තිඹිරිත්තාවල ගව ඝාතකාගාරයෙන් ප්‍රදේශවාසීන්ට හිරිහැර

  👤  1583 readers have read this article !
Published by : MB WEB 2018-12-05 10:03:05

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිඹිරිත්තාවල ප්‍රදේශයේ පවත්වා ගෙන යන ගව ඝාතකාගාරයෙන් බැහැර කරන මරා දැමූ ගවයන්ගේ අවයව කොටස් පරිසරයට හානියක් වන අයුරින් මුදාහරිනු ලැබුවත් හොරොව්පොතාන ප්‍රාදේශීය සභාව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය අංශ හෝ හොරොව්පොතාන පොලිසියේ පරිසර අංශය කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන ගව ඝාතකාගාරයට අවැසි අන්දමින් කටයුතු කරන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

දිනපතා ගවයන් ඝාතනය කරන ස්ථානයෙන් මරාදමන ගවයන් 30 - 35 අතර ප්‍රමාණයක අවයව කොටස් ගව ඝාතකාගාරය ආසන්නයේ පිහිටි රක්‍ෂිත කැලෑවට විසි කර දමන බවත් බල්ලන් කපුටන් හා වෙනත් පක්‍ෂීන් සත්ත්ව අවයව කොටස් මිනිසුන් පදිංචි ප්‍රදේශවලට රැගෙන ඒමෙන් දැඩි අප්‍රසන්නතාවක් හා ලෙඩ රෝග ඇතිවීමේ අවදානමක් තිබේ.

දිගින් දිගටම එම ස්ථානයෙන් පරිසරයට දැඩි හානි වන අයුරින් කටයුතු කෙරුණත් නීතිය ක්‍රියාත්මක කරන කිසිදු ආයතනයක් ඊට එරෙහිව කටයුතු නොකරන බවත් ඊට හේතුව මුදල් බව ඔවුන් අනාවරණය කළහ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තිඹිරිත්තාවල ගම්මානයේ පදිංචිකරුවන් පිරිසක්.

දිනපතා මේ ස්ථානයේ ගවයන් 35 - 40ක් පමණ ඝාතනය කරලා ඒ මස් කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කරනවා. අපි දකින හැටියට මෙතන ගව ඝාතකාගාර නීතිය පවා සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙනවා. වයස අවුරුදු 12ට අඩු මීගවයන් මරනවා. කෘෂි කර්මාන්තය සඳහා හොඳට වැඩ ගන්න පුළුවන් මී ගවයන් මරනවා. ගැබ්බර එළවැස්සියන් මරනවා.

ලෙඩින් ඉන්න ගවයන් ඝාතනය කරනවා. ඒ විතරක් නොවේ ගව ඝාතකාගාර පනතට අනුව තව සතෙක් මරනවා අනෙක් සතා දකින්න බෑ. නමුත් එකවර සත්තු හතර පස්දෙනා එකට තියලා බෙල්ල කපනවා.

බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් පවත්වන ගව ඝාතකාගාරයට හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ නියෝග මත සේවයට පැමිණෙන උප පොලිස් පරීක්‍ෂකවරයකු හා පොලිස් කොස්තාපල්වරයකු සියලුම නීති විරෝධී කටයුතුවලට උදවු උපකාර කරනවා. ඊට අවශ්‍ය සාක්‍ෂි සියල්ලම තියෙනවා. ඔවුන්ට යහමින් මුදල් ලැබෙන නිසා නිහඬව ඉන්නවා. සෞඛ්‍ය අංශවල නිලධාරිනුත් ඒ ආකාරයටම වැඩ කරනවා. නැත්නම් කොහොමද ලෙඩ සත්තු ගැබ්බර එළදෙනුන් වයස සම්පූර්ණ නැති සත්තු මරා දමන්නේ.

මරාදමන සතුන්ගේ අං, අත්, පාද, හම, බඩවැල්, කුර, කලල, හිස්, ඇටකටු සියල්ලම විසි කරන්නේ අසල වූ රක්‍ෂිත කැලෑවට. මුළු කැලෑවම අපවිත්‍ර වෙලා. ඒ විතරක් නෙවෙයි සත්තු ඇදගෙන එන අපද්‍රව්‍ය කිලෝමීටර් ගණනාවක් දුර පිහිටි ගම්මානවල. කපුටන් වැනි පක්ෂීන් රැගෙන යන අපද්‍රව්‍ය නිවෙස්වල තිබෙන ළිං තුළට වැටෙනවා. වැව්වලට වැටෙනවා. ජලය අපවිත්‍ර වෙනවා.

නිලධාරීන් හැමදාම එතැනට ඇවිල්ලා සල්ලි ටිකක් සාක්කුවේ දාගෙන යනවා. හොරොව්පොතාන පොලිසියේ නිලධාරීන් ඉන්නකොටම නීති විරෝධී වැඩ වෙනවා. හොර හරක් කපනවා. ලෙඩ හරක්, ගැබ්බර දෙනුන් මරනවා. ඔවුන් බලාගෙන ඉඳලා සල්ලි ටිකක් සාක්කුවේදාගෙන යනවා. මේවා කාටද කියන්නේ කියලා හිතාගන්න බෑ. කැලෑවකට යන්න බෑ දුර්ගන්ධය කිලෝමීටර් පහක් හයක් දුරට හමනවා. මේ ස්ථානයේ මරණ සතුන්ගේ රුධිරය පවා බැහැර කෙරෙන්නේ අවිධිමත්ව. මේ ස්ථාන වටලන්න වෙනත් පොලිස් කණ්ඩායම් ආවහම හොරොව්පොතාන පොලිසියේ නිලධාරීන් විවිධ පුද්ගලයන්ව කුපිත කරලා ඔවුන්ගේ රාජකාරියට බාධා කරනවා යනුවෙන් ඔවුන් පැවැසූහ.

හොරොව්පොතාන පොලිසිය හා පොලිස් පරිසර අංශය ක්‍රියාත්මක නොවෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න සම්බන්ධයෙන් විමසීමට ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක පී.පී.එස්.ආර්. සංජීව මහතා දුරකථනය මඟින් සම්බන්ධ කර ගැනීමට 04දා උත්සාහ කළත් ඒ මහතා පොලිස් ස්ථානයෙන් බැහැරව ඇති බව එහි නිලධාරියකු පැවැසුවේය. සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට හොරොව්පොතාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරියකු දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එම උත්සාහය අසාර්ථක විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon