ප්‍රසංග වේදිකාවට එන අලුත්ම අත්දැකීම තාත්තයි පුතයි

  👤  1342 readers have read this article !
Published by : MB WEB 2018-11-20 06:28:20

මගේ කලාව

ගෙනියන්න
පුතා දැන්
සූදානම්

දැවැන්ත වැඩකට නේද තාත්තයි පුතයි ලෑස්ති වෙන්නේ?

ඔව්. මගෙයි පුතාගෙයි ප්‍රසංගය දැවැන්ත ප්‍රසංගයක් වෙයි. මට සාමාන්‍යයෙන් ඕන දෙයක් හරියටම කරන්න ඕන. මගේ පුතා ගයාන් අද හරියට ඉන්නෙත් ඒ නිසා. මම කිසිම දෙයක අඩුපාඩුවක් ඇති වෙන්න දෙන්නේ නැහැ. මම සංගීත ක්ෂේත්‍රයේ වසර හතළිහක් ඉඳලා තියෙනවා. මේ ගෙවෙන්නේ මගේ ජීවිතේ සැ¼දෑ සමය. මම නැති වුණු කාලයක මගේ නම, හඬ, මගේ කලාව ගෙනියන්න මගේ පුතාව දැන් මම සූදානම් කරලා තියෙනවා.

\'තාත්තයි පුතයි\' කියලා ප්‍රසංගයට නම යෝජනා කළේ කවුද?

ඒ නම යෝජනා කළේ මම. පිය පුතු නමින් ප්‍රසංග තිබ්බා. නමුත් තාත්තයි පුතයි කියන වචන පෙළට රසික ප්‍රජාව ආදරෙයි. මොකද ඒක ව්‍යවහාරයෙන්ම විඳින වචන නිසා. තාත්තත් ජීවතුන් අතර සිටියදී තාත්තයි පුතයි එකතු වෙලා හරි හරියට ගී ගයන මෙවැනි ප්‍රසංගයක් ගැන මම අහලා නැහැ. දෙසැම්බර් 09 වැනිදා මමයි පුතයි ගී ගයලා ප්‍රේක්ෂකයන්ට සුන්දර සිහිවටනයක් වෙනවා.

මේ ප්‍රසංගයේදී ඔබේ ජනප්‍රිය ගීත විතරමද ප්‍රේක්ෂකයන් අතරට ගේන්නේ?

මම චිත්‍රපට ගණනාවකට ගීත ගායනා කරලා තියෙනවා. සනත් ගුණතිලක, ජීවන් කුමාරතුංග, ලකී ඩයස්, රන්ජන් රාමනායක වගේම වත්මන් පරපුරේ රොෂාන්, අර්ජුන වගේ බොහෝ දෙනකුට මම ගීත ගායනා කරලා තියෙනවා. ඒ අතරින් මගේ ජනප්‍රිය ගීත වගේම රසිකයන් අතරට නොගිය ලස්සන ගීත රාශියක් ප්‍රසංගයේදී ගායනා කරනවා. අජන්තා රණසිංහ රචනා කළ \'ආකාස ගංගා නීල\' කියන ගීතයත් නැවැත ගයාන්ගේ ශබ්දාගාරයේ සුන්දරව පටිගත කළා. ඒ ගීතත් ප්‍රසංගයේදී රසිකයන්ට අහන්න ලැබෙයි.

තාත්තයි පුතයි එකතු වෙලා මේ වගේ ප්‍රසංගයක් කරන්න ලොකු කාලයක් සැලසුම් කරන්න ඇති නේද?

මීට අවුරුදු හත, අටකට උඩදී තමයි මම නුවන් රාත්‍රිය ප්‍රසංගය කළේ. එදා මගේ ගයාන් පුතා මගේ වැඩකටයුතුවලට ගොඩක් උදවු කළා. ඒ වෙනකොට පුතාට ගායන හැකියාව තිබ්බට ඔහු වෘත්තියමය ගායකයෙක් වෙලා හිටියේ නෑ. ප්‍රසංගය නරඹලා පුතා මට කිව්වා, තාත්තේ ඔයා එක්ක ගීත ගායනා කරන්න කැමැතියි\' කියලා. මම ඒකට අවශ්‍ය සැලැස්ම හැදුවා. අද ගයාන් ඒ තැනට සුදුසු වෙලා තියෙනවා. පුතාට දැන් මට දෙවැනි නොවී ගීත ගායනා කරන්න පුළුවන්.

ඔහුව තැනුවේ ඔබ, ගයාන්ගේ දියුණුව ගැන ඔබට සතුටු ඇති?

ඇත්තටම මට පුදුමාකාර සතුටක් තියෙන්නේ. මේ ළඟදී මමයි පුතයි රූපවාහිනි වැඩසටහනකට ගිහින් ගී ගැයුවා. ඒක බලපු අය කතා කරලා මට කියනවා "පුතා තාත්තාටත් වඩා එහා ගිහින්නේ. පුතා නම් මාර දක්ෂයෙක්නේ" කියලා. ඉතිං ඒ වගේ ප්‍රතිචාර ලැබෙද්දී තාත්තා විදියට මට පුදුම සතුටක් දැනෙන්නේ.

ඔබ ගයාන්ව නිර්මාණය කළ විදිය එක්ක නේද ගයාන් මේ තැන හදාගෙන තියෙන්නේ?

මම ගයාන් පුතාව වහලා හැදුවේ. පුතා ගායකයෙක් වෙයිද කියලා කවුරුවත් හිතුවේ නැහැ. ගෙයක් හදද්දී ඉටිකොළවලින් වහලා හදනවා වගේ මමත් මගේ පුතාව හදවත නමැති දැලෙන් වහලා මේ විෂම සමාජයෙන් බේරාගෙන හැදුවේ. ගයාන් ඒ ගරුත්වය මට දුන්නා. මට පුතා දැන් ඉන්න තලය ගැන සතුටුයි. මීටත් වඩා රසික ජනතාවගේ සිත් සතන් තුළ ඔහු ජීවත් වෙන තැනට කවදාහරි එයි.

ඔබ සංගීත ක්ෂේත්‍රය තුළ වසර හතළිහක් දුර ගමනක් ඇවිත්. ඒ ගමන දිහා ආපස්සට හැරිලා බලද්දී ඔබට මොකද හිතෙන්නේ?

මම දුෂ්කර කාලයක් ගත කරලා තිබෙනවා. කට්ට කාලා මම මේ තැනට ආවා කිව්වොත් හරි. අපි කුලී ගෙවල්වල ජීවත්වෙලා තියෙනවා. හැබැයි මගේ බිරියව, දරුවන්ව නොකා නොබී තියලා නැහැ. මම දරුවෝ දෙන්නට හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා. මම කරපු කැප කිරීම්වල ප්‍රතිඵලය අද මට ලැබිලා තියෙනවා. මම දරුවන්ගේ ඉදිරි අනාගතයත් හදලා ඉවරයි. මගේ අතීතයේ ඒ විඳපු දේවල් සුන්දරයි. අමිහිරි දේවල් මගේ ජීවිතේ නැහැ. වසර හතළිහ දිහා ආපස්සට හැරිලා බලද්දී සතුටුයි.

දුව ගායනයට එන්න කැමැති නැද්ද?

දුවටත් ගීත ගායනා කරන්න හොඳ හැකියාවක් තියෙනවා. හැබැයි එයා ගායන ක්ෂේත්‍රයට එන්න කැමැති නැහැ. නමුත් මේ ප්‍රසංගයේදී පවා දුව සම්බන්ධීකරණ වැඩ කටයුතුවලින් ලොකු සහායක් දෙනවා. මගේ දකුණු අතයි වම් අතයි වගේ ඉන්නේ මගේ බිරියයි දුවයි.

මගේ නමයි
තාත්තගේ නමයි
දෙකම
රැකගන්න ඕන

මොකද්ද මේ \'පුතායි තාත්තායි\' එකතු වෙලා කරන්න සූදානම් වෙන්නේ?

මමයි තාත්තායි එකතු වෙලා \'තාත්තයි පුතයි\' කියලා ප්‍රසංගයක් කරන්න සූදානම් වෙලා ඉන්නේ. දෙසැම්බර් 9 වැනිදා සවස 6.30ට මහරගම තරුණ සේවා සභාවේ තමයි ප්‍රසංගය පවත්වන්නේ. තාත්තාගේ ගායන ජීවිතයට වසර හතළිහක් සැපිරීම නිමිත්තෙන් තමයි මේ ප්‍රසංගය පවත්වන්නේ.

ගයානුයි තාත්තයි එකතු වෙලා එකම ප්‍රසංගයක ගීත ගායනා කරන පළමු අවස්ථාව මෙය නේද?

මමයි තාත්තායි එකම වේදිකාවේ ගීත ගායනා කරලා තියෙනවා. නමුත් අපි දෙන්නාගෙම ප්‍රසංගයක තාත්තායි මමයි ගීත ගායනා කරන්නේ පළමු වතාවට.

මේ ප්‍රසංගය කොයි තරම් වෙනසක් රසිකයන් අතරට ගෙන එයිද?

මේ ප්‍රසංගයේදී තාත්තායි මමයි ගීත විසිහයක් විතර ගයන්න ලෑස්ති වෙලා ඉන්නේ. හින්දි ගීත, බටහිර ගීත, චිත්‍රපට ගීත වගේ විවිධාකාරයේ ගීත මේ ප්‍රසංගයේ රසවිඳින්න පුළුවන්. තිළිණ තුෂාර ප්‍රමුඛ සංගීත කණ්ඩායම තමයි මෙහි සංගීතය සපයන්නේ. අපි කරන ප්ලස් මයිනස් සංගීත කණ්ඩායමත් අන්ප්ලග් මියුසික් එකතු කරලා එක් අංගයක් ඉදිරිපත් කරනවා. මේක වෙනස්ම අත්දැකීමක් වෙයි.

එදාට මම තාත්තාගේ ගීත ගායනා කරනවා. තාත්තා මගේ ගීත ගායනා කරනවා. ඒක ප්‍රසංගය රසවිඳින්න එන අයටත් අලුත් අත්දැකීමක් වෙයි.

මේ ප්‍රසංගයේදී ගයාන්ගේ අලුත් ගීතත් අහන්න ලැබෙයිද?

මම මේ වෙන කොට ටෙලි නාට්‍ය හතරක තේමා ගීත ගායනා කරලා තියෙනවා. ඒ ගීත වගේම මගේ කලින් නිර්මාණය වුණු ගීතත් \'දිලෙන තොල්\' කියන මගේ අලුත්ම ගීතයත් එදාට අහන්න ලැබෙයි.

යුග ගායනයන් සඳහා එකතු වෙන්නේ කවුද?

අමිලා නදීශානි, උරේෂා රවිහාරි, චමිලා තුෂාරි, කාවින්ද්‍යා අධිකාරි තමයි යුග ගායනයන් සඳහා එකතු වෙන්නේ. එදාට මගේ ගායනයන් එක්ක කාවින්ද්‍යා අධිකාරි යුග ගායනයට එකතු වෙනවා.

මේ ප්‍රසංගය දිගටම පවත්වන්න අදහසක් තියෙනවද?

මේක පටන් ගැනීම. ඊට පස්සේ මේ ප්‍රසංගය ලංකාව වටා වගේම ලෝකේ වටා ගෙනියන්න හිතාගෙන ඉන්නවා. දැනටත් දෝහාවලින්, ඕස්ට්‍රේලියාවෙන් මේ ප්‍රසංගය ගේන්න කියලා ආරාධනා ලැබිලාත් තියෙනවා.

මේ ප්‍රසංගය කරන්න කලින්ම ඉල්ලුමක් හැදිලා වගේ?

මගේ තාත්තා 2010දී තමයි අන්තිමට ප්‍රසංගයක් කළේ. තාත්තාගේ ගීත රසවිඳින්න කැමැති විශාල පිරිසක් ඉන්නවා. අපි දෙන්නාම මේ ප්‍රසංගයේ ගීත ගායනා කරන නිසා තවත් ඉල්ලුම තියෙනවා. මම නිවේදකයෙක්, රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් ලෙස යම් ප්‍රේක්ෂක පිරිසක් ගොඩනඟාගෙන තියෙනවා. තාත්තාගෙයි මගෙයි ප්‍රසංගය හැමෝටම අමුතු අත්දැකීමක් වෙයි.

ඒ කියන්නේ මේ වෙනකොට ගයාන් හදාගෙන ඉන්න රසික පිරිස ගැනත් සතුටු වෙන්න පුළුවන්ද?

ඔව්, මගේ ගීතවලට ආදරය කරන පිරිසක් මේ වෙනකොට ඉන්නවා. මම ගායනා කරපු මගේම ගීතත් එදාට රසවිඳින්න පුළුවන්. ප්‍රසංගය ගැන අහලා දැනටත් මට බොහෝ දෙනෙක්ගෙන් දුරකථන ඇමැතුම් එනවා. මගෙයි තාත්තාගෙයි දෙන්නාගෙම රසික එකතුව එදාට දකින්න පුළුවන් වෙයි.

ගයාන්ව තාමත් හඳුන්වන්නේ නුවන් ගුණවර්ධනගේ පුතා විදියටද?

මාව මුලින්ම හඳුනාගත්තේ නුවන් ගුණවර්ධනගේ පුතා විදියට. නමුත් මම නිවේදකයෙක් ලෙස වගේම හිතුවක්කාරයා වගේ නාට්‍යවල රඟපාලා ගායනා කටයුතුවලට සම්බන්ධ වෙලා \'ගයියා\' කියන වෙනම අනන්‍යතාවක් හදාගෙන ඉන්නවා. දැන් මට මම හදාගත්ත නමක් තියෙනවා. මගේ පියා නුවන් ගුණවර්ධන කියලා දන්නේ නැති පිරිසකුත් ඉන්නවා.

ගයාන් හදාගත්ත තැන පිටුපස ඉන්න යෝධ සෙවණැල්ලත් තාත්තා නේද?

ඔව්, මම අද යම් තැනක ඉන්නවා නම් ඊට පිටුපස්සේ ඉන්න ශක්තිය මගේ තාත්තා. මම තාත්තාගේ හිතේ ඇඳිච්ච නිර්මාණයක්. මම යම් සාර්ථකත්වයකට ඇවිත් තියෙනවා නම්, යම් රසික පිරිසකගේ ආදරය ලබනවා නම් ඒ තාත්තා නිසා. මම ඉපදුණු දවසේ ඉඳන් මගේ තාත්තා මාව කලා ක්‍ෂේත්‍රයට ගේන්න හීන දැකලා තියෙනවා. එයාගේ හිතේ ඇඳිච්ච චිත්‍රය මම සම්පූර්ණ කරනකොට තාත්තා අවංකවම සතුටු වෙනවා කියලා මම දන්නවා.

ගයාන්ට තාත්තා දීලා තියෙන හොඳම උපදෙස මොකද්ද?

තාත්තා මට අවශ්‍ය උපදේශය දීලා තියෙන්නේ. එයාගේ \'මා පැතූ ලෝකේ\' කියන ගීතයෙන්. අපි සුදු කළු භේද නැතිව හැමෝටම ගීත ගයනවා. හොඳ ගුණදම් රැකගත්තොත් නමත් රැකෙයි කියන උපදේශය මම ජීවිතයටම අරගෙන තියෙන්නේ.

ඒ කියන්නේ ගයාන් තමන්ගේ නම විනාශ කරගන්න එකක් නෑ?

මම නම විනාශ කරගන්න ගියොත් තාත්තා මාව බේරා ගන්නවා. මට මගේ නම විතරක් නෙවෙයි තාත්තාගේ නමත් රැකගන්නයි ඕන.

ගයාන්ට තනියම ප්‍රසංගයක් කරන්න අදහසක් නැද්ද?

මගේ ප්ලස් මයිනස් සංගීත කණ්ඩායමත් එක්ක ලබන වසරේ ප්‍රසංගයක් කරන්න හිතාගෙන ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon