කොළඹ සන්නියෙන් මේනකා වෙනස් වෙලා

  👤  2854 readers have read this article !
Published by : MB WEB 2018-11-12 11:03:52

මොකක්ද මේ මේනකාට කොළඹ සන්නිය රිටන්ස් එක්ක තියෙන සම්බන්ධය?

අනූව දශකයේ තිරගත වූ දැවැන්ත හාසේ‍යාත්පාදක චිත්‍රපටයක් වුණු කොළඹ සන්නිය හර්ෂ උඩකන්ද, කොළඹ සන්නිය රිටන්ස් නමින් ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ඉතිං ඒ නිර්මාණයට මටත් රංගනයෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

අපි මේනකාව හාසේ‍යාත්පාදක චරිතවලින් දැකලා තිබ්බේ නෑ. හාසේ‍යාත්පාදක නිර්මාණයකට මේනකා සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි?

මම නිර්මාණයකට සම්බන්ධ වෙද්දී ඒ අදාළ නිර්මාණය ගැන වගේම ඒ නිර්මාණයෙන් මට වෙන දේ ගැනත් හිතලා බලනවා. මාව පහුගිය කාලය පුරාම ප්‍රේක්ෂකයෝ දැක්කේ නපුරු චරිතවලින්. මම ඒ වගේ චරිතවලට කොටුවෙලා හිටපු නිසායි මට ඒ කොටු කිරීමෙන් එළියට පනින්න ඕන වුණේ. මාව හාසේ‍යාත්පාදක චරිතවලින් ප්‍රේක්ෂකයෝ දැකලා තිබ්බේ නැහැ. මට වෙනත් චරිතත් කරන්න පුළුවන් කියන දේ පෙන්වන්න තමයි මට ඕන වුණේ.

කොහොමින් කොහොම හරි සරත් කොතලාවල එක්ක දීග යන්නත් වුණානේ?

ඔව්. ඒ චිත්‍රපටය වෙනුවෙන්නේ.

රංගනයෙන් දායකවෙද්දී ඔහුගෙන් හොඳ සහයෝගයක් ඔබට ලැබුණද?

ඇත්තටම මට, ප්‍රවීණයන් එක්ක මේ චිත්‍රපටයෙදී රඟපාන්න ලැබුණා. මේ චිත්‍රපටය භාරගන්න එක හේතුවක් වුණෙත් ඒක. චිත්‍රපටය හොඳ නැත්නම් එවැනි ප්‍රවීණයන් මේ නිර්මාණයට දායක වෙන්නේ නෑනේ. ඇත්තටම ඔවුන් මට හොඳ සහයෝගයක් දුන්නා. ඔවුන් එක්ක රඟපාන්න ලැබීම මගෙත් වාසනාවක්.

ඔබ නිර්මාණය ඇතුළේ සාර්ථක චරිතයක්ද?

අපි යම් නිර්මාණයක් කරද්දී හිතන්න ඕන අපිට අදාළ දේ සියයට සියයක් හොඳින් කරනවා කියලා. එතකොට සියයට අනූවක් හරි අපි කරන දේ සාර්ථක කරගන්න පුළුවන්. අපි කරන දේ තුළ අපිට තෘප්තියක් තියෙන්නත් ඕන. මම හිතනවා මම මගෙන් ලබාදිය යුතු දායකත්වය උපරිමයෙන් ලබාදුන්නා කියලා.

නපුරු චරිතවලට කොටුවෙලා හිටපු ඔබ මේ නිර්මාණය නිසා ඉදිරියේදී හාසේ‍යාත්පාදක චරිතවලට කොටුවෙයිද?

මම සම්බන්ධ වුණු චිත්‍රපට හතරක් ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. ඒ අතර හාසේ‍යාත්පාදක චිත්‍රපටයකුත් තියෙනවා. ඒ වගේම හෙක්ටර් කුමාරසිරි මහත්මයාගේ 'අනෝරා' සහ අර්ජුන කමලනාත්ගේ 'කුණාටුවේ මාරයා' කියන එකකට එකක් වෙනස් අභියෝගාත්මක චරිත දැක්කම මාව කවුරුත් එක චරිතයකට කොටු කරන එකක් නැහැ. බොලිවුඩ්වල නම් රංගන ශිල්පීන් ශිල්පිනියන් විවිධ චරිත කරනවා. ලංකාවේ තමයි එක චරිතයක් කළොත් ඒ වගේම චරිතවලට ශිල්පීන්ව කොටු කරන්න හදන්නේ.

වෙනස් වෙද්දී එල්ල වෙන විවේචන ගැනත් හිතන්න වෙනවනේ. මේනකාගේ වෙනසට විවේචන ආවෙම නැද්ද?

ඇත්තටම සමාජ වෙබ් අඩවි සහ මගේ ෆේස්බුක් ගිණුම හරහා මට ලැබුණෙ හොඳ ප්‍රතිචාර. මම චිත්‍රපටය භාරගනිද්දී චකිතයකින් භාරගත්තේ. මොකද ඕනම දෙයකට විවේචන එල්ල වෙන්න පුළුවන්නේ. නිර්මාණය හොඳ වුණත් සියයට සියයක් හැමදේම සාර්ථක කරගන්න බැරිවෙන අවස්ථා තියෙනවනේ. ඒත් මේ චිත්‍රපටය හොඳ විනෝදාත්මක චිත්‍රපටයක් කියලා තමයි ප්‍රතිචාර ලැබෙන්නේ.

මේනකා මේ චිත්‍රපටය වෙනුවෙන් කොට ඇඳුම් අඳිනවා. නිර්මාණයකදී ඇඳුම් පැලඳුම් සම්බන්ධයෙන් මේනකාට මොනවගේ වාරණද තියෙන්නේ?

සාමාන්‍ය ජීවිතයේ අඳින පලඳින විදියට තමයි මම මේ නිර්මාණයේදී ඇඳුම් ඇන්දේ. අද කාලේ ගැහැනු කෙනෙක් කොට කලිසම් අඳින එක සාමාන්‍ය දෙයක්නේ. මම මට අසාධාරණයක් වෙන විදියට ඇඳුම් අඳින්නේ නැහැ. පරණ චිත්‍රපටවල නම් නිරුවත්, අඩ නිරුවත් දර්ශනවල පෙනී හිටපු රංගන ශිල්පිනියන් ඉන්නවා. නමුත් අද කාලේ එවැනි චරිත රඟපාලා ගැරහුමට ලක්නොවී ඉන්න අමාරුයි. ඒ නිසා නිරුවත් අසභ්‍ය දර්ශනවලට මම පෙනී හිටින්නේ නෑ.

ඒ දෝෂාරෝපණවලට බය නිසාද?

ඇත්තටම මම දෝෂාරෝපණවලට විවේචනවලට ලක්වෙන්න හරි බයයි.

ඔය වාරණ දාගෙන චරිතාංග නිළියක් වෙන්න පුළුවන්ද?

විවේචනවලට බයවෙලා ඉන්න බෑ තමයි. ඒත් ගොසිප් නිසාම මම බය වුණා. මම දැන් ගැළපෙන තෝරාගන්න දේ කරගෙන ඉන්නවා.

සමහර රංගන ශිල්පීන් රංගන ශිල්පිනියන් අධ්‍යක්ෂවරු එක්ක මතභේද ඇති කරගන්න අවස්ථා තිබෙනවා. හර්ෂ නවකයෙක්. මේනකාට ඔහු මොන වගේ අධ්‍යක්ෂවරයෙක්ද?

හර්ෂ එක්ක වැඩකරන්න පහසුයි. නවකයෙක් වුණාට සිනමාව ඇතුළේ වැඩක් කරනවා. සමහර අධ්‍යක්ෂවරු ඉන්නවා වැඩ කරන්න අපහසු. නමුත් හර්ෂ එහෙම නෑ. ඒ වගේම මම මේ දවස්වල සිවගුරුනාදන් මහත්මයාගේ රාජයෝගය ටෙලි නාට්‍යයෙනුත් ප්‍රේක්ෂකයන් අතරට එනවා. සිවගුරුනාදන් මහත්මයත් ඒ වගේම එකට වැඩ කරන්න පහසු අධ්‍යක්ෂවරයෙක්. ඔවුන් එක්ක වැඩ කරන්න ලැබීමත් භාග්‍යයක්.

පුංචි තිරයේ අලුත් වැඩවලට ආරාධනා ලැබුණේ නැද්ද?

මේ මාසයේ තවත් අලුත් වැඩකට සම්බන්ධ වෙනවා. ඒකත් මම ආසාවෙන් හිටපු වෙනස් චරිතයක්. මම ආසයි විවිධ චරිත කරන්න. නමුත් මගේ දක්ෂතාව පෙන්වන්න ලැබිලා තියෙන අවස්ථා අඩුයි.

අද කාලේ රංගන ශිල්පීන්ට වඩා ශිල්පිනියන් ඕනතරම් ඉන්නවා. ඒ රංගන ශිල්පිනියන් ගොන්න අතරින් මේනකාට තිබෙන ඉල්ලුම ගැන සතුටු වෙන්න පුළුවන්ද?

අද නිර්මාණ බිහිවෙන ප්‍රමාණයටත් වඩා ඒවට සම්බන්ධ වෙන්න ඉන්න පිරිස වැඩියි. අද කෙනෙක්ගේ දක්ෂතාවට වඩා හිතන්නේ ඒ කෙනාගේ අය කිරීම ගැන. නිර්මාණයට සාධාරණයක් කරන්න පුළුවන්ද බැරිද කියන දේ ගැන එයාලා හිතන්නේ නැහැ. ගන්න මුදල අඩු නම් ඒ කෙනාට අවස්ථාව දෙනවා. අනෙක් පැත්තෙන් ලංකාවේ නිර්මාණ හැදෙනවා අඩුයි. ඒ වගේ පසුබිමක අදටත් අපි නිර්මාණවල රැඳිලා ඉන්න එක ගැන සතුටුයි.

මේනකාගේ ගණන් වැඩිද?

මෙහෙමයි. අපි අපේ වටිනාකම අය කරන්න ඕන. අපි මුදල අඩු කළොත් අපේ වටිනාකමත් අඩුයි. මාව යම් නිර්මාණයකට ඕන නම් ඒ අවශ්‍ය කෙනා මගේ වටිනාකම ගෙවලා ඒ නිර්මාණවලට මාව සම්බන්ධකර ගන්නවා.

මේනකා ව්‍යාපාරිකාවක්. ඒ වැඩ එක්ක රංගන කටයුතු කරගන්නේ කොහොමද?

මම කොහොමත් ව්‍යාපාරවලට කැමැතියි. මම මගේ රංගන ජීවිතය ව්‍යාපාර කටයුතුවලටවත් ව්‍යාපාර කටයුතු රංගනයටවත් බාධාවක් කරගන්නේ නැහැ.

බොහෝ දෙනෙක්ව මනාලියන්ට අන්දන මේනකා මනාලියක් වෙන්නේ කවදද?

මනාලියන්ව අන්දවන පිනවත් මට ලැබිලා මටත් මනාලියක් වෙන්න ලැබෙයි කියලා හිතනවා. විවාහය කියන දේ දවසින් දෙකෙන් කරලා අයින් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. සුදුසු කෙනා තෝරාගෙන තමයි විවාහය ගැන හිතන්න ඕන.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

ඡායාරූප - අශාන් ගමගේ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon