අනුරාධපුර පැරැණි නගරයට පිටුපසින් නුවර වැවේ ජල කාන්දුවක්

  👤  1537 readers have read this article !
Published by : MB WEB 2018-11-21 07:11:13

අනුරාධපුරය - මහේෂ් විජේසූරිය

අනුරාධපුර පැරැණි නගරය පිටුපසින් පිහිටා ඇති නුවර වැව ජලාශයේ පොම්පාගාරය සිට අඩි 20ක් පමණ දුරින් පිහිටි වැව් බැම්මේ කොටසකින් වසර ගණනාවක සිට විශාල ජල කාන්දුවක් පවතින බවට වාරි බලධාරීන්ට අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන්නත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකරන බවත් මේ වන විට උල්පතකින් ජලය ගලාගෙන යන අයුරින් විශාල ජල කාන්දුවක් පවතින බව වැව ආසන්නයේ පදිංචිකරුවන් පිරිසක් 20දා උදෑසන පෙන්වා දුන්හ.

වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති අනුරාධපුර පැරැණි නගරයට පිටුපසින් පිහිටි නුවර වැව වලගම්බා රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරවූ බව සඳහන් වේ. වැවේ මුළු ජල ධාරිතාව අක්කර අඩි තිස් හයදහස් හතළිස් නවයකි. අඩි 22කට වඩා ජලයෙන් පිරී පවතින වැවෙහි ජලය අනුරාධපුර මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ ගණනාවකටම පානීය ජල අවශ්‍යතා හා සෙසු අවශ්‍යතා සඳහා බෙදා හරිනු ලබයි.

වසර කිහිපයකට පමණ ඉහතදී වැවේ බැම්ම ප්‍රතිසංස්කරණය කරනු ලැබූවත් වැව් බැම්මෙන් දරුණු ජල කාන්දුවක් පවතින බවට වාරි බලධාරීන්ට එම අවධියේ සිටම නගරවාසීන් දැන්වූවත් කිසිදු වාරි බලධාරියකු ඒ පිළිබඳ අවධානය යොමු නොකළ බව අනුරාධපුර, වලව්වත්ත නගරවාසීහු පෙන්වා දුන්හ. වසර ගණනාවක් තිස්සේ ජලය කාන්දුවීම නිසා බැම්ම පහළ කොටස මඩ වගුරක ස්වාභාවයක් ගනී. ජල කාන්දුව ඉතා වේගවත් බව වලව්වත්ත කොටසේ පදිංචි ජනතාව පෙන්වා දුන්හ. විනාඩි පහකට වතුර ලීටර් හතරකට අධික ප්‍රමාණයක් වේගයෙන් ගලායන අයුරු නිරීක්‍ෂණය කිරීමට හැකිවූ අතර වැවට පහළින් පිහිටි ප්‍රදේශයේ එම ජලය රැස්වී දිය කඩිත්තක් නිර්මාණය වී තිබෙන අයුරු දැකගත හැකිවිය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වලව්වත්ත කොටසේ පදිංචිකරුවන් පිරිසක්. වසර ගණනාවක ඉඳන් මේ ජල කාන්දුව තියෙනවා. අපි වාරි බලධාරීන්ට දැන්වූවා. ඔවුන් කියනවා මොනවත් වෙන්නෑ.

මේ වන විට ජල කාන්දුව වේගවත් වෙලා තියෙන්නේ. වැවේ ජලය පිරිලා තියෙන නිසා. කාට කියන්නද බැම්ම කැඩුණොත් මුළු නගරයම විනාශයි. මේවා පත්තරවල ගියාම කියයි පත්තරකාරයෝ පත්තර විකුණ ගන්න ප්‍රවෘත්ති මවනවා කියලා. අපි තමයි දකින්නේ මෙතැනින් පිටවෙන වතුර ප්‍රමාණය කොච්චරද කියලා. වාරි නිලධාරීන්ට කියලා ඒ මිනිස්සු මේක ගණන් ගන්නැති නිසා බයටයි අපි මේවා පත්තරයට කියන්නේ. මිනිස්සු කොච්චර වැව පල්ලෙහායින් ඉන්නවාද?

නව නගරයේ පිහිටි කුම්බිච්චන්කුලම වැවේ බැම්ම පුපුරලා අවදානමේ කියලා මීට වසර කිහිපයකට ඉහතදී පත්තර කිහිපයකින් පෙන්නලා දුන්නා. නමුත් බලධාරියෝ බැම්ම කැඩෙන්න ඔන්න මෙන්න තියෙනකම් කිසිම දෙයක් කළේ නෑ. යුද්ධ හමුදාවට පින් සිද්ධ වෙන්න අනුරාධපුර නව නගරය බේරා ගත්තා. එහෙම දෙයක් වුණොත් ඒ ස්ථානයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍රවත් ගන්න බෑ. වතුර ගලලා ගලලා දැන් ඒ පැත්ත මඩ ගොහොරුවක් වෙලා තියෙන්නේ. වතුර ගිහිල්ලා ගිහිල්ලා බැම්ම කොච්චර බොල් වෙලා ඇත්ද? මේ ගැන අවධානයක් යොමු නොකළොත් තව අවුරුදු කිහිපයකින් මහා විනාශයක් වෙනවා. මහමෙවුනාව, රජයේ පාසල්, රජයේ කාර්යාල වෙළෙඳ සංකීර්ණ සියල්ල සුනාමි ආවා වගේ ජලයෙන් යටවෙලා යයි. අවදානමට පෙර සූදානම් වෙන්න කියලා කියමනක් තියෙනවා.

මේ පිළිබඳව අවධානය වහාම යොමු කරන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලනවා යනුවෙන් පැවැසූහ. ඊට අමතරව මීට වසර කිහිපයකට ඉහතදී වැවේ බැම්මට කළුගල් ඇතිරීම කෙරුණු අතර ඒ සඳහා යන්ත්‍ර සූත්‍ර වැවට ඇතුළු කළ ස්ථානයට තවමත් ගල් තට්ටුවක් දමා නැත. එම කොටසට ජලය කාන්දු නොවන රෙද්දක් පමණක් එළා ඇති බව තතු දත් නගර වැසියෙක් පෙන්වා දුන්නේය.

එම ස්ථානයෙන් බැම්මට තදබල හානි විය හැකි බවට ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම බැම්ම පරීක්‍ෂා කිරීමට බව පවසමින් බැම්මට හානි කරමින් ඉදිකළ පඩි පේළිය ඇති ස්ථානයත් අනතුරුදායක ස්ථානයක් බව ඔහු පෙන්වා දුන්නේය. දැනට ඇතිව තිබෙන ජල කාන්දුව නතර කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට අදාළ අංශයන්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බව නගර වැසියෝ පැවැසූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon