ජනපති ඝාතන කුමන්ත්‍රණයේ සැකකරුවන් වන හිටපු නි. පොලිස්පති හා ඉන්දීය ජාතිකයා 11දා දක්වා රිමාන්ඩ් භාරයේ

  👤  1118 readers have read this article !
Published by : MB WEB 2018-12-06 16:04:10

අමිල අබේරත්න

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීම සඳහා වූ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ ඉන්දියානු ජාතික මර්සලි තෝමස් නැමැත්තා මේ මස 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (5දා) නියෝග කළේය.

සිද්ධියට අදාළව විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දන්වා සිටිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි සහකාර පොලිස් අධිකාරි අයි. නුගේ ලොකුහෙට්ටි මහතා ඊයේ අධිකරණය හමුවේ ප්‍රකාශකර සිටියේ මර්සලි තෝමස් නැමැත්තා මෙරට ප්‍රදේශ ගණනාවක සංචාරය කර ඇති බවත් දේශපාලනඥයන් ඇතුළු මෙරට පුද්ගලයන් රාශියක් ආශ්‍රය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන බවද සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශකර සිටියේය.

ඒ සම්බන්ධව පැමිණිලි පාර්ශ්වය වන නාමල් කුමාර මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ පොලිස්පතිවරයා ඝාතන කුමන්ත්‍රණය පිළිබඳව තොරතුරු දැනගෙන සිටියද ඔහු ඒ පිළිබඳව දැගෙන සිටියත් ඔහු කිසිදු ක්‍රියාමාර්ගයක් ඒ සම්බන්ධයෙන් ගෙන නොමැති බවය. ඔහු ඒ පිළිබඳව විමර්ශනය සිදුනොකර මඟහැර සිටි බවට පැහැදිලි කරුණු තිබෙන බවද නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ක්‍රියාමාර්ගයක් නොකර පොලිස් ආඥා පනත යටතේ පොලිස් නිලධාරියකුට පැවරී ඇති බලතල පොලිස්පතිවරයා උල්ලංඝනය කර ඇති බවය.

ඒ අනුව පොලිස්පතිවරයා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති උල්ලංඝනය කර ඇති බවද නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා කරුණු දක්වමින් අධිකරණය හමුවේ ප්‍රකාශ කරමින් ඒවා බරපතළ චෝදනා වන බවද දන්වා සිටියේය.
පොලිස්පතිවරයා එලෙස නීතියට පටහැනිව ක්‍රියාකරනවා නම් ඔහුට එරෙහිව නියෝග නිකුත් කරන ලෙසද නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

පොලිස්පතිවරයා මධ්‍යම පොලිස් අවි ගබඩාවේ අවි කිහිපයක් පිටතට නිකුත් කිරීම සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් කිහිපදෙනකුට විශේෂ කාර්ය බළකායේ අවි පුහුණුව ලබාදීමට අනුමැතිය ලබාදී ඇති බවද, පොලිස්පතිවරයාගේ එම ක්‍රියාකලාපයම කුමන්ත්‍රණයට අදාළව සැකසහිත කාරණා බවද නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. නාලක ද සිල්වා යන අය වෙනුවෙන් පෙනී සිටි විත්තියේ නීතිඥයන් අධිකරණය හමුවේ ඇප ඉල්ලීමක් සිදුකර තිබෙන අතර ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය මේ මස 11 වෙනිදා නිකුත් කිරීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon