රට ගොඩ යන මන්තරේ

  👤  5938 readers have read this article !
2016-10-26

 

හූඇන්පී බජට් එකක් නොව ප්‍රගතිශීලී යෝජනා සහිත සී ලංකා බජට් එකක් එළියට දමා ආණ්ඩුවේ වැඩි අයිතිය ඇත්තේ සී ලංකා එකට බව ක්‍රියාවෙන්ම ඔප්පු කළ යුතුයි කියන ආණ්ඩුවේ සී ලංකා මැති ඇමැතිවරුන්ගේ ඉල්ලීමට කන් දුන් ලොක්කා එක් දිනක් කොස් කොළ නැට්ටට එළිය වැටී ගෙන එන්න කලින් විදී සංචාරය සඳහා පිටත්වැ ගියේය. ඒ ප්‍රගතිශීලී බජට් එක සඳහා ජනතා අදහස් විමසීමටය. වෙහිකලයෙන් ටික දුරක් ගොස් ඉතිරිය පයින්ම යන්න තීරණය කෙරුවේ සර් ඔය වැඩේ නම් කරන්න දෙන්න බෑ කියා පීඑස්ඩී ය නාහෙන් අඬද්දීය. කොල්ලන්ගේ වදෙන් පොරෙන් ගැලවී ගාට ගාටා ඉස්සරහට යද්දී හමුවූ තුන්මංහන්දියෙන් වමට දා ටික දුරක් යද්දී ලොකු මුට්ටියක් කරේ තියාගත් මහත දෙහත පුද්ගලයෙක් හමුවූ අතර ලොක්කා උගුර පාදා බැහැරක් දැයි අසා ආපු මෑන්ව කයියට සෙට් කර ගත්තේය.

මුන්නැහේ මේ පාන්දර ජාමේ කොයිබට ගාටන ගමන්ද කියා ඇසූ විට වැසියා උත්තර දුන්නේ ඕං ඔය තුන්මංහන්දියට යන ගමන් මේං මේ මුට්ටිය වළලන්න කියාය. ඇස් පොඩි ඉස්සෙක් තරමට ලොකු කෙරූ ලොක්කා වොලියුම් එක සෑහෙන්න අඩුකර ඇසුවේ හූනියමක් නේද කියාය. කාටද අල්ලපු ගෙදර එක්කෙනාටද කියා ඇසුවේය. ඕක කරපු කට්ට¾ඩියා හොඳ වැඩකාරයෙක්ද කියා ඇසුවේය. මටත් වැඩ තුන හතරක්ම තියෙනවා කරගන්න ඔය කට්ට¾ඩියා කොයිබ කෙනෙක්ද කියා විමසා සිටියේය. නැහ් නැහ් මේ එහෙම දෙයක් නෙවෙයි කියා උත්තර දුන් රටවැසියා කිව්වේ මේක මේ අඟුරු කළගෙඩියේ මන්තරේ කියාය. කහවතුරෙන් දෝවනය කරගත් කාසියක් පිරිසුදු නැවුම් මුට්ටියක් පතුලේ තබා මුට්ටිය කට ළඟට එනකල් අඟුරු පුරවන්න ඕන බව රටවැසියා ලොක්කට කීවේය. හුම් හුම් කියමින් කතාව අහගෙන උන්නු ලොක්කා ඊට පස්සෙ කියා ඇසුවේය.

 

ඊට පස්සෙ වරු තුනක් ගෙයි ප්‍රධාන උළුවස්ස යටින් තබා තුන් ‍ෙදාහක් අහවර මැදියම් රැය ඉකුත් වන ජාමයේ කර උඩින් ගෙනැවිත් ආසන්නම තුංමන්හන්දියේ වැළලීමෙන් සියලු ආර්ථික ප්‍රශ්න දූරීභූත වී යන බව කියද්දී ලොක්කට ඇසුණේ අම්මපා කියාය.
රටට බරක් නැතිව ආර්ථිකේ ගොඩ දාගන්න හදන මිනිහෙක් කියා සිතී ලොක්කට මෑන් ගැන පුදුම තරම් ආදරේ හිතුණේය. ඉතින් ඕක ෂුවර්ද කියා ඇසුණෙත් ඒ එක්කමය. ලොක්කා දිහා රවා බැලූ පොඩ්ඩා ඔහේ මේ මොනවා අහනවාද කියා ඇසූ අතර අපේ හාමිනේ හිතේ තිබ්බ කරදර සේරම රතු පාට කොළේක ලියලා ළිපට දාලා පිච්චුවා පිච්චුවමයි කරදර කොහේ ගියාද දන්නෙ නෑ කියා කිව්වේ පට්ට උජාරුවකිනි. දැන් මායි ගෙදර එක්කෙනායි මූණවත් බලන්නේ නෑ ළඟදීම එයා ඩිවෝස් එකක් ගනී කියා කිව්වේය. ලොක්කට නෑ කියා කියැවුණේය. ලොක්කට හිතුණෙ මෙන්න මිනිස්සු කියාය. ලූනු ගෙඩියේ ඉඳන් අය - වැයෙන් අඩු කරලා දෙනකල් බලන් ඉන්න මිනිසුන්ට මේ වගේ මිනිස්සු කොච්චර ආදර්ශයක්ද කියාය.


එහෙනම් ගොහින් එන්නම් ඔහේ වැඩේ කරගන්න කියා ලොක්කා තවත් ටිකක් ඉස්සරහට ගියේ මෙදා පාර රවියා මුණින් තළා වෙන්න අපෙන් යෝජනා දෙන්නම් කියා ගට හිතට අරගනිමිනි. ඩිග් ඩිග් ගා ශබ්දයක් ලොක්කට ළඟ ළඟම වාගේ ඇසුණු බැවින් වටපිට බලද්දී දුටුවේ මිදුලක ගෑනු රටවැසියෙක් වළක් වැනි යමක් හාරමින් ඉන්න ආකාරයයි. මඳක් නැවතී එදෙසට ළං වුණු ස්කාෆ් එක ඔළුවේ ජටාවක් සේ බැඳ උන් ලොක්කා හිතුවේ පව් අසරණ මිනිස්සු උදේට කන්න බතල අලයක්වත් හාරනවා වෙන්ටැ කියාය.


නංගී අපේ ගෙදරත් බැහැලා තිබ්බ මේන් මෙන්න බතලේ කියා කෑගසා කියුවේ එයත් එක්කත් වචනයක් දෙකක් කතා කර බජට් එකට අදහසක් ගන්නය. නැඟණිය රවා බලා ගැස්සූ මුත් වචනයක් හෝ කතා කෙරුවේ නැත. ලොක්කා අවසරයකින් තොරවම මිදුල මැද්දට ගිය අතර ගැහැනු මනුස්සයා වළට මොනවද මතුර මතුර තක්කලි වගයක් වළලන බව දැක්කේය. ටික වේලාවක් ආරූඪයෙන් මොන මොනවදෝ වළට කිව්ව ගැහැනු කෙනා වළට නමස්කාර කොට නැඟිට්ටේ තව පොඩ්ඩෙන් ඔහේ වැඩේ දෙල් කරනවා යැයි ලොක්කට චෝදනාද කරමින්ය. තුන් වේලක් හිස් බඩින් නොකා නොබී ඉඳලා පේවෙලා කරපු කෙම් ඩිංග තව පොඩ්ඩෙන් වතුරේ කියාය.
තක්කලි ගෙඩියකින් කරන්න පුළුවන් කෙංගෙඩිය මොකක්ද කියා බඩ අල්ලන් හිනා වෙන්න ගත්තු ලොක්කා දිහා කන්න බැලුම් හෙලූ ගැහැනු කෙනා මේ නම් රටේ බලගතු උත්තමයා බව නොදැන හොඳම ඒවායින් දෙක තුනක් කියාගෙන ගියාය.

 

තක්කාලි ගෙඩියේ කෙම නැත්නම් අපි මෙහෙම හිතූ හිතූ සැප සම්පත් භුක්ති විඳියි කියා කීවාය. පුදුමයෙන් කට උල් කරගත් ලොක්කා සීරියස්ලි ඇසුවේ තක්කාලි ගෙඩියකින් එච්චර දේවල් කරන්න පුළුවන්ද නංගී කියාය. නැතිව පුල්ලෙයාර් දෙයියන්ව යාළු කරගත්තොත් මොනවද කරගන්න බැරි කියා කී ගෑනු කෙනා කිව්වේ මේ ළඟදී ඇෆ්සීඅයිඩී එකෙන් ඇවිත් මුළු වත්තම චෙක් කළා පොළොව යට හංගපු වාහන බලන්න. හැබැයි අඩු තරමේ තක්කාලි ගෙඩියක්වත් හොයා ගන්න බැරි වුණා කියාය. ලොක්කා ඇසුවේ ගණ දෙවියන් යාළු කරගත්තොත් නපුරුකම් කරන අයගෙන් ගැලවෙන්න පුළුවන්ද කියාය. මොකද බැරි කිව්ව ගෑනු කෙනා කිව්වේ හැර ගිය ඕනෑම කෙනෙක් නැවත ගෙන්න ගන්න පුළුවන් කියාය. ඊයේ පෙරේදා තරහ වුණු සිවිල් සමාජයේ කට්ටිය යාළු කරගන්න පුළුවන් නම් ලොකු දෙයක් කියා ලොක්කට කියැවුණේය. විනාඩි හතරෙන් ඕනම දෙවි කෙනෙක් යාළු කරගත හැකි බව කී ගෑනු කෙනා ගණ දෙවියන්ව යාළු කරගන්න මන්තරේ විතරක් කියා දෙන්න ඉදිරිපත් වුණේ ගණ දෙවියන්ට යාළුවෝ සීයක් හදලා දුන්නොත් තමාට ලැබෙන වාසනාව බෝනස් වන බව කියමිනි.

 


එහෙනම් නංගී ගොහින් එන්නම් වල්ගමවත් මතක් කරන්න කියූ ලොක්කා ඉස්සරහට යන ගමන් කල්පනා කළේ ඉස්සෙල්ලාම ගණ දෙවියන්ව යාළු කරගන්නවා කියාය. මචං ලෙවල් එකටම එක දෙවි කෙනෙක් යාළු කරගත්තට පස්සේ ඒ මාර්ගයෙන් අනිත් දෙවිවරු යාළු කරගෙන සෑහෙන වැඩ ගන්න පුළුවන් කියාය. ගණ දෙවියන්ගේ මාර්ගයෙන් ලක්‍ෂ්මී දෙවියන්ව යාළු කරගෙන බජට් එකේ හිතූ හිතූ ඒවා කරන්න ඉන්කම් එක හදාගන්නවා කියාය. අරයාගේ කෝටි නවදාහක ණය ටිකත් ගෙවලා දානවා කියාය. ස්කන්ධ දේවතාවුන් යාළු කරගෙන මේ අය - වැයෙන් ගිය පාර වාහනවලට ගහපු බදු අඩු කළොත් එතැනත් හූඇන්පීය කිච වෙනවා කියාය. තක්කාලි ගෙඩියක මිල රුපියලට දෙකට බස්සලා සෑම වැසියකුටම තක්කාලි ගෙඩියේ කෙම අනිවාර්ය කොට ජාතික ආදායම සින් සින් ගා වැඩි කරනවා කියාය. තව අඟුරු කළගෙඩියේ කෙමත් රට වැසියන්ට අනිවාර්ය කරනවා කියා හිතුවේය.

 

රටවැසියන්ගේ ඕනම ප්‍රශ්නයක් තමාට ලියලා එවන්න කියා කොළේ පුච්චලා දැම්මම ජනතාව සුඛිත මුදිත ජීවිතයක් ගත කරයි හිනා වේවී හිතුවේය. ජනතාව සුඛිත මුදිත වෙද්දී හූඇන්පී ය සෙකන්ඩ් වෙලා සීලංකා එක එකට ඇවිත් තියෙයි කියා සිතුවේය.
හිතන ගමන් ගෑනු කෙනා කියා දුන් මන්තරේ ජප කළ අතර ලොක්කට රුක් සෙවණ යටම ළාවට නින්ද ගොස් පරිසරය එකවර ආලෝක වී දෙවියන් පහළ විය. දෙවියන් ලොක්කට කිව්වේ හිතේ තියෙන සේරම ප්‍රශ්න මං විසඳනවා කියාය. සිවිල් සමාජේ මහාචාර්යවරු, විද්වතුන්, කලාකරුවන්ට කනේ පාර දෙන්න ඕන කියා ඩිලාන් කියලා තියෙන නිසා ඒක තමයි ටිකක් කරලා දෙන්න අමාරු දේකට තියෙන්නේ කියාය. ලොක්කා හීනෙන්ම කිව්වේ බෑ කියලා බෑ දෙයියෝ කොහොමහරි ඒ වැඩෙත් කරලා දෙන්න කියාය. දෙයියෝ ආවට පස්සේ ලොක්කා හිටියේ හෙණ ෆැන්ටසියකය. ආණ්ඩුවේ තනි බලය මට ආවම දෙයියන්ට සලකනවා මං සැලකිල්ලක් කියා කිව්වේය. ඒ එක්කම බය හිතුණේ දෙවියෝ පුරෝහිත රනිල් එක්කත් ෆිට් වුණොත් තමයි ජල්බරිය කියාය.

 


හීනය බජට් එක කියවන දවසේ විල මැදට මාරු වූ අතර ලොක්කා දැක්කේ බජට් එක තමාම කියවන සීන් එකකි. ලොක්කට මාරම කික් එකක් දැනුණේය. හීනෙනුත් දෙවියන්ට පින් දුන්නේය. ඊටත් පස්සේ හඳුන්නතේති ඇවිත් ලොක්කගේ කනට කර මොනවද කියූ අතර ලොක්කා හීනෙන් කෑගැසුවේ එහෙම කොහොමද හූඇන්පී යට ඕන විදියට නටන්නේ. බජට් එක මට ඕන විදියට එළියට දාන්න බැරි නම් මං ජනාධිපතිකමෙන් තාවකාලිකව ඉල්ලා අස් වෙනවා කියාය.

 

සුභාෂිණී ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon