැබිනට් මණ්ඩලයේ අවසන් පැය තුළ රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කොට තීන්දු ගත යුතු බවත්ය. ඒ අනුව මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේදී මුල් පැය දෙක තුළ කැබිනට් පත්‍රිකා පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර අවසන් පැය තුළ දේශපාලන කරුණු සාකච්ඡා කරනු දැක ගත හැකි විය.


කෙසේ වෙතත් කැබිනට් පත්‍රිකා සාකච්ඡා කරන අතරවාරයේදී අකිල සහ මහින්ද සමරසිංහ අතර වචන හුවමාරුවක් සිදුවනු දැකගත හැකිවිය. ඒ, කුලියාපිටියේ ඉඩමක් සම්බන්ධයෙනි. එම ඉඩම අකිල වෙනත් ව්‍යාපෘතියක් සඳහා වෙන්කරගෙන තිබුණද මහින්ද සමරසිංහ එහි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට කටයුතු යොදා තිබිණි. ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශ නිලධාරීන් අදාළ ඉඩමට ගිය අවස්ථාවේදී අකිලගේ පාර්ශ්වයෙන් ඊට විරෝධතාව එල්ලවූ අතර, එය මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඒම දක්වා දුරදිග ගොස් තිබිණි. ඒ අනුව මහින්දත් අකිලත් අදාළ ඉඩම මුල්කරගෙන දෙපැත්තට කඹ අදිද්දී මෛත්‍රි අවසානයේ දෙදෙනාටම කියා සිටියේ සාකච්ඡා මාර්ගයෙන් එම ගැටලුව විස¼දා ගන්නා ලෙසය.

ආණ්ඩුවේ මාධ්‍යයට යළිත් ‍ෙදාස්

ඉන් අනතුරුව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්වූයේ මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන්ය. ඒ වන විටත් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටුවෙන් වාර්තා 2ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වනු ඇති බවට මත ප්‍රකාශ වී තිබුණු නිසා එ.ජා.ප., ශ්‍රී ල.නි.ප. බේදයකින් තොරව දෙපැත්තෙන්ම කියා සිටියේ එවැනි තත්ත්වයක් මතු වුවහොත් එය ආණ්ඩුවට තරමක් අවාසිසහගත වනු ඇතැයි කියාය. විශේෂයෙන්ම රවුෆ් හකීම් කැබිනට් මණ්ඩලයට පෙන්වා දුන්නේ මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ එකඟතාවක් ඇති කරගත යුතු බවත්, යම් හෙයකින් වාර්තා 2ක් ඉදිරිපත් වන්නේ නම් තමන් ඊට කිසිසේත්ම අස්සන් තැබීමට කටයුතු නොකරන බවත්ය. මේ නිසා ආණ්ඩුව එකතු වී ඊට විසඳුමක් දිය යුතු බවද හකීම් එහිදී පෙන්වා දුන්නේය. එහිදී චම්පිකද එම අදහසට සමානව අදහස් පළ කරනු දැකගත හැකි විය.

 


මේ අතර රනිල්ද මහ බැංකුව මඟින් තමාට ලබා දෙනු ලැබූ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් බැඳුම්කර ගනුදෙනුවල ඉතිහාසය සියල්ලටම පෙන්වා දීමට කටයුතු කළේය. රනිල් කියා සිටියේ 2008 සිට මේ දක්වා එකම ක්‍රමවේදයක් අනුගමනය කරමින් බැඳුම්කර නිකුතුවන් සිදුවී ඇති බවත්, එම ගනු දෙනුවලදී 2008 සිට 2015 දක්වා ගෙවුණු වසර 7ක කාලය තුළ රුපියල් බිලියන 172ක අලාභයක් රජයට සිදුව ඇති බවත්ය. ඒ අනුව ඒ සියලුම ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවද රනිල් එහිදී පිරිසට පෙන්වා දුන්නේය.
මේ සියලු කතාබහ අවසන් වීමෙන් පසුව මෛත්‍රි කතා කළ අතර එහිදී ඔහු ඉකුත් වතාවේදී මෙන්ම මෙවරද ආණ්ඩුවේ මාධ්‍ය හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් දැඩිව අදහස් දක්වන ආකාරයක් දැකගත හැකිවිය. විශේෂයෙන්ම ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වල තමන්ව විවේචනය කරමින් යළි පුවත් පළකොට ඇති බව කියා සිටි මෛත්‍රි, ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසට වගකිව යුත්තන්ට දැනුම් දීමටද කටයුතු කළේය.

දෙපැත්තම
එක
මතයකට

අල්ලස් කොමිසමේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙනුත්, ආරක්ෂක අංශ නිලධාරීන් අධිකරණය වෙත රැගෙන යෑම සම්බන්ධයෙනුත් මීට සති දෙකකට ඉහතදී මෛත්‍රි කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය හේතුවෙන් රටේම දේශපාලනය කැලඹී ගිය ආකාරය අපි පසුගිය සති කිහිපය තුළම "කැබිනට් එක" තීරුව ඔස්සේ වාර්තා කළෙමු. ඉන් අනතුරුව රට ඇතුළේ පැනනැඟුණු තත්ත්වයද අපි එහිදී මෙම තීරුව ඔස්සේ පෙන්වා දුන්නෙමු. කෙසේ වෙතත් එම කතාව කරන අවස්ථාවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර සංචාරයක නිරතව සිටි නිසාත්, එජාපයේ කිසිවකුත් මෛත්‍රිගේ කතව සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසාත් ඒ සම්බන්ධයෙන් වන එජාපයේ මතය කුමක්ද යන්න සියල්ලන්ටම රහසක්ව පැවතිණි. නමුත් දෙපාර්ශ්වය අතර කිසියම් මතභේදාත්මක වාතාවරණයක් මතුව තිබුණු බවක් නම් පෙනෙන්නට තිබිණි.

 


කෙසේ වෙතත් මේ තත්ත්වය සමහන් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිත්, එජාප නියෝජිතයනුත් අතර පසුගිය අඟහරුවාදා (25දා) රාත්‍රියේ ජනාධිපති නිල නිවෙසේදී පැවැත්විණි. ඊට එජාපය නියෝජනය කරමින් මලික්, කබීර් ඇතුළු ජේ‍යෂ්ඨයන් පිරිසක් එක්ව සිටි අතර මෛත්‍රිගේ පැත්තෙනුත් ශ්‍රී ලනිපයේ ජේ‍යෂ්ඨයෝ පිරිසක් ඊට එක්ව සිටියහ. දීර්ඝව නමුත් ඉතා සුහදව ඇදීගිය මෙම සාකච්ඡාවේදී දෙපාර්ශ්වය අතර පවතින මතභේද සියල්ලම අවසන් කර ගැනීමට දෙපිරිසම සමත්වීම විශේෂ සිදුවීමක් විය.

පවිත්‍රා
කළුපටි
ගෙනාව හැටි

වැට් පනත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වුණේ පසුගිය බදාදාය. වැට් පනතට එරෙහිව පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු ආණ්ඩුවට දැඩි ලෙස විරෝධය පළ කළහ. පාර්ලිමේන්තු සභා ගර්භයේදී කළු පටි පැලඳගෙන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් විවාදයට එක්ව සිටිනු දක්නට ලැබිණි. මේ කළු පටි පාර්ලිමේන්තුවට ගෙන ආවේ පවිත්‍රා මන්ත්‍රිවරියයි. ඒ කලින් දින ඒකාබද්ධ විපක්ෂය මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ඇතිකරගත් එකඟතාවට අනුවය. පාර්ලිමේන්තුවේ සියලු ආරක්ෂක කපොලු මඟහරිමින් මේ කළුපටි පාර්ලිමේන්තු සභා ගර්භයට ගෙන ඒමට පවිත්‍රා සමත් වූවාය.
වැට් පනත පිළිබඳ ඡන්ද විමසීම සිදුවුණේ නාමිකවය. ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ නම් කියන විට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රිවරුන් සජිත්ගේ තාලයට උස් මිටිකම් අනුව ඔවුන්ට රැකියා යෝජනා කරමින් කෑ ගැසුවෝය. ඒ අනුව රනිල්ට ලැබුණේ සිකියුරිටි තනතුරය. සජිත්ට කම්කරු තනතුරය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සෙනසුරාදා සේමාවතියට ගියේය. ඒ කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රිවරයාගෙ ආරාධනාවකට අනුවය. සෝමාවතියේ විශේෂ පින්කමකට සහභාගි වූ මහින්ද කෙළින්ම ආවේ මහනුවර ලොහාන්ගේ නිවෙසටය. මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් සහ ක්‍රියාකාරීන් පසුදින ලොහාන්ගේ නිවෙසට කැඳවා තිබිණි. ඒ ආණ්ඩුවට එරෙහිව ගොඩනැඟෙන ජනතා බලවේගය පිළිබඳ පැහැදිලි කිරීම සඳහාය.

මහින්ද
මීගමුව
බන්ධනාගාරයට

මහින්ද පසුගිය අඟහරුවාදා (25දා) දහවල් 12.30ට පමණ පාර්ලිමේන්තුවට පැමිණියේය. ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, දිළුම් අමුණුගම, පවිත්‍රා වන්නිආරච්චි වැනි මන්ත්‍රිවරුන් සමඟ සභා ගර්භයට පිවිසි මහින්ද ටික වේලාවක් එහි රැඳී සිටියේය. සභා ගර්භයේ සිට පාර්ලිමේන්තුවෙන් පිටව යෑම සඳහා ගමන් කරමින් සිටියදී මහින්ද ඇමැති ජෝන් සෙනෙවිරත්න හමුවිය. "කොහොමද ඇමැතිතුමා" යැයි මහින්ද අහද්දී ජෝන් කීවේ "ඉන්නවා සර්" කියාය. මෙහිදී "ඇමැතිතුමාට හෙට අනිද්දට නඩුවක් එයිද දන්නෙ නෑ" ප්‍රසන්න රණතුංග කියද්දී ඒ නොවැටහුණු ජෝන් පැවැසුවේ "ඒ මොකද" කියාය. "ඇයි මහින්ද මහත්තයත් එක්ක ලිෆ්ට් එකේ ගියා කියලා හෙට අනිද්දට ඔබතුමාටත් නඩුවක් වැටෙන්න බැරි නෑ." ප්‍රසන්න කියද්දී මහින්ද ඇතුළු පිරිසට හොඳටම සිනාය. පාර්ලිමේන්තුවෙන් පිටව යෑමට පැමිණි මහින්දට තවත් මහින්ද කෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රි පිවිසුම් ‍ෙදාරටුව අබියසදී හමුවිය. ඒ ඇමැති මහින්ද අමරවීරය. මහින්ද අමරවීර දුටු මහින්ද "ආ කොහොමද දේශපාලනය කරන්න අරන් අවුරුදු 25කුත් වුණා නේද" යැයි අසමින් අමරවීරගේ අතට අත දෙමින් සුබ පතද්දී අමරවීර "බොහොම ස්තුතියි සර්" කියමින් හිටපු ජනාධිපතිවරයාගේ දෑතින්ම අල්ලා ගත්තේය. "කෝ මට කිව්වෙ නෑනේ මට කිව්වනම් මමත් උත්සවයට එනවා" යැයි කියූ හිටපු ජනාධිපතිවරයා සිය වාහනයට නැග්්ගේය.

 


ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිට කෙළින්ම ආවේ මීගමුවේ බන්ධනාගාරයටය. ඒ හිටපු නියෝජ්‍ය ඇමැති සරත් ගුණරත්න බැලීමටය. මහින්ද එනවිට ප්‍රසන්න රණවීරත්, ඉන්දික අනුරුද්ධත් එතැනට පැමිණ සිටියහ. හිටපු ඇමැති දයාශි්‍රත තිසේරා සහ ඔහුගේ බිරියද සරත් ගුණරත්නගේ පවුලේ අයද සරත් බැලීමට මහින්ද එනවිට බන්ධනාගාරයට පැමිණ සිටියහ. මහින්ද දුටු ගමන් සරත් කීවේ "බලන්න සර් මේක මේ පරණ සිද්ධියක්" කියාය. "ඔයා චණ්ඩියා වගේ වාහනේ එළෝගෙන යන්න ඇති" මහින්ද සරත්ට කීවේය. "අනේ නෑ සර් මට වාහන එළවන්න බෑ." සරත් කීවේය. මහින්ද සරත්ගේ මේ ප්‍රකාශයෙන් පුදුම වූ බව පෙනුණි. මේක තනිකරම වෛරයෙන් කරපු වැඩක් යැයි කියූ මහින්ද එතැනින් පිටව ආවේ සරත්ගේ පවුලේ අයද අස්වසාලීමෙන් පසුවය.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම පසුගිය අඟහරුවාදා (25දා) දහවල් පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක හතරේදී රැස්විය. ඒ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයාගේ නායකත්වයෙනි. බන්දුල ඇතුළු පිරිසක් මේ රැස්වීමට පැමිණියේ තවත් විශේෂ වැඩකින් පසුවය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු ආණ්ඩුවට එරෙහිව පොල් ගැසීම පසුගිය සතියේ නැවත ආරම්භ කළහ. බන්දුල, රංජිත්, මහින්ද යාපා ඇතුළු පිරිස කණ්ඩායම් රැස්වීමට පැමිණියේ මෝදර කාලි දේවාලයේ පොල් ගැසීමෙන් පසුවය.

අලුත්
පක්‍ෂයට
බරටම වැඩ

මුලින්ම අවධානය යොමුවූයේ වැට් පනත පිළිබඳවය.
"ආණ්ඩුව ඉතිහාසයේ පළමු වරට රෝගීන්ටත් බදු ගහනවා. වකුගඩු බද්ධ කරද්දී වැට් එක 15%යි. බයිපාස් එකකදී 15%යි මේක මහ අමානුෂිකයි." බන්ධුල කියද්දී දිනේෂ් කීවේ ආණ්ඩුවේ වැට් මංකොල්ලයට එරෙහිව පාර්ලිමේන්තුව තුළ මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටතද අරගල කළ යුතු බවයි. ප්‍රසන්න රණතුංගද එය අනුමත කරමින් කීවේ වැට් පනත පිළිබඳ දැවැන්ත ජනතා විරෝධයක් රට තුළ ක්‍රියාත්මක කළ යුතු බවය.
බැඳුම්කර සිද්ධිය පිළිබඳවද මෙහිදී මන්ත්‍රිවරුන්ගේ අවධානය යොමු විය. මහින්ද යාපා අබේවර්ධන කීවේ බැඳුම්කර සිද්ධියෙන් රටට සිදුකළ පාපයෙන් අගමැතිවරයාට ගැලවීමක් නැති බවයි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් බිහිවන නව ජනතා සන්ධානයේ සංවිධාන කටයුතු මේ දිනවල ලහි ලහියේ සිදුවේ. දිවයින පුරා පිහිටි ග්‍රාම සේවා වසම් 12,500ක් ආවරණය වන පරිදි ශාඛා සංවිධාන පිහිටුවීමට දැනටමත් කටයුතු යොදා තිබේ. බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යමින් මෙහි සංවිධාන කටයුතු සිදු කරයි. ඔහු සමඟ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුද, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රි සංසද නියෝජිතයෝද ඊට එක්ව සිටිති. පසුගිය සතියේ පුත්තලම, මහනුවර, රත්නපුර, බදුල්ල යන දිස්ත්‍රික්කවල සංවිධාන කටයුතු සිදු කෙරිණි. බැසිල් මෙම රැස්වීම්වලදී කීවේ නව සන්ධානය පිහිටුවන්නේ කාමරවල හොර රහසේ නොව දශ ලක්ෂයක ජනතා සහභාගිත්වයෙන් ප්‍රසිද්ධියේ බවයි.

වළක් නිසා
සජිත්ගෙන්
නිලධාරීන්ට ‍ෙදාස්

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා ඉකුත් සති අන්තයේ ඉතා අවිවේකයෙන් යුතුව ගත කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් 24 වැනි සඳුදා පැවැත්වීමට නියමිතව තිබූ දිඹුලාගල "සිරි සීලාලංකාර නා හිමිගම" ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳව සොයා බලමිනි. "කිසිම දේක අංශු මාත්‍රයක අඩුපාඩුවක් තියෙන්න බෑ, තේරුණාද?" සජිත් සිය නිලධාරීන්ට නිතර මතක් කළේය. සජිත් සිය මෝටර් රථයේ නංවාගෙන යද්දී ජනාධිපතිවරයා කීවේ "මේ අවුරුද්ද වගේම 2017දීත් නිවාස වැඩපිළිවෙළ ඉතාම හොඳින් කරගෙන යන්න ඕනෑ" කියාය. ඊළඟට ජනාධිපතිවරයා ඇසුවේ "ඇත්තටම සජිත් මේ ගෙයක් හදන්න කීයක් යනවාද? පෙනුමෙන් නම් ලක්ෂ 7 - 8ක වටිනාකමක් තියෙනවා" කියාය. සජිත් පිළිතුරු දෙමින් කීවේ "අපි දෙන්නේ ඉඩමයි, රුපියල් ලක්ෂ 3ක ණය මුදලයි විතරයි. ප්‍රජා සහභාගිත්ව නිවාස වැඩපිළිවෙළ යටතේ ප්‍රතිලාභියා අමුද්‍රව්‍ය සපයා ගෙන ශ්‍රමයත් වැය කරලා ගේ හදා ගන්නවා. මේ ක්‍රමය යටතේ දූෂණය, වංචාව නෑ. කොමිස් ගැහිල්ලත් නෑ" කියාය.

 


ජනාධිපතිවරයාට මඳක් කලින් උත්සව භූමියට ගිය සජිත් නිවෙසක් නිවෙසක් පාසා යමින් කටයුතු පරීක්ෂා කර බලද්දී එක් නිවෙසක් ඉදිරියේ විශාල වළක් දුටුවේය. නිවාස අධිකාරියේ ඉහළම නිලධාරීන් ගෙන්වාගෙන සජිත් ඇසුවේ "මෙච්චර ලොකු වළක් මෙතැන තියෙනවා දැක්කේ නැද්ද?" කියාය. එය වහාම වසා දැමීමට කටයුතු කෙරිණි. "මීට පස්සේ ගම්මානයක් විවෘත කරන්න දින 7කට කලින් නිලධාරීන් කීප දෙනෙක් එතැනට ගිහින් පදිංචි වෙලා හැම අඩුපාඩුවක්ම හොයලා බලන්න ඕනෑ. උත්සව දවස වෙනකොට කිසිම අඩුපාඩුවක් තියෙන්න බෑ" යනුවෙන් සජිත් උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා සිය කතාවේදී කීවේ "රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මේ රටේ සංවර්ධන වැඩසටහනේ නිර්මාතෘවරයා බව අපි දන්නවා. එතුමාගේ විශිෂ්ට ගමන්මඟ යළි සිහිපත් කරමින් අපේ රජය තුළත් සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමා දීපව්‍යාප්තව සිදු කරන මේ නිවාසකරණ වැඩසටහන අපි අගය කරනවා" කියාය.


තිස්සමහාරාම කොහොඹගහපැළැස්ස ශ්‍රී සුබෝධාරාමයට රුපියල් ලක්ෂ 5ක් හා සිමෙන්ති මලු 200ක් පරිත්‍යාග කිරීමේ උත්සවයට සහභාගි වූ සජිත් අනතුරුව ගියේ දෙබරවැව මැණික් රජමහා විහාරස්ථානයට රුපියල් ලක්ෂ 5ක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සහභාගි වීමටය. මැණික් රජමහා විහාරස්ථානයේ "දම්සර" අධ්‍යාපන ආයතනයේ සිසු සිසුවියන් වෙනුවෙන් පරිගණක යන්ත්‍ර 25ක් පිරිනැමීමටද සජිත් පොරොන්දු විය. පසුගිය කාලයේදී මෙම ප්‍රදේශයෙන්ම බිහිවූ ජනාධිපතිවරයකු යටතේ ලැබුණු අනුග්‍රහයට නොදෙවැනිව තමන් වෙහෙර විහාරස්ථාන වෙත අනුග්‍රහය දක්වන බව කී සජිත් එදා බුද්ධ ශාසනයත්, වෙහෙර විහාරස්ථානත් මුල් කර ගෙන කළ අවස්ථාවාදී දේශපාලනය වෙනුවට තමන් පන්සල රැකෙන ආකාරයෙන් කටයුතු කරන බවද කීය.
පසුගියදා සැමරුණු "ලෝක ජනාවාස දිනය" දා කියැවුණේ මෙම වසර තුළ නව උදා ගම්මාන 148ක් ඉදිකිරීම අරඹා ඇති බවයි. සජිත් මෙම සංඛ්‍යාවට තවත් උදා ගම්මාන 20ක් අලුතින් එක් කර තිබේ. එනම්, පරිත්‍යාගශීලී දානපතියන් විසින් ලබා දෙන මුදල් "සෙවණ" අරමුදලට යොමු කර ඒ හරහා ලැබෙන මුදලින් සහ සෑම මසකම පරිත්‍යාග කරන සිය වැටුප ඒ සඳහා යෙදවීමෙනි.

ජවිපෙන්
ගයන්තට
චරිත සහතිකයක්

මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක්වන මාතෘකා අතර තොරතුරු දැනගැනීමේ පනතට හිමිවන්නේද සුවිශේෂී ස්ථානයක්. ඒ අනුව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවර සහ කෑගල්ල ප්‍රදේශවලදී දියත් කිරීමට කටයුතු යොදා තිබිණි. එම වැඩසටහනට මධ්‍යම පළාතේ දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු, පළාත් ලේකම්වරු ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වී සිටියහ. මේ ආකාරයට විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම දැනුවත් කිරීමේ වැඩසටහන අවසානයේ පිරිස කෙළින්ම ගියේ දළදා මාලිගාව වැඳ පුදා ගැනීමටය. එසේ පැමිණ අස්ගිරි මහ නාහිමියන් බැහැ දැක උන්වහන්සේද මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමටද පිරිස අමතක කළේ නැත. එහිදී ඊට අස්ගිරි මහ නාහිමියන්ගේද සතුට පළ කිරීම විශේෂ සිදුවීමක් විය.


ඉන් අනතුරුව පසුගිය සතියේ ඇල්පිටිය ඇල්ල විහාරස්ථානයේ පැවැති පින්කමකට සහභාගි වීමටද ඇමැති ගයන්ත කටයුතු කළේය. ඊට ඇල්ලේ ගුණවංශ හිමි, ගයන්ත කරුණාතිලක, චම්පික රණවක, චන්දිම වීරක්කොඩි, සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ. මෙහිදී විශේෂ කතාවක් කරමින් ඇල්ලේ ගුණවංශ හිමියන් කීවේ.


"මේ තොරතුරු දැනගැනීමේ පනතට පක්ෂව මෙතැන ප්‍රධාන පක්ෂ දෙකම සිටිනවා" යැයි කියාය. උන්වහන්සේ ප්‍රධාන පක්ෂ දෙක ලෙස අදහස් කරමින් කීවේ ඒ වෙන කවුරුවත් නොව ගිහි පක්ෂය හා පැවිදි පක්ෂය යැයි කියාය.
කෙසේ වෙතත් එහිදී ගයන්ත සිය කතාව අතරතුරදී ඒ සම්බන්ධයෙන් කීවේ වෙනමම කතාවකි. ගයන්ත කීවේ ඒ ප්‍රධාන පක්ෂ 2ට අමතරව සියලු පක්ෂ නියෝජනය කරන පිරිස් මෙහි සිටිනවා යැයි කියාය. ඒ සියලු පක්ෂවල එකඟතාව මෙම පනතට හිමිවන බවද එහිදී ගයන්ත කියා සිටියේය.
"මෙතැන ගිහි පැවිදි පක්ෂ 2 විතරක් නෙවෙයි. ජේවීපී එකෙන් සුනිල් හඳුන්නෙත්ති, ශ්‍රී ලනිපයෙන් චන්දිම වීරක්කොඩි, යූඑන්පීයෙන් මම, හෙළ උරුමයෙන් චම්පික ඇතුළුව රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නියෝජිතයෝ මෙතැන ඉන්නවා. ඒ කියන්නේ මේ පනතට රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලේම එකඟතාව තියෙනවා" යැයි ගයන්ත කීවේය.

 


මේ අතර සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රිවරයා සිය කතාව අතරතුරදී ගයන්ත සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීම විශේෂ සිදුවීමක් විය. කෝප් කමිටු සභාපතිවරයා වශයෙන් හඳුන්නෙත්ති කීවේ තමන්ගේ පාර්ලිමේන්තු ජීවිතයේදී ගයන්ත වගේ පුද්ගලයන් දැක ඇත්තේ ඉතා අතළොස්සක් යැයි කියාය.
"මගෙ පාර්ලිමේන්තු ජීවිතයේදී ගයන්ත ඇමැතිතුමා වගේ හෘද සාක්ෂියට අනුව වැඩ කරන අය දැකලා තියෙන්නේ ඉතාම අඩුවෙනුයි. එයා වචනවත් ජීවිතේවත් පටල ගත්තෙ නැති දේශපාලනඥයෙක්. ඒ දෙකම ඉතා කල්පනාවෙන් තමයි මෙයා හසුරුවන්නේ. ඒ වගේ කෙනෙක් හොයාගන්න හරි අමාරුයි" යැයි හඳුන්නෙත්ති කියා සිටියේය. ඒ අනුව ජවිපෙ ජේ‍යෂ්ඨයකුගෙන් මේ ආකාරයේ කලාතුරකින් ලැබෙන චරිත සහතිකයක් ලබාගැනීමට එදා ගයන්තට හැකි විය. 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්