සූටෝපියා

  👤  5786 readers have read this article !
2016-10-05

 

නිව්සීලන්ඩ් ටුවර් එක අතරතුර පුරෝහිතතුමා ඕක්ලන්ඩ් සත්තුවත්තට ගියේ මයිත්‍රී ලොක්කා තෑගි කළ අංජලීගේ සුවදුක් විමසීම සඳහාය. වෙනදාට එන ඕනෑම කෙනෙක් එක්ක බුදු ෆිට් වන සත්තු පුරෝහිතයන්ව එතරම් කෙයාර් කෙරුවේ නැත. පිළිගැනීමේ නැටුමේ තිබූ නිව්සීලන්ඩ් ට්‍රැඩිෂනල් හකා ඩාන්ස් ස්ටෙප් කිහිපයක් මතක තියාගෙන හිටිය පුරෝහිතතුමා පපුවට එක අතකින් දඩාස් දඩාස් ගා ගහගන්න ගමන් බුකා බුකා කියමින් හයියෙන් තාලයට කෑගැසූ මුත් සතුන් නොරුස්සනා බැලුම් හෙළුවා ඇර විශේෂ ප්‍රතිචාරයක් දුන්නේ නැත. මයිත්‍රීගේ අලියා බැලීමට ගියත් අංජලීත් අඩු තරමේ තමන්ගේ කමටවත් සලකලා පුරෝහිත එක්ක කතා කෙරුවේ නැත.

ගස්සලා අහක බලාගත්තාය. අපිට ඔහොම සැලකුව අලියෙක් දැක්කමයි සර් කියා අරීන් කීවේය. පුරෝහිතතුමා සාගලට අරීන්ට කිව්වේ පව් තාම කාලා නැතිව බඩගින්නේ ඇත්තේ. මේ ඔක්කොටම අද මං කන්න කැමැතිම කෑම දෙන්න ඕන. මගේ ගාණේ ලන්ච් එකක් දෙන්න සෙට් කරන්න එතකොට අපිට කෑම කමින් නිදහසේ පොඩි පොඩි ප්‍රශ්න ගැන කතා කරගන්න පුළුවන් කියාය. ඒ බිලත් කැබිනට් එකෙන් පස්සෙ අරලිය පැලස් එකේ සති දෙකකට වරක් දෙන ලන්ච් බිලටම ඇඩ් කරගන්න කියාද මතක් කෙරුවේය.

 


අරහෙං මෙහෙං එබිකම් කෙරූ බැබුන් කෙනෙක් ලොක්කත් හිතුවේ නැති වෙලාවක ඇවිත් ලොක්කත් එක්ක කතා කළේ එතකොටය. නළුවෙක් නෙවෙයි. මොළයක් මොළයක් කියා ෂේක් හෑන්ඩ් කෙරුව බැබුන් මුලින් මුලින් කතා කළේ අගේන්ස්ට් එකටය. කැත වැඩ කරන්න එපා කියා පුරෝහිතගේ මූණටම කිව්වේය. සහෘද හිනාවකින් බැබුනාට සංග්‍රහ කෙරූ පුරෝහිතතුමා ගත් වනම ඇසුවේ අපි මොනාද ඔයාලට කෙරුව කැත වැඩ කියාය. බැබුන් කිව්වේ ජරා වැඩේ කරලා මදිවට නක්කලේට හිනා වෙන්නත් එන්න එපා කියාය. පුරෝ ඒකටත් හයියෙන් හිනා වුණා මිස කෝප උපදවා ගත්තේ නැත. බැබුන් ඒ පාර මල පිට කිව්වේ මොළයක් නෙවෙයි අලයක් කියාය. අපි ඔයාට කරපු වැරැද්ද මොකක්ද බබෝ කියා නිව්සීලන්ඩ් නිලධාරීන් ඉස්සරහා බැබුනාව හුරතල් කෙරූ පුරෝහිතතුමාට බැබුන් කිව්වේ වැඩක් නෑ කරූ අන්තිමයි කතා කරන්න දෙයක් නෑ කියාය. අපි තලාම තලායි කිව්ව කියලා ගිය ගමන් එයැයිට මැසේජ් එක දෙන්න කියාය. විල මැද කට්ටිය අපි ගානට දාලා අපේ හත්මුතු පරම්පරාවකට නින්දා කළා කියාය. එහේ විල මැද එක්ක කම්පෙයාර් කරද්දී අපි රියල් ජෙන්ට්ල්මන්ට්ස්ලා කියා කිව්වේ කොලර් එකත් අප් කරගනිමිනි. අපි ගානට හැසිරෙන්න එපා කියා විල මැද උන්ට වෝනින් දීලා අපිට මේ කරපු නවනින්ගිරාවට නිකන් නම් ඉන්නෙ නෑ කියා අත්දෙකම පොළොවේ ගැහුවේය. සුදු රෙද්ද බැනියම අඳින අයට වඩා අපේ අත් ක්ලීන් කියා කීවේය. මේ හිටියට කියාගන්න බැරි දුකකින් ඉන්නේ අපේ හාමුදුරුවනේ කියා පපුවට ගහගෙන ගහගෙන ගියේය. උත්තරීතර ස්ථානයක ඔය විදියට ළපයි සිපයි ගානට දාලා අපිට කතා කරයි කියලා හිතුවේ නෑ බොස් කැතයි හොඳේ කියා කීවේය.

 


පුරෝහිතතුමා බැබුනාගේ පිටට තට්ටුවක් දමා කිව්වේ ගණන් ගන්න එපා මල්ලී ඕවා ඔහොම තමයි කියාය. අනේ යන්න අයියා යන්න කියා අත ගසා දැමූ පෝරිසාද බැබුනා කිව්වේ අපිව උන්ගේ ගානට සමාන කරලා කතා කරද්දී ඔයත් ඇටිකෙහෙල් කෑවා වගේ ඉන්නවා අපි දැක්කා. අපි වෙනුවෙන් වචනයක් කතා කළේ නෑ කියාය. අපිට එහෙම කතා කරන්න අපි කිසිදාක මේ සූ එක මැද්දට ඇවිත් කැත විදියට හැසිරිලා නෑ, කුණු හබ්බ කියාගෙන නෑ, ගුටි කෙළගෙන නෑ. නයිට ගහන් මේ උත්තරීතර පුණ්‍ය භූමියේ බූරුවා ගහලා නෑ. කෝපි බීලා නෑ. ගැලරියේ ඉන්න ළමයින්ටයි අපේ පැටියන්ටයි නරක ආදර්ශ දීලා නෑ අපේ හාමුදුරුවනේ කියා ආපසු පපුවට ගහගෙන ගහගෙන ගියේය. ඒ වගේම තමයි කොමිස් අරන් නෑ, පගා ගහලා නෑ කියා ආඩම්බරෙන් කොලර් එක අප් කර ගත්තේය. කියන්න ආඩම්බරයි මේ සූටෝපියාවේ එෆ්.සී.අයි.ඩී. නෑ, ජනාධිපති කොමිසම් නෑ, කෝප් කමිටු නෑ, අපේ අත් පිරිසුදුයි කියා කීවේය. ඒවා නැත්තේ අපේ හොඳකම නිසාම බව මතක් කෙරුවේය. ස්ත්‍රී දූෂණ චෝදනා නෑ, ළමා අපචාර චෝදනා නෑ කියා කීවේය. ඕපපාතික ලෙස පහළ වුණු ටීවී චැනල් නෑ. වෙන වෙන නම්වලට ගත්ත ඉඩම් නෑ. ෆොරස්ට් ආච්චිලාත් නෑ, මැණික් මලුත් නෑ කියා හුස්ම ගන්නෙත් නැතිව යාං හෑල්ලක් කියාගෙන ගියේය. පුරෝහිතතුමා හිතුවේ ඇත්ත තමයි. හොයන්නෙ බලන්නෙ නැතිව අපේ අයට මෙයාලව උපමා කරපු එක අන්තිම සවුත්තුයි කියාය. එහෙත් එක්ක බලද්දී මේ සත්තු පව් මාරම අහිංසකයි කියාය. එසේ සිතුවත් සාමුහික වගකීම හිතට අරන් කිව්වේ නෑ ඕක කතානායකතුමා ලොකුවට හිතලා ඔයාලට පහර ගහන්න කරපු ප්‍රකාශයක් නෙවෙයි කියාය. ඒත් යංග් බැබුනාගේ හිතේ තිබ්බ කහට අයින් වූයේ නැත.

 


හිතේ අමාරුවට තවත් එකී නොකී කතා කියමින් පුරෝ එක්ක චැට් එකේ ඉන්න අතරේම ඕක්ලන්ඩ් සූටෝපියාවේ එක් පැත්තකින් මහා ගාලගෝට්ටියකුත් මතුවී ආවේය. කලබලයට පත් වූ බැබුන් මල්ලී පුරෝහිතතුමාගේ අතකිනුත් ඇදගෙනම නින්ජා සෙයියාවෙන් ඇහැපිල්ලමක් වැටෙන වේගෙන් ගහෙන් ගහට වැලෙන් වැලට පනිමින් ඒ පැත්තට ගිය අතර බැබුන්ගේ අතේ එල්ලී උන් පුරෝ කෑගැසුවේ කැඩෙයි මල්ලි කැඩෙයි මෑකරල් වගේ තියෙන අත් දෙකයි කකුල් දෙකයි කැඩෙයි කියාය. යද්දී සෝමාලියානු චිම්පන්සි කූඩුවට සෝමාලියානු මුහුදු මංකොල්ලකාරයෝ ටිකක් පැනලා වගේ හෙණ ජංජාලයක් වී තිබිණි. චිම්පන්සීන් සෙට් එකක් කූඩුවේ පැත්තකට වෙන්න කෝපි බොමින් සිටි අතර පිරිමි චිම්පන්සීන් බූරුවා ප්ලේ කරමින් සිටියෝය. තවත් කොටසක් අපේ ළමයින්ට ආනන්ද, නාලන්ද, රෝයල්, විශාකා,

 

සිරිමාවෝ දෙනකල් මෙතනින් නොනැඟිටිමු කියමින් බිම වාඩිවී සිටියෝය. බැබුන්ගේ අතේ එල්ලීගෙනම එතැනට පාත් වෙලා උඩ බිම බලමින් උන්නු පුරෝහිත බැබුන් ළමයාගෙන් ඇසුවේ මේ කොහේද මෙතැන මොකක්ද වෙන්නේ මල්ලී කියාය. අපි මේ ඉන්නේ සූටෝපියාවේ එඩියුකේෂන් මිනිස්ටි්‍ර එකේ ඔඩිටෝරියම් එකේ කියා බැබුන් රිප්ලයි දුන්නේය. චී මල්ලි මෙයාලා නම් හැසිරෙන්නේ සත්තු වගේ නේද? එහෙම කොහොමද හැමෝටම හොඳ ඉස්කෝල දෙන්නේ? අපේ අකිලටත් මේ දවස්වල ඕකම තමයි ලෙඩේ කියා කිව්ව ලොක්කට බැබුන් කිව්වේ මුන්ටත් නොම්මර එකේ ඉස්කෝලවලට ළමයි දාගන්න ලෙඩේ බෝ වුණේ එහේ ස්ට්‍රයික් දැක්කට පස්සේ තමයි කියාය. ඇමර්සන්වල ඉඳලා මෙහේ ආව චිම්පන්සිත් ඉල්ලන්නේ එහේ ආනන්ද, නාලන්ද, රෝයල් තමයි කියාය. පුරෝහිත පුදුමයෙනුත් පුදුමයට පත්විය. අකිල දැනගත්තොත් පිස්සු හැදෙයි කියා කියද්දීම පුරෝහිතව දැක්ක චිම්පන්සි රැළ පුරෝහිතව වටකර ගත්තේ අපිට අකිලව ගෙනත් දෙන්න අපේ දරුවන්ට හොඳ ඉස්කෝල ඕන කියමිනි. පුරෝහිත බැබුන්ගේ කනට කර ඇසුවේ චී මල්ලී සත්තු වගේ නේද කියාය.


තව ටිකක් වෙලා චිම්පන්සි කූඩුවේ නතර වුණොත් හුටාලන්තයට යවන්න වෙන්නේ සම්බල් ටිකක් තමයි කියා ඉවෙන් මෙන් තේරුම් ගත් බැබුන් මල්ලී පුරෝ ලොක්කවත් කිහිල්ලේ ගහගෙන චිම්පන්සි කූඩුවෙන් එළියට ජම්ප් එකක් දැම්මේය. එහෙමම ඉස්සරහට දුවගෙන යද්දී දැක්කේ නළුවෙක් වගේ හැන්ඩ්සම් පත ගෝරිල්ලෙක් පොත්, පෑන්, මයික්, කැමරා, රෙකෝඩර් දික් කරන් උන්නු වඳුරු මල්ලිලා දෙන්නකුට ඉබ්බන් තුන් හතර දෙනකුට ගිරව් හතර පස්දෙනකුට මහා සද්දෙට ගෝරනාඩු දාන ආකාරයයි. මල්ලි එතැන මොකද වෙන්නේ කියා ඇසුව පුරෝහිතතුමාට බැබුන් කිව්වේ එයා මෙහේ නළුවෙක් පස්සේ දේශපාලනේට ගියා කියාය. දැන් ඔය මීඩියාවලට ගෙදරටම එන්න කියලා ප්‍රශ්න දෙක තුනක් ඇහුවම බලාගන්නම් කියා තර්ජනය කරන හැටි කියාය. පුරෝහිතතුමා බැබුන්ගෙන් ඇසුවේ චී මල්ලි අන්තිමයි සත්තු වගේ නේද කියාය.


එහෙමම සූ එක වටේ යද්දී තවත් ජංජාලයක සේයා දක්නට ලැබිණි. එතැනත් වඳුරු කැමරමන්ලා, ඉබි රිපෝටර්ස්ලා වගයක් අඩි විස්සක් තිහක් විතර උස තාප්පයකින් වට කරලා තිබ්බ ස්ථානයක් ඇතුළට යන්න ට්‍රයි කරනවාය. ලොක්කා බැබුන්ගෙන් ඇසුවේ මල්ලී එතැන මොකක්ද වෙන්නේ කියාය. ආ ඒක සූටෝපියාවේ නිල කනත්ත කියා කිව්ව බැබුනාගේන් ලොක්ක ඇසුවේ ඔච්චර කලබලේ ලොකු කෙනෙක් කවුරු හරි භූමදානය කරනවාද කියාය.

 

නෑ ඔය වසර දස දහස් ගාණක් එපිට මැරුණු ඩයිනෝසරයකුගේ මෘත දේහය ගොඩගන්න හදන්නේ කියා රිප්ලයි ලැබිණි. මීඩියාවලට ඇතුළට යන්න නොදීපු නිසා තමයි ඔය කලබලේ කියා එක්ස්ප්ලේන් කළේය. එතකොටම දෙන්නම දැක්කේ බෙල්ල කිලෝමීටර් දෙක තුනක් දිග බැබ්ලෝනියානු ජිරාෆ් කෙනෙක් තාප්පෙට උඩින් බෙල්ල දමා ඩේ‍රා්නා තාක්‍ෂණයෙන් සීන් එක ෂූට් කරන ආකාරයයි. එය දුටු පුරෝහිතතුමා ඇසුවේ අවසර දීලා නැතිවත් තමන්ගේම සහෘදයකුගේ ඇට කටු අර විදියට ලෝකයට පෙන්නන්න හදන එක හරිම කැතැයි නේද කියාය. බැබුනා ඇසුවේ චීයා අයියේ සත්තු වගේ නේද කියාය.

සුභාෂිණී ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon