මහ වැස්ස ප්‍රදීප්ගේ තවත් වෙනසක්

  👤  1372 readers have read this article !
Published by : MB WEB 2018-11-16 09:57:37

මොකද්ද මේ ප්‍රදීප් රසිකයෝ අතරට ගෙනාපු "මහ වැස්ස"?

"මහ වැස්ස" කියන්නේ මගේ අලුත්ම ගීතය. මම විශ්වාස කරන සංගීත කලාව තුළ ගායන ශිල්පියකුට සමාජ යහපැවැත්මට නිර්මාණ දායක කරන්න වගකීමක් තියෙනවා. අද තරුණ පරම්පරාවෙන් ඒ දේ වෙන්නේ අඩුවෙන්. එයට යම් මුලපිරීමක් හෝ යම් දෙයක් කරන්න හිතාගෙන තමයි "මහ වැස්ස" රසිකයන් අතරට ගෙනාවේ.

ප්‍රදීප් කියන්නේ ගායනයෙන් සංගීතයෙන් වෙනසක් කරන කෙනෙක්. මෙදා සැරේ ගීතයත් ඒ වගේ වෙනසක් නේද?

ඔව්. සාමාන්‍යයෙන් ගීතයක් කරද්දී සංගීත වීඩියෝවේ සංකල්පය මේ සියලු දේ මගේ ඔළුවට එනවා. මට මේ ගීතය කරද්දී මුලින්ම ඔළුවට ආවේ "මහ වැස්ස" වැටුණත් කියන වචන පේළිය. මුල් කොටස මම ලියලා මගේ අදහස කිව්වම වෛද්‍ය රොෂාන් කරුණාරත්න ඉතිරි පද පේළි ලිව්වා. ඒ ගීතයෙන් සමාජ ශෝධනයක් කරන සංවේදී කතාවක් රසිකයන් අතරට ගේන්න පුළුවන් වුණා. පවුල් සංස්ථාවේ බිඳ වැටීම එක්ක දරුවන්ට ඒක දැනෙන්නේ කොහොමද කියන දේ මේ ගීතයෙන් ඉදිරිපත් කරලා තියෙනවා.

රසිකයෝ ඉල්ලන්නේ දැන් යන රැල්ලේ ගීත කියලා මතයක් තියෙනවා. මේ වගේ රසවින්දනයක් ගොඩනඟන ගීත අහන්න කැමැති හොඳ රසික ප්‍රජාවක් ඉන්නවා කියලා හිතනවාද?

මීට අවුරුදු හතර පහකට උඩ දී මමත් ඉන්න ඇත්තේ ඔය කියන අදහසේ වෙන්න ඇති. නමුත් දැන් අපිට හොඳ දේවල් කරන්න අවකාශය නිර්මාණය වෙලා තිබෙනවා. එකම විදියේ ගීත මිනිසුන්ට එපා වෙනවා. තිබ්බේ හොඳ නිර්මාණවල හිඟයක් මිසක් ඒක රසිකයන්ගේ ගැටලුවක් නෙවෙයි. හොඳ නිර්මාණ භාර ගන්නා රසික පිරිසක් ඉන්නවා. ඒක මට හොඳින්ම පැහැදිලි වුණේ මේ ගීතයෙන්. ඒ ප්‍රතිචාර උඩුගම්බලා යන නිර්මාණ කරන්න හොඳ ශක්තියක්.

"මහ වැස්ස" වගේ ගීත රසිකයන් අතරට ගෙනියන්න මාධ්‍යවලින් ලැබෙන ඉඩකඩ ගැන සතුටු වෙන්න පුළුවන්ද?

ගීතය රිලීස් කළාට පස්සේ මාධ්‍යවලින් කතා කරලා ගීතය ප්‍රචාරය කරන කටයුතු සුහද විදිහට කරගෙන යනවා. දැනට නම් ලොකු ගැටලුවක් වෙලා නැහැ. සමාජයට පණිවුඩයක් දෙන දෙයට මාධ්‍යවලින් සහයෝගය ලැබෙයි කියලා හිතනවා. ඕනෑම නිර්මාණයක වාණිජ පැත්තක් තියෙනවා. නමුත් වාණිජ පැත්ත ගැනම හිතන්නේ නැතුව හොඳ නිර්මාණ බිහි කරන්න අවශ්‍ය ඉඩ වැදගත් මාධ්‍ය ලබා දෙයි. ඒක මට විතරක් නෙවෙයි අලුතෙන් එන හොඳ නිර්මාණ කරන අයටත් අත දීමක්.

ඔබේ ගීතවල ඔබම සංගීත නිර්මාණ කටයුතු කරන්නේ ඔබේ දක්‍ෂතාව එළියට ගන්නද?

මං තුළ පොඩි දක්‍ෂතාවක් තියෙනවා. මම ගීතයක් කරද්දී මට ඒ ගීතයේ විෂුවල් එක පවා මැවෙනවා. මං තුළ ඉන්න ගායකයාව සංගීතඥයාව සහ මගේ දැක්ම මට හරියට එළියට ගන්න පුළුවන් මමම ඒ දේවල් කරද්දී.


ඒ සියල්ල එකට කරන එක පහසුද?

ඒක අපහසු කාර්යයක්. එයට ලොකු කැපවීමක් කරන්න ඕන. මට අවශ්‍ය කරන දේ නිර්මාණයකින් එළියට ඇවිත් ඒක ජනතාව රසවිඳිද්දී ඒ තුළ තියෙන ආත්ම තෘප්තිය විශාලයි. මං තුළ ගොඩක් අදහස් තියෙනවා. ජීවත් වෙලා ඉන්න කාලය තුළ ඒවා ප්‍රේක්‍ෂකයන්ට දෙන්න තමයි මම උත්සාහ කරන්නේ.

ඔබට අදහස් ගොඩක් තියෙනවා කිව්වනේ. වෙනත් කෙනකුගේ ගායනයට ඔබේ සංගීත නිර්මාණයන් එකතු කරන්න අදහසක් නැද්ද?

එහෙම ආරාධනා ඇවිත් තියෙනවා. හැබැයි ඒ කටයුතු වුණේ නැහැ. ලොකුම ගැටලුව තමයි මගේ කාලය කළමනාකරණය කර ගැනීම. යම් ඉල්ලීමක් මට ඇවිත් ඒක ස්ථීර වුණොත් මට ඒ දායකත්වය දෙන්න පුළුවන්.


වෛද්‍ය වෘත්තියේ කටයුතු එක්ක සංගීත ක්‍ෂේත්‍රය තුළ ඔබ කාලයක් නිහඬ වුණා. දැන් ඒ නිහඬතාවට නිර්මාණවලින් උත්තර දෙන කාලයද?

මගේ වෘත්තීයමය කටයුතුත් එක්ක තමයි මට කාලයක් නිහඬ වෙන්න වුණේ. නමුත් ඉදිරියේදී එහෙම වෙන එකක් නැහැ. දැන් මට මාව විශ්වාසයි. හැමදේම ක්‍රමානුකූලව කරගෙන යන නිසා ඉදිරියේදී නිර්මාණයක් කරන්න ලොකු කාලයක් ගන්න එකක් නෑ. සාමාන්‍යයෙන් එකම විදියේ දේවල් කරගෙන ඉන්න ලේසියි. නමුත් මම කැමැති විවිධාකාරයේ නිර්මාණ කරන්න. මට තෘප්තියක් තියෙන්නේ විවිධ නිර්මාණ කිරීමෙන්. ඉදිරියේදීත් විවිධ නිර්මාණ බිහිවෙයි.

වෛද්‍ය වෘත්තියේ කටයුතු නිසා සංගීත ක්‍ෂේත්‍රයේ වටිනා අවස්ථා ඔබට මඟ හැරෙනවා ඇති?

ඔව්. එහෙම මඟ හැරෙන අවස්ථා තියෙනවා. සමහර ෂෝවලට එහෙම යන්න බැරි වෙන අවස්ථා තියෙනවා. කොහොමත් දෙයක් ලැබෙන්න දෙයක් නැති වෙනවා. ඒක ලෝක ධර්මතාවය. මම පුළුවන් තරම් දේවල්වලට සම්බන්ධ වෙනවා.

ඔබේ කටහඬ ටෙලි නාට්‍ය හා චිත්‍රපට පසුබිම් ගීත කිහිපයකට පෑහිලා තිබෙනවා. ඒ ගැනත් කියමු.

ඔව්. ප්‍රේම දඩයම වෙනුවෙන් ගයපු ගීතයත් ගොඩක් ජනප්‍රිය වුණා. දැන් තිරගත වෙන උදුම්බරා චිත්‍රපටයේ ගීත දෙකකටම මම සම්බන්ධ වුණා. කළුහිම චිත්‍රපටයේ මම සංගීතවත් කරපු ගීතයකටත් ගායනයෙන් එකතු වුණා.


වෛද්‍ය වෘත්තියේ කටයුතු සහ සංගීත ක්‍ෂේත්‍රයේ වැඩකටයුතු එක්ක ප්‍රදීප්ට පවුල වෙනුවෙන් වෙන් කරන්න කාලය තියෙනවද?

ඒක තමයි ගැටලුවකට තියෙන්නේ. මගේ බිරිය, මගේ මවුපියෝ, නෑදෑයෝ මාව සහ මගේ තත්ත්වය තේරුම් අරගෙන ඉන්නවා. විශේෂයෙන්ම මගේ බිරියගෙන් මට පුදුම සහායක් ලැබෙන්නේ.

මම නිවාඩු වෙලාවට ස්ටූඩියෝවට වෙලා සංගීත නිර්මාණවල වැඩකටයුතු කරනවා. එතකොට මම පැය ගාණක් ඉන්නේ ස්ටූඩියෝවේ. බිරිය ඒ හැමදේම තේරුම් අරගෙන මට මේ ගමන යන්න ශක්තිය දෙනවා. මගේ සාර්ථකත්වය ඇගේ සාර්ථකත්වය කියලා හිතලා ඇය දෙන සහයෝගය කියලා නිම කරන්න බැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon