මහාචාර්ය ඇතුගලගේ මහ සුපින නෙලුම් පොකුණේදී දිගහැරෙන්න සූදානම්

  👤  1750 readers have read this article !
Published by : MB WEB 2018-11-14 07:02:31

"මහ සුපින" නෙලුම් පොකුණට ගේන්න යනවා කියලා ආරංචියි?

ඔව්, මේක මගේ දෙවන වේදිකා නාට්‍යය. එය මේ 16 වැනි දින ප.ව. 6.00ට නෙලුම් පොකුණේදී වේදිකාගත වෙනවා. මේක පටන්ගත්තෙ විශ්වවිද්‍යාල දරුවන්ගෙ ඉගැන්වීම් ව්‍යාපෘතියක් විදියට. පන්ති කාමරය තුළ ඉගෙනීමට වඩා නිර්මාණශීලීව සහ දැනුම වර්ධනය වන ආකාරයට නාට්‍ය කලාව භාවිත කරන්න පුළුවන් කියන අදහස මතයි මේක පටන් ගත්තෙ.

විශ්වවිද්‍යාලය තමයි මේකට මූලික අනුග්‍රහය දක්වන්නෙ. ළමයින්ට නව අත්දැකීමකින් තමන්ගෙ ආකල්ප පෝෂණය කරගන්න ලැබීම ලොකු දෙයක්. අනෙක් එක ඔවුන්ට අනෙක් ප්‍රවීණයන්ගෙන් අත්දැකීම් ලබා ගන්න පුළුවන් විදියට තමයි මම මේක නිර්මාණය කළේ.

මෙවැනි නිර්මාණශීලී නිමැවුමක් කරන්න ලොකු වෙහෙසක් දරන්න වෙනවා නේද?

ඔව්, ඇත්තටම වෙහෙසකරයි. ඒක තමයි වැදගත් වෙන්නෙ. මොකද හුඟක් අය හිතන්නෙ කලාව ගොඩක් ලේසි දෙයක් කියලා. නමුත් අපි ඒක පෙන්නන්නෙ නැතිව කරනවා. විශ්වවිද්‍යාල දරුවන්ගෙ ඉගැන්වීම් කටයුතුත් සමඟ ඒක කරන එක පහසු නැහැ. ඒ වගේම ප්‍රවීණ නළු නිළියන්ගෙන් දින අරගෙන මේක කරන්නත් පහසු නැහැ. ඇත්තටම මේක අභියෝගාත්මකයි.

නාට්‍ය පළමු එළිදැක්වීම කළේ විශ්වවිද්‍යාලයෙදිනේ. ඇයි නාට්‍ය නෙලුම් පොකුණ රඟහල වගේ තැනකට ගේන්න ප්‍රමාද වුණේ?

ඇත්තටම විශ්වවිද්‍යාල වේදිකාව ඇතුළේ මේ අත්දැකීම ගන්න ඕනෙ. අනෙක එකවරම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ව නෙළුම් පොකුණ වේදිකාවට ගේන්න බැහැ. ඒ පුහුණුව ප්‍රමාණවත් මදි. ඉතිං ප්‍රථම අත්දැකීම විශ්වවිද්‍යාලය ඇතුළෙ ගත්තෙ ඒකයි.

මේ නිර්මාණයේ කතා පසුබිම ගැන කිව්වොත්?

කොසොල් රජු දැක්ක සිහින දහසයට විසඳුම් සොයන කොට බමුණන් කියනවා විශාල ඝාතනයක් කරලා යාගයක් කරන්න කියලා. නමුත් කෙනෙක් රජතුමාව බුදුන් වහන්සේට යොමු කරනවා. උන්වහන්සේ ඒ පිළිබඳ විවරණයක් කරනවා. ඒක අතිශය නිර්මාණශීලී ප්‍රකාශයක්.

සිහින කියන්නෙ නිර්මාණාත්මක ප්‍රකාශනයක් කියලයි සැලකෙන්නෙ. අනෙක මේක සම්මත කතාවක් නෙමෙයි. කියවෙන හැමදෙයක්ම ඇත්තටම වේදිකාවට ගේන්න අමාරුයි. අලුත් ආකාරයට අද සමාජයට ගැළපෙන ආකාරයට නව ආකෘතියකට අනුවයි මේක වේදිකාවට ගේන්නේ.

මෙවැනි නිර්මාණයක් කිරීමෙන් ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද?

මගේ වෑයම වුණේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථියාගේ පෞරුෂය නවීන තැනකට ගෙන ඒම. කලා නිර්මාණයකට වඩා ඉගෙනුම් ව්‍යාපෘතියක් විදියට මගේ පැත්තෙන් සාර්ථකයි.

වෙච්ච මහන්සියට ලැබෙන ප්‍රතිචාර ගැන සතුටු වෙන්න පුළුවන්ද?

ඇත්තටම ප්‍රථම එළිදැක්වීමේදී විශාල සෙනඟක් ආවා. හොඳ ප්‍රතිචාර තියෙනවා. ළමයින් පවා කියනවා මේක ඔවුන්ට ප්‍රතිඵලදායකයි කියලා.

ඒ තරම් ඉල්ලුමක් තියෙන්නෙ මේ වගේ නිර්මාණ රස විඳින පිරිසක් තාමත් ඉන්න නිසා නේද?

පැහැදිලිවම, එවැනි රස වින්දනයක් තියෙන පිරිසක් ඉන්නවා. ලංකාවෙ විතරක් නෙවෙයි ඕස්ට්‍රේලියාවේ අය පවා දින දාගෙන නාට්‍ය බලන්න එනවා. කොහොමටත් හොඳ දේවල් විඳින්න මිනිස්සු ඉන්නවා වගේම මේක නරඹන්නත් ප්‍රමාණවත් තරම් පිරිසක් හිටියා.

ජනප්‍රිය නළු නිළි පිරිසක් මේ නාට්‍යයට එකතු වෙලා ඉන්නවා. කාර්යබහුල පසුබිමක ඔවුන් මේ වගේ දැවැන්ත නිර්මාණයකට දායක කරගන්න පහසු වුණාද?

ඒක ලොකු අභියෝගයක් වුණා. මේ නාට්‍යවලට වැඩිය මුදල් ගෙවන්නෙත් නැහැ. නමුත් ඔවුන්ගෙ කාලය, ශ්‍රමය වැය කරන් ඔවුන් එන්නෙ ඔවුන්ගේ කලාත්මක තෘප්තිය වගේම රටට, සමාජයට මෙවැනි නාට්‍ය අවශ්‍ය බව දන්න නිසා. අනෙක ඔවුන්ට ඒ වෙනුවෙන් වුවමනාවක් තියෙනවා.

වේදිකාවට ආධුනික පිරිසකුත් මෙහි රංගනයට දායක කරගෙන තිබෙනවා. ඔබට ඔවුන් වේදිකාවට අනුගත කරන්න පහසු වුණාද?

ඔව්. මේක අකිලගෙ පළමු වේදිකා නාට්‍යය. කොහොමත් මට ආධුනිකයන් සමඟ වැඩ කරලා ලොකු පළපුරුද්දක් තියෙනවා. මගේ 'සිත්තර ගුරුන්නාන්සේ' නාට්‍යයේ සෞම්‍ය ලියනගේ ආධුනිකයෙක්. 'තුන් බිය' ටෙලි නාට්‍යයේ මීනා කුමාරි ආධුනිකයෙක්. 'සමනළ කඳුකරයේ' මංජුලා කුමාරි සහ පුබුදු චතුරංග ආධුනිකයෝ. ආධුනික ඡායාරූප ශිල්පීන් සමඟත් මම වැඩ කරලා තියෙනවා. මට ඔවුන්ව හසුරුවන්න ගැටලුවක් නෑ.

'මහ සුපින' නාට්‍ය නිර්මාණයට නර්තනයෙන් හා සංගීතයෙනුත් විශාල දායකත්වයක් ලැබිලා තිබෙනවා නේද?

නාට්‍යයේ නර්තන වින්‍යාසයට දායක වෙන්නේ රවි බන්දු විද්‍යාපති. ඒ වගේම සංගීතයට දායක වෙන්නේ තරුපති මුණසිංහ. ඔවුන් මේ කාර්යයට උපරිමයෙන් දායකත්වය ලබාදෙනවා. මේ කවුරුවත් සල්ලි බලාපොරොත්තුවෙන් නොවෙයි වැඩ කරන්නේ.

ඔබගේ 'මහ සමයම' නාට්‍ය දැන් වේදිකා ගත වෙන්නෙ නැහැ. 'මහ සුපින'ත් කොයි තරම් දුරක් ගෙනියයිද?

ඒක ඉතින් අපේ රටේ කලා සංස්කෘතිය තීරණය කරන දෙයක්. මේක අපි තනියම කරන්නෙ. 'මහ සමයම'ට නම් සහයෝගයක් තිබුණා. ඉතින් මේ නාට්‍ය කොච්චර කල් පවතීද කියලා නිශ්චිත අදහසක් කියන්න බැහැ.


මේ නාට්‍ය ලංකාවෙන් එළියට ගෙනියන්න අදහසක් නැද්ද?

තවම එහෙම අදහසක් නැහැ. නාට්‍යය පිටරට ගෙනියලා සල්ලි හම්බකරන්න වුවමනාවක් නැහැ. අනෙක පිරිස සහ බඩුමුට්ටු ඔක්කොම පිටරට ගෙනියන්න අමාරුයි. මේක මම කාටවත් කරන චෝදනාවක් නෙමෙයි. ඒත් මම මට පුළුවන් තරමේ දේවල් ටික කරගෙන ඉන්නවා.

නාට්‍ය විදේශ රටවල වේදිකාගත කරන්න ආරාධනා ලැබිලා තියෙනවද?

දැනටමත් ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් ඔවුන්ටත් තියෙන ප්‍රශ්නෙ මේකෙ ඉන්න පිරිස වැඩිකම.

ලක්ෂිකා
දිව්‍යාංජලී
වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon