මැහිඇල්ලෑව ගමේ මිනිසුන්ට අලි කරදර

  👤  827 readers have read this article !
Published by : MB WEB 2018-11-20 06:11:08

රාජාංගණය - කේ.එම්. චන්දික

තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මැහිඇල්ලෑව ගම්මානයේ වැසියෝ දිවා - රාත්‍රි අනේකවිධ දුක් කන්දරාවක් විඳිති. ඒ තම අඹු-දරුවන් පෝෂණය කිරීමට උරදෙන තම වගාව වල් අලියාගෙන් ආරක්ෂා කර ගැනීමටය. එක් දිනක් හෝ ගමේ මළගෙදරක, මඟුල් ගෙදරක රාත්‍රිය ගත කිරීමට වුවහොත් මාස ගණනාවක් පුරා රැකගත් ගොවි බිම වල් අලියාට පූජා කිරීමට සිදුවේ.

මිනිසකුට ලෙඩක් දුකක් වන අවස්ථාවක් ගැන කිව නොහැකිය. එවන් විටෙක මහ රෑ වුවද රෝගියා රෝහල් ගත කළ යුතුය.

නගරයේ රැකියාවලට යන පිරිස නැවත නිවෙසට ආ යුතුය. පාසල් දරුවන් අමතර පන්තිවලට යා යුතුය. මිනිසුන් තම අවශ්‍යතා සඳහා කඩපිළට යා යුතුය.

මෙම කොට්ඨාසයේ මිනිසුන්ටද මෙකී කාර්යයන් සියල්ල පොදුය. මෙම ගම්වාසීන්ට මෙම කාර්යයන් කිරීම සඳහා මරණ වරෙන්තුව ලියා එම ගමන් යා යුතුය. උදෑසන 7 පමණ වන තුරු ගම්මානයේ සැරිසරන වල් අලි රංචුව යාන්තමින් අඳුර වැටෙන විට ගම්වදී. දිවා කාලයේ දහදිය වගුරවමින් කුඹුරේ, හේනේ වැඩකළ ගැමියාට, රැකියාවට ගොස් නිවෙසට ආ සේවකයාට අමතර පන්ති ගිය දරුවාට තම ගමේ වැවට ගොස් දිය පොදක් ඇඟ ගල්වා ගැනීමට නොහැකිය. ඒ අලි කරදරය උඩුදුවා ඇති නිසාය.

වර්ෂ ගනණාවක් පුරා මේ අයුරින් වල් අලි කරදරයෙන් පීඩා විඳින මිනිසුන්ගේ දුක කියන්නට දේශපාලන අධිකාරියේ පහළම සාමාජිකයාගේ සිට ඉහළම පුරවැසියා දක්වාත්, වගකිව යුතු නිලධාරියාගේ සිට ඉහළම නිලධාරියා දක්වා ආයාචනා කළද පලක් නොවන්නේ බොහෝ පිරිසක් ශීතල කාමරයකට වී කල් වැරීම නිසාය.

අසරණ ගැමියාගේ දුක හඳුනාගන්නට එක් රැයක් පහන් කිරීමට මෙම වැසියන්ගේ අට්ටාලයකට ගොඩ නොවන නිසාය.

ඒ. වීරවතී මහත්මිය අප හා පැවැසූ වදන් පෙළයි.

අපිට තියෙන ලොකුම ප්‍රශ්නය වල් අලි තර්ජනය. උදේ 7 විතර වෙනකල් අපිට එළියට බහින්න බැහැ. සවස කළුවර වැටෙන්න පටන් ගන්නකොටම අලි එනවා. මම කෙසෙල් අක්කර තුනක් දැම්මා, ගස්ලබු හිටෙව්වා, වත්තේ පොල් පැළ හිටෙව්වා.

කුඹුරේ බෝංචි හිටෙව්වා. අපි කොහොම හරි බලන්නේ අපේ දරුවන්ට උගන්වන්න. අලි රෑන එක දවසක් ඇවිල්ලා මගේ කෙසෙල් වගාව සම්පූර්ණයෙන් විනාශ කළා. එතැන කෙසෙල් කැන් 200ක් විතර බිමට දාලා තිබුණා. අපි මේවාට වියදම් කරන්නේ අපේ කනකර බඩු උකස් කරලා බැංකුවෙන් කීයක් හරි අරගෙන. අන්තිමට බැංකුවලට වාරිකයයි පොලියයි දාගන්න බැරිව ඒවා බැංකුවටම සින්න වෙනවා. අපි ගැන කවුරුවත් දන්නෙත් නැහැ. දැනගත්තත් ඒ ගැන හොයන්නෙත් නැහැ.

කේ. බන්දුල ප්‍රේමසිරි මහතාද අප හා එක් විය -

අපි කුඹුරු ටිකයි වෙනත් වගාවනුයි ආරක්ෂා කර ගන්න පැල් උඩ ඉඳලා අලි එනකොට අලි වෙඩි දානවා, රතිඤ්ඤා දානවා, කෑ ගහලා එළවනවා.

උන් යන්නේ නැහැ. ඒවට පුරුදු වෙලා ඉන්නේ. ඉස්සර උන් අපිට බයේ දිව්වට දැන් අපි උන්ට බයේ දුවන්න ඕනි.

දවසක් දවල් මහන්සියට මට නින්ද ගියා. ඇහැරෙනකොට වෙන්න ඕනි ඔක්කොම වෙලා ඉවරයි. සෝයා බෝංචි ටිකයි, අවුරුදු 12ක් රැක ගත්ත පොල් ගස් 55කුත් සම්පූර්ණයෙන් විනාශ කරලා. මේ ප්‍රශ්නය විසඳලා දෙන්න කියලා මිනිස්සු අනුරාධපුර කච්චේරියට ගියා. මහ පාරේ උද්ඝෝෂණය කළා ස්ථිර විසඳුමක් දෙන්න කියලා. දෙන විස¼ඳුමක් නැහැ.

ඒ සරත් විජේවීර මහතා ද අප හා එක්වෙමින් මෙසේ පැවැසීය.

අලි වැටක් හරියට කරන්න ඕනෑ. භාගෙට ඒක ගහලා වැඩකුත් නැහැ. අපි අලි වෙඩි ගන්න නඹට වැවට යන්න ඕනි. ගියාම දෙන්නේ දෙකයි.
ඒක ගේන්න ගියාම දවසම ඉවරයි. අපේ දරුවන්ට උසස් පෙළට පන්ති යන්න විදියක් නැහැ. මොකද පන්ති ඉවර වෙලා එන්නේ රෑ වෙලා. එතකොට අලි මේ ගමේ ළමයි දැන් උසස් පෙළට පන්ති යන්නේ නැහැ. දැන් අලි 2ක් ඉන්නවා.

අපෙන් වගා හානියක් වුණාම වන්දි ගෙවනවා කියලා අක්කරයකට රුපියල් 630ක් ගන්නවා. ඒත් අලියාගෙන් වගාවට හානියක් වුණාම වන්දි ගෙවන්නේ නැහැ. වල් අලින්ගෙන් හැර අපිට වෙන කරදර නැහැ.
තලාව අඩවිවන ආරක්ෂක ආර්.බී. අබේසේකර මහතා පවසන්නේ මෙවැන්නකි.

අලියා යන්නේ ස්වාභාවික මාර්ගය දිගේ.

මොන අලි වැට ගැහුව්වත් ඒක වළක්වන්න බැහැ. සම්පූර්ණ වැරැද්ද අපේ මිනිසුන්ගේ අතේ. අලියාගේ ස්වාභාවික චර්යාවට හානි කරනවා.

අනෙක තණ්හාව, ඊර්ෂ්‍යාවට ඉහ වහා ගිහිල්ලා ඉඩම් අල්ලනවා ඉවරයක් නැහැ. අලින්ගේ භූමිය අපි අල්ලාගෙන ඉන්නේ.

ඔය ගමේ දැනට ඉන්නේ අලි දෙන්නයි. අලි විශාල ගාණක් ඉන්නවා කියන්නේ සම්පූර්ණ බොරුවක්. සමහරු අලි වෙඩි දුන්නාම ඒවා විකුණලා කසිප්පු බොනවා. අලි වෙඩිල්ලක් රුපියල් 280යි. හිතන්න එක්කෙනකුට දෙකක් දුන්නාම රුපියල් 560යි. මේක සමහරු විකුණන්නේ රුපියල් 500ට.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon