ගාලු කථිකාව – 2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත‍්‍රණය ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

  👤  1055 readers have read this article !
Published by : MB WEB 2018-10-22 15:01:05

ගාලු කථිකාව – 2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත‍්‍රණය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ කොළඹ දී ආරම්භ කෙරිණි.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා ශ‍්‍රී ලංකා නාවික හමුදාව එක්ව නමවන වරටත් සංවිධානය කළ මෙම සම්මන්ත‍්‍රණය සහයෝගීතාවය තුළින් සමුද්‍රීය කළමනාකරණය සඳහා ඒකාබද්ධවීම (Synergizing for collaborative maritime management) යන තේමාව යටතේ අද සහ හෙට කොළඹ දී පැවැත්වෙයි.

රටවල් 50ක සහ ජාත්‍යන්තර සංවිධාන 17 ක නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්ෂක දෙස් විදෙස් විද්වතුන් රැසක් මීට එක්ව සිටින අතර, කලාපීය මෙන්ම කලාපීය නොවන නාවික හමුදාවන් සහ වෙනත් ආරක්ෂක සහ සාගරික සංවිධානවල වෘත්තිකයින්ට සිය අදහස් හුවමාරු කරගත හැකි වේදිකාවක් මෙම සම්මන්ත‍්‍රණය මඟින් සැපයේ.

 

සාගර සම්පත නිවැරදි භාවිතය, සියලු ජාතීන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් එය යොදා ගැනීම, කලාපීය ආරක්ෂාව සඳහා එහි ඇති වැදගත්කම, අප රටේ ආර්ථික පැවැත්ම හා ලෝක සාමය සඳහා ඇති උපයෝගිතාවය සහ සියලුම පාර්ශ්වයන්ට එක්ව කටයුතු කිරීම සඳහා ද්විපාර්ශවික මෙන්ම බහුපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම ඇතුළු කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂිතය.

එමෙන්ම වත්මන් සාගරික අභියෝග ජය ගැනීම සඳහා ඵලදායී යාන්ත‍්‍රණයක් සකස් කර ගැනීම සහ කලාපීය විද්වතුන්ගේ සාගරික ගැටලු රාශියකට පිළිතුරු සොයා ගැනීම මෙවර සමුළුවෙන් අපේක්ෂා කෙරේ.

ගාලු කථිකාව සම්මන්ත‍්‍රණයේ නවතම තොරතුරු www.galledialogue .lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි අතර, මෙම වෙබ් අඩවිය ඔස්සේ ඔක්තෝබර් 22 සහ 23 යන දෙදින තුළ සමුළුව සජීවිව නැරඹීමට ද පහසුකම් සලසා ඇත.

මෙම සමාරම්භක අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිතුමා වෙනුවෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

අමාත්‍ය මහින්ද සමරසිංහ, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න යන මහත්වරුන් ද ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon