චී යා හලෝ කිච දෝතයි

  👤  2287 readers have read this article !
2016-09-21

 

දුරකතන ඇමතුමක් ගෙන මධූසා කියා තමා හඳුන්වා දුන් පොඩි ගැහැනු දැරිවියක් අප්පච්චි මං රිලීස් කරපු අලුත්ම ෆේස්බුක් ලයිව් අප්ඩේට් එක දැක්කද කියා හිටපු ලොක්කගෙන් ඇසුවාය. මධූසා කියන්නේ කොයි දෝණිද කියා ඇසුව ලොක්කා දෝණි කිය කිය ආදරයෙන් ළඟ පාතට වෙලා මල් වගේ හිටිය කැකුළු දෝණියන් එක්කෙනෙක්වත් දැන් ළඟපාතක නෑ කියා කීවේය. ගයේෂා දූ දැන් අප්පච්චි කියන්නෙ පාවාදුන්න ගැන්සියේ දුමියට කියා කිව්වේය. අවුලක් නෑ මයේ අම්මට දෙහිවල ගල්කිස්සෙන් බැරි නම් පදවිය, ශ්‍රී පුරෙන් හරි ටිකට් එක ලැබෙයි කියා කිව්වේය.


ලකීගේ නික්ම යෑමෙන් පස්සෙ ඇහේ බබා වගේ බලාගත්තු හිරුණිකා දෝණි දැන් අප්පච්චි කියන්නෙ මටත් අප්පච්චි කියා ටෝක් කෙරුව ලොක්කෙකුට කියා කීවේය. පබාලා, මාලනීලාටත් දැන් වෙන අප්පච්චියෙක් සෙට් වෙලා වෙන්න ඇති කෝල් එකක්වත් දෙන්නෙ නෑ කිව්ව ලොක්කා ඇතිදා ඇති අය නැතිදා නෑ කියන සනාතන දහමට අනුව අනූසා දමයන්තිලා, නීලලා වුණත් වෙන අප්පච්චි කෙනෙක් හොයාගෙන ඇති කියා කීවේ ඇස් දෙකෙන් බේරෙන කඳුළු කැට බැනියමකට එකතු කර පනිට්ටුවකට මිරිකන ගමන්ය. එහෙව් සාපේක්‍ෂ ලෝකයේ ඔයා නිරපේක්‍ෂ වෙන්න හේතුව කුමක්ද මධූසා කියා විමසා සිටියේය.


මධූසා කිව්වේ ඔබ දැයේ දරුවන්ගේ මතු බුදු වන අප්පච්චි කියාය. ලොක්කට එක පාර සැක හිතුණේ ජැක්සන්ගේ ලොකු දෝණි මාධවීවත්ද මේ කතා කරන්නේ කියාය. පුතේ මාධවී කෝ ඔයාගේ අප්පච්චි දකින්නත් ආසයි ඉස්සර අපිට තනියෙන් හචිස් එකක් යවන්න උඹලගේ අප්පච්චි ළඟ නැති වෙලාවක් හොයාගන්න බැරි වුණා කියා කීවේය. කතා කරපු කෙල්ල කිව්වේ මයේ අප්පච්චි ඔබමයි කියාය. ලොක්ක කිව්වෙ නෑ නෑ කියමනට එහෙම කිව්වට අවුලක් නෑ මං ඇහුවේ උඹලගේ ඩී. එන්. ඒ. අප්පච්චි ගැන කියාය. කොයි තරම් වෙලාවක් කල්පනා කෙරුවත් බයෝලොජිකල් අප්පච්චි සිහියට නොඑන තරම් ලොක්කු ආවේස වෙලා හිටිය දැරිවි රිප්ලයි දුන්නේ මං එයා නෙවෙයි අර පා ගමනේ උක්කුන් අයියා ගාවින්ම සින්දු කිය කිය නට නට ආව පොඩි ළමයා කියාය. ආ අර අප්පච්චිට ජය වේවා කිය කිය උක්කුන්ගේ කර උඩිනුත් ආව පොඩි බටු කොලුවද කියලා අහද්දී දෝණි කිව්වෙ අපෝ නෑ නෑ එච්චර චූටි නෑ නොමිනේෂන් ගන්න පුළුවන් තරම් චූටි වයසක ගෑනු ළමයෙක් කියාය. මතක නැද්ද මං ජනවාරි අටට කලින් අප්පච්චිගේ පළු ඇරියේ කියා හුරතල් වුණාය. වෙන වෙන තැන්වලින් ටිකට් එක ගන්න ට්‍රයි කරලා පස්සෙ බැරි තැන අප්පච්චිගේ අගේ ආපහු තේරුණා කියාය. ලොක්කට ඒත් හරියට ක්ලික් වුණේ නැත.


ජනවාරි 8 වැනිදා අපි අතින් ඓතිහාසික වැරැද්දක් වුණා. අප්පච්චි අපිට සමාව දෙනවා නේද ඇසුව කාගේ වුණත් අප්පච්චි කෙනකුගේ දෝණිට ලොක්කා කිව්වේ දීලා තියෙන එක්ස්කියුස් හැටියට ඕක මොකක්ද පුතේ කියාය. ඒක නෙවෙයි මං රටටම ඇඬෙන්න දීපු ෆේස්බුක් ලයිව් අප්ඩේට් එක දැක්කද කියා යළිත් ඇසුව මධූසාට ලොක්ක කිව්වේ තාම නෑ පුළුවන් නම් මට ටැග් කරලා තියන්න බලන්නම් කියාය.


එහෙම කියා දැරිවිගේ වදෙන් බේරිලා ෆෝන් එක පැත්තකින් තියන්න ලැබුණේ නැත. ආයෙම ෆෝන් එක රින්ග් වූ අතර ඒ ඇමතුම ලැබී තිබුණේ සුප්‍රකට තුම්මුල්ලෙන් කිච වී දෙවනුව මල් වත්තෙන්ද කිච වූ ඓතිහාසික සංසිද්ධියක අනියම් පලයක් වූ පොරකගෙන්ය. පොර ලොක්කා ඇමතුවේ හති දමමිනි. මොකෝ බං උඹව අල්ලපු ගෙදර ටොමියා කන්නවත් පැන්නුවද කියා ඇසුව ලොක්කට පෝරිසාදයා කිව්වේ නැහ් අයියේ ශාසනය ඉවරයි, ජාතිය ඉවරයි දැන් ඉතින් සිංහල බෞද්ධ සංස්කෘතියේ මළගමට යන්න ලෑස්ති වෙන්න කියාය. ෂොක් වුණු පාර ලොක්කා හිතුවේ කවුරුහරි ආපහු කටුගේ කඩලද දන්නෙ නෑ කියාය. නැත්නම් එක්කෝ ආණ්ඩුවේ කවුරු හරි මහා වංශය උස්සලා වෙන්න ඇති කියාය ඇමෙරිකාවට, වරායයි එයාර්පෝර්ට් එකයි භාර දීලා ඉන්දියාවෙනුයි, චීනෙනුයි හුටාලන්තයට විරුද්ධව යුද ප්‍රකාශ කරලාද දන්නෙ නෑ කියාය. ඇයි ඇයි අරුන් බුද්ධාගම දෙකට දාලා ව්‍යවස්ථාවවත් එළියට දාලාද? ජාතික කොඩිය වෙනස් කරලා සිංහයා හලලාද? උතුරයි නැඟෙනහිරයි ඒකාබද්ධ කරලාද? ගේ කට්ටියවත් පිළිගෙනද? මරාගෙන මැරෙනවා යකෝ කියා සරමත් කැසපොට ගහන් ගේමට සෙට් වුණු ලොක්කට තුම්මුල්ලෙන් මල්වත්ත තරණය කරපු මෑන් උත්තර දුන්නේ නෑ, ඒ එකක්වත් තාම හරියට එළියට දාලා නෑ නේ ඒකනේ මං මල්වතු ගිහින් නන්නපෝල් වෙන්නම කිච වුණේ කියාය. ඔන්න ඕක හදනකල් ඉවසගෙන ඉඳපන් කියලා මං උඹට කට ගෙවෙනකල් කිව්ව, අන්තිමට මුළු රටටම පදිරි වුණා කියූ ලොක්කා කිව්වේ මුහුද හත්ගව්වක් තියලා අමුඩ ගහන්න එපා කියලා කියන්නේ කට කහනවට නෙවෙයි කියාය.


කිඹුලා කෑවා ඉවසතහැකි ඒත් මේ කොහිල කටු ඇනෙන එක තමයි දිරවන්නේ නැත්තේ කියා හිතුව පදිරි වුණු මෑන් කිව්වේ අලුත් ව්‍යවස්ථා මර උගුල එළියට ආපු දාක කාට කාටත් අපේ අගේ තේරෙයි හාන්දුරුවනේ කියාය. දැන් එතකොට අහස කඩන් වැටුණා වගේ ලොකුවට අත අරින්න ගිය කෙබ්බෙ මොකක්ද කියා දුක හිතී ඇසූ ලොක්කට විමලා කිව්වේ ඇයි අයියා චීයා නිවුස් එක බැලුවේ නැද්ද කියාය. එෆ්.බී. එකටවත් ලොග් වෙන්න බැරි වුණා බං. මේ පොඩි මධූසා කියලා කෙල්ලෙක්ගෙනුත් බේරෙන්න බෑ. ඒකිගේ ලේටස්ට් වීඩියෝ අප්ඩේට් එකක් බලන්න කියලා එක වදේ, කොහෙද වෙලාවක් කිව්ව ලොක්කා බල බලා හිටිය කාටුන් එකේ සද්දෙ අඩු කෙරුවේය.


අයි. ටී. එන්. එකෙන් රට විනාස කරන්න හදන්නෙ, රෑ දහයයි තිහෙන් පස්සෙ වැඩිහිටියන්ට පමණයි, ළමයි නින්දට ගියාට පස්සෙ බලන්න කියලා නාක දේවල් පෙන්නන්න හදනවා කියා කතා කරපු මෑන් කීවේය. ලොක්කා කිව්වේ අනේ කොච්චර දෙයක්ද ශිවන්‍යායි, සරණයි, සෝරත පොඩි හාමුදුරුවොයි දැකලාම එපා වෙලා කිසි ගෝ එකක් නැතිව හිටියේ කියාය. ඒ කතාවත් ඇත්ත තමයි හිතුව කිච වුණු මෑන්, ඒත් අයියේ සිංහල බෞද්ධ සංස්කෘතිය ඉවරයි කියා අපි චී නිවුස් එකෙන් අම්බානෙට ඒ සීන් එකට ගැහුවා කියා කිව්වේය. පණ්ඩිතකම් කරන්න කියලා කවුද උඹට කිව්වේ කියා දැඩි ස්වරයෙන් ඇසුව ලොක්කට, මෑන් කිව්වේ නෑ අයියේ පොඩි ළමයි ඔය වගේ නාකම නාක දේවල් බලන එක අපේ සංස්කෘතියේ සදාචාරයේ සභ්‍යත්වයේ චිරජීවනයට බාධාවක් වෙන්න පුළුවන් කියාය. ලොක්ක කිව්වේ ඕන නැති ඒවාට හොට දාන්න ආවොත් මල්වතු පාර්ශ්වයෙන් අනුදැන වදාළ විදියට නෙවෙයි මං උඹට වදාළන්නේ කියාය. නොදන්න කෙහෙල්මලක් කතා නොකර ඉඳපන් මල් වගේ පොඩි ළමයි ඔය වෙලාවට ඇහැරිලා ඉන්නේ මොන ලෝකෙද කියා අසා ළඟ තිබ්බ පුටුවක් දඩාස් ගා බිම වැටෙන්න පයින් ප්‍රහාරයක්ද එල්ල කෙරුවේය. ළඟ පාතක හිටිය නම් ඒ ෂොට් එක මට බව මතක් වී මල්වත්තේ මහත්තයාගේ යටි බඩ පිච්චී ගියේය. ඊටත් පස්සෙ කිව්වේ ඇයි සර් උසස් අධ්‍යාපනයේ නිරත වෙන ළමයි ඒ වෙලාවට නැඟිටලා පාඩම් කරනව නේ කියාය. ඉතින් ඉහළ අධ්‍යාපන ‍ෙදාරගුළු විවර කර ගැනීම සඳහා ඔළු බේසම් ඇතුළේ දාගෙන පාඩම් කරන ළමයි පාඩම් කරන්නේ නැතිව ටී.වී. එක ඉස්සරහා බතල හාරනවද යකු කියා අසා ලොක්කා තවත් පුටුවක් පෙරළුවේ හයේ හතරේ පහරක් එල්ල කරමින්ය. නුවර පන්සල් වඳින්න ගිහින් නාගත්තු මෑන් මල පිටම කිව්වේ ඔයා ඔහොම කිව්වට පාඩම් කරන වෙලාවට ටී. වී. එකේ ඔය වගේ වැඩසටහනක් ගියොත් පාඩම් කරන හැටි අපිට කියලා දෙන්න එන්න එපා කියාය.


මම ඒ ලෙවෙල් කරන දවස්වල බෙවර්ලී හීල්ස් යද්දි ටී.වී. එක ඉස්සරහාම ඇහිපිය නොගහා පාඩම් කළේ කියා කිව්වේය. උඹත් ඒ කාලේ ඒලෙවෙල්ද මාත් ඔය බෙවර්ලී හීල්ස් යද්දි ඒලෙවල් පන්තියේ හිටියේ කියා ලොක්කත් ඒ අවසරයෙන් බබා වුණේය. චීයා උඹත් ඒ වගේ කැත කතා බැලුවද? කවුද බං ඒ කාලේ ජනාධිපති මම නෙවෙයි නේද කියා ඇසුවේය. මයිත්‍රී වගේ ඒ කාලේ හිටිය නම් ඒ වගේ වටින ඩ්‍රාමාස් හුටාවේ එවුන් බලයි කියා කිව්වේය. එතකොට දැන් ජනාධිපති කවුද ලොක්කයියා නෙවෙයි නේද කියා ඇසූ විමලාට ලොක්ක කිව්වේ මටත් ඕක තමයි බං කොච්චරවත් පැටලෙන්නේ කියාය. ෆෝන් එකේ ස්ක්‍රීන් එක දෙස බැලුවේ විනාඩි පහළවෙන් පහළවට මං දැන් ජනාධිපති නෙවෙයි කියා වදින එලාම් එක ගොඩ වෙලාවකින් වැදුණේ නැත්තේ මොකෝ කියා කල්පනා කරමිනි. එතකොට මතක් වුණේ මධූසා කියන දැරිවි කිව්ව වීඩියෝ එක බලන්න බැරි වුණා නේද කියාය. අනේ මේ මයිත්‍රීටත් හොඳ නම් පුරෝහිතත් කැමැති නම් හෝම්ලෑන්ඩ් බැරි නම් ඕන අටමගලයක් පෙන්නගත්තාවේ උඹ නිකං ඇදගෙන නොනා ඉඳපන් කියමින් ලයින් එක කට් කර ටච්ස්ක්‍රීන් ෆෝන් එකෙන්ම ෆේස්බුක් එකට ලොග් වුණේය.


මධූසා පොඩි දෝණි කිව්ව වගේම ලින්ක් එක එවා තිබුණාය. ලින්ක් එක ඕපන් කළ ලොක්කගේ හොඳට තිබ්බ බඩ අවුල් ගොස් කුරු කුරු ගානවා වගේ දැනුණේය. මතු බුදු වන අප්පච්චි කියමින් තමා අමතන සිඟිති දැරිවියක් මතු බුදු වන අප්පච්චිව නැවත අපිට ගෙනත් දෙන්න කියමින් පොළොවේ හැපෙන හද කම්පිත දර්ශනය දැක එක විට ඇඬෙන්නට ගොස් ආයෙම සිනා පහළ වී එවරම ලැජ්ජා නහරයද ප්‍රකම්පිත වී ගියේය. ඇඬුණේ විමලේ වගේ මං නිසා කිච වෙන එවුන් තව ඉන්නවා කියා හිතෙද්දීය. හිනා පහළ වුණේ මෙතේ බුදුන් දැක නිවන් දකින අප්පච්චි කියා මැරෙන්න හදන වුන්ගෙන් අඩුවක් නැති නිසාය. ලැජ්ජ හිතුණේ මේ වගේ සෙට් එකකට නායකත්වය දෙන්න වුණානේ කියා හිතෙද්දීය.

සුභාෂිණී ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්