කෂෝගි ඝාතනය: සෞදි ඔටුන්න හිමි කුමරු පළමු වරට අදහස් දක්වයි

  👤  1941 readers have read this article !
Published by : MB WEB 2018-10-25 14:22:36

මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනයට වගකියයුතු සියලු "වරදකරුවන්ට" දඬුවම් ලබා දෙන බව සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් පවසා තිබේ.

රියාද්හි පැවැත්වෙන ජාත්‍යන්තර ව්‍යාපාරික සමුළුව අමතමින් ඔහු ප්‍රකාශ කළේ, "ඒ අපරාධය සියලු සෞදි වැසියන්ට වේදනාවක්" වන නමුත් තුර්කිය සමග පවතින මිත්‍රත්වය පළුදු කිරීමට ඉඩ නොදෙන බවය.

මෙම ඝාතනයට ඔටුන්න හිමි කුමරු සම්බන්ධ බවට එල්ල වූ චෝදනා සෞදි අරාබිය ප්‍රතික්ෂේප කර තිබිණි.

ඔක්තෝබර් 02 වෙනිදා කෂෝගි ඝාතනයට ලක් වූයේ, තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදීය.

සෞදි රජය චෝදනා කළේ, මෙම ඝාතනය "ව්‍යාජ නියෝජිතයින්" පිරිසකගේ ක්‍රියාවක් බවටය.

කෙසේ වෙතත්, සෞදි රජයට විවේචන එල්ල කළ මාධ්‍යවේදියෙකු වූ කෂෝගිගේ ඝාතනය, සෞදි බුද්ධි අංශ නිලධාරීන් විසින් ප්‍රවේශමින් සැලසුම් කළ "දේශපාලනික ඝාතනයක්" බව තුර්කි ජනපති ටායිප් අර්දොවාන් පවසයි.

කෂෝගි සෞදි කොන්සල් කාර්යාලය තුළදී මරණයට පත්වූ බව සෞදි රජය පිළිගැනීමෙන් අනතුරුව එරට පාලකයෙකු ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය වේ.

ඔහු එහිදී පැවසුවේ, මෙම ඝාතනය "සාධාරණීකරණය කළ නොහැකි අධම අපරාධයක්" බවය. "මේ අපරාධය පසුපස සිටින්නන් ඒක වගකියයුතුයි. ඒ වගේ ම අවසානයේ නීතිය ක්‍රියාත්මක වෙයි"

ඔහු සඳහන් කළේ, තුර්කිය සමග සහයෝගයෙන් කටයුතු කරන බවය. "මේ වේදනාත්මක අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ගොඩක් අය උත්සහ කරනවා සෞදි අරාබිය සහ තුර්කිය අතර ගැටුමක් ඇති කරන්න. මට ඔවුන්ට දෙන්න පණිවුඩයක් තියෙනවා, ඔබලාට ඒක කරන්න බෑ"

"සබඳතා බිඳ වැටීමක් සිද්ධ වෙන්නෙ නැහැ කොහොමටවත්"

මේ අතර, සල්මාන් රජු සහ ඔටුන්න හිමි කුමරු රියාද්හිදී කෂෝගිගේ පුත්‍රයා වන සලාහ් (Salah) සහ පවුලේ සාමාජිකයින් හමුවී සාකච්ඡා කළ බව එරට මාධ්‍යවල පළ විය.

රටවල් රැසක් සෞදි අරාබියේ පැවැත්වෙන ජාත්‍යන්තර ව්‍යාපාරික සමුළුව වර්ජනය කර තිබේ.

එහෙත්, සෞදි අරාබියට එරෙහිව සම්බාධක පැනවුවහොත් අමෙරිකාවට එය අහිතකර ලෙස බලපානු ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබිණි.

කෙසේ වෙතත්, මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබිය දැක්වූ ප්‍රතිචාරය "ලෝක ඉතිහාසයේ දුර්වලතම සැඟවීම" ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා පැවසීය.

ඔහු සඳහන් කළේ, මෙය කවුරුන් සැලසුම් කළ ද "ඔහුට බරපතළ ගැටලුවකට මුහුණ දීමට," සිදු වනු ඇති බවය.

මේ අතර, අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ පැවසුවේ, "ඝාතනයට වගකියයුත්තන්ට දඬුවම් කරන," බවය. ඊට අමතරව මේ වන හඳුනාගෙන ඇති සැකකරුවන් 21 දෙනාගේ වීසා අවසර පත් අවලංගු කරන බව ද ඔහු පැවසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon