ඩී.එස්.සේනානායක චරිතය බාරගත්තේ ධර්මසේන පතිරාජගෙන් අහලා

  👤  1848 readers have read this article !
Published by : MB WEB 2018-11-11 06:39:11

"නිදහසේ පියා" ඩී.එස්. සමඟ මේ දවස්වල ඔබ ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් ඉන්නවා. ඒ ගැන මුලින්ම කියමු..?

ඒක ඇත්තටම බරපතළ කාර්යයක්. ලංකාවේ ඉතාමත් වැදගත් කාල පරිච්ඡේදයක රදලයන් අතරින් පැමිණි නායකයකුගෙ චරිතයට පණ දෙන්න මට අවස්ථාව ලැබුණා. ගොඩනඟා තිබුණ පිටපතට අනුව මම ඒ චරිතය ප්‍රතිනිර්මාණය කළා.

දන්න කියන චරිතයක් ප්‍රතිනිර්මාණය කරද්දී විවේචන එල්ල නොවී ඒ චරිතය නිරූපණය කරන්න ඔබ මහන්සි වුණේ කොහොමද..?

මේ චරිතය කරන්න සම්පූර්ණයෙන්ම ඉතිහාසය පිළිබඳව දැනුමක් අවශ්‍ය වුණා. මම කොහොමත් පසුගිය කාලවල ලෝක ඉතිහාසය සම්බන්ධ සාහිත්‍ය කෘති ගණනාවක චරිත නිරූපණය කළා.

ඒ කියන්නෙ ඉතිහාසය පිළිබඳව දැනුම ඔබට ප්‍රයෝජනවත් වුණා..?

ඔව්. ලෝක ඉතිහාසය පිළිබඳව දැනුමක් තිබුණා. ඊට පස්සේ ලංකා ඉතිහාසය පිළිබඳ මේ චිත්‍රපටය මට ලැබුණා. ඉතින් ඒ ඉතිහාසය මට දැඩි ලෙස හදාරන්න සිද්ධ වුණා.

ඒ ඉතිහාසය හදාරන්න මට එච්චර අමාරු වුණේ නැහැ. මොකද මගේ තාත්තා ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යමකාරක සභිකයෙක්. එතුමාගේ පතපොත, ඔහු ලියූ සටහන් මට ලොකු පිටිවහලක් වුණා.

මේ චරිතයට ලැබුණ ආරාධනාව එකපාරටම භාර ගත්තද..?

නැහැ. මොකද මගේ පියා වාමාංශික නායකයෙක් වෙලා හිටියා. දැන් ඔහු ජීවතුන් අතර නැහැ. මගේ මිත්‍ර ආචාර්ය ධර්මසේන පතිරාජගෙන් සහ තව කිහිපදෙනකුගෙන් අහලා තමයි මම මේ චරිතය භාර ගත්තේ.

මේ වගේ චරිතයක් භාරගනිද්දී දේශපාලන විවේචන එල්ල වෙයි කියලා බියක් දැනුණේ නැද්ද..?

නැහැ. මම රංගන ශිල්පියෙක්. පාසල් කාලයේ ඉඳලම මම රංගනය කළා. ඉතිං මට අත්දැකීම් තිබුණා. මම විවේචනවලට බය වුණේ නැහැ.

මම ගොඩක් සතුටු වෙනවා මේ වගේ චරිතයක් කරලා ඉතිහාසය පිළිබඳව විමර්ශනය කරන්න ලැබීමත් ඒ දේ සමාජය සමඟ බෙදාගන්න ලැබීමත් පිළිබඳව.

ඔබ චරිතයට සාධාරණයක් ඉෂ්ට කළා කියලා හිතනවාද?

ඔව්. මම හිතන්නේ ඒ පතපොතේ තිබුණ දේ ඒ විදියටම ඉදිරිපත් කළා. මොකද සේනානායක පවුලේ උදවියත් චිත්‍රපටය නරඹලා මේ පිළිබඳව ගොඩක් සතුටු වුණා. ඉතින් මම හිතනවා මම සාධාරණයක් ඉෂ්ට කළා කියලා.


චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මම ඒ චරිතය ඉතාම හොඳට කරලා තියෙනවා කියලා මට දුරකථන ඇමැතුම් පවා ලැබෙනවා. පාරේ යනකොට පවා ජාති භේදයකින් තොරව දෙමළ, මුස්ලිම් මිනිස්සුත් හොඳයි කියනවා. මේ චරිතයට ගැළපෙන කෙනා ඔබම තමයි කියලා ගොඩක් අය කියනවා. මම පිටකොටුවේ වෙළෙඳ ව්‍යාපාරයක් කරනවා. ඒකට සම්බන්ධ අයත් හුඟක් හොඳ කියනවා. ඉතින් මම හැමෝටම ස්තුතියි කියනවා ඒ ලැබෙන ප්‍රතිචාරවලට.

ඔබේ ව්‍යාපාර කටයතු සමඟ රංගනයට කාලය වෙන් කරගන්නෙ කොහොමද?

මගේ බිරිය මම නැති වෙලාවට හැම දෙයක්ම බලාගන්නවා. මාව මෙහෙයවනවා. ඇත්තටම එතුමිය මගේ ජීවිතයේ අඩක් වගේ. ඇය හැමදෙයක්ම මං වෙනුවෙන් ඉෂ්ට කරනවා. ඉතින් ඇය වගේ කාන්තාවක් මට ලැබුණේ මගේ භාග්‍යයකට.

ඔබේ රංගන ගමන පටන් ගත්තේ කොතැනින්ද?

මම 1968දී අන්තර් ජාතික පාසල් නාට්‍ය තරගයේ ප්‍රථම ස්ථානය ලබා ගත්තා. එතකොට මට අවුරුදු 13යි. එදා ඉඳලා අද වෙනකල් මගේ රංගන හැකියාව වර්ධනය වුණා.

මම මුලින්ම චිත්‍රපටයක රඟපෑවේ ළමා මංකොල්ලකාරයකුගේ චරිතයක්. ඒ දෙමෝදර පාලම චිත්‍රපටයේ. මට ඒකෙදී හොඳම නවක නළුවාට හිමි සරසවි සම්මානයත් ලැබුණා.

ඔබ චරිත භාරගන්නේ මොන නිර්ණායක යටතේද?

චරිතය කළුද සුදුද කියලා මම බලන්නේ නෑ. ඒ චරිතය තුළින් සමාජයට දෙන්න පුළුවන් පණිවුඩය මොකද්ද කියලා තමයි මම බලන්නේ.

දැන් මට වයස අවුරුදු 63ක් වෙනවා. මම රඟපෑමට යොමුවුණේ වයස අවුරුදු 29දී විතර. ඉතින් දැන් අධ්‍යක්ෂවරු දන්නවා මාව මොන චරිතයටද ගැළපෙන්නේ කියලා. මම කතා කළාම එන්නේ නැති චරිතත් ඔවුන් දන්නවා. සමහර අය බයයි මට කතා කරන්න. මම ඒ චරිතයට එන එකක් නැහැ කියලා.

ඒ කියන්නේ ඔබ ලැබෙන හැමදේම භාරගන්නේ නෑ කියන එකද?

ඔව්. මම ගොඩක් ආරාධනා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මම ටෙලි නාට්‍ය 70ක විතර රඟපාලා තියෙනවා. ඒත් 100කට විතර බැහැ කියලා තියෙනවා. වේදිකා නාට්‍යත් විස්සක් විතර රඟපාලා තියෙනවා.

මොනවද මේ දවස්වල අනෙක් වැඩකටයුතු?

මේ දවස්වල 'හඬ නිහඬ' නාට්‍යයේ ගායකයකුගේ චරිතයක් කරනවා. තවත් නාට්‍යයකට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තව චිත්‍රපට හයක වැඩ තියෙනවා. ඒ පිළිබඳව මම ඉදිරියේදී දන්වන්නම්.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon