වැටි වැටී නැඟිට්ට එකෙක්ව ගහලා වට්ටන්න බෑ The Rock

  👤  1485 readers have read this article !
Published by : MB WEB 2018-10-23 14:20:26

ජීවිතයේ සමහර තැන්වලදී එන අභියෝගවලින් කරන්නේ අපව හරි මාර්ගයට දාන්න අවශ්‍ය පන්නරය ලබාදෙන එක. නිරන්තර කැපවීම සහ උනන්දුව තියෙනවා නම් තමන් කරන දේ ගැන විශ්වාස නම් සාර්ථකත්වය ඔබව සොයාගෙන ඒවි. අභියෝග හමුවේ කැපවීමෙන් දියුණු වුණු ඔහු ජනප්‍රිය මල්ලවපොර ක්‍රීඩක සහ රංගන ශිල්පී ඩ්වේන් ජොන්සන්.

1972 වසරේ මැයි 2දා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හේවෝඩ්හිදී ඩ්වේන් ඩග්ලස් ජොන්සන් උපත ලබනවා. ඩ්වේන්ගේ පවුල වෘත්තීයමය මල්ලවපොර ක්‍රීඩකයන්ගෙන් සමන්විතයි. තමන්ගේ සීයා පීටර් මයිවියා සහ පියා රොකී ජොන්සන් මල්ලවපොර ක්ෂේත්‍රයේ නමක් දිනාගත් චරිත වුණාට ඩ්වේන්ට අවශ්‍ය වුණේ නෑ පවුලේ වැඩිහිටියන්ගේ අඩි පාරේ යන්න. ඔහු ආස කළේ ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩකයෙක් විදියට නමක් හදා ගන්න.

ඩ්වේන්ට වයස අවුරුදු 14දී කනගාටුදායක සිදුවීමකට මුහුණ දෙන්න සිදු වෙනවා. දවසක් පාසල් ගිහින් ආපහු ගෙදර එන ඩ්වේන්ට දකින්න ලැබෙනවා ‍ෙදාර උඩ අලවපු නිවේදනයක්. ඒ තමයි නිවෙසේ පදිංචිකරුවන් ඉවත් කිරීමේ නියෝගය. ඩ්වේන්ගේ පවුලම යන එන මං නැතිව පාරට වැටෙන්නේ ණය බරින් මිරිකුණු දුක් කන්දරාවක් පොදි බැඳගෙන.

ආර්ථික ගැටලුවලට මුහුණ දෙන්න අපහසු නිසා සමහර මිනිස්සු සියදිවි හානි කරගන්න පෙලඹෙන හැටි අපි ප්‍රවෘත්තිවලින් දැකලා තියෙනවා (මිල සූත්‍ර සජ්ඣායනය නිසා ලංකාවේ ආපහු ඒ වගේ රැල්ලක් ඇතිවෙන්නත් ඉඩ තියෙනවා) ඩ්වේන්ගේ මවත් පවුලේ දුෂ්කරතා දරාගන්න බැරුව වරක් සිය දිවි නසා ගන්න පෙලඹෙනවා. අෑව බේරාගන්නට පුළුවන් වුණත් මේ සිද්ධිය ඩ්වේන්ගේ හිත කම්පනය කරන්නේ කෙසේ හෝ ජීවිතය ජය ගත යුතුයි කියන අධිෂ්ඨානය හිතට කාවද්දමින්.

පාසල් කාලයේ පටන්ම ක්‍රීඩාවට දක්ෂ මේ අඩි 6යි අඟල් 4ක් උස හාදයාට මයෑමි විශ්වවිද්‍යාලයට ක්‍රීඩා ශිෂ්‍යත්වයක් දිනාගන්න අපහසු වුණේ නෑ. විශ්වවිද්‍යාලයේ ඇමෙරිකානු පාපන්දු කණ්ඩායමේ Defence Tackle ස්ථානයේ දක්ෂ ලෙස තරග කරන ඩ්වේන්ට උපාධියෙන් පස්සේ වෘත්තීයමය වශයෙන් පාපන්දු පිටියට අවතීර්ණ වෙන්න හැකි වුණත් රැඳෙන්න පුළුවන් වුණේ මාස දෙකයි. අවාසනාවන්ත ලෙස ඇතිවුණු ශරීර ආබාධ නිසා ඩ්වේන්ට පාපන්දු සිහිනයට සමුදෙන්න සිද්ධ වෙනවා.

ජීවිතයම ගොඩනඟපු හීනය තමන්ගෙන් අෑත් වෙද්දී ඕනෑම පුද්ගලයෙක් මානසිකව වැටෙනවා. ඩ්වේන්ටත් ඒක පොදුයි. නමුත් ඩ්වේන් වැටුණු තැනින් නැඟිටිනවා. ඔහු තීරණය කරනවා තමන්ට ලෙයින් උරුම වුණු ශිල්පය ප්‍රගුණ කරන්න. ඔහු තමන්ගේ පියා රොකී මුණගැහිලා කියනවා තමන් වෘත්තීයමය මල්ලවපොර ශූරයෙක් වෙන්න කැමැතියි, ඒ සඳහා පුහුණුවීම් උපදෙස් දෙන්න කියලා. රොකී කැමැති වෙන්නේ නෑ තමන්ගේ පුතාත් මේ අඩු ආදායම්ලාභී අවදානම් රැකියාවම තෝරාගැනීම ගැන. නමුත් ඔහු දකිනවා ඩ්වේන් මේ සඳහා වෙන කැපවීම. අවසානයේදී රොකී තමන් දන්න ශිල්පය තමන්ගේ පුත්‍ර රත්නයට උගන්වනවා.

1996දී ඩ්වේන්ට අවස්ථාව ලැබෙනවා ලෝක මල්ලවපොර සමූහය, එහෙමත් නැත්නම් World Wrestling Federation (WWF) සමඟ එකතු වෙන්න. WWF හි තුන්වන පරපුරේ ප්‍රථම මල්ලවපොර චරිතය විදියට වළල්ලට ගොඩවෙන මේ තරුණයාට මුලින් දිගට හරහට ප්‍රේක්ෂක විරෝධය එල්ල වුණා. ඩ්වේන්ගේ පෙනුම Wrestler කෙනකුට ගැළපෙන්නේ නැති බවත් මේ කෂේත්‍රයෙන් ඉවත් විය යුතු බවත් WWF රසිකයෝ නිතරම මැසිවිලි නැඟුවට ඩ්වේන් ඒ කිසිම බැනුමකින් හිත අධෛර්යවත් කරගත්තේ නෑ.

WWF හෙවත් වර්තමානයේ WWE කියන්නේ තනිකරම පිටපතකට යන ප්ලෑන් කරපු වැඩක්. සරලවම කිව්වොත් වේදිකා නාට්‍යක්. නමුත් මේ නාට්‍යය රඟ දක්වන්න තමන්ගේ ශරීරය ඉතාම නිරෝගී ජවසම්පන්න මට්ටමක පවත්වාගෙන යන්න අවශ්‍යයි. ඒක හිතන තරම් ලේසි නෑ. හැම Wrestling චරිතයම Hit වෙන්නෙත් නෑ. ඩ්වේන්වත් ඒ විදියට හැලෙන්න ගියාට ඔහු Game ඒක අතහැරියේ නෑ. කාලානුරූපීව මල්ලවපොර පිටියේ දක්ෂතා පෙන්නලා කැපීපෙනෙන චරිතයක් වෙන්න ඩ්වේන්ට අවස්ථාව ලැබුණා.

මල්ලවපොර චරිතවලට සුපුරුදු රළු පෙනුමට වඩා වෙනස් වුණු හවායි සම්භවයක් සහිත ඩ්වේන්ගේ පෙනුමට සිනමාවෙන් ඇරයුම් ලැබෙන්නේ ඔහුගේ ජනප්‍රියත්වය සිනමාවට උත්තේජනයක් වෙන නිසා. 1999දී The Mummy Returns චිත්‍රපටයේ උප ප්‍රධාන චරිතයකින් සහ ඒ චරිතය ප්‍රධාන චරිතය විදියට යොදාගෙන තැනුණු The Scorpion King චිත්‍රපටයේ රංගනයෙන් සිනමාවට පිවිසෙන ඩ්වේන් ලෝකය පුරා රසික ආදරය දිනාගන්න සමත් වුණා. Fast & Furious චිත්‍රපට මාලාවේ Hobbs චරිතය ඒ අතරින් විශේෂයි. මල්ලවපොර ක්‍රීඩාවට වඩා වැඩි රසික පිරිසක් සිනමාව හරහා ඔහු ළඟා කරගත්තේ 2016 වසරේ වැඩිම අය කිරීමක් කරන නළුවා තරමට උසස් වෙමින්.

අද ඩ්වේන් ජොන්සන්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 220ක්.

ලෝක මල්ලවපොර ක්ෂේත්‍රයේ වඩාත් කැපීපෙනෙන පුද්ගලයන් අතර ප්‍රමුඛස්ථානයක් ඔහුට හිමියි. එදා ඉන්න හිටින්න ගෙයක් නැතිව පාරට වැටුණු ඩ්වේන්ගේ මීළඟ ඉලක්කය 2020දී ධවල මන්දිරයේ පදිංචියට යෑම සඳහා තරග කිරීමටයි. ඩ්වේන්ව අපි හැමෝම හඳුන්වන්නේ "The Rock" කියලා. ඒ නම වඩාත් ගැළපෙන්නේ ඩ්වේන්ගේ ආරෝහ පරිණාහ දේහයට වඩා ජීවිතය කලඹපු හැම සුළි කුණාටුවකටම පර්වතයක් වගේ නොසැලී මුහුණ දුන්න ඔහුගේ ආත්ම ශක්තියටයි.

ෂෙනාල් ගුණසේකර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon