ලොකු ලූනු ගොවියාට තවත් කනේ පහරක්

  👤  1580 readers have read this article !
Published by : MB WEB 2018-11-14 06:33:13

දඹුල්ලේ - කේ.කේ. ආරියදාස

විදේශීය ලොකු ලූනු වෙළෙඳපොළට විශාල වශයෙන් ලැබීමත් සමඟ දේශීය ලොකු ලූනු අලෙවි කර ගැනීමට නොහැකිව දඹුල්ලේ ගොවීහු මැසිවිලි නඟති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල ඉන්දියාවෙන් ගෙන්වන ලද ලොකු ලූනු විශාල වශයෙන් අලෙවි කිරීම හේතුවෙන් දඹුල්ල, ගලේවෙල, සීගිරිය ආදී බලප්‍රදේශවල ගොවීන්ට තම අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව ගොවිපොළ ගබඩාවල නරක් වී ඉවත් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

මේ දිනවල විදේශීය ලොකු ලූනු කිලෝවක් රුපියල් 80ත් 85ත් අතර මිලකට අලෙවි කරන බවත් දේශීය ලොකු ලූනු කිලෝවක් රුපියල් 60ත් 65ත් අතර මිලක් පැවැතියද දේශීය ලොකු ලූනු මිලදී ගැනීමක් ව්‍යාපාරිකයන් සිදු නොකිරීම හේතුවෙන් මේ තත්ත්වය උදාවී තිබෙන බව ගලේවෙල - පට්ටිවෙල ප්‍රදේශයේ මහා පරිමාණ ලොකු ලූනු ගොවියකු වූ එස්.ඒ. රත්නපාල මහතා පැවැසීය. ඒ මහතා කියා සිටියේ තමන් ලූනු අක්කර 30ක් වගා කළ බවයි. මේ වන විට ලූනු කිලෝ හැත්තෑපන්දහසකට අධික ප්‍රමාණයක් අලෙවි කර ගැනීමට නොහැකිව ඉවත් කළ බවත් තවමත් තමන්ගේ ගබඩාවල විශාල වශයෙන් ලූනු ගොඩගසා දිනපතාම නරක් වන ඒවා ඉවත් කරමින් විශාල මුදලක් වැය කරමින් සිටින බවයි.

තමන් පුද්ගලයන් හැටකට පමණ රැකියා සපයමින් විශාල වශයෙන් වගා කරන ගොවියකු බවත් එහෙත් මේ වන විට සිදුව ඇති හානියත් සමඟ ඉදිරියේදී වගාවෙන් ඉවත් වීමට සිදුවන බවද හෙතෙම කීවේය. එසේ වුවහොත් ප්‍රදේශයේ පුද්ගලයන් 60කට පමණ රැකියා අහිමි වන බවද රත්නපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දේශීය ලොකු ලූනු අලෙවි කර ගැනීම සඳහා රජය මැදිහත් වී කුමන හෝ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ද දඹුල්ල - ගලේවෙල ගොවීහු රජයෙන් ඉල්ලීමක් කර සිටිති.

විදේශ රටවලින් ගෙන්වන ලොකු ලූනු සඳහා රුපියල් 40ක විශේෂ බද්දක් රජය පැනවුවද එම බදු මුදල් ගෙවා දඹුල්ල වෙළෙඳපොළේ ඉන්දියාවෙන් ගෙන්වන ලද ලොකු ලූනු අඩු මුදලට අලෙවි කිරීම මෙම ගැටලුවට හේතුවී ඇතැයි ඔවුහු වැඩිදුරටත් පවසති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon