1630 අගෝස්තු සටන සිදුවූ තැන සමරන ස්මාරකය විනාශයි

  👤  2349 readers have read this article !
Published by : MB WEB 2018-11-09 06:12:30

වැල්ලවාය _ ජී.අයි. රොෂාන්

මීට වසර 388කට පෙර එනම් 1630 වසරේ අගෝස්තු මස 25 දින පෙරවරුවේ ලංකාවේ සිදුවූ ඓතිහාසික සටන් අතර අද්විතීය ස්ථානයක් හිමි කරගත් ශේ්‍රෂ්ඨ සටනක් සිදුවූ ස්ථානයක් සිහිවීම වෙනුවෙන් 1963 වසරේ ඉදිකරන ලද රන්දෙණිවෙල ස්මාරකය අද වන විට වල් බිහිවී කැඩිබිඳී ගොස් ජරාවාස වෙමින් ඇතැයි හෙළයේ විරුජන සංගමය පවසයි

වැල්ලවාය - ඇල්ල මාර්ගයේ රන්දෙණිය මංසන්ධිය ආසන්නයේ පිහිටුවා ඇති මෙම විරු ස්මාරකය ආසන්නයේ 1998 වසරේදී වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ත්‍රස්තවාදීන් හා යුද වදිමින් රට බේරා ගැනීමේ සටනට දිවිදුන් රණවිරුවන් වෙනුවෙන් ඉදිවූ ස්මාරකයක්ද පිහිටුවා ඇති අතර මෙම ස්මාරක දෙකටම අත්වී ඇත්තේ කනගාටුදායක තත්ත්වයක් බව එම සංගමය වැඩිදුරටත් කියා සිටී.

දිවයිනේ නව වසරක් ආණ්ඩුකාර ධුරය දැරූ ‍ෙදාන් කුස්තන්තීනුද සා නමැති සෙන්පතියා ඇතුළු පෘතුගීසි භටයන් 3500කට අධික පිරිසක් රාජසිංහ රජු ඇතුළු සිංහල හේවායන් අතින් සමූල ඝාතනය වෙන්නේ මෙම ස්මාරකයට නුදුරින් පිහිටි රන්දෙණිවෙලේහි වන අතර එම ඓතිහාසික සටන සිහිවනු වස් ඉදිකර ඇති ස්මාරකය අබියස තෛ්‍රභාෂාවෙන් ලියැවුණු ඒ ජයග්‍රාහී ඓතිහාසික කතා පුවත සඳහන්ව ඇත්තේ මේ අයුරිනි. දෙවැනි රාජසිංහ නමින් පසුව රජ පැමිණි කන්ද උඩරට මහා අස්ථාන කුමරුන් විසින් මෙසේ යවන ලද සිංහලේ සේනාවෝ ක්‍රිස්තු වර්ෂ 1630 අගෝස්තු මස 25 වැනිදා පෙරවරුවේ මේ අසලින් ‍ෙදාන් කුස්තන්තීනුද සා යටතේ වූ ප්‍රතිකාල් බලයේ ඒකාබද්ධ සේනාංකය පරාජයට පත් කළහ.

මෙය සිංහල ජාතියේ උදාරතර වූද ඓතිහාසික වූද සටනක් වන්නේ ප්‍රතිකාල් දේශපාලන බලයට රන්දෙණිවෙලදී ලැබුණු මරු පහර ක්‍රිස්තු වර්ෂ 1658දී දෙවැනි රාජසිංහ රජතුමන් සහ එතුමන්ගේ මිත්‍ර සේනාවන් විසින් ප්‍රතිකාලුන් මෙරටින් සහමුලින්ම නෙරපා දමනු ලැබීමට තුඩුදුන් හෙයිනි. ලක්දිව ප්‍රතිකාලුන් යටතේ පැවැති ප්‍රදේශවල නව වසක් ආණ්ඩුකාර ධුරය දැරූ ‍ෙදාන් කුස්තන්තීනුද සා මේ සටනේදී ජීවිතක්ෂයට පත් කෙරිණි.
මෙම ස්මාරකය සංරක්ෂණය කිරීම හා ආරක්ෂා කරගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් 'මව්බිම'ට අදහස් දක්වන හෙළයේ විරුජන සංගමයේ නිර්මාතෘ මධුර ගලගොඩ මහතා මෙසේ කීය.

කුස්තන්තීනුද සාගේ ප්‍රධානත්වයෙන් යුත් පෘතුගීසි සේනාව බදුල්ල නගරය ගිනිබත් කරලා ආපසු එන්නේ මේ රන්දෙණිවෙල හරහා. ඒ එනකොට කල්තියාම සෙනරත් රජතුමාගේ පුතුන් තිදෙනා විජයපාල කුමාරසිංහ හා කුමර කුමාරසිංහ හෙවත් මහා අස්ථාන කුමාරයා වගේම ගලගොඩ දිසාවෙ ඇතුළු සිංහල සේනාව පන්දහසට අධික පිරිසක් කන්ද උඩරටින් ඇවිල්ලා කඳවුරු බැඳගෙන හිටියා ඔවුන්ට පහරදෙන්න.

සිංහල සේනාවගේ වාසනාවට මහා වර්ෂාවක් වැහැලා කිරිඳිඔය පිටාර ගලනවා. මේ නිසා පෘතුගීසි හමුදාව කොටුවෙනවා. ඔවුන් රැගෙන ආ වෙඩි බෙහෙත් සියල්ල තෙමෙනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා සිංහල සේනාව පෘතුගීසි හමුදාව සමූලඝාතනය කරනවා. ඒ සටනේදී තමයි ලංකාවේ පළමුවැනි වතාවට ආණ්ඩුකාරවරයකු මරණයට පත්වන්නේ. ඒ හිස සෙනරත් රජතුමාට පෙන්වන්න අරගෙන ගියා කියලත් ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වෙනවා.

එවැනි සටනක් සිදුවූ ස්ථානය සංරක්ෂණය කරන්න ස්ථානය ආරක්ෂා කරන්න අදටත් කිසිම වගකිවයුතු බලධාරියකුගේ අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක්. ඒ වගේම ඒ සමීපයේ ඉදිකරලා තියෙන රණවිරු ස්මාරකයට අත්වී ඇත්තේ ද ඒ වගේ ඉරණමක්මයි. මත්පැන් බීලා බෝතල් දාලා. කැලේ වැවිලා. වල් බිහිවෙලා. පුස් බැඳිලා. ජරාවාස වෙලා. මේ වගේ තැනක් පිටරටක තිබුණා නම් අති විශාල මුදලක් ගෙවලා තමයි බලන්න යන්න වෙන්නේ. ඒ රටට තියෙන වටිනාකම කියන්න බෑ. නමුත් අපේ රටේ මේ වගේ වීරයන් වෙනුවෙන් ඇගයීමක් නෑ.

මේ ස්ථාන ජාතික වීරත්වයක්, හැඟීමක් හෝ ජාතිකාභිමානයක් ඇතිවන ආකාරයට නිර්මාණය කළ යුතු ස්ථානයක්. නමුත් එවැනි දෙයක් සම්බන්ධයෙන් කිසිවකුත් මේ වනතුරු අවධානයක් යොමු කරලා නෑ. වසර දෙසීයක වෙල්ලස්සේ නිදහස් අරගලය ඒ ඓතිහාසික සටන සමරන්න අපි සූදානම් වෙලා ඉන්න වෙලාවේ වසර 388කට පස්සේවත් ඒ ඓතිහාසික රන්දෙණිවෙල සටන වූ ස්ථානයෙත් ඇති වටිනාකම ඇගයීමට ලක්කළොත් එය දිවිදුන් වීරයන්ට කරන උපහාරයක් වෙනවා. එවැනි කටයුත්තක් මේ වන තුරුත් ක්‍රියාත්මක නොවීම කනගාටුවට කරුණක් යැයි ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon