31 වැනිදාට අපි ගේට්ටු වහන්නේත් නෑ අරින්නෙත් නෑ අපි ගේට්ටු වහන්නේත් නෑ අරින්නෙත් නෑ

  👤  2549 readers have read this article !
Published by : MB WEB 2018-11-09 07:12:51

මනම්පිටිය - නිමල් ජයරත්න

ඕනෑම රැකියාවක නිරත වන පුද්ගලයකු මාසිකව සාධාරණ වැටුපක් බලාපොරොත්තු වෙති. එමෙන්ම රැකියාව සඳහා ලබා දෙන සහන හා දීමනාද අපේක්ෂා කරති. සාධාරණ වැටුප් මෙන්ම දීමනා සහන නොලැබුණ තැන සෑම සේවකයකුම තම ඉල්ලීම් ලබා ගැනීමට විවිධ වර්ජන කරති.

ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකාරී සාමාජිකයන්ද වසර කිහිපයක සිට විවිධ අසාධාරණයන් රැසකට මුහුණ පා සිටින පිරිසකි.

2013 වසරේ සිට රුපියල් 250ක දෛනික වැටුපකට සේවයේ නිරත වන දුම්රිය ගේට්ටු මුරකරුවන් තම වැටුප් වැඩි කරන ලෙස කොතෙක් ඉල්ලීම් කළද අදටද ඊට සාධාරණ විසඳුම් නොමැත.

2013.7.6 වැනිදා සිට දුම්රිය ගේට්ටු මුරකරුවන් 2061 දෙනකු අනාරක්ෂිත ගේට්ටු 687ක සේවය කරන්නේ රුපියල් 250 දෛනික වැටුපක් වෙනුවෙනි. කදුරුවෙල නෙලුම්විල පදිංචි 56 වියැති දෙදරු පියකු වන ආර්.ඒ. ගාමිණී මහතා

'හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට තමයි අපි මේ රස්සාවට බඳවා ගත්තේ. 2013.7.6 වැනිදා ඉඳලා අපි රුපියල් 7,500ක මාසික වැටුපට මේ සේවය කරන්නේ. දවසට රුපියල් 250යි වැටුප. පැය 8ක් සේවය කරන්න ඕනේ.

අපිට මේ වැටුප් ජීවත්වෙන්න හොඳටම මදි. මේ රස්සාව කරද්දී අපිට වෙන අමතර රැකියාවක් කරන්න කොහෙත්ම බැහැ. මොකද වගකීම් ගොඩක් වගේම ජීවිත ගණනාවකගේ ආරක්ෂාව සපයන රැකියාවක් මේක. දුම්රිය යන යන වෙලාවට ගේට්ටුව වැහුවේ නැත්නම් අනතුරක් වෙලා ජීවිත දේපළ කීයක් විනාශ වෙයිද කියලා අපිට කියන්න බැහැ. ඒ වගේ අවදානම් රැකියාවක් කරලත් අපිට දිනකට වැටුප ලැබෙන්නේ රුපියල් 250යි. අනෙක 31 ගෙවෙන මාසවලට අපිට වැටුප ලැබෙන්නේ දින 30කට විතරයි.

දින 28ත් 29ත් ගෙවෙන මාසවලදී වැටුප ලැබෙන්නේ වැඩ කරපු දින අනුවයි. ඒ කියන්නේ අපිට ස්ථීර මාසික වැටුපක් ලැබෙන්නේ නැහැ. දිනකට රුපියල් 250ක් ලැබෙන මේ රස්සාව කරලා ජීවත් වෙන්න විදියක් නැහැ. ඒ නිසා සමහර ගේට්ටු මුරකරුවෝ දුම්රිය අනාරක්ෂිත ගේට්ටුව ළඟ තේ කඩ, කුඩා සිල්ලර වෙළෙඳසලක් දාගෙන අමතරව සුළු මුදලකුත් හොයා ගන්නවා. ගම්මානවලට ඇතුළු වන දුම්රිය ගේට්ටු අසල විතරයි ඕක කරන්නත් වෙන්නේ. අපි කියන්නේ මේ රස්සාව ස්ථිර කරලා අපිට ස්ථිර වැටුපක් ලබාදෙන්න කියලා. මාසයකට ලැබෙන රුපියල් 7,500 වැටුප ජීවත් වෙන්න කොහොමත් මදි. මේ රස්සාව ගැන වගකියන්න කවුරුත් නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුව, දුම්රිය සාමාන්‍යාධිකාරි, ප්‍රවාහන ඇමැතිවරු මේ රස්සාවට වගකියන්නේ නැහැ. මොනම අමාත්‍යාංශයකට දෙපාර්තමේන්තුවකට අපිව භාරගන්නේ නැහැ. අපි කුලීකරුවන් වගේ පැය අටක් මෙතැන සේවය කරන්න ඕනේ. හැබැයි අපි නිසා ලංකාවේම දුම්රිය හරස් මාර්ගවලින් ගමන් කරන ජීවිත දේපළ රැසක් ආරක්ෂා වෙනවා.'

50 වියැති දෙදරු පියකු වන බී. අජිත් මෙන්ඩිස් තම රැකියාවේ වැටුප් තත්ත්වය පිළිබඳව මෙලෙස කීය.

'මහත්තයෝ ලංකාවේ දෛනික අඩුම වැටුපකට සේවය කරන්නේ අපි. ඒ කියන්නේ දිනකට රුපියල් 250යි. මාසයකට 7,500යි. ඒත් දින 28,29ත් ඉවර වන මාසවල ලැබෙන්නේ ඒ දින ගාණට. දින 31ක් වැඩ කළොත් වැටුප ලැබෙන්නේ දින 30කට විතරයි. අපිට කියලා ඊ.ටී.එෆ්., ඊ.පී.එෆ්. නැහැ. රජයේ නිවාඩු, පෝය නිවාඩු නැහැ. අවුරුදු දීමනා වෙනත් දීමනා මොකුත් නැහැ. අපි අපේ රස්සාව ස්ථිර කරලා සාධාරණ මාසික වැටුපත් ලබා දෙන්න කියලා සෑම වගකිවයුතු අයගෙන් ඉල්ලුවා. ඒත් තවම අපිට සාධාරණයක් වුණේ නැහැ. මේ රස්සාව ලොකු වගකීමක් ඇති ජීවිත හා දේපළ ආරක්ෂා කරන අවදානම් රස්සාවක්. කෝච්චිය යන වේලාවට ගේට්ටුව වහන්න බැරි වුණොත් මොන ආකාරයේ ජීවිත දේපළ අනතුරක් වෙයිද කියලා අපිට තක්සේරු කරන්න බැහැ.

අනෙක දුම්රිය ගමන් කරන කාලසටහනක් කියලා අපිට ලැබිලා නැහැ. දුම්රිය එනවද නැද්ද කියලා අපි අපේ දුරකථනයෙන් සල්ලි කපාගෙන අපිට එහා ගේට්ටු මුරකරුගෙන් තමා ඒ බව දැන ගන්නේ. අපිට වැටුප ලැබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුව හරහා. පොලිස් දෙපාර්තමේන්තුවට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් වැටුප් මුදල් වෙන්කරනවා කියලා තමා අපි දන්නේ. හිඟුරක්ගොඩ ඉඳලා වැලිකන්ද කඩවතමඩුව අතර අනාරක්ෂිත ගේට්ටු 42ක් තියෙනවා. මේ තැන්වල මුරකරුවෝ 126 දෙනෙක් පැය 8 බැගින් රෑ දවල් වැඩ කරනවා. කොළඹ සිට මඩකළපුව අතර දුම්රිය ගමන්වාර දිනකට 12ක් 14ක් සිදුවෙනවා.

අමතර දුම්රිය ගමන්වාරත් තිබෙනවා. ඉතිං ඒ ගැන අපිට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දුම්රිය ගමන් වාර කාල සටහනක්වත් දීලා නැහැ. අනෙක සමහර දුම්රිය අනාරක්ෂිත ගේට්ටුවල සේවය කරන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථීර සේවකයන්. ඒ අයත් කරන්නේ අපි කරන රාජකාරියමයි. නමුත් ඒ සේවකයන්ට මාසිකව රුපියල් 30,000ක, 40,000ක වැටුපක් ලැබෙනවා.

ඒ අයට දුම්රිය ගමන් වාර කාලසටහන්, අමතර දීමනා අවුරුදු දීමනා, රජයෙන් ලැබෙන සහන හැම එකක්ම ලැබෙනවා. ඒ අයගේ සේවයත් ස්ථිරයි. ඊ.ටී. එෆ්., ඊ.පී.එෆ්. සියල්ල හිමියි. අපිට විතරයි මේ අසාධාරණය. අපි කරන රාජකාරියත් ඒ රජයේ දුම්රිය ගේට්ටු මුරකරුවන් කරන රාජකාරියත් එකයි. ඒත් ලැබෙන වැටුප රජයේ දීමනා වෙනස්. මේක ලොකු අසාධාරණයක්.

තලෙයිමන්නාරම හා උතුරු දුම්රිය මාර්ගය හැර ශ්‍රී ලංකාවේ අනෙකුත් දුම්රිය මාර්ගවල අපේ සාමාජිකයන් 2061ක් සේවය කරනවා. අපි අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 687ක ගේට්ටු මුරකරුවන් හැටියට 2013 ඉඳලා වැඩ කරන්නේ රුපියල් 7,500 මාසික වැටුපකට. කරුණාකරලා අපිට වැටුප් වැඩි කරලා සහන දීලා අපේ අයිතිවාසිකම් අපිට ලබාදෙන්න කියන ඉල්ලීම අපි කරනවා. අපි මේවාට විසඳුම් නැති තැන දින කිහිපයක් වැඩ වර්ජනය කළා. ඒත් විසඳුම් නැහැ. අපි ඊළඟට විසඳුම් නැති වුණොත් ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ගයක් අවහිර කරලා අපි පවුල් පිටින් අපේ ඉල්ලීම් දිනා ගන්න රේල් පාරට බහිනවාමයි.'

ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඒ.එම්. නිමල් චන්ද්‍රසිරි මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ කීවේය.

'හිටපු ජනාධිපතිවරයාගේ උපදෙස් මත 2013.07.06 වැනිදා ලංකාවේ අනාරක්ෂිත දුම්රිය ගේට්ටු 687කට මුරකරුවන් 2016 දෙනකු යෙදෙව්වා. එදා ඉඳලා මේ මුරකරුවෝ රුපියල් 250 දින වැටුපකට තමා සේවය කරන්නේ. මේ දෛනික වැටුප අපට කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. මේ අසාධාරණය ගැන අපි සංගමයක් හැටියට වත්මන් ජනාධිපතිතුමා, ප්‍රවාහන ඇමැති, දුම්රිය සාමාන්‍යාධිකාරි ඇතුළු සියලු බලධාරීන් දැනුවත් කළා. නමුත් අපිට සාධාරණ විසඳුමක් ලැබිලා නැහැ. 2015.04.22 සහ 2015.06.05 යන දිනවල මේ ගැටලු ගැන දුම්රිය සාමාන්‍යාධිකාරි රථවාහන අධ්‍යක්ෂවරයා සමඟ අපි සාකච්ඡා කළා.

නමුත් අපිට පිළියමක් ලැබුණේ නැහැ. බැරිම තැන අපි අවස්ථා දෙකකදී ලංකාවේ සියලුම දුම්රිය ගේට්ටු මුරකරුවෝ වැඩවර්ජන කළා. නමුත් ප්‍රවාහන බලධාරීන් නිහඬයි. දැන් අපි තීරණයක් අරන් තියෙනවා. ඒ තමා 31 වැනිදායින් ගෙවෙන මාසවල අපිට 31 දිනට රුපියල් 250 දීමනාවක් ගෙවන්නෙ නැහැ. එදාට අපි කවුරුත් දුම්රිය ගේට්ටු වහන්නෙ නැහැ.'

බැරි වෙලාවත් 31 වැනිදා ලංකාවේ කොහේ හෝ අනාරක්ෂිත දුම්රිය ගේට්ටුවක ජීවිත හා දේපළ අනතුරක් වුණොත් ඒ වගකීම දුම්රිය බලධාරීන්, රජය භාරගත යුතුයි. මොකද 31 වැනිදාට අපිට රුපියල් 250 දීමනාව එකතු වෙන්නේ නැහැ.

අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ ගැටලු පිළිබඳව අප ප්‍රවාහන අමාත්‍යාංශයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධාරියකු පැවැසුවේ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔවුන්ට සාධාරණ වැඩපිළිවෙළක් කරනු ඇති බවයි.

ඔවුන්ට දැනට ලබාදෙන මාසික වැටුපට රුපියල් 5,000ක් එකතු කිරීමේ යෝජනාව බොහෝ විට සාර්ථක වනු ඇති බවද එම උසස් නිලධාරියා සඳහන් කෙළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon