තවත් පොත් ගොඩක් කමින් සූන්.....

  👤  3332 readers have read this article !
2016-09-28

 

නිව්යෝර්ක්වලදී මයි ත්‍රී ලොක්කව ඔබාමා ලොක්කට කොයි තරම් හිතට ඇල්ලුව ද කියනවා නම් පැමිණි ලෝක නායකයන් අතරින් වයිට් හවුස් එකේ ඩිනර් ටේබල් එකට ඉන්වයිට් කර තිබුණේ මයිත්‍රී ලොක්කට පමණි. ලොක්කව වයිට් හවුස් එකට කොච්චර අල්ලලා ගියාද කියතොත් අන්තිමේ පවුලේ කෙනෙක් වගේ විය. මුලින් මුලින් මිචෙලී විතරක් එච්චර කැමැත්තක් දැක්වූයේ නැත. ඒ මිචෙලී හිටපු ලොක්කගේ හෙන ෆෑන් කෙනෙක් වීම හෙයිනි. ඔබා හෙනම ලව්ලි සහ රෙස්පක්ටබලි පිට ලොක්කව පිළිගෙන ගෙට අඬගහගෙන එද්දී මිචෙලී ‍ෙදාර රෙද්ද අස්සෙන් එබී බලා මයිත්‍රී ලොක්කව ගැස්සෙන්න ගස්සගෙන කුස්සිය පැත්තට ගිය අතර මේ ඒයි ඇහුණද කියා ඔබාට කුස්සිය පැත්තට කතා කර කියා තිබුණේ එකට කාලා ගිහින් බලය ඇල්ලුව රාජ්‍ය නායකයෝ ආස්සරය කරන්න ඔයාට පිස්සු ද අනේ කියාය.

අනිත් එක අවුරුදු පහෙන් ගෙදර යනවා කියන රාජ්‍ය නායකයෝ ඔයා ආශ්‍රය කරනවට මං චුට්ටක්වත් කැමැති නෑ කියාය. අන්තිම දවස් ටිකේ තව අවුරුදු හතරක් අදින්න මෝටිවේට් දෙන නායකයෙක් ආශ්‍රය කරන්න කියලා මං ඔයාට කට කැඩෙනකල් කියලා තියෙනවා නේද? හුටාවේ හිටපු ලොක්කයියා වගේ නම් ආශ්‍රය කළාට නරකක් වෙන්නේ නෑ කියාය. අන්තිමට මිචෙලී කන්ට්‍රෝල් වුණේ මයිත්‍රී එහෙම කෙනෙක් නෙවෙයි රටකට ප්‍රජාතන්ත්‍රවාදය අරන් ආව ශේ‍ර්ෂ්ඨ රාජ්‍ය නායකයෙක් කියා ඔබා නොවඳිනා වැඳුම් වැන්දාට පස්සේය. එතකල්ම මිචෙලී කිව්වේ අත්ලන්තික් සාගරය අතුරුදන් වීමේ අවදානමට හේතුව හුටාලන්තයේ හිටපු ලොක්කා බලයෙන් පහ වීම කියාය. හුටාවේ හිටපු ලොක්කා හිටිය නම් අයි.එස්.කාරයෝ ඔච්චර නටන්නේ නෑ කියාය. ඔබාමා ඇහුවේ ඔයා හදන්නේ මාවත් පන්සල් පල්ලි ගාණේ ඇරලා අන්තිමට මහා පාද යාත්‍රා යවන්න ද? ඊට මීට හොඳයි මං කැමරන් වගේ බලයට තියෙන තණ්හාව අතඇරලා පොතක් පතක් බලන් හේනක් කොටාගෙන පාඩුවේ ඉන්නවා කියාය.


මිචෙලීගේ වෙනස එච්චර ගණන් නොගත්තු මයිත්‍රී ලොක්කා, මේවා ජාතික අපරාධ කියමින් තැන් තැන්වල නිරපරාදේ දැල්වුණු ලයිට් ඕෆ් කරමින් වයිට් හවුස් එකේ කාමරයෙන් කාමරයට ගියේ හරියට පොළොන්නරුව පැත්තේ තමන්ගේම ගෙදරක එහා මෙහා යනවා වගේ තමන්ගේකමකිනි. මං කොටුවේ ජනාධිපති මන්දිරය අතඇරියෙත් ඔන්න ඕකයි. පාවිච්චි නොකරත් ලයිට් බිල ලක්ෂ විසිපහක් කියා ළඟට ආව ඔබාමාටත් මිචෙලීටත් ජීවන වියදම් පාලනය කර ගැනීමට විශේෂඥ උපදෙස් නොමසුරුව ලබා දුන්නේය. ඒකෙන් මේකෙන් මිචෙලීටත් තිබුණු අවුල් නැති වී ලොක්කව හිතට අල්ලා ගියාය. හිටපු එක්කෙනා සැප ගන්න හදාගෙන තියෙන භූගත බංකරේට කරන්ට් එක සැපයීම අනිවාර්ය බව මයිත්‍රී දෙපළට පැහැදිලි කළේය. ඒක නැත්නම් කොටුවේ ජනාධිපති මන්දිරේ ලයිට් බිල් සීරෝ කරන හැටි දන්නවා කියා කිව්වේය.


අනවශ්‍ය වියදම් අඩු කරන්න මල් වඩම්වල ඉඳන් කැපුව හැටි කියද්දී ඔබා කිව්වේ අපරාදේ මීට අවුරුදු හතකට කලින් අපිට මෙහෙම ෆිට් වෙන්න තිබ්බේ. එහෙනම් මටත් නොසෑහෙන වියදම් පාලනය කරන් හුටාව වගේ හැදෙන රටකට ආධාර ටිකක් තව වැඩි කරන්න තිබුණා කියාය. දවස් දෙක තුනක් තිස්සේ ඔබාමා ලොක්කාගේ හිතේ කැකෑරෙමින් තිබූ ගැටලුවක් එළියට ආවේ මෙසේ කතාබහ කරමින් සිටින අතරතුරදීය. ගැටලුව වූයේ මිස්ටර් තලෙයිවර් ඒ ලෝකෙට යැව්ව එකේ ඇත්තම කේ‍රඩිට් එක යන්න ඕන කාටද කියාය. එය යුද්ධෙන් තුනෙන් දෙකක් ඉවර කළ සැටලයිට් නෝනාට යා යුතු බව වරෙක හිත කිව්වත් තවත් වරෙක හිත කිව්වේ මහින්ද ජාත්‍යන්තරය ඇතුළු අපෙන් ආව බලපෑමට යටත් වුණා නම් යුද්ධ දිනයි කියාය. ආයේ හිතුවේ ෆොනී ගාව සූක්ෂ්ම යුද සැලසුමක් නොතිබෙන්න මහින්ද කරයි යුද්ධ කියාය. ඒත් ඊයේ පෙරේදා විශ්‍රාම ගිය මේජර් ජෙනරාල්වරයෙක් ලිව්ව පොතක් කියෙව්ව ඔබාමාට යුද ජයග්‍රහණයේ පීතෘත්වය තවදුරටත් ගැටයක්ම විය.

 


ඔබා ලොක්කගෙන් ඇසුවේ දැන් එතකොට තලෙයිවර් කොටු කරගත්තේ ෆොනීගේ ප්ලෑනකටද නැත්නම් ගෝඨාගේ ප්ලෑනකටද නැත්නම් පනස් අට සේනාංකය ෆොනීගේ ඕඩර්ස් පයිසෙකට මායිම් නොකර ගිහින් තනියම ගේම දුන්න හින්ද ද කියාය. ඕකත් හරියට වෙඩි වැදිල ද මැරුණේ අල්ලලා ද මැරුවේ වගේ තාමත් උත්තර නැති අපබ්‍රංස ප්‍රශ්නයක් කිව්ව ලොක්කා ප්‍රභා නැඟිටලා ආවොත් ඕකට උත්තරයක් හොයාගන්න පුළුවන් බව කිව්වේ ඒත් නිංක ෂුවර් නැති ගානට ය. ඔබා කිව්වේ දැන් චුට්ටකට කලින් මෙහේ සිද්ධ වෙච්ච බ්ලාස්ට් එක කරපු ත්‍රස්තවාදියා අපි ඒ වෙලේම අල්ල ගත්තා. ඔයාලට තාම අර යකා මැරුණ විදියයි ටාගට් එකට ගිය විදියයි හොයාගන්න බැරි වුණානේ කියාය. ඔය කාලේ මං හිටිය නම් සේරම විනිවිදභාවයෙන් කරනවා කියා කියවෙන්න ඇවිත් වචන එහේ මෙහේ කළ මයිත්‍රී ලොක්ක කිව්වේ ඒ වෙලාවේ විෂය භාර ඇමැතිවරයා විදියට මගෙනුත් යම් කර්තව්‍යක් වුණා. කවද හරි පොතක් ලියලාම එළියට දාන්නම්කෝ කියාය. ඔබා කිව්වේ කල්මරන එකෙන් සිද්ධ වෙන්නේ එක එක්කෙනා ලකුණු දාගෙන අතීතය මික්ස් ෆෘට් ජෑම් එකක් බවට පත් වෙන එක විතරයි කියාය. ලොක්ක කිව්වේ මාත් නිකන් ඉන්නේ නෑ කොහොමහරි මේක විසඳනවා හැබැයි මොන දේ වුණත් මට එක දෙයක් විශ්වාසයෙන් කියන්න පුළුවන්. ආයේ යුද්ධයක් ඇතිවෙන්න නම් මේ මයිත්‍රී ඉන්නකල් ඉඩ දෙන්නේ නෑ කියාය.

 


ඒ ටික කියා ඉවරවෙන්නත් කලින් ඔබාගේ ෆෝන් එකට නිවුස් ඇලර්ට් එක ආවේ ද්‍රවිඩයිනි නැඟිටිව් ව්‍යාපාරයත් සමඟ විග්නේශ්වරන් යාපනය හොල්ලනවා කියාය. අපේ ළමයි තාම හිරේ. අපේ ඉඩම්වල පන්සල් හදනවා කියමින් විගී යාපනේ මිනිස්සු එක්ක පාරට බැහැලා කියන එක ලොක්කට නොකියා සතුටට බාධා නොකරන්න හිතාගත්තු ඔබා ලොක්කා කල්පනා කළේ අනේ මන්දා බෑන් කීත් ගිහින් ඇවිත් සේරම හරි, හමුදා කඳවුරු ක්‍රමයෙන් ඉවත් වෙනවා, ළමයි පුනරුත්ථාපනය වෙනවා කියා කයිවාරු ගැහුවට එහෙම වෙනවා නම් විගී ඔහොම නටන්නේ නෑනේ කියාය. කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියා හිතාගන්න බැරුව කරකවලා කරකවලා අත ඇරියාක් මෙන් වුණු ඔබා හුටස්ලන්තයේ කේස් කවදාවත් බැලන්ස් කරන්න බැරි බව හිතාගත්තේය. ඔය වෙලාවේ ඔබාගේ දූල දෙන්නා දුවගෙන ඇවිත් මයිත්‍රී ලොක්කගේ අත්දෙකේ එල්ලුණේ අංකල් අංකල් අපි එක්ක සෙල්ෆියක් ගන්න එන්නකෝ කියමිනි. දරුවන්ට මයිත්‍රී එක්ක සෙල්ලම් කරන්න ඉඩ දුන්නු ඔබා එතනින් ඉවත්ව යන ගමන් හිටපු ලොක්කට කෝල් එකක් ගත්තේ තලෙයිවර්ව එලොවට රිටන් කිරීමේ සැබෑ ගෞරවය ඇත්තටම යන්න ඕන කාටද කියා ඉන්තේරුවෙන්ම දැනගන්නය.


හිටපු ලොක්කා ඒ වෙලේ හිටියේ නිව්යෝර්ක් ගිහින් මයිත්‍රී ලොක්කා ලෝක නායකයන් අතර බැබළී ඉන්න ආකාරය දරාගන්න බැරුව පොපිය පොපියා සිරියහන මත කොට්ටය හපාගෙනය. ගංවතුරක් වෙලාවේ කෙහෙල් ගෙඩියක ආධාරයක් ලැබුණු විපතට පත්වූවකු මෙන් ඔබාමාගේ ඇමතුම දැක චිත්ත ප්‍රීතියට පත් වූ හිටපු ලොක්කා ඇඳ උඩ බම්ප් වී කෝල් එක ආන්සර් කළ අතර ඔබා කිව්වේ මයිත්‍රී ඉන්නවා මෙහේ අපේ ළමයින්ගෙනුයි ළමයින්ගේ අම්මාගෙනුයි බේරෙන්න බෑ කියාය. හිටපු ලොක්කාගේ කතා කරන්න ගිය කට එහෙමම බෙරි වී මූණ කරත්තෙට අහුවුණු කජු ලෙල්ලක් සේ විය. ආවේගයන් පාලනය කර ගනිමින් මූනිච්චාවට ඉතින් මල්ලී කියා පණ දුන්නු ලොක්කගෙන් ඔබා ඩිරෙක්ට් ඇසුවේ නන්දිකඩාල්වලදී ප්‍රභාව ඇත්තටම ටැකල් කරගත්තේ කවුද අයියේ ෆොනීද ගෝඨාද පනස් අටද පනස් තුනද කියාය. පයිත්තියං කතා කරන්න එපා මල්ලි ඔය එක්කෙනෙක්වත් නෙවෙයි මම නැත්නම් අල්ලයි මෑන්ගෙ නැට්ට කියා කීවේය. යුද්ධයේ අවසාන දින කිහිපයේ මුහමලේ, නාගර් කෝවිල් අලිමංකඩ හරහා චලෙයි, චුල්ඩිකුඩම්, කඩෙයිකාඩු, වෙට්ටලකේනි හරහා පන්නගෙන පන්නගෙන ඇවිත් නන්දිකඩාල්වලදී මහා භයානක, මතක් කරද්දිත් ඇඟේ රෝම කූපයක් කූපයක් පාසා කෙළින් වන ද්වන්ධ සටනක් ගියා ප්‍රභා එක්ක දෙයියම්පා කියමින් දිවුරුවේය. පනස් තුන පනස් අට එද්දී තලෙයිවර් සෙට්ටපෝච්චි කියා කිව්වේය. ළඟදීම පොතක් ලියනවා මල්ලි ඇත්ත සක්සුදක් සේ දැනගන්න පුළුවන් වෙයි කියා කියද්දී ඔබාමත් හෙල්ලී ගියේය.


ඒ කතාවෙන් තවත් මඤ්ඤං වුණු ඔබා එහෙමම ෆෝන් එක අතඇරලා ගිහින් අමාරුවට පුටුවක් උඩම හාන්සි වුණු අතර මයිත්‍රීත් පොතක් ලියාවි, මහින්දත් පොතක් ලියාවි, ෆොනීත් පොතක් ලියාවි ඒත් කොහොමද ඇත්ත දැනගන්නේ කියා කල්පනා කරද්දී ඇස් ජිල් බෝල වගේ එළියට පැන්න මෑන් කෙනෙක් හීනකින් වගේ ඔබා ගාවට ඇවිත් අඬන්න පටන් ගත්තේය. තමුසේ ඇයි අඬන්නේ කියා ඇසුව ලොක්කට ජිල් බෝල මෑන් කිව්වේ, වැඩක් නෑ අයියේ මෙහෙම උන් එක්ක ද යුද්ධ කළේ කියා හිතද්දී තනි ඇහැට ඇඬෙනවා කියාය. අඬමින්ම කිව්වේ ඉන්ටර්නැෂනල් ක්‍රිකට් මැච් එකක් දිනල මතක් වෙන්න විකට් කූරේ ඉඳන් ගලවන් යනවා වගේ මගේ අයි.ඩී. එක නැප්කින් එකේ ඉඳලා ගලවගත්තු විදිය මාත් පොතක් ලියනවා බලන් ඉන්නකෝ කියාය.

සුභාෂිණී ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon