ජාතික ක්‍රීඩා උළෙල ඇතුළුව ජාත්‍යන්තරය ජයගත් හසිනි ප්‍රබෝධා ක්‍රීඩිකාවට ලබාදුන් දීමනාව නතර කරලා

  👤  2254 readers have read this article !
Published by : MB WEB 2018-10-25 07:12:18

ලුණුවිල - රෝස් කොලින්

මෙවර ජාතික මහ ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව වන වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ කිරිමැටියානේ පදිංචි බී.ඇම්. හසිනි ප්‍රබෝධා ක්‍රීඩිකාව ඇතුළු සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසි දෙනකුට රජය මඟින් ලබා දුන් මසකට රුපියල් තිස් දහසේ දීමනාව අත්හිටුවා මාස 14ක් ගතවී ඇති බව වාර්තා වෙයි.

ජාතික ක්‍රීඩා උළෙලේදී දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ජනපති අතින් සම්මාන හිමිකරගත් හසිනි ප්‍රබෝධා ක්‍රීඩිකාව තුන්පිම්ම ක්‍රීඩා ඉසව්වෙන් මෙවර මෙන්ම 2013 සහ 2014 වසරවල සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදීද ප්‍රථම ස්ථානය දිනා ඇත. එමෙන්ම 2014,2015,2016 හා 2017 වසරවල ජාතික කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේදී ද එම ඉසව්වෙන් ප්‍රථම ස්ථානය ලබා ඇත. 2016 සහ 2017 වසරවල ඇය තරග වාර්තා දෙකක්ද බිහි කර ඇති අතර 2016 ජාතික තරුණ සේවා ක්‍රීඩා උළෙලේදී දක්ෂතම ක්‍රීඩිකාව වී ඇත. එමෙන්ම 2016 වසරේ ඉන්දියාවේ පැවැති දකුණු ආසියා ක්‍රීඩා උළෙල මෙන්ම වියට්නාමය, ඉරාකය, කිරිගිස්තානයේ පැවැති තරගවලින්ද ඇය ප්‍රථම ස්ථාන ලබා ඇත.

මේ වන විට කියුබානු පුහුණුකරුවකු යටතේ කොළඹ ටොරින්ටන් ක්‍රීඩා පිටියේ පුහුණුව ලබන හසිනි ප්‍රබෝධා ක්‍රීඩිකාව ඇතුළුව එම මට්ටමේ සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙක් සඳහා රජය මඟින් ලබා දුන් රුපියල් තිස් දහසේ මාසික දීමනාව 2017 අගෝස්තු මාසයේ සිට නවතා දමා ඇත.

පිට පළාත්වලින් කොළඹට ගොස් ක්‍රීඩා පුහුණුවීම්වල යෙදෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රජය ලබාදුන් දීමනාව ඉතා වටිනා අතර හදිසියේ එය නතර කර දැමීම ඔවුන්ගේ පුහුණුවීම් කටයුතුවලට දැඩි ලෙස බලපාන බව කිව යුතුය. අනාගතයේ ක්‍රීඩා අංශයෙන් වාර්තා තබමින් රටට කීර්තියක් අත්කර දිය හැකි මට්ටමේ සිටින මෙම සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නතර කර ඇති මාසික දීමනාව ගැන සොයා බලා නැවත එය ලබා දීමට ජනාධිපති ඇතුළු ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon