සබරගමුව පළාත් පාසල් ප්‍රාථමික ක්‍රීඩා තරගාවලිය

  👤  860 readers have read this article !
Published by : MB WEB 2018-10-26 10:23:34

කුරුවිට - කේ.ඒ. එස්. පියතිලක

සිවුවැනි වරටත් පැවැත්වූ සබරගමුව පළාත් පාසල් ප්‍රාථමික ක්‍රීඩා තරගාවලිය 16දා නිමාවට පත්විය.

14,15 සහ 16 යන තෙදින පුරා පැවැති මෙම ක්‍රීඩාවලිය සඳහා සබරගමුවේ පාසල් 191ක දරු දැරියන් 3,200ක් පමණ සහභාගි වූහ. 1-5 වසරවල දරු දැරියන් සහභාගි වූ මෙම තරගාවලියේ 3 වැනි ශේ‍ර්ණියේ බාලක ප්‍රථම ස්ථානය ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලය, දෙවැනි ස්ථානය දැදිගම ප්‍රාථමික විද්‍යාලය, තෙවැනි ස්ථානය අල්ගම මැදගම ප්‍රාථමික විද්‍යාලයට හිමි විය. එහි බාලිකා ප්‍රථම ස්ථානය ගලිගමුව ප්‍රාථමික විද්‍යාලය, දෙවැනි ස්ථානය ඇඹිලිපිටිය උඩවලව ප්‍රාථමික විද්‍යාලය, තෙවැනි ස්ථානය අල්ගම මැදගම ප්‍රාථමික විද්‍යාලයට හිමි විය.

4 වැනි ශේ‍ර්ණියේ බාලක ප්‍රථම ස්ථාන අල්ගම මැදගම ප්‍රාථමික විද්‍යාලය, දෙවැනි ස්ථානය ඇඹිලිපිටිය උඩවලව ප්‍රාථමික විද්‍යාලය, තෙවැනි ස්ථානය නිවිතිගල ඇලපාත විද්‍යාලය යන පාසල් දිනාගනු ලැබීය. එහි බාලිකා ප්‍රථම ස්ථානය ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලය, දෙවැනි ස්ථානය ඇඹිලිපිටිය උඩවලව ප්‍රාථමික විද්‍යාලය, තෙවැනි ස්ථානය අල්ගම මැදගම ප්‍රාථමික විද්‍යාලය යන පාසල් දිනාගනු ලැබීය.

5 වැනි ශේ‍ර්ණියේ බාලක ප්‍රථම ස්ථානය අල්ගම මැදගම ප්‍රාථමික විද්‍යාලය, දෙවැනි ස්ථානය ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලය, තෙවැනි ස්ථානය බළන්ගොඩ කුමර විද්‍යාලය යන පාසල් දිනා ගත් අතර එහි බාලිකා ප්‍රථම ස්ථානය ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලය, දෙවැනි ස්ථානය අල්ගම මැදගම ප්‍රාථමික විද්‍යාලය, තෙවැනි ස්ථානය ඇඹිලිපිටිය උඩවලව ප්‍රාථමික විද්‍යාලය යන පාසල් දිනා ගෙන තිබිණි.

'ක්‍රියාකාරීව ප්‍රීතිමත් වෙමු' යන තේමාව පෙරටු කරගෙන පැවැති මෙම තරගාවලිය පළාතේ පාසල් පද්ධතීන් උදෑසන ක්‍රියාත්මක වන පාසල් ප්‍රාථමික අංශයේ ශරීර සුවතා වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ක්‍රීඩා උළෙලකි. මෙමඟින් සබරගමුව පළාතේ පාසල්හි ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ කායික මානසික සමබරතාව ඇති කිරීම අපේක්ෂා කෙරේ. පාසල් මට්ටම, කොට්ඨාස මට්ටම, කලාප මට්ටම, පළාත් මට්ටම දක්වා මෙම තරගාවලිය පැවැත්වේ.

මෙය විනිශ්චය කටයුතු සඳහා ගුරුවරු 200ක එක්ව සිටි අතර පැවැති තරග ඉසව් ගණන 7කි. තරගාවලියේ ජය පරාජයට වඩා සිසු දරු දැරියන්ගේ සහභාගිත්වය, ජය පරාජය සමව දරාගැනීම, දරු දැරියන්ගේ ඉවසීම, කැපවීම, අනේ‍යාන්‍ය අවබෝධය, නිරෝගී කායික හා මානසික සමබරතාවක් සහිත නිරෝගී පරපුරක් බිහි කිරීම මෙමඟින් අපේක්ෂිතයි.

මෙදින පැවැති සමාප්ති උළෙලේදී ජයග්‍රහණය ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සහතික පත්‍ර සහ ජයසංකේත ප්‍රදානය කිරීම සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස්. වීරසූරිය සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සේපාල කුරුප්පුආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon