අම්මගෙයි දුවගෙයි රූප ගැළපුමට සිනමාවේ අවස්ථාවක්

  👤  3577 readers have read this article !
Published by : MB WEB 2018-11-13 07:04:30

අම්මයි දුවයි එකම චිත්‍රපටයක එකම චරිතයක යුග දෙකකින් මේ දවස්වල ප්‍රේක්‍ෂකයෝ අතරට ඇවිත්?

ඔව්, අම්මටයි මටයි මීට කලිනුත් එකට රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙනවා. නිදහසේ පියා ඩී.එස්. කියන්නෙත් ඉන් එකක්. ඒකේ මම මොලී දුනුවිලගේ තරුණ කාලය නිරූපණය කළා. අම්මා මැදිවිය නිරූපණය කළා. චරිතේ ඇතුළේ මට ලොකු දෙයක් කරන්න තිබුණේ නැහැ. ඒත් මම ආසාවෙන් ඒ චරිතේ භාර ගත්තා. වෙනස් අත්දැකීමක්.

චරිතයේ ලොකු කාර්යභාරයක් නොතිබිලත් එවැනි චරිතයක් ඔබ භාර ගත්තේ?

මට ලොකු චරිතයක් කරන්න තිබුණේ නැහැ. ප්‍රධාන සිද්ධි ටික තමයි මා හරහා නිරූපණය වුණේ.

ඩී.එස්. සේනානායකයන් හමුවීම, පළමු වැනි දරු උපත, විවාහය සහ හිරේට අරගෙන යෑම කියන සීන් කිහිපයක හිටියා. ලොකුවට දෙයක් කරන්න නොතිබුණත් චරිතය තුළ යමක් කරන්න තිබුණා. මට නිරූපණය කරන්න තිබ්බ සිද්ධීන් ටික මම අධ්‍යක්‍ෂතුමාට ඕන විදියට කළා. ලොකු පරාසයක් කරන්න තිබුණේ නැතත් වටිනා චරිතයක් නිසා ගොඩක් ආසාවෙන් ඒ චරිතය කළා.

සැබෑ ජීවිතේ අම්මටයි දුවටයි නිර්මාණය ඇතුළේ ගැළපෙන්න පහසු වුණාද?

ඔව්, ඒ ගැළපීම නිසාම වෙන්නැති අපිට ඒ චිත්‍රපටයට ආරාධනා කළේ. මම හිතනවා ඒක සාර්ථකයි කියලා.

තිසුරි රිදී තිරයේ දකින්න ලැබෙන්නේ අඩුවෙන්. ඇයි ඒ?

සිනමාවට ආරාධනා ලැබෙන හැටියට තමයි මම භාර ගන්නේ. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් භාර ගන්නවා. ඒ වගේම මට යමක් කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් තමයි මම භාර ගන්නේ. නැතිනම් ඉතින් පුංචි තිරයේ හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ඒක කරනවා. එහෙම නැතිනම් ගෙදරට වෙලා ඉන්නවා.

සිනමාවේ අලුත් ආරාධනා ලැබුණේ නැද්ද?

දැනට නම් නැහැ. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් භාර ගන්නවා.

පුංචි තිරයේ නම් වැඩ කිහිපයකම තිසුරි පේන්න ඉන්නවා?

මේ දවස්වල නේත්‍රා, කණාමැදිරියෝ, මිණිගංදෑල ටෙලි නාට්‍යවල ඉන්නවා. රෙජිනෝල්ඩ් ජයමාන්න මහත්තයාගේ අලුත් ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි.


විවාහයෙන් පස්සේ නිර්මාණවලට සම්බන්ධ වෙද්දී තවත් සීමා දාගෙනද?

මම කොහොමත් සීමාවක් තුළ ඉඳලා රංගනය කළ කෙනෙක්. ඒ නිසා විවාහ වුණා කියලා අලුතින් සීමා දාගන්න මට අවශ්‍ය වුණේ නැහැ. සුපුරුදු පරිදි රංගන කටයුතු කරගෙන යනවා.

සැමියාගෙනුත් ඒ වෙනුවෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.

තාමත් චරිත තෝරගන්නේ අම්මා තාත්තාගෙන් අහලද?

ඔව්, චරිත තෝර ගනිද්දී කොහොමත් මම අම්මා, තාත්තා, සැමියා එක්ක ඒ ගැන කතා කරනවා. මම හැමදේම කතා කරන කෙනෙක්. දවසේ වෙන දේවල් වුණත් මට ගෙදර ගිහින් කතා කරන්න ඕනේ. සමහර වෙලවට ඒගොල්ලෝ මට පූර්ණ නිදහස දීලා තිබුණත් ඒගොල්ලන්ට ඒ දේවල් කියන එක මගේ පුරුද්දක්.

විවාහයෙන් පස්සේ අම්මා තාත්තා එක්ක රැඳෙන්න වෙලා තියෙනවාද?

ඔව්. නිතරම මම ගෙදර යනවා. අම්මලත් මාව බලන්න එනවා. සුපුරුදු විදියටම අම්මා, තාත්තා එක්ක ඉන්නවා. වෙනසකට තියෙන්නේ තව කෙනෙක් පවුලට එකතු වුණු එක විතරයි.

මේ වසරේ තිසුරිට සම්මාන හිමි වුණු අවස්ථා වගේම නිර්දේශ වෙලත් සම්මාන නොලැබුණු අවස්ථා තිබ්බා. ගිලිහුණු සම්මාන ගැන දුකක් නැද්ද?

මම කවදාවත් සම්මාන බලාගෙන රඟපාලා නැහැ. මගේ අම්මා මට මුලින්ම කියලා තියෙනවා ලංකාවේ සම්මාන බලාගෙන රඟපාන්න එපා කියලා.

ඇතැම් නිර්මාණවලට අනෙක් අයගෙන් පැසසුම් ලැබුණු අවස්ථාවල පවා සම්මාන ගිලිහුණු අවස්ථාවන් තිබුණා.

සම්මානයක් කියන්නේ ඉදිරි ගමනට උත්තේජනයක්. සම්මානයක් ලැබුණොත් ඒක සතුටින් භාර ගන්නවා. මට ලැබෙන නිර්මාණවලට උපරිම සාධාරණයක් ඉටු කරනවා. ඒ නිසයි ක්‍ෂේත්‍රයේ මෙච්චර කල් ඉන්න පුළුවන් වුණේ. මට හොඳම නිළිය සම්මානේ පවා හිමි වෙලා තියෙනවා.

කොහොම වුණත් ලොකුම සම්මානය තමයි ප්‍රේක්‍ෂක සම්මානය.

විවාහයත් එක්ක අලුත් හීන ජීවිතේට එකතු වෙලාද?

මම ලොකුවට හීන මවන් හීන එක්ක ජීවත් වුණු කෙනෙක් නෙවෙයි. අද දවස හොඳින් ගත කිරීම සහ කාටවත් කරදරයක් නැතිව නිදහසේ ජීවත් වීම තමයි මට තියෙන බලාපොරොත්තුව.

ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. ඉදිරියට මගේ පවුලේ අයත් එක්ක මගේ මහත්තයාගේ පවුලේ අයත් එක්ක සතුටින් හොඳින් ජීවත් වීම තමයි මගේ එකම හීනය.

ඉරේෂා කල්හාරි සේනාධීර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon