අද තරගයේදී ලොකු සැලසුම් නැහැ අපේ ඉලක්කය මීළඟ ලෝක කුසලානයයි - දික්වැල්ල

  👤  1621 readers have read this article !
Published by : MB WEB 2018-10-23 07:02:20

විචිත්‍ර වීරසිංහ

තරග පහකින් සමන්විත ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී අද (23දා) ආරම්භවන්නේ දෙරට අතර මෙම ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන 11 වැනි එක්දින තරගය ලෙසිනි.

ඒ අනුව මෙම ක්‍රීඩා පිටියේදී දෙපිල අතර හමුවී ඇති අවස්ථා 11 තුළදී 8වරක් ශ්‍රී ලංකාව ජයගෙන ඇති නමුත් එංගලන්තයට ජයගැනීමට හැකිව ඇත්තේ එක් අවස්ථාවක පමණි. තරග දෙකක් අතරමඟ නවතා දමා තිබේ.

මේ අතර අද තරගයෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුවහොත් එංගලන්ත කණ්ඩායමක් හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමක් පරාජයට පත්වන ඉහළම තරගාවලි පරාජය මෙය බවට පත්වීමට නියමිතව ඇති අතර, මෙයට පෙර 2016 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය හමුවේ එංගලන්තයේදී තරග පහක තරගාවලිය 3-0ක් ලෙස පරාජය වී ඇත.

මේ වනවිට තරගාවලිය 3-0ක් ලෙස පරාජය වී නැතිවෙන්නට දෙයක් නොමැති ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්වීම් කිහිපයක් සිදුකරමින් මේ මොහොත වනවිට දැඩි අසාර්ථකත්වයක් පෙන්නුම් කරන කුසල් මෙන්ඩිස්ට හා අමිල අපොන්සුට අද කණ්ඩායමේ ස්ථානය අහිමිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද පැවැසේ.

කෙසේ වෙතත් අද තරගය පිළිබඳව විශාල සැලසුමක් නොමැති බවත්, තම කණ්ඩායමේ ප්‍රධානතම ඉලක්කය ලබන වසරේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට අවශ්‍ය වර්ධනය සකසා ගැනීම බවත්, ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී නිරෝෂන් දික්වැල්ල සඳහන් කළේය. "අපි පල්ලෙකැලේදී ක්‍රීඩා කළ අවසන් තරගය පෙර තරගවලට වඩා සාර්ථක වුණා කියලා හිතෙනවා.

පෙර තරගයේදී අපේ මුල් පෙළේ හා මැද පෙළේ පිතිකරුවන් කිහිප දෙනකු සාර්ථක වුණා. ඒක ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරගෙන ඉන් අපිට හොඳ වර්ධනයක් කියලා පේනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අපිට තව එක්දින තරග 10ක් පමණ තියෙනවා. ඒ තරගවලදී අපි ක්‍රමක්‍රමයෙන් දියුණු විය යුතුයි" යැයි පැවැසූ දික්වැල්ල තාක්‍ෂණයෙන් ඉහළ මට්ටමේ ලක්‍ෂණ සධීර සමරවික්‍රමගෙන් පෙන්නුම් වන බවත්, තමාට ඔහුගෙන් විශාල සහයෝගයක් ලැබෙන බවත් සඳහන් කළේය.

තවද දෙරට අතර ගාල්ලේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී සමුගන්නා රංගන හේරත් සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ දික්වැල්ල පැවැසුවේ මෙවැන්නකි. "රංගන කියන්නේ ලෝකයේ ඉහළින්ම සිටින ක්‍රීඩකයෙක්. වමත් යවන්නන් අතරින් ඔහු තමයි ලෝකයේ අංක එක. ඔහු නොමැති අවස්ථාවක ඒ හිඩැස පුරවන්න ටිකක් අපහසු වේවි. මගේ ක්‍රිකට් ජීවිතයේ ඔහුත් එක්ක සෙල්ලම් කරන්න ලැබීම මහත් ගෞරවයක් ලෙස මම සලකනවා" යනුවෙනි.

ඡායාරූපය _ තාරක බස්නායක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon