මම හොඳට කන බොන මිනිහෙක් කියලා සමහරු හිතනවා

  👤  2303 readers have read this article !
Published by : MB WEB 2018-11-18 08:40:04

පසුගිය දිනෙක මොරටුවේ ලලිත කලා සංගමය ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන්ට වගේම රංගන ශිල්පී ටෙනිසන් කුරේ හා නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහට "ලලිත කලා අභිමානි - මොරටු පුත්‍ර" සම්මානය පිරිනැමුවා.

ඉතාමත් ඉහළින් සංවිධානය කර තිබූ මේ උත්සවය පැවැත්වුණේ හිටපු නියෝජ්‍ය මුදල් ඇමැති ඉරාන් වික්‍රමරත්න, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල හා මොරටු පුරපති සමන්ලාල් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්.

මේ උත්සවයෙන් පස්සෙ දවසක අපට නිහාල්ව මුණ ගැසුණා. ඒ හමුවේදී ඔහු ඒ ගැන මෙන්න මෙහෙම කතා කළා.

"මම සංගීත ක්ෂේත්‍රයට ආවේ 1963 අවුරුද්දේ. දැන් සංගීත ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 55ක් වෙනවා. ඉතිං මෙන්න මේ කාරණය සැලකිල්ලට අරගෙන තමයි මේ පිරිස අප තිදෙනාව ඇගයීමට ලක් කරන්න තෝරාගෙන තිබුණේ. ඇත්තටම ඒ ඇගයීමට මම ඔවුන්ට ස්තුති කරනවා. මට ඇත්තටම ඒ ගැන සතුටක් තිබෙනවා.

55 වසරක සංගීත දිවිය ගැන මොකද හිතන්නේ..?

ඒ ගැන මට තිබෙන්නේ නිහතමානි සතුටක්. මම හැමවිටම රසික රසිකාවියන්ගේ සතුට වෙනුවෙන් ගී ගැයුවා. පෙරළා ඔවුන්ගේ ආදරය මට ලැබුණා.

නිහාල් කියන්නේ අදටත් ඉතා හොඳින් ගීත ගයන ප්‍රසංග වේදිකාවේ පෙරළිකාරයෙක්. ඒ පැවැත්ම ර¼දා පවත්වා ගන්නේ කොහොමද කියන එකත් අපට අහන්න හිතුණා.

"මේ හැමදේකටම මුල මගේ පැවැත්ම කියලයි මම හිතන්නේ. මම මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න උත්සාහ ගත්තා. හොඳ නරක තේරුම් ගත්තා. ඉතිං මම හිතනවා ඒ පැවැත්ම හොඳ නිසා මගේ සංගීත ජීවිතේ දිහා වගේම මගේ පවුල් ජීවිතය දිහාත් දෙවියන් බුදුන් බැලුවා කියලා. මගේ උපහාර උත්සවය දවසෙ ගායක ගායිකාවෝ හුඟක් දෙනෙක් ඇවිත් පුරන් අප්පු ක්‍රීඩාංගණයේ නොමිලේ ගී ගැයුවා. ෂන්ෂයින් වාදක මණ්ඩලය සංගීතය සැපයුවා. ඒ ආදරය මම දිනා ගත්තේ මනුස්සයෙක් විදියට ජීවත් වුණු නිසයි.

නිහාල් නෙල්සන් කියන ප්‍රවීණ ගායන ශිල්පියා ගැන කතා කරන්න පටන් ගත්තොත් ඒ හැමදෙනාම කියයි නිහාල් කියන්නේ මාරම මාර වේග රිද්මයේ සිංදු කියපු ගායකයෙක්නේ කියලා. ඒ නිහාල්ගේ ගීත හැම කෙනෙක්ම අහලා දැකලා හින්දා.

'නිහාල් ආදර්ශවත් තාත්තා කෙනෙක්." ඔහු තමන්ගේ දරුවව හැදුවේ මහ පුදුමාකාර විදියට.

මෙන්න මේ කතාව තමයි අපි මීට ඉස්සර කියපු විදියට උපහාර උළෙලින් පස්සේ කරළියට ආපු කතාව.

"මම මගේ පුතා තරංගව හැදුවේ මේ සමාජයට ලෝකයට නරකක් වෙන විදියට නෙවෙයි. කට පුරා මට කියන්න පුළුවන් මගේ පුතා එහෙම කෙනෙක් නෙවෙයි කියලා. ඇත්තටම ඒ නිසා වෙන්න ඇති හැමෝම ඒ ගෞරවය මට දෙනවා ඇත්තේ. හැබැයි ඒකට මගේ බිරියත් ලොකු කැප කිරීමක් කළා. ඇය නිතරම පුතාට හොඳ නරක කියා දුන්නා.

නිහාල්ගේ පුතා තරංග ගැන අපි අහපු වෙලාවේ ඔහු ඒ විදියට උත්තර දුන්නා.

ගොඩක් දෙනෙක් නිහාල් දිහා බලල බාහිරව දකින විදියත් එක්ක හිතන්නේ 'මේකා නම් අමුතුම කෙනෙක්' කියලා. හොඳට බොන කන මිනිහෙක් කියලා. ඒත් එතැන ඇති ඇත්තම කතාව මොකක්ද?

"මම මත්පැන් බොන කෙනෙක් නොවෙයි. මතක ඇති කාලෙක මස් මාළු කාලා නැහැ. මගේ පුතා උපන්දා ඉඳලම නිර්මාංස චරිතයක්. මම හිතන්නේ එයා ඒ දේවල් කළේ මගේ දිහා බලලයි."

මං ගැන නොදන්න අය හිතන්න පුළුවන් මම හොඳට කන බොන මිනිහෙක් කියලා. හැබැයි මා ගැන දන්න අය දන්නවා. මම කොයි වගේ චරිතයක්ද කියලා.

මුල්කාලේ මට පත්තරවලින් බැන්නා. 'ගුණේ අයියාගේ කාමරේ' සිංදුව අල්ලගෙන ලොකු විවේචන ඉදිරිපත් කළා. නරකම නරක විදියට ‍ෙදාස් කිව්වා. ඒත් මම ඒවා භාර ගත්තේ නැහැ. ඒ වගේ දේවල් කරනවා නම් තමයි අපි ඒවා භාරගෙන රණ්ඩු වෙන්න ඕනෑ. නමුත් මම ඒවා පස්සේ ගියේ නැහැ. ඒවා මට අදාළ නැති නිසා.

නිහාල්ගේ පුතා තරංගට අම්මා තාත්තා වගේම බිරිය ගයනිත් හුඟාක් ආදරෙයි. යාළු මිත්‍රයෝ වුණත් එහෙමයි. මේ වගේ හැමෝගේම ආදරේ ලබන්න පුළුවන් විදියට නිහාල් තමන්ගේ දරුවා හැදුවේ කොහොමද?ඒ ගැන අපි ඇහුවා.

මගේ පුතා ඉපදුණු දවසේ ඉඳලම මම හිතා ගත්තා එයා එක්ක සම්බන්ධය තියාගන්න ඕන විදිය කොහොමද කියලා.

මම හැමවෙලාවම එයාව ඇසුරු කළේ යාළුවෙක් විදියට. හොඳ නරක කියලා දුන්නේ ආදරේ උපරිමයෙන්ම පාවිච්චි කරලා. මම මගේ පුතාට කවදාවත් සැරෙන් කතා කරලා නැහැ.

මම හුඟාක් කාර්ය බහුල චරිතයක්. මුළු රෑම සංගීත සංදර්ශනවල සින්දු කියලා උදේ ගෙදර ආවට පස්සේ එයා එක්ක කතා කරන්න මට හම්බ වුණේ ටික වේලාවයි. ඒ වෙලාවේ මම එයාව ළඟට අරන් කතා කළා. සමාජය තුළ හොඳ නම රැක ගන්නේ කොහොමද කියලා කියා දුන්නා.

විශේෂයෙන්ම මම එයාට පාසල් අධ්‍යාපනය වගේම පන්සලෙන් උගන්වන දහම් අධ්‍යාපනයත් ලබා දුන්නා. විවිධාකාර යාළුවෝ ගැන කියා දුන්නා. සමාජය තුළ හමුවෙන විවිධ චරිත ගැන හැඳින්වීමක් කළා. පුතා මේවා අහලා පැත්තකට දැම්මේ නැහැ. එයා ඒවා ඇඟට ගත්තා. අද හැමෝම හුඟක් සතුටින් එයා ගැන කතා කරන්නේ ඒ නිසයි.

නිහාල් කියන්නේ අම්මා තාත්තා කෙනකුට සමාජයෙන් ලැබෙන ගෞරවය කොහොමද ඒකත් දරුවකුට හුඟාක් බලපානවා කියලයි. ඒ ගැන නිහාල් අපි එක්ක වැඩිදුරටත් මෙන්න මෙහෙම කිව්වා.

අපේ පුතා අපිට හිතවත් වැඩිහිටියෝ අතරට ගියාම නිතරම අහන්න ලැබුණේ එයාගේ අම්මා තාත්තා දෙන්නගේ සාර්ථක පවුල් ජීවිතේ වගේම ඒ තිබෙන බැඳීම.

ඒ වගේම මේ සමාජය තුළ නරක නමක් හදාගන්නේ නැතිව පව්කාරකම් කරන්නේ නැතිව අපි ඉන්න විදිහත් එයාට අහන්න ලැබුණා. මම හිතන්නේ පුතාගේ පැවැත්මට ඒකත් බලපාන්න ඇති.

එයාට හිතෙන්න ඇති අම්මා තාත්තා දෙන්නට කොයිතරම් හොඳ නමක් මේ සමාජය තුළ තිබෙනවද කියලා. නරක වෙනුවට හොඳ අහන්න ලැබුණා. ඒකත් එයාගේ සතුටට හේතු වන්නට ඇති. මේ වගේ අම්මා තාත්තා දෙන්නෙක් ඉද්දි ඒ දෙන්නගේ හිත රිදවන්න හොඳ නැහැ කියලත් පුතාට හිතෙන්න ඇති.

තරංග නෙල්සන් බොහොම ප්‍රියමනාප කෙනෙක්. කතා බහේදී වුණත් ඔහු තුළ තිබෙන්නේ පුදුමාකාර ඉවසීමක් හා සංවරයක්. මේ ගැන නිහාල්ට වගේම ඔහුගේ බිරියටත් ඇත්තේ ලොකු සතුටක්.

පුතා මේ විදියේ චරිතයක් වුණේ අපි එයාට හොඳ නරක හොඳින් කියා දුන්න නිසයි. මම මුලින් කිව්වා වගේ තරංග පුතා ගැන වැඩි අවධානයක් යොමු කළේ එයාගේ අම්මා. එයත් බොහොම ඉවසිලිවන්ත ආදර්ශවත් ගැහැනියක්. ඒ නිසා පුතා හොඳ යහපත් දරුවකු වීමේ ගෞරවය වැඩිපුර එයාට දෙන්න ඕන.

පුතා දැන් විවාහකයි නේද? දැන් ඒ පවුල් ජීවිතේ ගැනත් ඔබ දෙපොළට සතුටු ඇති?

අපොයි ඔව්. පුතාට එයා විදියටම හිතන හොඳ ගැහැනු ළමයෙක් හම්බ වුණා. අපිට හොඳ දුවෙක් ලැබුණා.

ඇයි තරංග තාත්තා වගේ සිංදු කියන්නේ නැත්තේ?

පුතාට හොඳට කී බෝඩ් වාදනය කරන්න පුළුවන්. ගායන හැකියාවත් හොඳටම තියෙනවා. නමුත් සිංදු කියලා ජනප්‍රිය වෙන්න එයාට තවම හිතිලා නැහැ. නමුත් දක්ෂයි. ඒක මම හොඳින්ම දන්නවා.

කොහොම වුණත් මම අවසාන වශයෙන් එක දෙයක් කියනවා. අම්මලා තාත්තලා හැටියට හැමෝම කැමැති තමන්ගේ දරුවා යහපත් දරුවෙක් වෙන එකටයි. ඒකට ගෙදරින් ලොකු ආදරයක් ඒ අයට දෙන්න ඕන. අපි පුංචි කාලේ ඉඳලම ඒ ආදරේ එයාට දුන්නා.

එයා හොඳ දරුවෙක් වුණේ අන්න ඒ ආදරය වගේම බැඳීම අපි අතර තිබුණ හින්දයි ලොකු වෙද්දි පුතා හිතුවේ අම්මා තාත්තාගේ ගෞරවය ආරක්ෂා වෙන විදියට ජීවත් වෙන්නයි. එයා ඒ දේ කළා. තවමත් කරනවා.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon