එඩ්වඩ්ගෙයි චරිතාගෙයි චන්දීප පුතු දැන් නළුවෙක්

  👤  2717 readers have read this article !
Published by : MB WEB 2018-12-11 11:01:53

චන්දීප ජයකොඩි කිව්ව ගමන් ඒ කවුද කියලා කෙනෙක්ට එකපාර ඔහුව මතකයට නොඑන්න පුළුවන්. හැබැයි එඩ්වඩ් ජයකොඩිගෙත්, චරිතා ප්‍රියදර්ශනීගෙත් පුතා විදියට ඔහු බොහෝ දෙනෙක් හඳුනනවා. තාත්තයි අම්මයි වගේම චන්දීපත් මුලින්ම එකතු වුණේ සංගීත ක්‍ෂේත්‍රයට. දැන් චන්දීප තවත් භූමිකාවක් නිරූපණය කරන්න පටන් ගෙන. ඒ අලුත් තොරතුරුත් එක්ක චන්දීප හදගැස්මේ කතාබහට එකතු වුණා.

තාත්තාගෙයි අම්මාගෙයි අඩිපාරේ යමින් හිටපු චන්දීප දැන් තවත් භූමිකාවක් නියෝජනය කරන්න අරගෙන. මොකක්ද මේ නිරාශා එක්ක චන්දීපට තියෙන ගනුදෙනුව?

නිරාශා කියන්නේ 'සඳරුවන් ජයවික්‍රම අයියගේ අලුත් නාට්‍ය. ඒ නාට්‍යයට මමත් රංගනයෙන් සම්බන්ධ වෙනවා.

කොහොමද චන්දීපට නළුවෙක් වෙන්න පාර කැපුණේ?

ඇත්තටම ඒක මට අහම්බෙන් ලැබුණු අවස්ථාවක්. මම දවසක් වෙන වැඩක් ගැන කතා කරන්න සඳරුවන් ජයවික්‍රම අයියාගේ ස්ටුඩියෝ එකට ගියා. එතැනදී සඳරුවන් අයියා මට නාට්‍යයේ ට්‍රේලර් එක පෙන්නුවා. එදා සින්දු කියන, ගිටාර් ගහන, චරිතයක් තියෙනවා කරන්න පුළුවන්ද කියලා මගෙන් ඇහුවා.

චන්දීප එකපයින් ඒ ආරාධනාව භාර ගත්තාද?

සංගීතයත් එක්ක යන චරිතයක් නිසා මගේ සැබෑ ජීවිතයටත් ඒක වෙනසක් නැති නිසා මේක හොඳ වැඩක් කියලා දැනුණු නිසා මම මේ නාට්‍යයට සම්බන්ධ වෙන්න කැමැති වුණා.

චන්දීපගේ හිතෙත් නළුවෙක් වෙන ආශාව තියෙන්න ඇති?

ඉස්සර විදේශ චිත්‍රපට බලද්දී නම් නළුවෙක් වෙන්න හිතලා තිබුණා. ඒත් මම මගේ උපාධිය කරන්න ඕස්ට්‍රේලියාවට ගිහින් ලංකාවට ආවට පස්සේ මට ගොඩක් සමීප සංගීතය මගේ ගමනට තෝරා ගත්තා. ඒ අතරතුර තමයි මට මේ අවස්ථාව ලැබුණේ. මේක බලාපොරොත්තුවෙන් හිටපු අවස්ථාවක් නොවෙයි. මම ඇවිත් ඉන්න ගමනත් එක්ක මේ අවස්ථාවත් මට ලැබුණේ හොඳකට කියලා හිතෙනවා.

චන්දීප නළුවෙක් වෙනවාට අම්මායි තාත්තායි කැමැති වුණාද?

අම්මායි තාත්තායි ට්‍රේලර් එක බලලා මේක වෙනස් කතාවක් නිසා මම ඒකට සම්බන්ධ වෙනවාට අකැමැති වුණේ නැහැ. මේ කතාව හාස්‍ය, ආදරය, දුක, සතුට මේ හැමදේම සමබරව තියෙන නිර්මාණයක් නිසා වගේම මේ නිර්මාණයේ අමුතු විශේෂත්වයක් තියෙන නිසා මම ඒකේ රඟපානවට අම්මායි තාත්තායි කැමැති වුණා.

මේ නාට්‍ය චන්දීපගේ රංගන ගමනට හොඳ අඩිතාලමක් වෙයිද?

ඔව්, මට මීට කලින් රංගනයට ආරාධනා ලැබිලා තියෙනවා. හැබැයි ඒ ලැබුණු නිර්මාණවලට මම වැඩි කැමැත්තක් දැක්වුවේ නැහැ. මම රඟපාන්න එන්නේ නැහැ කියලා හිතුවේ. ඒත් මේක හොඳ ප්‍රඩක්ෂන් එකක්. මේ නාට්‍යයේ රූගත කිරීම් ලංකාවේ වගේම ඕස්ට්‍රේලියාවෙත් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් එහෙම කරන්න ලේසි නැහැ. මේක හොඳ වැඩක්.

පළමු ටෙලි නාට්‍ය රංගනය සාර්ථක කරගන්න පුළුවන් වුණා කියලා හිතනවාද?

රූගත කිරීම්වලට ගිය මුල්ම දවස්වල රඟපාන්න ටිකක් අපහසු වුණා. මොකද මම මීට කලින් කැමරාවක් ඉස්සරහා ලොකු රඟපෑමක් කරලා නැති නිසා. හිරිපොදවැස්ස චිත්‍රපටයෙත් මම පොඩි චරිතයක් තමයි මීට කලින් කරලා තිබ්බේ. මේ ටෙලි නාට්‍යයේදී සඳරුවන් අයියාට අවශ්‍ය තත්ත්වය වෙනකල් මම රඟපෑවා. දැන් මම ඒ චරිතය තේරුම් අරගෙන රඟපානවා. තව මට හදාගන්න දේවල් තියෙනවා. ඉදිරියේදී ඒ දේවල් හදාගෙන ඒ චරිතය තවත් හොඳට කරන්න පහසුවෙයි.

ඒ කියන්නේ චන්දීප නළුවෙක් විදියට ප්‍රේක්‍ෂකයෝ දිනා ගනීද?

මම සංගීතය කළත් රංගනය කළත් මට අවශ්‍ය වෙන්නේ කරන දේ උපරිමයෙන් කරන්න. රංගනය ගැන සාමාන්‍ය තරමක තෘප්තියක් තියෙනවා. ටෙලි නාට්‍යයේ කරපු කොටස් බලද්දී තව ටිකක් හොඳට කළා නම් කියලා හිතුණු අවස්ථාත් තියෙනවා. බලමු ප්‍රේක්‍ෂකයෝ මගේ රංගනය ගැන කොයි වගේ තීරණයක් ගනීද කියලා.

රංගනයට හිත ගිහින් චන්දීප සංගීතය අතහරින එකක් නැද්ද?

නැහැ, මම සංගීත කටයුතු නවත්වන්නේ නැහැ. මම දක්‍ෂ සහ මම ආශා කරන ක්‍ෂේත්‍රය තමයි සංගීත ක්‍ෂේත්‍රය. ඒ නිසා ඒක කවදාවත් අතහරින්නේ නෑ.

ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන නළුවෙක් විදියටත් පැවැත්මක් හදා ගත්තොත් නරකද?

මට මගේ නම එළියට දාන්න ඕන සංගීතය පැත්තෙන්. මම ගයන ගීතවලින් රසිකයන් පිනවන්න මට ඕන. මම රංගනය ඉගෙන ගෙන නැහැ. නමුත් මම පාසලේ ෂේක්ස්පියර් නාට්‍යවල රඟපාලා තියෙනවා. ජෙරම් ද සිල්වා මහත්තයාගේ වේදිකා නාට්‍යයකත් රඟපාලා තියෙනවා. ටෙලි නාට්‍යවලින් නම් නිරාශා තමයි මගේ පළමු වැනි නාට්‍ය. ඒක මට අලුත් අත්දැකීමක්.

ඉදිරියටත් රංගනයට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණොත් භාර ගන්නවාද?

හොඳ නිර්මාණයක අභියෝගයක් තියෙන චරිතයක් ලැබුණොත් කරලා බලන්න කැමැතියි. හැබැයි ලැබෙන ලැබෙන හැමදේම කරන එකක් නැහැ.

දැන් දිගටම ලංකාවේ රැඳෙයිද?

මම ඕස්ට්‍රේලියාවට ගිහින් අවුරුදු පහක් මූල්‍ය කළමනාකරණ උපාධියක් කරලා ලංකාවට ආවේ. දැන් උපාධිය සම්පූර්ණයි. ඉදිරියට සංගීත කටයුතු සහ රංගන කටයුතු එක්ක ඉන්න තමයි බලාපොරොත්තුව.

අලුත් ගීතයක් කරන්නේ කවද්ද?

මගේ දෙවැනි ඔරිජිනල් ගීතය 'වසන්තයේ' නමින් එළිදක්වන්න සූදානමින් ඒ වැඩකටයුතු කරගෙන යනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

ඡායාරූප - සස්සඳ ලියනාරච්චි

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon