බළන්ගොඩ මූලික රෝහලට පැමිණෙන වාහන නැවැත්වීමට තැනක් නෑ

  👤  1302 readers have read this article !
Published by : MB WEB 2018-11-07 07:01:32

බළන්ගොඩ - නලින්ද වලේබොඩ

බළන්ගොඩ මූලික රෝහලට වාහනවලින් පැමිණෙන ජනතාවගේ වාහන නතර කර තැබීම සඳහා ස්ථානයක් නොමැතිකම් හේතුවෙන් එම වාහන රෝහල ආසන්නයෙන් ඇති කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ග දෙපස නතර කර තැබීමට ජනතාවට සිදුවී තිබේ. එම නිසා ප්‍රධාන මාර්ගයේ නිරන්තරයෙන් බළන්ගොඩ මූලික රෝහල ආසන්නයේ දැඩි වාහන තදබදයක් පවතින බව ජනතාව පවසති.

මේ හේතුවෙන් එම මාර්ග භාවිත කරන ජනතාව මෙන්ම රෝහලට පැමිණෙන ජනතාවද මහත් අපහසුතාවට පත්වන බව ජනතාව කියති. දෛනිකව වාහන දහසකට වැඩි ප්‍රමාණයකින් ජනතාව ප්‍රතිකාර ලබාගැනීමටද රෝගීන් බැලීමට සහ අවශ්‍යතා ඉටුකර ගැනීමට බළන්ගොඩ මූලික රෝහලට පැමිණෙන බව ඔවුහු කියති. මෙම ජනතාවගේ වාහන කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ කිලෝමීටරයකට ආසන්න දුර ප්‍රමාණයක මාර්ගය දෙපස නතර කර තිබෙන බව එම ජනතාව පවසති.

එමෙන්ම මෙම ස්ථානය අවදානම් වංගු සහිත ස්ථානයක් බැවින් මාර්ගය දෙපස වාහන නතර කර තැබීම හේතුවෙන් අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බවද ජනතාව පෙන්වා දෙති.
මේ හේතුවෙන් සියලු දෙනාගේම යහපත සඳහා බළන්ගොඩ මූලික රෝහලට පැමිණෙන ජනතාවගේ වාහන නතර කර තැබීම සඳහා ස්ථානයක් වෙන් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු කරන්නැයි ජනතාව ඉල්ලා සිටිති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon