මිණිගංදෑළ ටෙලියෙන් රංගනයට එක් වූ නීතිඥ ප්‍රේමනාත්

  👤  2647 readers have read this article !
Published by : MB WEB 2018-11-09 13:33:15

නීතිඥ භූමිකාවත් එක්ක හිටපු ඔබ නළු භූමිකාවට ඇවිත්. මොකද්ද මේ වෙනස?

මම නීතිඥ ක්‍ෂේත්‍රයේ කාලයක් පුරා වැඩ කරලා ජනතාව වෙනුවෙන් පෙනී ඉඳලා දීර්ඝ කාලීනව කළ දෙයින් පොඩි වෙනස් වීමකට යන්න ඕන කියලා හිතුවා. ඒකාකාරී ජීවිතයෙන් ටිකක් මිදෙන්නත් මට ඕන වුණා. මම ගොඩක් කලාව එක්ක හිටපු කෙනෙක්. ඉතිං මට මිණිගංදෑළ ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒත් එක්ක රංගන ශිල්පියෙක් විදියටත් මට ප්‍රේක්ෂකයන් අතරට එන්න අවකාශය නිර්මාණය වෙලා. මම රංගනයට දායක වෙන්නේ චාර්ලිස්ගේ චරිතයට. ඒක නාට්‍යයේ කොටස් එකසිය විස්ස පුරා දිවෙන චරිතයක්.

ඔබගේ පළමු ටෙලි නාට්‍ය රංගනය මෙය නේද?

මම මුලින්ම සම්බන්ධ වුණේ ඉරාජ්ගේ 'නිම්නාවියේ' කියන මියුසික් වීඩියෝවට. ඒකෙදි කතා කළේ කාන්තා අයිතිවාසිකම් ගැන. මගේ පළමු ටෙලි නාට්‍ය රංගනය තමයි මිණිගංදෑළ ටෙලි නාට්‍යයෙන් දැන් ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන්නේ.

මිණිගංදෑළ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ඔබට ඉඩකඩ විවෘත වුණේ කොහොමද?

ඉරාජ්ගේ 'නිම්නාවියේ' මියුසික් වීඩියෝවේ මම රඟපාද්දී එහි ප්‍රධාන චරිතය රඟපෑවේ චරිත් අබේසිංහ. මිණිගංදෑළ ටෙලි නාට්‍ය ඔහුගේ අධ්‍යක්ෂණයක්. ඔහු තමයි මට නාට්‍යයට ආරාධනා කළේ.

ඔබ ඒ ආරාධනාව භාර ගනිද්දි මොන වගේ කාරණා ගැනද සැලකිලිමත් වුණේ?

මාව යම් ප්‍රතිරූපයකින් සමාජය හඳුනාගෙන තිබෙනවා. රංගනයට ලැබිච්ච අවස්ථාව භාර ගනිද්දී බොහෝ දේවල් ගැන හිතන්න වුණා. මට ඒ කලා කෘතියට අසාධාරණයක් කරන්න බෑ. කලා කෘතියට සාධාරණයක් කිරීමේ වගකීමත් එක්ක තමයි මම මේ නිර්මාණය භාරගත්තේ.

ඒ වගේම චරිත් මට නාට්‍යයට සම්බන්ධ වෙන්න ආරාධනා කළාට පස්සේ මට තිබ්බ ගැටලුව තමයි කාලය පිළිබඳ ප්‍රශ්නය. දින කළමනාකරණය කර ගැනීමේදී චරිත් මට ගොඩක් උදවු කළා.

මෙය සරල ගණයේ නාට්‍යයක් නෙවෙයි. ඔබට මේ චරිතයේ අභියෝග තිබෙන්න ඇති?

ඔව්. ඒක ලොකු අභියෝගයක්. මම ජීවිතයට එන අභියෝගවලට කැමැතියි. දුෂ්කරයි කියන දේවල් කරන්න මම කැමැතියි. මේ නිර්මාණයත් අතිශය දුෂ්කර ව්‍යායාමයක්. ඒ නාට්‍ය ඇතුළේ වැඩේ සාර්ථක කරගන්න කොයි තරම් පිරිසක් මහන්සි වෙනවද? මම රූපවාහිනියේ සමාජ දේශපාලන වැඩසටහන්වලට මුහුණදීලා තිබ්බට මේ අත්දැකීම මට දුෂ්කර වුණා. සාමාන්‍ය දෙබස් සහ චරිත තිබ්බා නම් එය ඒතරම් දුෂ්කර නොවෙන්න තිබ්බා. අවුරුදු සියයකට එපිට චරිත නිරූපණයක් කරද්දි ඒ භාෂා විලාසයේ පවා දුෂ්කරතා තිබුණා. මාත් එක්ක රඟපාපු හැම කෙනාම රංගන ක්‍ෂේත්‍රයේ කාලයක් ඉන්න අය. ඉතිං ඒ හැමෝම මට ඒ අභියෝගය ජයගන්න සහාය දැක්වූවා.

කොහොමද ඔබේ චරිතයට ලැබෙන ප්‍රතිචාර?

ප්‍රේක්ෂකයෝ නිර්මාණය වැලඳගෙන තියෙනවා. ගොඩක් අයගේ ප්‍රතිචාරය වුණේ කඩුල්ලට පස්සේ නිර්මාණය වුණු අතිශය සුන්දර ගැමි කතාව මේක කියලා. මට ගැටලුව තිබ්බේ මගේ ආධුනික බව පෙනුණොත් නිර්මාණයට අසාධාරණයක් වෙයි කියලා. නමුත් එහෙම ගැටලුවක් වුණේ නැහැ. රසිකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. හොඳ නීතිඥයෙක්ටත් වඩා හොඳ නළුවෙක් කියන ප්‍රතිචාර වැඩියි දැන්.

ඒ කියන්නේ ඔබ චරිතය ඇතුළේ සාර්ථකයි කියන එකද?

මම හිතනවා පටන් ගැන්ම සාර්ථකයි කියලා.

ඔබේ රංගන හැකියාව ගොඩනැඟෙන්නේ පාසල් වේදිකාවෙන් නේද?

මම පාසලේදී, දහම් පාසලේදී නාට්‍ය තරගවලට ඉදිරිපත් වුණා. මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ ඉහළ බෝමිරිය කනිෂ්ඨ විද්‍යාලයෙන්. ඊට පස්සේ මම පහ වසර ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වෙලා කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයට ආවා. එතැන් සිට උසස් පෙළ හදාරන තෙක් මම ඒ පාසලේ අධ්‍යාපනය ලැබුවේ. පාසල් කාලය පුරාවට මම නාට්‍ය සංගම් සහ විවිධ කලා කටයුතු එක්ක එකතු වෙලා වැඩ කළා. නීති විද්‍යාලයේදීත් විවිධ විශේෂ අවස්ථාවල නාට්‍යවලට මම සම්බන්ධ වුණා.

ඒ පාසලෙන් පටන් ගත්ත ගමන රූපවාහිනි තිරයෙන් චිත්‍රපටයකින් අවසන් කරන්න ඕන කියන තැන මම හිටියා.

ඔබ දිගටම රංගන කටයුතුවලට එකතු වෙයිද?

මම කලාවත් එක්කම ඉස්සරහට යනවා කියලා හිතාගෙන නැහැ. නමුත් මම නීතිඥ භූමිකාවටත් වඩා කලාවට දක්ෂ වෙයිද කියන්නත් දන්නේ නෑ. කොහොම වුණත් මම නීතිඥ වෘත්තියේ අවුරුදු දහයක් පුරා හදාගත්ත වපසරිය ගැන සෑහීමකට පත් වෙනවා. මේ රටේ සුවිශේෂී නිර්මාණයකට දායකත්වය දෙන්න ලැබුණොත් මම ඊට දායකත්වය දෙනවා.
ඔබ තේරීම් එක්ක වැඩ කරනවා වගේ?

ඔව්. මට උචිත චරිතවලට සම්බන්ධ වෙන්න මම කැමැතියි. මම වෘත්තීයමය නළුවෙක් නෙවෙයි. චරිත් වගේම බොහොම තේරුම් ගැනීමකින් වැඩ කරන කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න ලැබීම ගැන සතුටුයි. ඔහුගෙයි මගෙයි මනස එකට වැඩකරන්නේ. සමහර කාරණා එක්ක අපි සමපාත වෙනවා. එවැනි වපසරියක් තුළ මට ගැළපෙන චරිත තෝරාගෙන මම ඒවාට සම්බන්ධ වේවි.

සිනමාවට ආරාධනා ලැබුණොත්?

ජීවිතය කියන්නේ අත්දැකීම්. අපි ඒ අත්දැකීම් ලබා ගන්න ඕන. මම ජීවිතයේ විවිධ අත්දැකීම් ලබලා තියෙනවා. පළමු නාට්‍යයේ රඟපාලත් මම බොහෝ අත්දැකීම් ලබාගත්තා. චිත්‍රපටයකට සම්බන්ධ වෙලා වුණත් ඒ අත්දැකීම් ලබා ගන්න මම සූදානම්.

අලුත් ආරාධනා ලැබිලා තිබෙනවාද?

ආරාධනා ලැබිලා තියෙනවා. මිණිගංදෑළ බොහෝ කාලයක් කතා බහට ලක්වෙන නිර්මාණයක් වෙයි. චරිත් එක්කත් තව වැඩ කිහිපයක් කරන්න මම කැමැතියි. සුදුසු චරිත තෝරාගෙන සම්බන්ධ වෙනවා.

රංගනයට එකතු වීමත් එක්ක සම්මාන ගැනත් බලාපොරොත්තු ඇති?

එහෙම බලාපොරොත්තු තියාගෙන නැහැ. මම ඒ වෙලාවේ කරන්න තියෙන දේ උපරිම හොඳට කරන්න උත්සාහ කරනවා. අපි කවුරුත් එකපාර ජයග්‍රහණ ලබා ගත්ත මිනිස්සු නොවෙයිනේ. සම්මාන ලැබුණොත් ගන්නවා. කොහොම වුණත් කරන දෙයට උපරිම දායකත්වයක් දෙන්න මම මහන්සි වෙනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon