සෙනාලි අශාන්ගෙයි හේමාල්ගෙයි ආදරයට මැදි වෙලා

  👤  2406 readers have read this article !
Published by : MB WEB 2018-12-06 06:28:12

සෙනාලි "විජයබා කොල්ලයට" ලෑස්ති වෙනවාලු නේද?

ඔව්. ඒ තමයි මම සම්බන්ධ වෙන අලුත්ම චිත්‍රපටය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කරන විජයබා කොල්ලය චිත්‍රපටයේ "නීලමනිගේ" චරිතය තමයි මට නිරූපණය කරන්න තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය පුහුණුවීම් මේ දවල්වල කරගෙන යනවා.

සිනමාවේ ආදරවන්තිය විදියට සෙනාලිගේ පළමු පටන් ගැන්ම මේ නිර්මාණය වෙයි නේද?

මම සිනමාවට ආවේ සිරිපැරකුම් චිත්‍රපටයෙන්. ඒ සිරිමල් එතනාගේ චරිතයෙන්. සිරිමල් එතනගේ චරිතයත් එක්ක බලද්දි විජයබා කොල්ලයේ නීලමනීගෙ චරිතය කියන්නේ හාත්පසින්ම වෙනස් චරිතයක්. ඇය යෞවනයේ ඉන්න දඟකාර චරිතයක්. මම මේ වෙනකල් පුංචි තිරයේ හෝ සිනමාවේ ආදරවන්තියගේ චරිතය රඟපාලා නැහැ. මේ චරිතය මාව ඒ වෙනසට ගේනවා. ඒක ලොකු වෙනසක්. ළමා චරිත කරලා කරලා මට ආදරවන්තියක් වෙන්න ලැබුණු පළමු අවස්ථාව මේක.

මේ ආදර කතාවේ අශාන් සහ හේමාල් අතරට
නේද සෙනාලි මැදිවෙලා ඉන්නේ..?

අශාන් ඩයස් සහ හේමාල් රණසිංහ කියන්නේ දක්ෂ දෙන්නෙක්. අශාන් අයියා එක්ක නම් මම මීට කලින් රඟපාලා තියෙනවා. හේමාල් එක්ක රඟපාන්නේ පළවෙනි වතාවට. එයාලා එක්ක තමයි මම මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නේ. එයාලගේ සහයත් එක්ක මේ ආදර කතාවට සාධාරණයක් කරන්න මට පුළුවන් වෙයි.

විජයබා කොල්ලයට ආදරය කළ පිරිසක්
ඉන්නවා. එය සිනමා නිර්මාණයකට ගෙනෙද්දි
නීලමනිගේ චරිතයට සෙනාලිට කොයි වගේ
සාධාරණයක් කරන්න පුළුවන් වෙයිද?

විජයබා කොල්ලය කියන්නේ මීට අවුරුදු ගාණනාවකට කලින් ලියවුණු කතාවක්. ඒ කතාව චිත්‍රපටයකට ගේනවා කියලා දැනගත්තම ලැබුණු ප්‍රතිචාරවලින් තේරෙනවා මිනිස්සු ඒ ආදර කතාවට කොච්චර ආදරය කළාද කියලා. හැමෝම දන්න, හැමෝගෙම හිතේ ඇඳුණු චරිතයක් කරද්දි හිතන්න ඕන දේවල් තියෙනවා. මම ඒ නවකතාවත් කියෙව්වා. මිනිස්සු ආදරය කරපු ආදර කතාවට සාධාරණයක් කරන්න මම උපරිම උත්සාහ කරනවා.

අශ්ව පැදවීම් වලටත් සෙනාලි දැන් හරි
හපනියක්ලු නේද?

මම සිරිපැරකුම් චිත්‍රපටයටත් අශ්වයෝ පදින්න පුහුණු වුණා. හැබැයි චිත්‍රපටයේ රූගත කිරීම්වලට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න වුණේ නැහැ. මේ දවස්වල විජයබා කොල්ලය චිත්‍රපටය වෙනුවෙනුත් අශ්වයෝ පදින්න පුරුදු වෙනවා. ඒක හරිම අපූරු අත්දැකීමක්.

සෙනාලිට සිනමාවේ ලැබෙන තැන ගැන
සතුටුද?

ඔව්. මම සිනමාවේ ඉහළ තැනක ඉන්න අය එක්ක වැඩ කළා. මම ක්ෂේත්‍රයට එන්නේ සෝමරත්න දිසානායක මහත්මයාගේ සිරිපැරකුම් චිත්‍රපටයෙන්. ජැක්සන් ඇන්තනි මහත්මයාගේ "එකගෙයි" කියන චිත්‍රපටයෙත් මම වැඩ කළා. ක්‍රිෂ්ටි ෂෙල්ටන් මහත්මයාගේ "පාදයාත්‍රා" නිර්මාණයටත් සම්බන්ධ වුණා. දැන් සුනිල් සර් එක්ක වැඩ කරනවා. මම හැම තිස්සෙම උත්සාහ කළේ කළ චරිතයකට වඩා වෙනස් දෙයක් කරන්න. මම හිමින් හිමින් ඒ ගමන ඇවිත් තියෙනවා.

මේ දවස්වල සෙනාලි පුංචි තිරයෙනුත්
මුණගැහෙනවා?

ඔව්. ඒ "දූවිලි අහස" ටෙලි නාට්‍යයෙන්. අකිල ධනුද්දර එක්ක අවුරුදු හතරකට පහකට පස්සේ එකට රඟපාන්න ලැබුණා. එය අධ්‍යක්ෂණය කරන්නේ සිවගුරුනාදන් මහත්මයා.

පුංචි තිරයේ පේන්න ගත්තම
සෙනාලිට සිනමාවේ අගය අඩුවෙයිද?

මම එක දෙයකට කොටුවෙලා ඉන්න කැමැති නැහැ. මම කැමැතියි වෙනස් වෙනස් චරිත කරන්න. හාරකෝටිය වගේ නාට්‍යයක චරිතයක් මම කරයි කියලා කවුරුත් හිතුවේ නැහැ. මම තෝරාගෙන නිර්මාණ කරන්නේ. ඒ තෝරාගැනීම නිසා සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙන්න මට බලපෑමක් වෙලා නැහැ. මම පුංචි තිරයට ආවට සිනමාව අතහරින්නේ නැහැ.

පුංචි තිරයේ අලුත් වැඩවලට ආරාධනා
ලැබුණේ නැද්ද?

ළඟදිත් පුංචි තිරයේ වැඩ කිහිපයකටම ආරාධනා ලැබුණා. මට වෙනස් වෙනස් චරිත කරන්න ආස නිසා ඒ ලැබුණු සමහර ආරාධනා මට අතහරින්න වුණා. මම දැන් වැඩිපුර කාලයක් සිනමාවට දෙන්න හිතුවා.


දැන් සෙනාලි දිගටම ලංකාවේ රැඳෙයිද?

මම ආසයි දිගටම ලංකාවේ ඉන්න. ඒත් අම්මි ආසයි රට යන්න. ඒ නිසා ලංකාවෙයි එංගලන්තයෙයි මම මාරුවෙන් මාරුවට රැඳිලා ඉදියි. මම ජීව විද්‍යා අංශයෙන් විද්‍යාඥවරියක් ලෙස තමයි උපාධිය සම්පූර්ණ කළේ. ඒ ඉගෙන ගත්ත දෙයින් ලංකාවට සේවයක් කරන්න මම ආසයි. ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණොත් දිගටම ලංකාවේ රැඳෙයි.

ලොකු නැන්දා (මාලනී ෆොන්සේකා)
වගේ සෙනාලි රංගනය වෘත්තිය කරගන්න
කැමැති නැද්ද?

දැනට මගේ වෘත්තිය රංගනය. මම ඒක කියන්නේ සන්තෝෂයෙන්. මට ලොකු නැන්දා වගේ දීර්ඝ කාලයක් රංගනයේ ඉන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. ඇයගේ දක්ෂතාව සහ ඇගේ කැප කිරීම නිසා තමයි ඇය නිළි රැජිනක් වුණේ. මට ඒ කැප කිරීම් කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. මුළු ජීවිත කාලයම රංගනය කරන්න බෑ. යම්කිසි කාලයක් ආවම හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ ඇත්ත තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන. මම රංගනයට ආසයි. මම ගරුත්වයකින් එය කරන්නේ.

සෙනාලිගේ
සැබෑ ජීවිතයට
දැන් ආදරවන්තයෙක්
එකතු වෙලා ඇති
නේද..?

තාම නැහැ. අම්මයි, තාත්තයි එක්ක මම හරිම සතුටින් ඉන්නවා. මේ දවස්වල තාත්තත් ලංකාවට ඇවිත් ඉන්නේ. ඉතිං අපි තුන්දෙනා ලංකාව වටේ යනවා. මට කිසිම තනිකමක් පාළුවක් දැනෙන්නේ නෑ. මොකද මගේ අම්මයි තාත්තයි මට යාළුවෝ වගේ ඉන්න නිසා. ලැබෙන කෙනා හරි කාලේ හොඳ විදියට ලැබෙයි. හදිසියක් නෑ.

තිළිණි කෞශල්‍යා
විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon