පළමු වරට සඳුගේ නොපෙනෙන පැත්ත ගවේෂණයට චීන යානයක්

  👤  1313 readers have read this article !
Published by : MB WEB 2018-12-10 13:00:19

පෘථිවිය මත සිට දැකිය නොහැකි චන්ද්‍රයාගේ අනෙක් පස මුහුණත ගවේෂණය කිරීම සඳහා පසුගිය සෙනසුරාදා ෂයිචැන්ග් චන්ද්‍රිකා මධ්‍යස්ථානයේ සිට රෝබෝ යානයක් දියත් කරන ලද බව චීන ජනමාධ්‍ය වාර්තා කළේය. දින 27ක චාරිකාවකින් පසු චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ පිහිටි වොන් කාමන් නැමති ආවාටය මතට එම යානය ගොඩ බැසීමට සැලසුම් කර තිබේ. චැංගේ 4 මෙහෙයුම ලෙස මෙම වැඩසටහන නම් කර ඇත. (චැංගේ නොහොත් චෙංජී යනු චීන සඳ දේවතාවියගේ නමයි.)

සන්නිවේදන සංඥා සම්ප්‍රේෂණයට ඇති ඉමහත් දුෂ්කරතා නිසා සඳුගේ අනෙක් පස වෙතට යානයක් යැවීමට මින් පෙර කිසිදු රටක් උත්සාහ කළේ නැත. ඒ නිසා එම සැඟවුණ පෙදෙසේ රහස් හෙළි කර, මෙතෙක් අභ්‍යවකාශ තරණයේ පුරෝගාමී කිරුළ හිමි කරගෙන සිටි ඇමෙරිකා එක්සත් ජනපදය හා රුසියාව අභිභවා විශ්ව තරණයේ ප්‍රමුඛයා වීමේ ගෞරවය දිනා ගැනීමටද චීනය බලාපොරොත්තු වේ. පෘථිවිය දෙසට කිසිදා දර්ශනය නොවන එම පෙදෙස පිළිබඳ මිනිසා දන්නා තොරතුරු අල්ප වීම නිසා මෙම චන්ද්‍ර පෘෂ්ඨය 'අඳුරු පැත්ත' ලෙසද හඳුන්වනු ලබයි. නමුත්, දශක කිහිපයකට පෙර සඳ ගමන්වල යෙදුණු යානාවන් විසින් ලබාගත් නොපැහැදිලි ඡායාරූපවලින්, එම පාර්ශ්වය අප නිතර දකින චන්ද්‍ර බිම්බයට වඩා බොහෝ වෙනස්කම් සහිත බව නම් පෙනීගොස් තිබේ.

ඒ පිළිබඳ විවිධ අද්භූත ප්‍රවාදයන්ද පවතී.

මෙයින් වසර 5කට පෙර 'යුටු' හෙවත් 'ජේඩ් හාවා'
(ජේඩ් යනු අගනා හරිත වර්ණ පාෂාණයකි) නමැති චන්ද්‍ර
ගවේෂණ යානය සඳ මතුපිටට සාර්ථක ලෙස ගොඩ බැස්වීමට චීනය සමත්වූ අතර, ලබන වසරේ චෑංගේ 5 ගවේෂණ යානය එහි යවා පස් නියැදි රැගෙන යළි පෘථිවිය වෙතට ගෙන්වාගැනීමට සැලසුම් කර ඇත. අවසාන වශයෙන් චන්ද්‍ර පාෂාණ පෘථිවිය වෙත ගෙන්වාගෙන ඇත්තේ 1976 වසරේදීය. නුදුරු අනාගතයේදී මිනිසුන් රැගත් යානාවක් සඳ වෙත යැවීමටද චීනය සලකා බලමින් සිටී.

මෙම චන්ද්‍ර පෘෂ්ඨය පෘථිවියෙන් ඉවතට හැරී තිබීම නිසා පෘථිවි අයන ගෝලය, ගුවන්විදුලි තරංග හා ධ්‍රැවාලෝක විකිරණ ඝෝෂාව
(auroral radiation noise) ආදියෙන් ඇති කෙරෙන බලපෑම්
අවම බැවින් අජටාකාශයේ රේඩියෝ තරංගවල හැසිරීම පිළිබඳ අධ්‍යයනයන් සිදු කිරීමට ද මෙය කදිම අවස්ථාවක් බව ඒ පිළිබඳ විද්වතකු වන ලියොනාඩ් ඩේවිඩ් මහතා පවසා ඇත. අභ්‍යවකාශයේදී ශාක බීජ ප්‍රරෝහණය හා පටපණු බිත්තර බීජෞෂණය පිළිබඳ පර්යේෂණ ද මෙම චාරිකාව අතරතුර සිදු කිරීමට නියමිත බව ෂිංහුවා පුවත් සේවය සඳහන් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon