පුද්ගලයින් 188 ක් රැගත් ගුවන් යානයක් ජකර්තාහිදී මුහුදට කඩා වැටේ

  👤  1147 readers have read this article !
Published by : MB WEB 2018-10-29 14:13:08

ඉන්දුනීසියාවේ අඩු වියදම් ගුවන් සේවයක් වන Lion Air ගුවන් සමාගමට අයත් Boeing 737 වර්ගයේ මගී ගුවන් යානයක් ජකර්තා නුවරින් ගුවන් ගත කිරීමෙන් පසුව, අනතුරට ලක් වී තිබේ. එම ගුවන් යානයේ පුද්ගලයින් 188 දෙනෙකු සිටි බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති.

එම යානය බංකා බෙලිටුං (Bangka Belitung) දූපත්හි ප්‍රධාන නගරය වන පංකල් පිනෑං (Pangkal Pinang) දක්වා පියාසර කිරීමට නියමිතව තිබිණි.

යානය ගුවන් ගත කිරීමේන් පසු සුළු වේලාවකින් ගුවන් තොටුපොළ සමග පැවති සම්බන්ධතා බිඳ වැටී ඇති අතර එය අවසන් වරට ගුවන් තොටුපොළ සමග සන්නිවේදනය කරන විට පියසාර කරමින් තිබී ඇත්තේ, මුහුදට ඉහළිනි. ගුවන් අනතුරින් කිසිවෙකුගේ දිවි බේරී ඇද්දැයි මෙතෙක් තහවුරු වී නොමැත.

එය ඉන්දුනීසියානු වේලාවෙන් සඳුදා පෙරවරු 6.20 ට ජකර්තා ගුවන් තොටුපොළෙන් පිටත් වීමට නියමිතව තිබූ අතර පැයක පමණ කාලයකින් ගමනාන්තයට ළඟා වීමට නියමිතව තිබිණි.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉන්දුනීසියානු බලධාරීන් පැවසුවේ, වැඩිහිටි පුද්ගලයින් 178 දෙනෙකු, ළමුන් දෙදෙනෙකු සහ ළදරුවෙකු එම යානයෙහි සිට ඇති අතර ගුවන් නියමුවන් දෙදෙනා සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු ද එහි වූ බව ය.

මේ අතර, ගුවන් යානයේ සුන්බුන් සහ මගීන්ට අයත් භාණ්ඩ මුහුදේදී සොයා ගැනුණු බව ඉන්දුනීසියාවේ ආපදා ඒජන්සියේ ප්‍රධානී සුටෝපෝ පූර්වෝ නුග්රෝහෝ ට්විටර් පණිවුඩයක් හරහා දැනුම් දී තිබේ.

ගුවන් යානයේ කැබලි සහ මගීන්ගේ භාණ්ඩ දැක්වෙන වීඩියෝවක් ද ඔහු මුදා හැර තිබිණි.

ඉන්දුනීසියාවේ ජාතික සෝදිසි හා දිවි ගලවා ගැනීමේ ඒජන්සියේ ප්‍රකාශක යූසුෆ් ලතිෆ් (Yusuf Latif) පවසා ඇත්තේ, "ගුවන් යානය කඩා වැටී ඇති බව තහවුරු වී ඇති," බවය.

මේ සම්බන්ධයෙන් "තවමත් තොරතුරු සහ දත්ත එක්රැස් කරමින් සිටින," බව ලයන් එයාර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එඩ්වඩ් සිරායිට් රොයිටර් (Edward Sirait) පුවත් සේවයට පවසා ඇත.

ඉන්දුනීසියාව දූපත් සමූහයක එකතුවක් වන අතර ගුවන් ප්‍රවාහනය එරට බහුලව භාවිත වන ප්‍රවාහන මාධ්‍යයක් වුව ද, එරට ගුවන් සේවාවල ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින්නේ දුර්වල තත්ත්වයකි.

2013 වසරේදී ද ලයන් එයාර් ගුවන් යානයක් මුහුද මතට කඩු වැටුණු අතර එහි සිටි පුද්ගලයින් 108 දෙනා බේරා ගැනීමට හැකි විය. 2004 වසරේදී ද ලයන් එයාර් ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon