ඔබාමා, හිලරි සහ CNN: අමෙරිකාව කැලඹූ 'සැකකටයුතු පාර්සල්' පිටුපස සිටින්නේ කවුද?

  👤  1642 readers have read this article !
Published by : MB WEB 2018-10-25 16:16:14

අමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනෙකු වන හිටපු ජනපති බරැක් ඔබාමා සහ අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරියක වන හිලරි ක්ලින්ටන් වෙත මෙන් ම CNN මාධ්‍ය ආයතනයට ද පුපුරණ ද්‍රව්‍ය බවට සැක කෙරෙන පාර්සල් ලැබී ඇතැයි බලධාරීහු පවසති.

එය සිදුවූයේ, නිව් යෝර්ක් නගරයේ පදිංචි ධනවතෙකු වන ජෝර්ජ් සෝරෝස්ගේ නිවස ආසන්නයේ තිබී බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියෙන් දින දෙකකට පසුවය.

බෝම්බයක් බවට සැක කෙරුණු පාර්සලය ලැබීමෙන් පසුව CNN ආයතනයේ නිව් යෝර්ක් කාර්යාලයේ සේවකයින් සියලු දෙනා ඉන් ඉවත් කෙරිණි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, මෙවැනි තර්ජනවලට "අමෙරිකාව තුළ ඉඩක් නොමැති" බවය.

"මේ වන විටත් ඒ සම්බන්ධයෙන් FBI ආයතනය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව" තමන්ට දැනුම් දුන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී ප්‍රකාශ කළේය.

"මම වැඩියෙන් ම මුල් තැන දෙන්නේ අමෙරිකානු වැසියන්ගේ ආරක්ෂාවටයි" ඔහු සඳහන් කළේය.

"මේ වගේ අවස්ථාවල අපි එකාවන්ව සිටිය යුතුයි. අමෙරිකාව තුළ තර්ජන, දේශපාලන ප්‍රචණ්ඩත්වය හෝ එවැනි කිසිදු ක්‍රියාවකට අමෙරිකාව තුළ ඉඩක් නැති බවට අපි පැහැදිලි පණිවුඩයක් දෙන්න ඕන."

මේ අතර, නිව් යෝර්ක් පොලිස් කොමසාරිස්වරයා මාධ්‍ය අමතමින් පවසා ඇත්තේ, තැපැල් මාර්ගයෙන් එවන මෙවැනි පාර්සල් සම්බන්ධයෙන් නිරන්තර අවධානය යොමු කිරීමට උපදෙස් දී ඇති බවය.

ඒකාබද්ධ ත්‍රස්ත කාර්ය බලකායේ සහය ඇතිව අදාළ පාර්සල් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව නිව් යෝර්කිහි FBI ආයතනය පැවසීය.

නිව් යෝර්ක් නගරාධිපති බිල් ඩි බ්ලැසියෝ පැවසුවේ, මෙම උත්සහය "අමෙරිකාවේ නිදහස් මාධ්‍යයට සහ දේශපාලන නායකයින්ට බලපෑම් කිරීමක්" බවය.

"මම සෑම කෙනෙකුගෙන් ම ඉල්ලා සිටිනවා, ප්‍රචණ්ඩත්වයට, වෛරයට, මාධ්‍ය ආයතනවලට පහර දීමට පෙළඹෙන්න එපා. යමෙකුට යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සම්බන්ධයෙන් එකඟ වෙන්න බැරි අවස්ථා තියෙන්න පුළුවන්. ඒත් ඔවුන්ට ගරු කරන්න ඕන"

අදාළ පාර්සල් තැපැල් මගින් එවා තිබුණේ, හිටපු ජනාධිපති බරැක් ඔබාමා, හිටපු අමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ CIA ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන් යන පුද්ගලයින්ගේ ලිපිනයන් වෙතය.

මීට අමතරව, ඩිමොක්‍රටික් මන්ත්‍රී මැක්සීන් වෝටර්ස් සහ හිටපු නීතිපති එරික් හෝල්ඩර්ගේ ලිපිනයන්ට එවා ඇති පාර්සල් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර තිබේ.

බරැක් ඔබාමා සහ හිලරි ක්ලින්ටන් වෙත එවා ඇති පාර්සල් ඔවුන්ගේ නිවසට ම යැවීමට ක්‍රියා කර තිබිණි.

FBI ආයතනය පැවසුවේ, CIA ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන්ට නම් කර තිබූ පාර්සලය CNN ආයතනයේ තැපැල් අංශය වෙත යවා තිබූ බවය.

මේ අතර, ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික කමිටුවේ හිටපු සභාපතිනියක වූ ඩෙබී ෂුල්ට්ස් නමින් නම් කළ පාර්සලයක් ද හමුවී තිබේ.

හිටපු නීතිපති එරික් හෝල්ඩර් වෙත යවා ඇති පාර්සලයේ ලිපිනය වැරදි ලෙස ලියා තිබූ හෙයින් එය ඔහුගේ කාර්යාලයට භාර දී තිබිණි.

CIA ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන් බදාදා දිනයේ CNN ආයතනයේ රූපවාහිනී සාකච්ඡාවකට සහභාගි වීමට නියමිතව සිටි බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. ඔහු CNN රූපවාහිනී සේවයේ වැඩසටහන් සඳහා සම්පත් දායකයෙකු ලෙස නිරන්තරයෙන් ක්‍රියාකරන අතර ජනාධිපති ට්‍රම්ප්ට විවේචන එල්ල කරන්නෙකු ලෙස ප්‍රකටය.

ෆ්ලොරිඩාහි පැවති ප්‍රචාරක රැස්වීමකදී හිලරි ක්ලින්ටන් පැවසුවේ, තමන් සහ සිය පවුල නිරුපද්‍රිතව සිටින අතර ආරක්ෂක අංශ වෙත ස්තුතිය පළ කරන බවය.

"මේක කරදර සහිත කාලයක්" ඇය පැවසීය. "මේක බෙදීම්වලට ලක්වුණු කාලයක්. අපේ රට එක්සත් කරන්න කළ හැකි හැම දෙයක් ම කළ යුතුයි. එසේ කළ හැකි අපේක්ෂකයින් විතරයි අපි තෝරගන්න ඕන"

මේ අතර, බරැක් ඔබාමාගේ ප්‍රකාශිකවක මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීම ප්‍රතික්ෂේප කළාය.

කෙසේ වෙතත්, ප්‍රසිද්ධ පුද්ගලයින්ට එරෙහිව "ප්‍රචණ්ඩකාරී ප්‍රහාර එල්ල කිරීමේ උත්සහයන්" හෙළා දකින් බව ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පැවසීය.

එහෙත්, CNN සභාපති ජෙෆ් සකර් විසින් ජනාධිපතිවරයා සහ ධවල මන්දිර ප්‍රකාශිකාව විවේචනයට ලක් කරනු ලැබීය.

"මාධ්‍ය වෙත අඛණ්ඩව ඔවුන් දිගින් දිගට ම එල්ල කරන ප්‍රහාරවල බරපතළකම ගැන ධවල මන්දරයට කිසිම වැටහීමක් නැහැ" ඔහු පැවසීය.

"ජනාධිපතිවරයා සහ ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් අඩුතරමින් ඔවුන් පාවිච්චි කරන වචනවල තේරුමවත් දැනගත යුතුයි"

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගට ම මාධ්‍යවේදීන් හැඳින්වූයේ, "ජනතාවගේ සතුරා" යනුවෙනි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුත්‍රයාගේ නිවසට ද මේ වසර මුලදී සැකකටයුතු පාර්සලයක් ලැබී තිබුණු අතර ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් මගින් පවසා ඇත්තේ, "මෙවැනි තර්ජනයකට ලක්වූවෙකු වශයෙන් පක්ෂ හෝ මතවාද නොසලකා මෙම ක්‍රියාව හෙළා දකින" බවය.

මේ අතර, ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් සහ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් ද මෙම සිදුවීම තරයේ හෙළා දැක තිබේ.

මේ අතර, බිල් ක්ලින්ටන් සහ හිලරි ක්ලින්ටන් යුවළගේ දරුවා වන චෙල්සි ක්ලින්ටන් ට්විටර් පණිවුඩයක් මගින් පවසා ඇත්තේ, අමෙරිකාවේ "ආරක්ෂක සේවාවෙහි සියලු සාමාජිකයින්ට ස්තුති කරන" බවය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon